ලෝකයේ පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ලැබෙන රැකියා දෙකක් ඇති බව පෙනෙනවා. ඒ හෙදකම සහ ගුරුකමයි.ලොව අඳුර නසා ආලෝකය කරා රැගෙන යන්නා ගුරුවරයා ලෙස අප අර්ථ දක්වනවා.
 
සිඟාලෝවාද සූත්‍රයේ ලෝකයේ දකුණු දිසාව ලෙස ගුරුවරයා හඳුන්වා දෙන්නේ ශිෂ්‍යයාගේ දෙලොව අභිවෘද්ධිය සලසා දෙන බැවින්. ගුරුවරයා ශිෂ්‍යයා වෙනුවෙන් යුතුකම් පහක් ඉටු කළ යුතු බව බුදුපියාණෝ වදාළා.
 
මනාකොට හික්මවීම නොකොට ඉගැන්වීම සියලු දේ ඉගැන්වීම ලෝකයට හඳුන්වාදීම හා සෑම තැනකදීම ආරක්ෂාව දීමයි.
මේ කාර්යභාරයන් මනාව තේරුම් ගෙන ගුරු දිවිය ගෙවන ගුරුවරුන් උත්තම ගුරු පදවිය දරන්නන් වෙනවා.
අපේ බුදු හාමුදුරුවෝ තුන් ලෝකයට ම ගුරු වූවා . හොඳ ගුරුවරයෙක් වෙන්න අපේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙකු ලෙස විමසා බැලීම ඕනෑම ගුරුවරයකුට ම වැදගත් වේවි.
 
බුදුහාමුදුරුවෝ පාඩම් කියා දීපු ක්‍රම 04 ක් ගැන අපේ සූත්‍ර දේශනාවල එනවා.
 
ඒකංස ව්‍යාකරණ – එක වචනයක් ඔස්සේ කරුණු පැහැදිලි කිරීම
විභජ්ජ ව්‍යාකරණ – කොටස්වලට බෙදා කරුණු පැහැදිලි කිරීම
පටිපුච්ඡා ව්‍යාකරණ – ප්‍රශ්න කරමින් කරුණු පැහැදිලි කිරීම හා
ඨපනීය ව්‍යාකරණ – පිළිතුරු නොදී අත්හැර දැමීම යනුවෙන්.
 
හොඳ ගුරුවරයෙකු ශිෂ්‍යයන්ට ශිල්ප බෙදා දී මේ අනුගමනය කළ යුතු වැදගත් මූල ධර්මයන් මේ තුළ අපට පේනවා.
ශිෂ්‍යයන් අහන ප්‍රශ්නවලට ගුරුවරයා දෙන පිළිතුර ඉතා වැදගත්. සමහර විට එක වචනයක් ගෙන දිග පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන්. එමෙන්ම නිරවුල්ව කොටස් අනු කොටස්වලට බෙදා උගන්වන්නත් පුළුවන්.
 
ශිෂ්‍යයා ඇසු ප්‍රශ්නයකට ශිෂ්‍යයාගෙන්ම ප්‍රශ්න නගමින් පිළිතුරු දෙන්නත් පුළුවන්. දෙන පිළිතුර ශිෂ්‍යයාට නොවැදගත් නම්, ඒ ප්‍රශ්න නොතකා හරින්නටත් ගුරුවරයාට අයිතියක් තියෙනවා. හැබැයි හැම ප්‍රශ්නයක්ම නොතකා හරින්න බැහැ. පිළිතුර අනවශ්‍ය නම්, ඒ පිළිතුර ශිෂ්‍යයා නොමඟ යවන්නක් නම් පමණක් පිළිතුරු නොදී ඉන්න ගුරුවරයාට පුළුවන්.
 
ගුරුවරයා සමාජයට මග කියා දෙන්නෙක්. ඒ නිසා “මග්ගඤ්ඤු’ කියලත් ගුරුවරයාට යෙදෙනවා. ශිෂ්‍යයා හැම විටෙක අනුකරණාත්මක නිසා වඩාත් ම අනුකරණය කරන්නේ ගුරුවරයා. ඒ නිසා ගුරුවරයා ආදර්ශවත් වෙන්න වෙනවා.
කිසිම ගුරුවරයෙකුට අගතිගාමී වෙන්න බැහැ. අසීමිත මානව දයාවකින් යුතුව මේ කාර්යය කරන්න ඕනෑ. මෙත්තා , කරුණා, මුදිතා, උපේක්ඛා කියන උතුම් ගුණ ගුරුවරුන් සතුව නොපැවතුණොත් හොඳ ගුරුවරයකු වෙන්න බැහැ. බුදු හිමියන් ගුරුවරයාට පැවරුවේ ශිෂ්‍යයා “මනාව හික්මවන්න” කියලයි. ඒ කියන්නේ ශිෂ්‍යයාගේ අඳුර පහ කරවන්න පුළුවන් වෙන්නේ ගුරුවරයාට පමණයි. ඒ නිසාම වෙන්න ඇති මනමේ නාට්‍යයේ දී සරත්චන්ද්‍ර ගුරුවරයා ගැන මෙහෙම ලියා තැබුවේ.
 
“උදුල කරවන අවිදු ගණදුරු”
පතළ නැණ යුතු වෙමි මට නිසයුර
ශිෂ්‍යයාගේ අවිද්‍යාව නමැති ගණාන්ධකාරය දුරු කරවන පැතිරුණු දහමින් යුක්ත සූර්යා ගුරුවරයා බව එහි දැක්වෙනවා.
ඒ අනුවත් පෙනෙන්නේ ශිෂ්‍ය සමූහයා ගේ සිත්වල ඇති අවිද්‍යාව හෙවත් නොදැනීම නමැති අඳුර මකන්නට ගුරුවරයා හරියට සූර්යයෙක් වගේ විය යුතු බවයි.
 
වර්තමාන ගරුවරයාට “හික්මවීම” කියන කාර්යභාරයේදී ලොකු වගකීමක් .තියෙනවා. මොකද ගුරුවරයාගේ වරදින් ශිෂ්‍යයන් අනන්ත්වත් නොමග යන අවස්ථා තිබෙන නිසා .
 
අපේ බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාලගේ කථාව අරගෙන ගෙන බැලුවොත් මීට හොඳම නිදර්ශනයක් සම්පාදනය කෙරෙනවා. තක්සලාවේ හිටපු දක්ෂතම ශිෂ්‍යයා අංගුලිමාලයෙක් වුණේ ගුරුවරයෙකුගේ අගතිගාමි බව නිසා. අද වගේම එදත් පාඨශාලාවල දක්ෂ ශිෂ්‍යයන්ට ඊර්ෂ්‍යා කරන අවාසනාවන්තයන් ඉගෙන ගත්තා. මේ දක්ෂයා හෙවත් අහිංසක ගුරුවරයාගේ ආදරය දිනා ගැනීම ගැන වෛරයක් ඇති කරගත් දුෂ්ට ශිෂ්‍යයන් දිසාපාමොක් ඇදුරුතුමා නොමඟ යැව්වා. ඒකේ ප්‍රතිඵලය අංගුලිමාලයෙක් නිර්මාණය වීම. බලන්න ඒ ගුරුවරයා තීක්ෂණ බුද්ධියක් තිබිච්ච, දූරදර්ශී, අගතිගාමී නොවූ ගුරුවරයෙක් වූවා නම්, අපක්ෂපාතීව කරුණු සොයා බලන්නට තිබුණා. කාගෙද වැරැද්ද කියන එක නොව කොතැනද වැරැද්ද කියලා සොයා බැලුවා නම්, ලෝක ඉතිහාසයට දහස් ගණනක් මිනී මරන ලද අංගුලිමාල කෙනෙකු නිර්මාණය වෙන්නේ නැහැ.
මේ බෞද්ධ සාහිත්‍යය අපේ ගුරුවරුන්ට කදිම ආදර්ශයක්. කිසියම් ගුරුවරයෙකුගේ වැරැද්දකින් ශිෂ්‍යයෙක් අගතියට යොමු වුණොත් ඒ ගුරුවරයා පව්කාර ගුරුවරයෙක් වෙනවා. ඒ ගුරුවරයාට ශිෂ්‍යයන් හික්මවන්න බැහැ.
 
අපේ බණ පොතේ තිලමුට්ටි කියන ජාතකයේ හොඳ ගුරුවරයෙකු ඉන්නවා . හැමදාම මැහැලියකගේ තල පැදුරෙන් තල අහුරක් සොරා කන්න පුරුදු වු රාජකීය ශිෂ්‍යයෙකුට උණ පතුරකින් පිටේ සලකුණක් හිටින්න පහර දුන්නේ හික්මවන්න. තරහකින් නොවෙයි. මංකොල්ලකාරයෙක්, දාමරිකයෙක්, හොරෙක් වෙන්න හිටපු මේ ශිෂ්‍යයා අවසානේ රටේ රජු බවට පත් වුණේ ශිෂ්‍ය කාලේ හරියට හික්මවූ නිසා.
 
අද වගේ ටෙලිනාට්‍ය දූෂණයක් නොවූ දශකයකට පමණ පෙර ජයන්ත චන්ද්‍රසිරි හදපු “දඬුබස්නාමානය කියන විශිෂ්ට ටෙලි නාට්‍යයේ අපේ ශ්‍රේෂ්ට , ඉපැරණි ගුරුවරයෙකුගේ ගුරු භූමිකාව පැවති අයුරු. මේ රටේ වැඩිහිටියන්ට මතක ඇති.
ඒ වගේ ම ජයලත් මනෝරත්න හදපු “ගුරුතරුව කියන වේදිකා නාට්‍යයේ
ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ භූමිකාව නිරූපණය වූවා. මේ සියලුම නිර්මාණ අපට කියා දුන්නේ බුදු වදනට අනුව ශිෂ්‍යයා හික්මවීම ගුරුවරයකුගේ කාර්යභාරය බවයි.
 
අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් තම පුතු ඉගෙනගත් පාසලේ ගුරුවරයාට ලියා යැවූ සුප්‍රසිද්ධ ලිපිය හැම ගුරුවරයෙක් ම කියවන්න ඕනෑ. ඒකට අනුව ඇහිඳගත් කහවනුවට වඩා උපයා ගත් කහවනුවේ වටිනාකම දරුවාට කියා දෙන්න, සොබාදහමේ අසිරිය, පොත පතේ ආශ්චර්ය දරුවාට කියා දෙන්න යනාදී වශයෙන් ජනාධිපති පියා ඉල්ලා තිබෙනවා. මේ හැම කරුණක්ම ගුරු ජීවිතයයේ අපේක්ෂිත පරමාදර්ශ අපට සිහිපත් කරවනවා. හොඳ ගුරුවරයෙකුට මේ සියල්ල කළ හැකි වෙනවා.
ගුරුවරයා පන්තියේදී විෂයය උගන්වන ගුරුවරයෙක් පමණක් නොව ජීවිතය කියා දෙන ගුරවරයකු වෙන්න ඕනෑ. රකුසන්, යක්ෂයන් වගේ චරිත කවදාවත් ගුරු ජීවිතයට සුදුසු වෙන්නේ නැහැ. ප්‍රබෝධවත් මුහුණකින් පන්තියට පිවිසෙන ගුරුවරයා එදිනෙදා සමාජ අත්දැකීමක් ඔස්සේ පාඩමට පිවිසෙනවා නම්, ශිෂ්‍යයන්ට ඉතා පි‍්‍රයමනාප ගුරුවරයෙක් බවට පත්වේවි. විෂය පමණක් කියා දෙන ගුරුවරයා ශිෂ්‍යයන්ගේ මතකයේ කවදාවත් රැඳෙන්නේ නැහැ.
 
ඒ නිසා ආදරණීය ගුරුවරයා වෙනුවෙන්, ජීවිතයට නිසි මඟ පෙන්වන ගුරුවරයා වෙනුවෙන් හැම සිසු හදවතකම පූජාසන ඉදිවේවි.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound