කිංසු ඣත්වා සුඛං සෙති
කිංසු ඣත්වා න සොචති
කිං සස්ස ඒක ධම්මස්ස
වධං රොචෙසි ගෝතමනි
 
ධනඤ්ජානි සූත්‍රය
 
පින්වත්නි,
රජගහනුවර, කලන්දක නිවාපයෙහි පිහිටි වේළුවනාරාමයෙහි අප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි ප්‍රත්‍යන්ත ජනපදයෙක භාරද්වාජ සහ ධනඤ්ජානි නමින් බ්‍රාහ්මණ යුවළක් වාසය කළා. භාරද්වාජ බමුණා මිථ්‍යා දෘෂ්ටි ගෙන වැරැදි ජීවිතයක් ගත කළා. එහෙත් ධනඤ්ජානි බැමිණිය බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා තෙරුවන් කෙරෙහි අතිශයින් පැහැදී වාසය කළා. එබැවින් ඇය ඉතා හොඳ බෞද්ධ මහෝපාසිකාවක් ද වූවා.
 
ඇය හැම විටෙකම තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කළා. වැරැද්දක් සිදු වූ හැම විටෙක ම තෙරුවන් සිහිපත් කර එය නිවැරැදි කර ගැනීමේ සිරිතක් ඇයට තිබුණා. භාරද්වාජ බමුණාට මෙම බැමිණිය ඉතා හොඳ ම බිරිඳක් ව වාසය කළා. තෙරුවන් කෙරෙහි ඇති කර ගත් පැහැදීමෙන් ඇය ලද සත්පුරුෂ බව මිථ්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයා ඉවසුවේ නැහැ.
 
මේ බමුණා ඇගේ ආගමික ජීවිතයට ද්‍රෝහී වූවා. එය විවේචනය කළා. එයට හරස් කැපුවා. කොපමණ බාධා ආවත් අචල ශ්‍රද්ධාවක් සහිත මෙම බැමිණිය කම්පා කරවන්න මෙම බමුණාට නොහැකි වූවා.
 
බමුණා කෙතෙක් තමන්ට අවමන් කළත් බිරිඳකගේ යුතුකම් ඇය කිසි විටෙකත් පැහැර හැරියේ නැහැ. සැමියාට කළ යුතු යුතුකම් හොඳින් කළා. ගේ දොර කටයුතු මනාව සංවිධානය කළා. කළ යුතු දේ වෙලාවට කළා. ඉතා මිහිරි ආහාර පානාදියෙන් සැමියාට නිතර සංග්‍රහ කළා. කොටින් ම බුදු හාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේ වදාළ බිරිඳකගේ යුතුකම් කොටස උවමනාවෙන් ම ඉටු කළා.
 
එක දවසක් තම බමුණාට ආහාර බෙදමින් සිටින විට අතපසු වීමකින් බමුණාගේ ඇඟේ හැපී අතේ තිබූ ආහාර බඳුනක් බිමට වැටුණා. පුංචිම වැරැද්දක් සිදු නොවුණු බිරිඳගේ මේ අතපසු වීම මහා වැරැද්දක් බවට පත් කර ගත් බමුණා ඇයට දෝෂාරෝපණය කරන්නට වූවා. ඇය මොකද කළේ? තම සිතට තරහක් කෝපයක් ඇති නොවීම පිණිස බුදුන් වැඩ සිටින වේළුවනාරාමය දෙසට හැරී තෙවරක් ම තෙරුවන්ට නමස්කාර කළා. බලන්න හොඳින් තෙරුවන් සරණ ගිය පුද්ගලයාගේ හැටි. තෙරුවන් පිහිට හැම විටෙකම ප්‍රාර්ථනා කරනවා.
 
බැමිණියගේ මේ ක්‍රියාව දුටු බමුණා තවත් කෝප වූවා. මේ වසලිය, මුඩු මහණාගේම ගුණ කියනවා. මා පිළිකෙව් කරන ඒ මුඩු මහණ සමඟ වාද කොට ඔහු පරාජය කොට තමාගේ තරම මේ වසලියට පෙන්වමි’යි ගුගුරන්නට වූවා. බමුණාගේ මේ ප්‍රකාශයට බැමිණිය ඉතා සතුටට පත්ව ඉක්මනින්ම වාදයට පිටත් කරලීමට උත්සුක වූවා.
 
දෙවියන්, බ්‍රහ්මයින් ඇතුළු විවිධ වාදීභසිංහයන් වාදය පිණිස බුදුන් වෙත පැමිණ අවසානයේ බුද්ධශ්‍රාවකයකු වී ආපසු යන බව මෙම බැමිණිය දැන ගෙන සිටියා. එබැවින් හැකි නම් බුදුන් සමඟ වාද කොට ජයගෙන එන්නැයි බැමිණිය බමුණාට අභියෝග ද කළා. එයින් කුපිත වූ බමුණා කෝපයෙන් හා වෛර සිතින් වාදාරෝපණය පිණිස බුදුන් කරා එළඹුණා.
 
බ්‍රාහ්මණයා බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්නය අප මාතෘකා ගාථාවට ඇතුළත් වූවා. එනම් ගෞතමය.
 
කිංසුඣත්වා සුඛං සෙති? කුමක් නසා සුව සේ නිදයිද?
කිංසුඣත්වා සොචති?කුමක් නසා ශෝක නොකරයිද?
කිංසස්ස ඒක ධම්මස්ස වධං රොචෙසි ගොතමානි?
කවර ධර්මයක් නැසීම රුචි කරන්නේද?
 
මේ අනුව බ්‍රාහ්මණයාගේ ප්‍රධාන ගැටලුව වූයේ “කුමක් නසා සුවසේ නිදන්නේද? කුමක් නසා ශෝක නොකරන්නේ ද? කවර ධර්මයන් නැසීම රුචි කරන්නේද? යන්නයි. මේ සඳහා බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි පිළිතුරක් බ්‍රාහ්මණයාට පෙන්වා දුන්නා.
 
කොධං ඣත්වා සුඛං සෙති
කොධං ඣත්වා න සොචති
 
එනම් ක්‍රෝධය නසා සුවසේ නිදන බවත්, ක්‍රෝධය නසා ශෝක නොකරන බවත් , ක්‍රෝධය නැසීම ආර්යයන්ගේ ප්‍රශංසාවට ලක් වන බවත් වදාළා.
 
බුදුන් වහන්සේ ඉතා සැකෙවින් දේශනා කළ මේ ධර්ම කාරණාව ක්ෂණික ව ම අවබෝධ කර ගත් මේ බ්‍රාහ්මණයාට තවත් අසන්නට කිසිදු ප්‍රශ්නයක් සිතට ආවේ නැහැ. මහා වාදය, එතැනින් ම නිම වූවා.
 
බමුණා ඉතා සතුටට පත්ව ක්‍රෝධය නැසීමෙන් ශෝකය නැති වන අයුරු ගැන කල්පනා කරන්නට පටන් ගත්තා. බමුණා එයින් ම ධර්මාවබෝධය ලැබුවා. මිථ්‍යා දෘෂ්ටිය බැහැර කළ බමුණා එවේලේම තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත් වූවා. පසුව බුදු සසුනේ පැවිදි උපසම්පදා ආදිය ලබා වීර්ය කොට රහත් බවට ද පත් වූවා.
 
පින්වත්නි, සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තයේ එන මෙම ධනඤ්ජානි සූත්‍රයේ සාරාංශය මෙසේ දක්වන්න පුළුවන්.
 
තෙරුවන් සරණ ගිය ස්වාමියකු හෝ භාර්යාවකගේ ජීවිතයේ සන්සුන් බව.
 
පවුල් දිවියේ දී එළඹෙන කවර ගැටලුවක් වුවද තෙරුවන් පිහිට ලබා නිරාකරණය කර ගත හැකි අයුරු
 
අප්‍රමාදීව තමාගේ යුතුකම් ඉටු කරලීමෙන් සාර්ථක මිනිසකු වීමට හැකි බව.
 
වැරැදි දෘෂ්ටීන්හි පිහිටා ක්‍රියා කරන අය ද නිවැරදි කර ගත හැකි බව.
 
ක්‍රෝධය නසා ගත් කල්හි ඒ ඔස්සේ ගොඩ නැඟෙන නපුරු සිතුවිලි පහ වීමෙන් ජීවිතයේ සුවෙන් නිදන්නකු හා ශෝක නොකරන්නකු බවට පත් විය හැකි බව.
 
පින්වත්නි,
අද අපේ පවුල් ජීවිත ඇතුළත කොයි තරම් අර්බුද ඇත්දැයි බලන්න. බොහෝ විට ක්‍රෝධයෙන් පුපුරමින් දිවි ගෙවන අය කොයිතරම් වේද, සැමියා බිරිඳ දෙදෙනා හෝ දෙදෙනාගෙන් කෙනෙකුට හෝ ආගමික වශයෙන් ලද ශික්ෂණයක් නොමැති කල්හි ගේ දොර උද්ගත වන දහසකුත් එකත් ගැටලු සන්සුන්ව විසඳා ගත නොහැකි වන අයුරු අපට පේනවා. බොහෝ සැමියන් ගැටලු විසඳ ගන්නට මත්පැන් පානය කරන්නට පෙළඹෙනවා. එසේ පෙළඹුණු විශ්වවිද්‍යාල ගුරුවරයකු අපට කීවේ එයින් කිසිදා විසඳුමක් නොලැබෙන බවයි.
 
එයින්, ඇති ප්‍රශ්න වඩාත් වැඩි වන බවත්, ආර්ථිකය පිරිහෙන බවත්, දරුවන්, ඥාතීන්, අතර, පිළිගැනීම නැති වන බවත්, සමාජයේ දී අපකීර්තිමත් කෙනෙකු වන බවත්, අවසානයේ රෝගියකු වී ජීවිතය ම පිරිහී යන බවත් පෙන්වා දුන්නා.
 
මේ සියල්ල සුරාවට යොමු වීමෙන්, අත්වන ඉරණමයි. අපේ අඹුසැමියන් අතර පැවැතිය යුතු සහජීවනය බිඳ වැටෙන්නට එකම සුරාව මේ තරම් හේතු වන්නේ නම්, තමන්ගේ ගැටලු විසඳා ගන්නට අන්‍ය සැමියන්, බිරිඳත් කරා යාම නරක මිත්‍රයන් ආශ්‍රය වැනි කරුණු පවුල් දිවියක් අවුල් කරනවා නේද?
 
ආගමික ශ්‍රද්ධාව හොඳින් ගොඩනඟා ගත් අය තුළ මේ අර්බුද ඇති වන්නේ නැහැ. ක්‍රෝධය ඇති වන්නේ නැහැ. ක්‍රෝධයක් ඇති වුව ද එයට සාවධානව විසඳුම් සොයා ගන්න හැකි වෙනවා. ධනඤ්ජානි බැමිණිය හා බමුණාගේ කතාවෙන් ඉගැන්වෙන පාඩම එයයි.
 
මොරටුව ලුනාව උයන පාරේ
බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound