2021 ජූනි 17 – දිනමිණ කටාරම අතිරේකය
ලොව අසිරිමත්ම පිය සෙනෙහස
පූජාවලී පසුගිය විමසුමෙන් අප ඔබට කියා දුන්නේ පස්වග තවුසන්ගේ උප්පත්ති කථාවල කිරිමවුන් සෙවූ ආකාරය සහ තත්කාලීන දඹදිව ගොවිතැන සම්බන්ධ තොරතුරුය. දහවන පරිච්ඡේදයෙහි එන සුදොවුන් පිය රජතුමාණන් සිදුහත් පුතු පැවිද්දට නොයවා රැක ගන්නට ගත් ක්‍රියා මාර්ග කවරේද යන්න පූජාවලී කතුවරයාගේ වර්ණනාවට ලක් වූයේ කෙසේද යන්න ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී යනුවෙන් අපට ගයන්නේ ටී.එම්. ජයරත්නය. එය නූතන පියවරුන් දෙස බලාය. එහෙත් ඉපැරණි පිය කෙනෙකුන් තම පුතු වෙනුවෙන් උතුරා යන සෙනෙහසින් කළ දේ විමසා බලන්නට පූජාවලියේ නිරූපිත සුදොවුන් චරිතය කියවිය යුතුය. පොතක් ලියන්නට තරම් ම ඒ වෙනුවෙන් කරුණු තිබෙයි. එමෙන් ම එම කරුණු පූජාවලී හිමියන් ඉදිරිපත් කරන්නේ සජීවාරෝපණයෙන් මෙන්ම දඹදෙණි යුගයටත් නූතන යුගයටත් යාවත්කාලීන වන අයුරිනි. ඇතැම් නූතන පියකු අපි මේ ඔස්සේ දකිමු.
බමුණන්ගේ ප්‍රකාශ පියා සසල කරයි.
කාලදේවල තවුසා සහ කොණ්ඩඤ්ඤ බමුණා කුමරා නියත ලෙසින් ම බුදු වන බව කී හෙයින් සුදොවුන් රජ මේ ගැන සිටියේ සතුටින් නොවේ. පැවිද්දට යාමෙන් වළකා ගන්නට කළ හැකි හැම දේ ම කල්පනා කරන්නට ඇත. සොළොස් වියට පැමිණි කුමරා කෙමෙන් යෞවනත්වයට පැමිණි බව දත් රජු බමූණන් ගෙන්වා “කෙසේ වූ පූර්ව නිමිත්තක් දැක මපුතණුවෝ තපසට වලට යෙද්දැයි” විමසුවේය. එවිට බමුණන් කියන්නාහු “ආදී වාරයෙහි ජරා රූපයක් දකිති. දෙවන වාරයෙහි ගිලන් රුවක් දකිති. තුන් වන වාරයෙහි මළ රුවක් දකිති. සතරවන වාරයෙහි මහණ රුවක් දැක රජය හැර ගොස් තුමූද මහණ වෙති යි” කීහ. මේ කතාව ඇසූ පිය රජ්ජුරුවෝ සසල වූහ. සැබවින්ම බමුණන්ගේ මෙම ප්‍රකාශය පියා නොසිතූවකි. දැන් පියා මුහුණ දුන් අභියෝගය වන්නේ පුතු මේ අභියෝගවලින් ගලවා ගන්නේ කෙසේද යන්නයි.
වසවර්තිගේ අභියෝග
බෝසතුන් බුදු වනදා ඒ සදහා අභියෝග කරන්නේ වසවර්තී මාරයාය. මෙම මාරයා තමා ඉක්මවා කිසිවකුට යාමට ඉඩ නොදෙයි. එබැවින් බුදු වීම වැළැක්මට උපරිම බාධා දෙන්නේ ඔහුය. අනාගතයේ සිදු වන මෙම අභියෝගය සුදොවුන් රජ දැන සිටී. එයින් පෙනෙන්නේ පියා පුතු ගැන මොන තරම් අවධානයෙන් සිටි බව නොවේද?නිමිති දැක බුදු වෙන්නට යන බව බමුණන් කී පසු සුදොවුන්ගේ මුවට නැංවුණේ මෙවන් වදනකි. “රජ්ජුරුවෝ එබස් අසා එසේ වීනම් මපුතණුවන් බුදු වීමෙන් කම් නැත. බුදුවනදා වසවර්තී නම් මාරයෙක් යක්සෙන් ගෙන දිව ඒ. මුළු තුන් ලොවම ඒ යක්ෂයා දැක නොබා සිටිනා එකද සත්වයෙක් නැත්ල. මපුතණුවන්ට එදා ඔහුගෙන් උපද්‍රවයක් වී නම් නපුර චක්‍රවර්තී වූ නම් මේ මුළු සක්වලට නායකව සතර මහ දිවයින ආකාශයෙන් ඇවිදිති. මපුතණුවන්ගේ චක්‍රවර්තී සම්පත් දක්නා කැමැත්තෙමි” යනාදී වශයෙන් බුදු වන පුතෙකුට විය හැකි මෙම වසවර්ති මාරයාගේ පීඩාවෙන් පුතු රැක ගන්නට පියෙකු වෙතින් ලද රැකවරණ කවර තරම් ද ?
පියාගේ වාරණය
බුදුවන්නට යන ගමන අවුරන්නේ අන් කවර හේතුවක් නිසාවත් නොව වසවර්තීගෙන් විය හැකි බිය නැති කරලීම සදහාය. නූතන ආදරණීය පියෙකු දරුවන් ඉදිරියේ ඇති අභියෝග ඉවෙන් මෙන් හඳුනා ගනිමින් ආරක්ෂක විධිවිධාන යොදන්නේ යම් සේද සුදොවුන් පිය රජතුමා ද පුතුට රැකවරණය පිණිස යන ගමන් බිමන් වාරණය කරයි. වළකා දමයි. දොරටු වසයි. ඒ වෙනුවෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙයි. කවරාකාරයෙන් ද යත් , “මෙතැන් පටන් නර ඇති එකෙකුත් මපුතණුවන් දැක්ක නොදෙව. ව්‍යාධිගත එකෙකුත් ළංවිය නොදෙව. මළ රුවකුත් දැක්ක නොදෙව.
මහණ රුවකුත් දැක්ක නොදෙව යි නියෝග කොට නුවරට සතර දිග ගවු ගවුවේ රැකවල් ලවා පුතණුවන් කාම බන්ධනයෙන් බඳිමි.” යි යනාදී පියා ගත් දැඩි රකවල් පැහැදිලිය. ගවුවක් ගවුවක් ගානේ මුරකාවල් හෙවත් මාර්ග බාධක පැනවීය. ඒවා බිඳ ගෙන සුදොවුන් රජුගේ ඇතුළු නගරයට නර කෙසක් එනම් ඉදුණු කෙසක් ඇති කෙනෙකුන්ට ඇතුළත් වීම තහනම් කළේය. මෙයින් කළේ වියපත් වීම යන්න කුමරුට වසන් කිරීමයි. එමෙන් ම රෝගීන්ට නගරය වාරණය විය. ලෙඩවීම පුතුට වසන් කරවීම සදහාය. එසේම මෘත ශරීර ගෙන යාම තහනම් කෙරිණි. මැරෙනා බව වසන් කිරීමටය. පැවිද්දන්ට ද තහනම් වීය. මේ ක්‍රියාමාර්ග ඉතා අතාර්කික බව අපට දැණුන ද ප්‍රකට කෙරෙන්නේ පියෙකුගේ ආදරය සෙනෙහස නොවේ ද? “අම්මලා දුක් ගන්නේ පුතුන් සදන්ටා පුතුන් රජුන් කරන්ටා” යනුවෙන් ඇසෙන ගීතය “තාත්තලා දුක් ගන්නේ පුතුන් සදන්ටා පුතුන් රජුන් කරන්ටා ” යනුවෙන් වෙනස් කරන්නට සුදොවුන් පිය රජුගේ දරු සෙනෙහස හේතුව තිබෙයි.
රැකවරණය
පුතු ගිහි දිවියේ රඳවන්නට කල්පනා කළ පියා පවසන්නේ කාම බන්ධනයෙන් බඳිමි යනුවෙනි. නැතහොත් මෙහි අරුත පුතුගේ කාමභෝගී දිවි පෙවෙත වඩාත් ශක්තිමත් කරන බවයි. නුතන තාත්තලා දරුවන්ට ගෙවල් දොරවල් සාදා දෙන්නේ කරදරයකින් තොරව විවාහකයන්ව සියලු සම්පතින් ආඪ්‍යව ජීවත් වීම වෙනුවෙනි. මේ පියා ද එසේය. පුතුට ප්‍රාසාද තුනක් ඉදි කර දෙයි. ඒවා කෙසේද? එක් පායක් නව මහලකි. එක් පායක් සත් මහලකි.එක් පායක් පස් මහලකි යනාදී වශයෙනි.
මාරයාගෙන් පුතු බේරා ගන්නට ලොව පියකු මීටත් වඩා වෙහෙසුණු තවත් අවස්ථාවක් නැත. පිය ගුණ දිනේවා.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය