2021 ජූලි 01 – දිනමිණ කටාරම අතිරේකය
සිදුහත්හු ශාක්‍ය කෝලිය ළඳුන් ඉදිරියේ දස්කම් පාති.
අප පසුගිය ලිපියෙන් සාකච්ඡා කළේ සුදොවුන් රජුගේ අසිරිමත් පිය සෙනෙහස ගැනය. පුතු බුදුවන්නට යන ගමන වැළැක්වීමට තුන් මාලිග තනා දස දහස් ගණනින් රැකවලුන් තබා පුතු ආරක්ෂා කළේ වසවර්තියාගෙන් වන ගැහැට වැළකීම සඳහාය. මෙය අන් කිසිවක් නොව ආදරණීය පියකුගේ දරු සෙනෙහසමය. මෙවර අපගේ අවධානයට යොමු වන්නේ පූජාවලී කතුවර බුදුපුත් තෙරුන්ගේ විශේෂ අවධානයට යොමු වන සිදුහතුන් හා යශෝධරාවගේ විවාහය හා ශාක්‍ය කෝලිය ළඳුන්ගේ මානය බිඳින්නට ශිල්ප දැක්වීමේ සිදුවීමයි.
කුඩා කල අප දහම් පාසලෙහි ඇසූ කතන්දරයට වඩා මෙය වර්ණනාත්මක සහ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමකි. එය සාහිතකරුවකුගේ ප්‍රබල නිපුණතාවක් ප්‍රකට කරවීමකි.
බුදු වන්නට සුදුසුකම් ලත් උතුමකුගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා පෑමකි.
සුදොවුන් පිය රජතුමන් පුතු පැවිද්දට යාම වළකා ගැන්මට ගත් තීන්දු අතර කුමරා කාමබන්ධනයට හසු කරලීම ද එකකි. නිසි කල පැමිණි කල දරුවන් ආවාහ විවාහාදියෙහි යෙදවීම කවර කාලයකත් පියවරුනට පැවරෙන වගකීමකි. එක් පසෙකින් මේ එය ඉටු කරලීමක් ද වන්නේය. එනම් කුමරුට යශෝධරාවන් විවාහය සඳහා යොමු කරවීමය. යශෝධරා සිදුහත් හමුව පෙර සාංසාරික බැඳීමක් බව නොදන්නා පියාණෝ සිදුහත් පුතුට යශෝධරාව විවාහ කරවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ.
ඒ බව සුප්‍රබුද්ධ රජුන්ට කියා යවූහ. එවිට සුප්‍රබුද්ධ රජ එවූයේ අනපේක්ෂිත පිළිතුරකි. එය කතුවරයා කෘතියේ දක්වනුයේ මෙසේය.
“තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නොබෝ කලකින් මහණ වනු සඳහා රජය හැර යෙත්ල. එදවස් මාගේ දියණියෝ වැන්දඹු වෙති. මහණ නොවන රජෙක් හට පාවා දෙමියි කියා යැවූහ. බෝධිසත්වයෝ එපවත් අසා මහණත් වෙම්මය. යශෝධරාවන් මට පාවා නුදුනහොත් රාජ්‍යය මට නොකමැත්තේ යයි කියති. යශෝධරා දේවී ද සිද්ධාර්ථ කුමාරයෝ හෙට මහණ වෙත් නමුත් සරණෙක රැකෙම් නම් උන් කෙරේම රැකෙම්ම යයි කියති.“
යශෝධරාවන්ගේ ප්‍රකාශය අභීතය. පුදුම සහගතය. විස්මය ජනකය. අනපේක්ෂිතය. එසේ වන්නේ ඇයි?
පිය රජුන් දියණිය දීම ප්‍රතික්ෂේප කරද්දී ඇය ම ඉදිරිපත්ව කළ මේ උතුම් ප්‍රකාශනය නිසය. ඈ කියා සිටින්නේ කුමරු හෙට මහණ වුව ද කම් නැති බවත් තමා කුමරු සමඟ සරණ යාමට සූදානම් බවත්ය. මේ කවර අරුමයක් ද? සාංසාරික බැඳීමයි. විවාහකයන්ට මෙය ඉතාමත් ම වැදගත්ය.
යහපත් ස්ත්‍රී පුරුෂයන්ගේ හමුව සිදුවන්නේ හැම විටෙකම සාංසාරික බැඳීම හේතුවෙනි. එය වළකාලිය නොහෙයි. සිදුහත් යශෝධරා ප්‍රේමය එසේ මෙසේ ප්‍රේමයක් නොවේ. එක භවයක හෝ භව කිහිපයක හමුවක් ද නොවේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා එකට ම පැමිණි ආදරණීය බැඳීමකි.
සිදුහත් බෝසතුන් සුමේධ තවුසාව දීපංකර බුදුන් හමුවේ නියත විවරණ ලද මොහොතේ ම ඒ උතුමන්ට සසර පුරා දිරි දෙන ගැහැනිය වන්නට අදිටන් කළේ ඈ ය.
ඒ අනුව බුදු වෙන්නට පාරමී දම් පුරන සමයෙහි බෝසතුනට ඒ වෙනුවෙන් දිරි දුන් ඇය මේ භවයේ කෙසේ මඟ හරින්නේද?
හෙට පැවිදි වුව ද මා සිදුහතුන් සමග සරණ යන බව ඈ කියා පෑවේ මේ සංසාර පුරුද්ද නිසාවෙනි. අනතුරුව සුදොවුන් රජු තම නැගණියගේ දියණිය ද වූ යශෝධරා මහ පෙරහරින් කිඹුල්වතට කැඳවා බෝසතුනට සරණ කොට දී ඔටුණු පලඳවා රජකම ද පවරා දුන්නේය.
විවාහයෙන් පමණක් සීමා නොවූ සුදොවුන් පිය රජ පුතුගේ අන්තඃපුරය සපුරා ලීම සඳහා අවශ්‍ය කටයුතු යොදමින් ශාක්‍ය කෝලිය වංශිකයන්ට පණිවිඩ යැවුයේ මෙසේය.
“තවද රජ්ජුරුවෝ එකෙකි කුලෙන් එකෙකි කුමරියක් මපුතණුවන්ට අන්තඃපුර කොට සරහා එවන්නේ යැයි සියලු ශාක්‍ය කෝලිය නෑයන්ට කියා යවූහ. ශාක්‍යයෝ එ තෙපුල් අසා ඒ සිද්ධාර්ථ කුමාරයෝ ඉතා සියුමැලියෝ ය. ඉතා ළදරුවෝ ය. තව දක්වාත් එක ද ශිල්පයකුත් නූගත්හ. මතු සංග්‍රාමයෙක් වී නම් කෙසේ ජය ගනිද්ද අපගේ දරුවන් කෙසේ ඔහු පෝෂ්‍ය කෙරෙද්ද නිශ්ශිල්පි තැනැත්තන්ට අප දරුවන් නොදෙම්හයි කියා යවූහ.“
සිදුහත් බෝසතුන් පිළිබඳ නෑයන් තුළ පැවති ආකල්පය මෙයින් පෙනේ. කිසිදු ශිල්පයක් නොදත් සිදුහත් කුමාරයා ළදරුවකු ලෙස දුටු ශාක්‍ය කෝලිය වංශිකයන් විශේෂයෙන් කල්පනා කළේ සංග්‍රාමයක් පැමිණි විට එය ජය ගන්නේ කෙසේද යන්නය.
නෑයන් කී මේ බස් ඇසූ සිදුහත් බෝසතාණෝ මාගේ ශිල්ප දක්නා කෙනෙක් සත් දවසකින් මා කරා එන්නැයි පණිවුඩ යැවූහ. මුළු දඹදිව පුරා සිදුහත්ගේ ශිල්ප බලන්නට රැස්වූ අතර එහිදී ඔහු දත් අෂ්ටා දස ශිල්ප සහ සූ සැට කලාවන් සියල්ල දක්වා අනතුරුව නොයෙක් ධනු ශිල්ප ද පෑහ.
මේ වික්‍රමය දුටු ශාක්‍ය කෝලිය නෑයෝ තමන් තමන් දූන් සරහා සතළිස් දහසක් කුමරියන් අන්තඃපුරයට එවූ බව පුජාවලියෙහි දැක්වෙයි.
මේ අනුව සිදුහත් කුමරුගේ මේ කාමසුඛල්ලිකානුයෝගි දිවි පෙවෙත මෙසේ ගත වු අයුරු දැකිය හැකිය. පිය රජුගේ අරමුණ ද සාක්ෂාත් වූවාය යන්න පෙනේ. සැබවින්ම සිදුහත් කාම බන්ධනයෙහි බැඳ තැබූ බැවින් නැවත පැවිද්දට යාමක් නොවන්නේය යන සතුට උපරිමයෙන් වින්දෝ සුදොවුන් පිය රජාණෝය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය