2022 මාර්තු 3 – දිවයින වටමඬල
මෙම ග‍්‍රන්ථය අද දින සවස 03.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී ජනගත වන අතර, මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සිංහල සංදේශ කාව්‍ය අතර හංස සංදේශයේ පරිදර්ශනය, ගම්භීරවත් සසංවේදීවත් සංවිභාගයේදී දකිනට හැකි සුවිසෙස් සලකුණ වන්නේ, හංස කතුවරයාගේ ස්වතන්ත‍්‍රවූත් ස්වාධීනවූත් අනායත්තවූත් වැනුම් මගයි. භාරතීය සංස්කෘත දූත කාව්‍ය ඇසුරේ වැඩුණ ගණනින් සුවිසල් සිංහල සංදේශ කාව්‍යයෝ පෙරදිග ආලංකාරික ෙසෙද්ධාන්තික රාමුව නොඉක්මවූ නමුත් එකී කක්ෂය ඇතුළත විබුධ නිර්මාණශීලීත්වයකට උරුමකම් කීවෝය. ඒ අතුරෙන් කෝට්ටේ යුගයේ ප‍්‍රණීත, කතුවරයා අරබයා මතිභ‍්‍රම තිබුණ මුත් සංදේශයේ පැනෙන ඇතැම් පද්‍ය පාද කරණ කොට ගෙන වීදාගම මෛත්‍රෙය හිමිපාණන් විරචිත බවට සැලකෙන, හංස සංදේශය ”සියබස්ලකර” නම් සිංහල සාහිත්‍යයේ අත්පොතට ගරු කොට සුසාධිත බව පෙනෙයි. එකී හංස සංදේශය පොදු ජනතාවට වඩාත් ළං කරමින් එහි රසය හා හරය සරලව හා සුලලිතව යළි සකසා එළි දක්වන්නට කොළඹ සරසවියේ සිංහලාංශයේ මහැදුරු පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමිපාණෝ සමත්ව සිටිති. උන්වහන්සේගේ ඒ සැකසුම ගැන එහි මෙසේ සටහන් කොට ඇත.
”අප උසස් පෙළ අධ්‍යයන කටයුතුවල යෙදී සිටිය දී සිංහල විෂය නිර්දේශය සඳහා සම්භාව්‍ය පද්‍ය කෘතියක් ලෙස අපට නිර්දේශිතව පැවතියේ හංස සංදේශය කෘතියයි. මා උසස් පෙළ හැදෑරූ බද්දේගම මාජුවාන ශ‍්‍රී ඉන්දසාර විද්‍යායතන පිරිවෙනේ සිටි අපූරු ඇදුරන් හංස සන්දේශයේ ඇති රසප‍්‍රවාහය නොඅඩුවම අප වෙත ප‍්‍රදානය කළ අයුරු ජීවිතයේ කිසිදා අමතක නොවනු ඇත. නූතනයේ බාහිර අධ්‍යාපන ආයතනයන්හි හුරු කරන පරිදි ප‍්‍රශ්නයකට පිළිතුරක් සපයා ගැනීමේ අටියෙන් කළ පාඩමක් නොව හංසය අප පාඩම් කළේ එහි පැවති රසමුසු සෞන්දර්යාලංකාර විමසා ගැනීමෙහි ද ආශාවෙනි. ඒ අනුව පිරිවෙන් වේලාවෙන් පසු, දිනකට එක් කවියක් පාඩම් කර ගැනීමට පිරිවෙන් බිමෙහි තිබූ දැවැන්ත රුක් සෙවණක් සොයා ගියෙමි. ශිෂ්‍යයකුව සිට විඳි ඒ රසය නිසා ම අන් සියලූ සංදේශවලට වඩා මාගේ ප‍්‍රියතම කාව්‍ය වූයේ හංස සංදේශයයි. එය මෙලෙස සංස්කරණ කෘතියක් ලෙස සකස් කරන්නට කල්පනා කළේ ද එබැවිනි. (පිටුව 07)
එනයින් ගත්කල සිරිසුමන නා හිමියෝ හංස සංස්කරණාවලියේ නව ලකුණක් තබන්නට තැත් කොට ඇත. ඒ කුමක්දැයි කෙටියෙන් හෝ විමසීම මෙහි අරමුණයි. හංස සංදේශයට සංස්කරණ/විවරණ දුන් පැවිදිගිහි පඬිවරු අතර, රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම හිමි, වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමි, කේ.ඞී.පී. වික‍්‍රමසිංහ, දෙගම්මැද සුමනජෝති, රැු. තෙන්නකෝන්, චාල්ස් ගොඩකුඹුරේ, ජී.එස්.බී. සේනානායක, අමරසිරි ගුණවඩු, පී.එල්. පෙරේරා, ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි හා සිරි තිලකසිරි යන අය වෙති. ඒ ඒ අයගේ සංස්කරණ ද සේවනය කරමින් අප නාහිමිපාණෝ සිදු කර ඇති මේ සරල සංස්කරණයට පූර්වයෙන් ඉදිරිපත් කරනු ලබන පිටු 46ක හැඳින්වීම හංසය විෂයයක සැලකිය යුතු පරිමාණයක දැනුමක් පාඨකයාට ගෙන දෙන්නකි. සංදේශ සාහිත්‍ය ඉතිහාසය, සංදේශ යුගය හෙවත් කෝට්ටේ යුගය, සංදේශයේ අන්තර්ගත වර්ණනා යනාදි අනුමාතෘකා 17ක් පුරා විහිද ඇති එය සංස්කරණයෙහි ව්‍යක්තබව සහවේදනය කරයි. තවද හංසය සම්බන්ධ ඇති වාද පිළිබඳව ද තම පන්හිඳෙන් උන්වහන්සේ එතුළ වීමංසනය කරති.
”හංසය, ගිරාවට පිළිතුරකැයි යනුවෙන් ප‍්‍රවාදයක් ඇතැම් සාහිත්‍යකරුවන් අතර එයි. හංසයේ කතුවරයා කවරෙකුුද යන්න තීන්දු කර ගැනීමට මෙය ද මහත් සේ වැදගත් ය. අනුරාධපුර යුගයේ සිට පැවත පැමිණි මහාවිහාර, ජේතවන, අභයගිරි යන තුන් නිකාය පොලොන්නරු යුගයේදී මහපැරකුම්බාවන් සමගි කොට එක් නිකායක් බවට පත් කළ අයුරු පොලොන්නරුව කතිකාවතෙන් පෙනෙයි.” (පිටුව 30)
හංසය සරලව සංස්කරණයේදී හංසයට ආවේණික විප්ලවකාරීත්වය අගලකඩ සිරිසුමන හිමි සුසංයමශීලී භාෂාවකින් සන්න කොට ඇති අයුරු සනිදර්ශනයකින් මෙසේ දැක්විය හැකිය. අන් සංදේශ හා සැසඳීමෙහිලා හංස කතු තම දූතයා යැවීමේදී සාම්ප‍්‍රදායික නක්ෂත‍්‍ර යෝග සුබ මුහුර්ත නිමිති යෝගාදිය බැලීමේ දෘෂ්ටිය නිශේධනය කරන පහත කවි පාද උපුටමින් ඒ ස්ඵුට කළ හැකිය.
තුුසර තුසර කර සිහිලස කැරැු ඉක් ක්ම අඹර තඹර කර දිනකර එන තෙ ක්ම බැහැර නොහැර සිත සිහි කැරැු පිරිත ක්ම තිසර තිසර මමිතර මෙපුරෙන් නි ක්ම (පිටුව 136)
සිරිසුමන හිමිපාණෝ මෙයට සපයන සරල සන්නය නම්: ”පින්නත්, චන්ද්‍රයාත්, සිසිලසත් බැහැර කර අහස නමැති නෙළුම් විලට සූර්යයා එන කල්හි හැම පිරිතක් ම බැහැර නොකොට සිතින් සිහි කර මගේ හංස මිත‍්‍රයාණනි, මේ නගරයෙන් පිටත්ව යන්න” යනුවෙනි. උන්වහන්සේගේ ඒ විවරණය පැහැදිලිය. අර්ථ පූර්ණය. රස පූර්ණය. රමණීයය. කමනීයය. එනයින්ම තම හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ දැකගත හැකිය.
හංසයේ භාෂා රීතියේ තවත් සුවිශේෂත්වයක් නම් පැරකම්බා සිරිත්කරු ගුරු කොට ගත් සංස්කෘත මිශ‍්‍ර බසයි. එසේ සකුමුසු පහත පද්‍ය බලන්නැ.
වික‍්‍රමවීර විරිදුන් දැක නොපෑ පිටි සක‍්‍රම නිබොරු බස් මිස නො තෙපලන සැටි අක‍්‍රම වංක ගුුණ මඳකුත් නො ගෙන සිටි වික‍්‍රමසිංහ අධිකාරග මැතිඳු සිටි (පිටුව 123)
උන්වහන්සේ එසේ සංස්කරණය කළ එම කවට උන්වහන්සේම ගොතන පරිකථාව කොතරම් රසවත්ද යන්න මෙසේ උපුටා දැක්විය හැකිය. ”වික‍්‍රමසිංහ අධිකාරතුමා ගැන කියවෙන අපූරු විවරණයකි. ඔහු ගැන කළ මේ විවරණය ඉතා වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරියකු සතුව පැවති අගනා පුරුෂාර්ථ රාශියක් මේ තුළින් ප‍්‍රකට කරන බැවිනි. එනම් බුදුන්, දෙවියන් හා රජු පිළිබඳව භක්තිමත් වීම, සියලූ ජනයා කෙරෙහි මෙත් සිතින් ක‍්‍රියා කිරීම, තෙදවත් බව හෙවත් පූර්ණ පෞරුෂය, සතුරන් ඉදිරියේ එඩිතර බව, සත්‍ය වචන ප‍්‍රකාශ කිරීම, අවගුණ කිසිත් නොමැති වීම යනාදී කරුණු නූතන රාජ්‍ය නිලධාරියකු තුළ පවා පැවතිය යුතු සාරධර්ම පෙළයි.” පෙර සංස්කාරකවරයකු නොකළ දෙයක්ද එම විවරණයෙන් ජනිත කර ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. එනම් තත්කාලීන සංදේශකරුවන්ගේ අරුත් මගින් සමකාලීන සමාජයට ගත හැකි සංදේශ හෙවත් පණිවුඩද සිරිසුමන හිමිපාණන්ගේ කල්පනාවට හසුව ඇති බවයි. එකල අදිකාරම්වරු හා මෙකල නිලදරුවන්ගේ ගුුණාගුණ පිළිබඳ උන්වහන්සේගේ ඒ සටහන එක්තරා ආකාරයකට යති දෘෂ්ටිය කුළු ගැන්වුණ සමාජානුශාසනාවක් බඳුය.
හංස කතුවරයාගේ කවීත්වය හා ශ‍්‍රද්ධා සම්පන්න ජීවන දෘෂ්ටිය අන්තර්ගත කවි/ වැනුම් එකින් එක විවරණය කරමින් අගලකඩ හිමිපාණන් ගෙනහැර පාන්නේ චිත‍්‍රපටයක රාමුවෙන් රාමුව සෙමෙන් සෙමෙන් චලනය වන්නාක් මෙනි. අන් සංදේශ කතුවරු මෙන් හින්දු දෙවියන්ගේ ආශිංසනය නොපතමින් එහෙත් රතන සුතුර සියදහස් වරක් ජල්පනය කරමින් බොදු දෙවිවරුන්ගේ ආශීර්වාදය රජුට පතන හංසය නම් ජාතික කාව්‍යය පොදු ජන හද බන්ධන විලසින් සකසන්නට සිරිසුමන හිමිපාණෝ සමත්ව ඇති බව මෙනයින් නිගමනය කළ හැකිය. ”හංස සංදේශය සඳහා සරල බසින් ලියැවුණු අර්ථ සන්න පරිකථා ආදියෙන් යුක්තව සම්පාදනය වී ඇති මෙම සරල සංස්කරණය හංස කතුවරයාගේ කවීත්වය හා වර්ණනා චාතූර්යය රස විඳීමට කැමැති ගුරු සිසු පාඨක සැමට උපකාරී වන කෘතියක්” ලෙස විනේතෲ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ද මෙම කෘතියේ පසුවදනෙහි දක්වා ඇත්තේ ඒ බව තහවුරු කරමිනි.
* නාලක ජයසේන
සංස්කරණය – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
ප‍්‍රකාශනය – සරසවි ප‍්‍රකාශකයෝ
2021 දෙසැම්බර් 16 – දිනමිණ කටාරම අතිරේකය
පියාගේ මිසදිටු බව දුරු කළ දියණිය.
පසුගිය ලිපියෙන් අප අවධාරණය කළේ ‘ජටිල දමනය‘ පිළිබඳවය. බොරු රහතුන් ලෙසින් පෙනී සිටිමින් සමාජය මුළාවට පත් කරන නූතන මිසදිටුවන්ගේ ස්වභාවය ද එයින් ධ්වනිත විය. පූජාවලී හිමියන් මිසදිටුවනට තදින් පහර දෙන්නේ දඹදෙණි යුගයේ විසූ මිසදිටුවන් දෙස ද බලාගෙන බව පැහැදිලිය. එය ඊටත් වඩා නූතනයට අදාළ වෙයි. මෙම සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයේ වැදගත්කම මේවා පිළිබඳ නිවැරැදි වැටහීමක් පාඨකයනට ලබා ගත හැකි බැවිනි. අද එය තවත් ඉදිරියට රැගෙන යමින් මිසදිටු පියකු එයින් මුදා ගන්නට දියණියක් ගන්නා වෑයම පිළිබඳව අවධානය යොමු කරමු.
මෙය මහානාරද කාශ්‍යප ජාතකයෙහි සංක්ෂිප්තාර්ථයයි. දමනය කළ ජටිලයන්ට ධර්මාවබෝධය ලබන්නට උපස්ථම්භක වූයේ මෙම ජාතක කථාවය. වර්තමානයෙහි ජටිලයන් තුළ පැවති ඒ ප්‍රබල මිසදිටු බව පෙරදීත් එලෙස ම පැවති බව තහවුරු කරලීම මෙන්ම එයින් මිදෙන්නට බෝසතාණන් වහන්සේගේ මැදිහත්වීම සිදු වූ ආකාරය මෙහිදී විවරණය කෙරෙයි.
විශේෂයෙන් ම මෙම අතීත කථා පුවත මාපිය දූදරු සබැඳියාව පිළිබඳව කරුණු කියන්නට හේතු වන අපූරු ධර්ම විවරණයකි. බුදු හිමියන් දේශනා කළේ මාපිය දෙදෙනා කර මත හිඳුවා සියවසක් පුරා උපස්ථාන කළේ වී නමුත් එයින් ඔවුන්ට වූ ණයෙන් නිදහස් විය නොහැකි බවය. එසේ නම් නිදහස් කළ හැකි ක්‍රමය ලෙස ඉගැන්වූයේ ශ්‍රද්ධාව, ශීලය, සම්මා දිට්ඨිය නැති මාපියන් එයින් මුදාගන්නට යම් දරුවකුට හැකි වන්නේ ද එවිට ණයෙන් නිදහස් විය හැකි බවය. හේතුව මෙම ධර්මතා නොමැති වීම අපායට මඟ හදන බැවිනි.
කතුවරයා උක්ත ඡාවී දුවගේ කථාව අරඹන්නේ මෙසේය.
“යටගිය සවස මියුළු නුවර අංගාති නම් රජෙක් වීය. ඔහුගේ රුජා නම් වූ ප්‍රිය වූ දුවක් ඇත. ඕ මනෝඥ වූ රූ ඇත්තීය. සූක්ෂම නුවණ ඇත්තීය. අචල වූ ශ්‍රද්ධා ඇත්තීය. තුදුස් ජාතියක් දක්නා ජාතිස්මරණ ඥාන ඇත්තීය. ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පලඳනා දුවට දෙයි. මැදි පොහොයෙන් පොහොයට දන් දෙනු සඳහා දහසින් බැඳි පියලි ද දෙයි. තෙමේද දැහැමෙන් සෙමෙන් රජ කරයි.“
පියා හා දුව කවරාකාර ද යන්න කතුවරයා කෙටියෙන් ම කියා දෙයි. විශේෂයෙන් දුවගේ උසස් ගුණ අවධාන ගත වෙයි. බෞද්ධ සමාජගත යෞවනියකගේ ගුණවත් හැඩ රුව කවරාකාර ද යන්න උගන්වයි. විශේෂයෙන් රූපය කතට අබරණය. එහෙත් නුවණ නැති සැදැහැ නැති රුවෙන් කවර පලයක් ද? රුජා සියල්ල සපිරිය. රූ ඇත. නුවණ ද ඇත. අචල ශ්‍රද්ධාව ද ඇත. ඈ හට පින් කරන්නට සියලු දේ පියාගෙන් ලැබේ. කල් යාමේදී සිදු වූයේ කුමක් ද?
අංගාති රජ දිනක් පොහෝ දිනෙක දහම් අසන්නට උයනට ගිය විට නිවටෙක් හමු වෙයි. එනම් නිගණ්ඨයෙකි. ඔහු වෙතට ගොස් “හිමි මෙලෝ පරලෝ පවු පින් විපාක විභාගය විශේෂයෙන් ම මට වදාළ මැනවැයි කීය.“ එවිට මෙම නිගණ්ඨයා රජුට කළ දෙසුම මෙසේය.
“මහරජ කුමක් කියවුද? මෙලොවක් පරලොවක් නැත. පින් නැත. පින් පල නැත. පවු නැත. පවු පල නැත. සුගති නම් නැත. දුගති නම් නැත“ ආදී වශයෙන් කිවූ කල එමොහොතේ ම මිසදිටු ගත. ඇතුළු නුවරට දිව යන රජුගේ සියලු දන්හල් බිඳ සුනු විසුනු කර දමයි. රජ ගෙට ගොස් සියලු පුර ස්ත්‍රීන්ට පංචකාමයෙහි අභිරත වෙන්නට නියෝග කරයි. මේ බව දත් රුජා දියණිය වහාම පියාණන්ගේ මිසදිටු බව බිඳින්නට සිතා පන්සීයක් කුමාරියන් ද සමඟ පියාගේ මාලිගාවට ගොස් පියාට කියා සිටින්නේ එළඹෙන පොහෝ දිනයෙහි දන් පිණිස යොදවන මසු දහස දෙන්නැයි කියාය.
එවිට පියා කියා සිටිනුයේ “පුතණ්ඩ පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමුව. ශරීරයට බොහෝ දුක් දුනුව. පිනෙහි පල නැත්ල. පවෙහිත් පල නැත්ල. එබැවින් පුතණ්ඩ, අද පටන් පින් නිසා දුක් නොගනුව. දන් නිසා මස්සකුත් වියදම් නොකරව. මෙලොවම සුව විඳ ගනුව“ දියණියට පියා විසින් කරනු ලබන මෙම අවවාදය ඉදිරියේ ඇය නොසැලෙයි. පියාට පින් පව් විපාක සහිත වන බව කියා දෙයි. සසර බිය පෙන්වා දෙයි. මෙසේ මිසදිටු වීමේ ප්‍රතිවිපාකයන්හි බරපතළ බව පසක් කරවන්නට උත්සාහ කරයි. ධර්ම දේශකයකු සේ බොහෝ නිදසුන් කථා පියා ඉදිරියේ කියා සිටී. කුසලාකුසල කර්ම විපාක ලැබෙන පිළිවෙළ පවා තම නුවණින් කියා දෙයි. එහෙත් දරුවන් කියන බණ පිළිගන්නට ඇතැම් පියවරුන් සූදානම් නොමැති සේ ම මේ පියා ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය.
අවසන කාන්තාවගේ බලය සත්‍යයේ බලයයි. ඈ දෙවියන් යදී. ඈ දෙවියන් යදින්නේ මෙසේය. “ලෝකපාල දෙවියනි, මෙලොවක් පරලොවෙක් ඇත්නම් ශ්‍රද්ධා ගුණයෙක් මාගේ ළෙහි පිහිටියේ නම් උපන් තැන් පටන් මේ ජාතියෙහි සිහිනෙනුත් බොරු නොකියෙම් නම් සබවක් ම රැකියෙම් නම් කෙළි පිණිසත් පවු නොකෙළෙම් නම් මපියාණන් වහන්සේ මේ මිත්‍යාදෘෂ්ටි නමැති කටුබැද්දෙන් ඇද එළියෙහි ලා පියත්ව යි කිය කියා යද යද දෙවුලොව දිසාවට වැඳ වැඳ සිටියහ.“
මෙය දීර්ඝ අයැදුමක සංක්ෂිප්තයකි. කාන්තාවගේ බලය නම් සත්‍ය බලය බව ලොවට කියා පෑමකි. සම්බුලා ජාතකයේ සම්බුලාව ද මෙසේ යදින කල සක් දෙවිඳුගේ අසුන පවා රත් වූ අයුරු දැකිය හැකිය. මේ අනුව මෙහිදී බ්‍රහ්ම රාජයකුව සිටි මහා නාරද කාශ්‍යප නම් බෝසතුන් ඇගේ හඬින් සංවේදීව තවුස් වෙස් ගෙන මිසදිටු පියාණන් වෙතට පැමිණෙයි. එවිට රජුට වූ දේ කතාකරුවා ඉදිරිපත් කෙරෙන්නේ හාස්‍යයෙන් ද පිරි වර්ණනාවක් ලෙසිනි.
“රජ බ්‍රහ්ම තේජසින් වෙවුලා සිංහාසනයෙන් බැස එකත්පස්ව සිට කියනුයේ තාපසයෙනි! තොපගේ ශරීරාලෝකයෙන් මෙනුවර හිරු උදයක් සේ ඒකාලෝකය. තෙපි කොයි සිට අවුදැයි විචාළේය. බ්‍රහ්ම රාජයෝ සිතන්නාහු මේ රජ පරලෝ නැතැයි දෘෂ්ටි ගත. පරලෝ ඇති බැව් මෝ හට කියා වාද උපදවමි යි සිතා රජ්ජුරුවෙනි පරලොව සිට අයිමි යි කීහ.“
මෙසේ ඇති වන වාදය ඉතා දීර්ඝ විය. අවසානයේ රජු දැමුණි. පරාජයට පත්ව තාපසයන් ළඟ වැඳ වැටෙන්නේ ගැත්තකු බවට පත් වෙමිනි. මෙය ඉතා රසබර පූජාවලි වර්ණනාවකි. දරුවන් දෙමාපියන්ට වූ ණයෙන් නිදහස් වන මාර්ගය ද මෙයින් කියවෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 දෙසැම්බර් 2 – දිනමිණ කටාරම අතිරේකය
අසිරිමත් ජටිල දමනය
පසුගිය ලිපියෙන් ඔබට කියා පෑවේ බුදුරදුන්ගේ ඉසිපතනාරාම ගමනය. පළමු දම් දෙසුම සඳහා වැඩිය මෙම ගමනේදී පස්වග තවුසන් ක්‍රියා කළ පිළිවෙළ හා ඔවුන්ට දහම් දෙසුම සිදු වෙද්දී දෙවි දේවතාවන්ගේ පූජා පෙළහර සිදු වූ අයුරු කතාකරුවාගේ වර්ණනාවට ලක් වූ අයුරු විවරණය කළෙමු. පූජාවලියෙහි දාහතරවන පරිච්ඡේදය හෙවත් වේළුවනාරාම පූජා කතා විමසුම තුළ ඇතුළත් ජටිල දමනය කෙරෙහි මෙවර අවධානය යොමු කරවමු.
විශේෂයෙන් කතාකරුවා බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමට බුදු සිරිතේ හැම අවස්ථාවක් ම හොඳින් භාවිතයට ගත් අයුරු මෙම විශේෂ අවස්ථාවන් ඉදිරිපත් කළ පිළිවෙළින් ම පෙනේ.
උරුවෙලාවෙහි නේරංජනා ගංතෙර විසූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිලයන් තිදෙනා පූජාවලී කතුවරයාණන් හඳුන්වා දෙන්නේ “රහතුම්හයි කියා මිථ්‍යා දෘෂ්ටි ගෙන ලෝවැස්සන් වංචාවෙන් පහදවා ලාභයෙහි යසසෙහි අග්‍රව වෙසෙති.“ යනුවෙනි. නූතන ඇතැම් රහතුන්ලාට ජටිලයන් සමාන කළ හැකි යයි සිතේ. මෑත ශ්‍රී ලංකාවේ ද වදුරඹ සිරිවර්ධන රහතුන්, පොළොන්නරුවෙහි රහතුන් ආදී වංචාකාරයෝ රාශියක් ම පහළ වූහ. අවාසනාවට මොවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය වැළඳගත් බොහෝ මිථ්‍යාදෘෂ්ටි ශ්‍රාවකයෝ ද වූහ. විශාල පිරිස් ඇතිව වැජඹුණු මොවුහු ඇතැම් විට පූජාවලිය පෙන්වන පුරාණ ජටිලයන්ගේ පුනරාගමනයක් විය හැකිය.
බුද්ධකාලීන මෙම ජටිලයන් තිදෙනාට දහසක් අනුගාමිකයන් වූ බව කියවෙයි. මිථ්‍යාදෘෂ්ටි ගත වීමෙන් නියත අපාය හිමිව තිබූ මොවුන්ගේ පුරාණ හේතු සම්පත් දැක මේ සියලු දෙනා නිවන් මඟට හරවා ගැනීමට බුදුහු ඔවුන් වෙත යාමට තීරණය කළහ. පළමුව වැඩම කළේ උරුවෙල කාශ්‍යපයන්ගේ ආරාමයටයි. ගොස් “කාශ්‍යපයෙනි, තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ.“ යනුවෙන් බුදු හිමියෝ කාශ්‍යපයාගෙන් ඉල්ලා සිටියහ.
එයට කාශ්‍යපයාගේ පිළිතුර වූයේ “මහණ භවත් ගෞතමයෙනි, තපස්වීවරයන්ට අවසර දීම අප සේ වූ තපස්වීවරයන්ට ම සුදුසු ය. එසේද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාගයෙක් වෙසෙයි. ඒ අප රහත් හෙයින් අපට කිසිවකුත් නොකෙරෙයි. නොරහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනෙකුන්ට උපද්‍රවයක් කළේ නම් අලාභ වේදැයි කීහ.
පූජාවලී කතුවරයා මෙය ලියන්නට ඇත්තේ කට කොනකට නැංවුණු සරද සිනහවකින් ද යුතුව විය යුතුය. ලොව්තුරා බුදු කෙනෙකුන්ගේ තරාතිරම නොදත්තකු තමන් රහත් බව බුදුන් ඉදිරියේ කියා පෑම සරද උපහාසයක් ම වේ. එපමණකුදු නොව මෙම නාගයා වෙතින් තමනට අනතුරක් නොවන්නේ තමන් රහත් නිසා බව කීමෙන් ද බුද්ධිමත් පාඨකයා ඉදිරියේ ජටිලයන් පත් කරවන්නේ දීනයන්ගේ විලාසයටය. එහෙත් බුදුන්ගේ පිළිතුර දෙස බලන්න. “තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනු කැමැත්තම්හ“ යන්නයි.
දෙවන වරද ජටිලයා මෙය ප්‍රතික්ෂේප කරන අතර නාගයාගේ විෂඝෝර බව ම කියා සිටී. තෙවන වරද බුදුන් ඉල්ලීම කරන අතර කාශ්‍යපයෝ නාගයාගේ දැඩි බව ම කියා සිටියහ.
එවිට බුදුහු “ නයිගේ බල නොකියා තොපගේ ගිනිහල් ගෙය අපට අවසර දෙව යි වදාරා උන්නේ අනුදන්වා ගෙන නා විමනකට වඩනා ගරුඬ රාජයක්හු සේ නිර්භීතව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැද වැඩ උන් සේක.“
කතුවරයා යෙදූ උපමාව අපූරුය. ගරුඬයන් ඇති තැන නයින්ට වාසයක් නැත. ගරුඬ රාජයෙකු සේ යන්නෙන් බුදුන්ගේ තේජස් මහිමය ද ප්‍රකට කෙරෙයි. දැන් බලසම්පන්න විෂඝෝර නාගයකුට අත් වන ඉරණම දැක ගැනීමේ ආශාව පසුපස පාඨකයා ලුහු බඳී. සිදු වූයේ කුමක්දැයි බලන්න.
“ඉක්බිති නාගරාජ තෙම ගිනිහල් ගෙයි වැඩහුන් බුදුන් දැක ඇතකු කරා පැමිණි උම්මත්තකයකු සේ මාගේ භවනයට අවුදින් තමාගේ ගෙයක සේ හිඳ ගත් මොහු කවරෙක්දැයි කිපී බුදුන් කරා විෂ ධූම හරනට වන. ස්වාමිදරුවෝ මම ද එක විෂ ධූමයක් හළිම් නම් එක නයෙකු තබා මුළු ලොව මකුළු හූයක් සේ දායෙයි. එසේ ද වුවත් මොහුගේ අභිමාන මැඬ දැමුව මනා වේදැයි සිතාලා මාගේ ශරීරයෙන් නික්මුණා වූ දුමින් කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදි සියලු සතුන්ටත් උපද්‍රවයක් නොවේවයි අධිෂ්ඨාන කොට ලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශරීරයෙන් දුම් කඳු හරනට පටන් ගත් සේක.
නාගයා විෂ දුම් හරිද්දී බුදු හිමියන් කළේ කිහිඹියකුට දු හිරිහැරයක් නොවන පරිද්දෙන් සිය බුදු සිරුරෙන් දුම් නිකුත් කිරීමය. දුමින් වැසුණු නාගයා අනතුරුව බුදුන් දවන්නට සෙයින් ගිනි පිට කරන්ට පටන් ගති. බුදුහු තේජෝ කසිණයට සමවැද තම සිරුරින් ගිනි ජාලාවක් නිකුත් කෙරුනේ ගිනි ගෙන දැවෙන හේනක් සෙයිනි. මෙය දුටු ජටිලයන් සිතුවේ “ තෙලෙ නාගරාජයා හළ ගිනි කඳය. මහණ භවත් ගෞතමයන්ගේ රන් කඳක් වන් ශරීරය අද දා නස්සි. අප කියමන් නොගත්හ“ යනුවෙනි.
එහෙත් ඒ වන විට බුදු හිමියන් නාගයා දමනය කොට පාත්‍රයට දමා ගත්තේ ඉඳුනිල්මිණි කරඬුවෙක රිදී හවඩියක් ලන්නා සේ ය.
ගිනි දුම් සියල්ල පහව ගිය පසු උරුවෙල කාශ්‍යපයන් කැඳවා කලින් දා මහා බලසම්පන්නයකැයි කී නාග රාජයා පත්ව ඇති ආකාරය පෙන්වා දුන්නේය. එවිට උරුවෙල කාශ්‍යප කල්පනා කළ හැටි බලන්න. “ මේ මහණ භවත් ගෞතමයෝ අප සේ ස්වසන්තාන දමනය කොට රහත් වන සේ නොදන්නා බව මුත් නයින් දමන්නා වූ ආනුභාව ඇතියහයි කියා රහත් ගුණ තමන් කෙරේ ම තබා දුටහ.
ජටිලයා කල්පනා කළේ බුදුන් නයින් දමනය දන්නා නමුත් තමන් සේ රහත් නොවූ බවය. මෙලෙසින් බුදුන් ඉදිරියට පැමිණි සියලු අභියෝග පරාජය කළ පසු බුදුහු ඔවුනට දහම් දෙසා වදාළහ. රහතුන් හා නොරහතුන් හඳුන්වා දුන්හ. එයින් සියලු පිරිස සෝවාන්හි පිහිටියහ. එවිට ඔවුන්ගේ මුව‘ගට නැගුණු වදන් මෙසේය.
“මෙතෙක් දවස් නුඹ බුදු වූ බව් නොදත්තෙමි. නොහැඳින්නෙමි. ගැත්තහු නොදැන කළ වරද ක්ෂමා කොට වදාළ මැනව. ස්වාමිනි දැන්ම ගැති මහණ වනු කැමැත්තේය‘ යි ආරාධනා කළහ. අනතුරුව පැවිදි බව ලද මෙම දහසක පිරිස ආදිත්ත පර්යාය සුතුරෙන් බණ අසා අර්හත් බව ලදහ.
මෙය බුදු සිරිතේ තවත් අසිරිමත් සිදු වීමක් ලෙසින් පූජාවලි හිමියෝ උත්කර්ෂයෙන් වර්ණනා කරති.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 නොවැම්බර් 25 – දිනමිණ කටාරම අතිරේකය
බරණැසට දහම් වැසි
පූජාවලී පසුගිය විමසුමෙන් ඔබට ගෙනහැර පෑවේ බුදුන් හමුවට පැමිණි උපක ආජීවකයාගේ කථාවය. එය නූතන සාහිත්‍යයේ එන රසබර කෙටිකතාවක් වැන්න. මෝඩ බැතිමතුන් මුළා කොට අර්ධපාල රහත් කෙනකු ලෙස පෙනී සිට ජාවී නම් යෞවනියකට පෙම් බැඳ ඇති කර ගත් විවාහයේ උත්ප්‍රේක්ෂාව අපූරුවට එහි විවරණය කෙරිණි. මෙවර අප ඔබට රැගෙන එන්නේ බුදුරදුන් බරණැසට වැඩමවා කළ ප්‍රථම දහම් දෙසුම හෙවත් දම්සක් පැවතුම පිළිබඳ පූජාවලී හිමියන්ගේ විවරණයයි.
දම්සක් පැවතුම සඳහා බුදුන් ඉසිපතනයට වැඩි ගමනේ දී එහි වැඩ සිටියේ පස්වග තවුසන්ය. සය වසක් දුෂ්කර ක්‍රියා කළ සමයෙහි බෝසතුනට ඇප උපස්ථාන කළ මේ පිරිස බෝසතුනගෙන් වෙන්ව ගියේ බෝසතුන් දුෂ්කර ක්‍රියාව නතර කිරීමට එරෙහි වෙමිනි. මේ නිසා බුදුන් ඉසිපතනාරාමයට වැඩම කිරීම ගැන ඔවුන් තුළ සතුටක් ඇති නොවුණි. ඇතැම් විට ඔවුන් සිතන්නට ඇත්තේ නැවත වරක් ඔවුන්ගේ සහාය අපේක්ෂාවෙන් පැමිණෙන බවය. එනිසා ඔවුන් කතිකා කළේ බුදුන් නොතකා හරින්නටය. එම කතිකාව මෙසේ පූජාවලී හිමියන්ගේ අවධානයට ලක් වෙයි.
“භගවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා හැරපියා තමන් රජ කුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙන ලද මධුර වූ ආහාරය අනුභව කොට ඡවි පහස් ලදින් දැන් ප්‍රභාසම්පන්නව රන් කඳක් සේ ගියාහුය. බඩපුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇතිව යහපත් වූය. නොයෙක් උත්සාහ කොට බුදු විය නොහී දැන් අප කරාම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ. හුනස්නෙන් නොනැගෙම්හ. පෙර ගමන් නොකරම්හ. පෙර සේ ඔහු අපි නොවදුම්හායි කතිකා කළහ.“
මෙසේ කතිකා කළ අයට පසුව සිදු වූයේ මීට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. බුදුන් සමීපයට වඩිද්දී බුද්ධ තේජසින් සිටි තැන සිටගත නොහී ඔවුන් කලබලයෙන් හැසිරුණේ කෙසේද? පෙර මඟට යයි. බුදුන් වඳී. පා සිවුරු ගනී. ශ්‍රීපාදය දොවයි. පැන් පවස් විචාරයි. එවිට බුදු හිමියන් මොවුන්ගේ සැක සංකා දුරු කරනු වස් මෙසේ වදාළහ.
“මහණෙනි, සමසමයන් හා කථා කරන්නා සේ ලොව්තුරා බුදුන් හා කථා නොකරව. මර සෙන් බිඳහැරපීමි. වසවත් මර මන් බිඳපීමි. ගිරිමෙවුලා මතැතු දණ බිම අන්වාපීමි. එකොළොස් මහා යුද්ධයෙහි ජය ගෙනපීමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කළෙමි. මහපොළොව ගුගුරුවාපීමි. මහමෙර සක්වළගල් නටවාපීමි. දෙවි බඹ කැලන් කළ පූජා විඳපීමි. මරඟනන් පලවාපීමි. මහණෙනි, සවුනේ ගෙවා බුදු ව තුන් ලෝ මුඳුන්පත් වීමි. තොප හැමදෙනාගේ සැක හැර අද රෑ දම්සක් දෙසුම අසා බලගැයි වදාළ සේක.“
මේ බුදුදම් ඇසූ පස්වග තවුසන්ට වූයේ කවරක්දැයි කතුවරයා පෙන්වා දෙන්නේ බුද්ධ තේජසින් වෙවුලා ගියේ කේශර සිංහයක්හු දුටු සිංහ පැටවුන් සේ වූ බවයි. එකත්පස්ව නොසෙල්වී සිටි බවයි. බුදුන් දහම් දෙසන්නට සූදානම් වූ කල්හි එතැන්හි බුද්ධාසනයක් ද සැකසිණි. මේ මොහොතේ සොබාදහම පරිසරය සියල්ල ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු කතුවරයාගේ වැනුමට ලක් වෙයි. සන්ධ්‍යාව ඒ වෙනුවෙන් සූදානම්ව සිටි අයුරු කතුවරයාගේ වර්ණනාවට හසු වන්නේ මෙසේය.
“ එකෙණෙහි නිශා නමැති කාන්තා තොමෝ තරු පෙළෙ නමැති ගෙලෙ මුතු දම් පැලඳ නිල්වලා නමැති කෙස් වැටි තනා දික් නමැති හස්තයෙන් සඳරැස් නමැති දිවසළු විදා හැඳ බඹලෝ නමැති මිණි ඔටුනු දරා තුන්ලෝ නමැති ඇඟ සොල්වා කෞමද නමැති ඇස් දල්වා භෘංගනාද නමැති ගායනා පතුරුවා මාගේ ස්වාමිදරුවාණන් වහන්සේගේ පළමුවන මඟුල් බණ පූජාවට මෙසේ ලීලෝපේතව සැරසී සිටගත.“
මනරම් සැඳෑ වැනුමක යෙදෙන්නට කතුවරයා සමත් විය. සොබාදහම මෙසේ ආසිරි ගන්වද්දී බුදුහු තම දෙසුම පවත්වන්නට සූදානම් වූහ. එවිට දස දහසක් සක්වළ දෙවි දේවතාවෝ දහම් අසන්නට සැරසුණු ආකාරය ද කතුවරයාගේ වර්ණනාවට හසු වෙයි. මෙහි චමත්කාරය බලන්න.
“ දස දහසක් සක්වළ දිව්‍ය නාගයෝ කඩුපුල් මල් මිටි ගෙන දිවූය. ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩා ගෙන දිවූය. ගාන්ධර්වයෝ තූර්යභාණ්ඩ ගෙන දිවූහ. අසුරයෝ පළොල් මල් ගෙන දිවූය. දෙවියෝ පරසතු මල් ආදි වූ නන් විසිතුරු සිව මල් ගෙන දිවූය. බ්‍රහ්මයෝ සේසත් ගෙන දිවූය. දස දහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරු දෙවියෝ දිවූහ.“
මෙලෙසින් දෙවියන්ගේ සූදානම කවරාකාර ද යන්න සිතා ගත හැකිය. මේ පිටු ගණනාවක් පුරා කරන වැනුමක ඇරඹුමක් පමණි. දිව්‍ය සේනාවන් පැමිණ දහම් අසන්නට අතොරක් නැතිව ම රැස් වූ බවයි. එපමණක් නොව දෙවියන්ගෙන් ලද අපමණ පූජාවන් ද මෙහිදී වැනුමට එක් කෙරේ. බුදුනට චාමර සලන දෙවියන් ජයසක් පිඹින දෙවියන් ආදිය ගැන ද තවත් අනේක පුද පූජාවන්හි යෙදෙන දෙවියන් ගැන ද මෙහි කියවේ.
දෙවියන්ගේ මෙම අසිරිමත් පූජාවන් මධ්‍යයෙහි බුදුහු දම්සක් දෙසූ අයුරු වැනුමට හසු වූයේ මෙසේය.
“ මාගේ ස්වාමි දරුවෝ ඒ මහීනාදය සමඟ තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ බුද්ධඥාන නමැති සූර්ය කාන්තියෙන් ප්‍රබෝධ වූ සුරක්ත වූ ජිව්හා ධාතු නමැති කෙමි ඇති දන්ත ධාතු නමැති කෙසරු ඇති සුරක්ත වූ ඕෂ්ඨ ධාතු නමැති පත්‍ර ඇති සද්ධර්ම නමැති මධු බිංදු ඇති ශ්‍රීමත් වූ මුඛ පද්මය විවෘත කොට බැණ නැගි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඩක් සේ කෙරෙමින් ………..“
මෙලෙසින් උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළ බව පූජාවලී හිමියෝ වර්ණනාවට ලක් කරති. සැබවින්ම ලොවට ධර්මාලෝකය ලද මෙම උතුම් අවස්ථාව උත්කර්ෂයෙන් වර්ණනා කිරීම අරුමයක් නොවනු ඇත. මෙම අවස්ථාව පසුකාලීන බොහෝ සාහිත්‍යකරුවෝ විවිධාකාරයෙන් වර්ණනාවට හසු කර ගෙන තිබෙයි.
නූතනයේදී සුනිල් සරත් පෙරේරා ලියා අමරදේවයන් ගයන මේ ගීය ද ඊට නිදසුනකි.
සනරාමර හිමි දම්සක් දෙසුවේ – ඉසිපතනේ මිගදා වන අරණේ
පස්වග මහණුන් හමුවේ – සිව්සස් දෙසුවේ
සුරඹුන් පරසතු සැලුවේ – සාධු සාධු හඬ නැඟුවේ
සසර කතර දුක් සිඳණේ- සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ – දම්සක් පැවතුම දෙසුණේ
කෙලෙස් මලින් ලොව මිදුණේ – නිවන් දොරට මං ඇරුණේ
අවිඳු අඳුර දුරු කෙරුණේ – මුනිඳු නැණින් ලොව දිලුණේ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 ඉල් පොහෝ දින බුදුසරණ පුවත්පත
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
කලාව වනාහි මිනිසා සමාධිගත කරවන ලොව බිහිවූ අපූර්ව මාධ්‍යයකි. දාර්ශනික මනසින් විඳි සෞන්දර්යයේ අපූර්වත්වය සංකේතානුසාරයෙන් අන්‍යයන්ට විඳින්නට සලස්වන්නේ කලාවයි.
තෝල්ස්තෝයිට අනුව කලාව යනු, මිනිසා විසින් සාක්ෂාත් කර ගනු ලැබූ උත්තරීතර හා විශිෂ්ටතම හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කොටගත් මානව ක්‍රියාවලියකි. තොල්ස්තෝයිගේ අදහස් විග්‍රහ කරන මහාචාර්ය ඒ.වී.සුරවීර කලාව යනු කුමක් ද? කෘතියෙහි කලාව වූ කලි එකම වේදිතයක් තුළින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් බවත් , කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් බවත් කියා සිටී.
මෙම සංක්ෂිප්ත විවරණ ඔස්සේ කලාව සහ කලාවේ කාර්යභාරය පිළිබඳ දළ සටහනක් අපට ලබාගත හැකි ය. මේ ඔස්සේ අනුරපුර යුගයේ ඉදිවූ අවුකන සම්බුදු රුව කේන්ද්‍ර කර ගත් විශිෂ්ට කලා නිර්මාණ හඳුනන්නට හා ඒවා විවරණ සපයද්දී දැනුණේ බොහෝ දෙනා තවමත් මෙම ගීතය හඳුනා ගෙන නැති බවයි.
මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලෙක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මම ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයයි කියා
අප සිතින් අතීත කලා කෘති අතරට කැන්දන මේ ගීතය කලාවේ නිමැවුම්කරුවන් සොයන්නට අපට මඟ පෙන්වයි.
උසස් ගීතයක ලක්ෂණ පිළිබඳ අදහස් දක්වන භාරතීය සුප්‍රකට සංගීතඥයකු වන ශාරංගදේව
“සුස්වරං සාරසං චෛව
සරාගං මධුරාක්ෂරම්
සාලංකාරං සප්‍රමාණං
සඩ්විධං ගීතලක්ෂණම්
යනුවෙන් මනා වූ ස්වරයත්, උසස් රසයත්, රාගයකින් බැඳීමත්, මිහිරි අක්ෂරත්, අලංකාර සහිත බවත්, ප්‍රමාණාත්මක බවත් යන සයාකාර ලක්ෂණ ගීතයක තිබිය යුතු බව කීය. මේ අනුව ගීතය යනු හුදෙකලා රස වින්දන මාධ්‍යයක් නොව මානව අධ්‍යාත්මය පෝෂණය කරන සොබාදහමේ රිද්මය හා බැඳුණකි. සුභාවිත ගීතය හැම විටෙක ම රසය චමත්කාරය සමඟ ඥාන ගවේෂණයක නියැළෙයි. ජීව ලෝකය සහ මනුෂ්‍යයා පිළිබඳ සැපයෙන එකී දැනුම නිසා යහපත් ගීතයක් විඳ අවසන් වූ විට රසිකයා උසස් අවබෝධයකින් නව ලොවකට කැඳවයි.
මේ සංකල්පනා අනුව උක්ත ගීතය අප කැඳවන්නේ අපේ අතීත කලාවන් විඳින්නට සහ එහි නිර්මාතෘන් සොයන්නට ය. අවුකන ප්‍රතිමාව වෙතට යන ඕනෑම කෙනෙකු හට දැනෙන්නේ මේ තරම් කළුගල් සියුමැලි ද යන ප්‍රශ්නයයි. කවියා ප්‍රශ්න කරන්නේ කළුගල් සියුමැලි වූවා නොව ඒ පසුබිමේ සිටි විශිෂ්ට කලාකරුවාගේ සිත සියුමැලි වූ බවයි. සිතෙහි තැන්පත් වූ බුදුගුණ ඔස්සේ රළු ගල් පවා සියුමැලි කරන්නට කලාකරුවා සමත් වූ බවයි. පැරැණි ගීයක ඇසෙන පරිදි…
“අවුකන පිළිමය වැනි දෑ නෙළුවත් දෑතේ විස්කම් පාන නියා
බුදුන් වඳින්නෝ නිවන් පතනු මිස නෙළුවේ නොසොයති කවුද කියා”
මේ ගී පදවැල් කියා දෙන්නේ කලාවේ නිර්මාතෘන් නොසෙවීම වැරැද්දක් බවයි. එහෙත් යටකී උසස් ගීතය නිර්මාතෘන් සොයන්නට අප කැඳවයි. එහෙත් අපට ඔහු පෙන්වන්නේ දහසින් බැඳි පියල්ලෙන් තුටුව සරුව වෙසෙන කලාකරුවකු නොවේ. දැවැන්ත කළුගල් සමඟ පොර බැඳි නිසා ම ශරීර වේදනා ඉවසාගත නොහැකිව කලාවැව අසල පැලක පැදුරක වැතිරී රිදුම් පිරිමදින අසරණයෙකි. මේ කලාකරුවා ඉතිහාසය පුරා අපි අසරණ කළෙමු. ඔහු වෙනුවෙන් කවරක් අප ජාතිය ඉටු කළාදැයි ප්‍රශ්න කළ නොහැකිද? එමෙන්ම භෞතික සැප පිරි මැදුරක් නො ලදත් සම්බුදු රුව නිමැවුමේ පිනින් ඔහුගේ ආධ්‍යාත්මය පොහොසත් ව පවතී. ඔහු කලාවැව දෙස බලා විඳින්නේ කවරක් ද? මැරෙන ඉපදෙන රළ පන්තියයි. මේ යෙදුම මුළු සම්බුදු දහම ම කැටි කරයි. එනම් අනිත්‍ය ධර්මයයි. ලොව කලාවේ උත්කෘෂ්ට ඵලය නම් මිනිස් සිත සමාධිගත කර ලෝකෝත්තර දැක්මක් ඇති කිරීම විය යුතු ය. බෞද්ධ සෞන්දර්යයේ පරම අරමුණ වන්නේ ද එයයි.
කලාව විඳින්නා දාර්ශනිකයකු විය යුතු ය. ඒ තරම් ම කලාව විශිෂ්ටය. කලාව නිමවන්නා විශේෂයෙන් බුදුරුව නිමවූ කලාකරුවා ඒ ගුණ සිතින් දරා කළ පින ඔහු උසස් ආධ්‍යාත්මික දියුණුවකට ළං කරයි.
අවුකන ප්‍රතිමාව නෙළූ කලාකරුවා කලාවැව ළඟ ඉලුක් හෙවනක කලාවැවේ රළ භාවනාවක් කොට වසනා බව කීම මොන තරම් අරුත්බර ද?
කලාවැවත් අවුකන ප්‍රතිමාවත් නිමවන්නට නියමුවා වූයේ ධාතුසේන රජුය. ධාතුසේන රජුගේ සිත විමසන්නට අහෝ අපට නොහැකි වීම කවර තරම් අභාග්‍යයක්ද? යෝධ කලාවැව සකසා දිය පිරවූ විට ධාතුසේන රජුගේ සතුට කෙසේ වන්නට ඇත්දැයි අපට කියන්නට උපමා නැත. ධාතුසේන රජු අන් වාරි නිමැවුම්කරුවන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කලාවැව සමඟ අවුකන ප්‍රතිමාව ද සෑදූ නිසා ය.
ආර්ථිකය සහ අධ්‍යාත්මය මිනිසාගේ සමබරව ගමන් කළ යුතු අංග බව කල්පනා කළ පාලකයකු වෙතින් රටට ලද මහා දායාදය මේ කලාවැව සහ අවුකන ප්‍රතිමාවයි. අපගේ කවියා රජීව් වසන්ත දකින්නේ ඇතැම් විට ධාතුසේන රජුගේ චරිතය ද? උතුම් රාජ්‍ය සංකල්පයක් ක්‍රියාවට නැංවූ රජකුට දරුවන් උරුම කළේ කුමක්ද? වැව් බැම්මට තබා මැටි ගසා මරා දැමීමයි. ධාතුසේනයන් මෙවැනි අවසන් ගමනකට යොමු කොට අහිංසකයකුගේ ස්වභාවයට පත් කළත් ඔහු නිමැවූ කලාවැවෙහි ජලය දිහා බලා බවුන් වඩන යෝගාවචරයකු බවට පත් වීම අනිවාර්යයෙන් විය හැකි දෙයකි.
විජය කුවේණි සලරුව කළ සුගත් සමරකෝන් කලාකරුවාට ධාතුසේන රජු සොයා යන්නටත් හැකි වේ නම් ඉතිහාසයේ තවත් කතිකාවක් අපට නිර්මාණය කරන්නට හැකි වනු ඇත.
කවියා ගීතයේ අවසන් කොටසේ දී අප කැඳවන්නේ ඉසුරුමුණි පෙම් යුවළ තැනූ විශිෂ්ට කලාකරුවා සොයා යන්නට ය. මහත් සංයමයෙන් යුතු කයින් අනූනව ආභරණ විරලභාවය නිසා වඩාත් කැපී පෙනෙන මෙම මූර්තිය කලා විචාරකයන්ගේ අතිශය ප්‍රශංසාවට පත්වූවකි.
ඕලාරික පෙම්වතුන් තම පෙම්වතියන් මරා දමන මෙවන් යුගයක අපේ අතීත කලාකරුවා ආධ්‍යාත්මික ප්‍රේමයක මහඟු පරමාදර්ශය කෙසේ විය යුතුද යන්න මෙසේ නෙළා ඇති අයුරු අවධානයට යොමු කළ යුතු ය. මෙම ගීත රචකයා සිදු කර ඇත්තේ එයයි.
ආධ්‍යාත්මික ප්‍රේමය කවරාකාර ද යන්න ගලෙහි නෙළූ මෙම කලාකරුවා සොයා යන කවියා ඔහු තවමත් තනිකඩ ලෙස වසන බව කීමෙන් නඟන උත්ප්‍රාසය කවරේදැයි විමසිය යුතු ය.
බැඳීම්වලින් නිදහස්ව ඇති බව ද? එසේ නම් ගීත රචකයා එම කලාකරුවා ද ඔසවා තබන්නේ ඉතා ඉහළ තැනකට ය. එනම් ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් කලාකරුවකුගේ තලයට නොවේ ද?
මෙසේ අනුරාධපුර යුගයේ ඓතිහාසික මෙහෙයුමකට අපව කැන්දන නූතන ගීතයක් ලෙස රජිව් වසන්ත වෙල්ගම ලියා සුනිල් එදිරිසිංහ ගයන මෙම ගීතය අපට දැක්විය හැකිය.
කලාවේ උත්කෘෂ්ට නිමැවුම් මිනිසාගේ අවබෝධයේ පරිධිය පුළුල් කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. විශේෂයෙන් අතීත කලාවේ නටබුන් පවා අපට කියා දෙන්නේ මහා දාර්ශනික සිතිවිලි සමුදායකි. මේවා සෙමෙන් විඳින්නට නොහැකි නූතන අපේ පරපුර ගමන් කරන්නේ කවර දිශාවකටදැයි අපට දුක සිතේ.
මේ රටේ විසූ විශිෂ්ට ඉතිහාසඥයෙකු හා මිනින්දෝරුවෙකු වූ ආර්.එල්. බ්‍රෝහියර් තම කෘතියක කියා ඇති ප්‍රකාශනයකින් මෙම පරිච්ඡේදය අවසන් කරමු.
සියවස් ගණනාවක් අව්වට වැස්සට මුහුණ දෙමින් තිබෙන මේ ගල් ටැම්, පිළිම, ගෘහ නිර්මාණ යනාදිය කලාව නුරුස්සනා දුෂ්ටයාට කිසිම හැඟීමක් ඇති නොකරයි. මේ පෞරාණික නටබුන් නරඹා සතුටක් ලබා ගත නොහැකි, වින්දනය අතින් නෂ්ටකාමයට පත් වී ඇති අයට දෙන්නේ එකම එක උපදේශයකි. මේ පෞරාණික පූජනීය වස්තූන් කෙළෙසන්නේ නැතිව කරුණාකර මෙහි පැමිණීමෙන් වළකින්න. (72 සිට, බ්‍රෝහියර් දුටු ලංකාව, පරිවර්තනය අභය හේවාවසම්)
2021 නොවැම්බර් 04 – දිනමිණ කටාරම අතිරේකය
උපක ආජීවික බුදුන් දකී..
පසුගිය පූජාවලී විමසුමෙන් පෙන්වා දුන්නේ බුදුන් හමුවට පැමිණි ‘තණ්හා, රතී, රගා’ යන මරදූවරුන්ගේ මාර සංග්‍රාnමය පිළිබඳවය. ඇතැම් තැනෙක මේවා බුදුන්ගේ සිතුවිලි ලෙස විග්‍රහ වෙතත් එහි වැරැදි බව පෙනෙන්නේ මේ සිදු වීම වූයේ බුදු වීමෙන් පසුව හතරවන සතියේදී වීමය. එවිට බුදු හිමියෝ තණ්හාව, රතිය, රාගය මුළුමනින්ම දුරුකර තිබුණි. එනිසා පූජාවලී කතුවරයා මෙය පුද්ගලාරෝපණයක් ලෙසින් ඉදිරිපත් කළේය. එම ඉදිරිපත් කිරීම හා වර්ණනා සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තැනෙක පවතී. මෙවර ලිපියෙන් ඔබට අවධාරණය කරන්නේ පූජාවලී ඉසිපතනාරාම පූජා කථාවෙහි එන උපක ආජීවක බුදුන් සරණ ගිය පිළිවෙළය. සැබවින්ම මෙය ඉතාම රසබර කථාවකි. ලංකාවේ බොහෝ උසස් විභාග සඳහා මෙම පරිච්ඡේදය බොහෝ වාරයක් ම නිර්දේශ වී තිබේ.
ඉසිපතනය ඍෂීන් පතිත වන බිමය. ධර්මාලෝකයෙන් නැහැවුණු බිමය. පස්වග තවුසන් ධර්මාවබෝධය ලද බිමය. සඟ සසුනේ ඇරඹුම සිදු වූ බිමය. වැලිකලමුල්ලේ වික්‍රමසිංහ නමැත්තකු ලියා පුණ්‍යා කත්‍රිආරච්චි සහ දයානන්ද කෝනාර ගායනා කරන අපූරු ගීයක් ඇතුළත මේ සියල්ල කියවෙයි.
බුදු රැස් දහරින් මුළු ලොව සතපා
සමන් බදුරු හිමි කරුණා නෙතපා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
පස්වග මහණුන් මල් පෙති අතුරා
බුදු බණ පදයෙන් ඇත සිත සපුරා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
දම්සක් සුතුරින් දහම් අමා දිය
දෙව්බඹ සපුරති සීල සමාධිය
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
නිවනෙහි දොර හැර බව දුක නැසුවා
අරි අට මග ඵල සත හට බෙදුවා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ මෙම ඉසිපතනයට බුදු හිමියන් වඩින්නේ පළමු දහම් දෙසුම සඳහාය. සාවුරුද්දක් පුරා දුෂ්කර ම කාලයෙහි තමා ළඟ වෙසෙමින් ඇප උපස්ථාන කළ පිරිස පස් වග තවුසන්ය. කළගුණ සැලකුමේ උතුම් ධර්මතාව ලොවට පසක් කරවමින් මේ පිරිස වෙනුවෙන් තම පළමු දෙසුම කරන්නට තෝරා ගත් බුදු හිමියෝ ඒ සඳහා ඇසළ පෝදා දෙසැත්තෑ ගව්වක් දුර මග ගෙවා වැඩියහ. උපක ආජීවකයන් හමු වන්නේ මේ අතරෙහිය. ඔහු බුදුන් දැක විස්මයට පත්ව මෙසේ කියන්නට වීය.
“ ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතුද? ස්ථිර වූ ගුණ ගනරන් මෙන් ගතුද? ගැඹුරු වූ ගුණ මහ මුහුදින් ගතුද? තේජෝ ගුණ හිරු මඬලින් ගතුද? සොමි ගුණ සඳ මඬලින් ගතුද?අමා පිඬක් වැනි කෙනෙකු ව. මහපින් පිඬක් වැනි කෙනෙකු ව. ……… තෙපි කවුරුද?”
එවිට බුදු හිමියන්ගේ පිළිතුර වූයේ තමන් ශක්‍රයාවත් බ්‍රහ්මයාවත් නොව ‘අනන්ත ජින’ නම් වන බවයි. එවිට ආජීවකයා බෙහෙවින් පැහැදව “එසේ නම් අනන්ත ජිනයෙනි. අද පටන් තෙපි මාගේ යහළුව“ යනාදිය කියා සිටි අතර, බුදු හිමියෝ එය පිළිගෙන ඉසිපතනාරාමයට වැඩම කළහ.
ආජීවකයා වංගහාර නම් වැදි ගමකට පිවිස උඩු කයට පමණක් පිළි හැඳ හිණෙන් පහළ නිරුවත්ව ආජීවක ස්වරූපය විදහාලන්නට ගම මධ්‍යයට වී සිටියේය. එහි වැදි ජනයන් මේ අමුතු පුද්ගලයා දැක විමසා බැලූ විට ආජීවක කියා සිටියේ,
“ගිහි මිනිසුන් සේ ලජ්ජා වසා පිළි නොහදුම්හ. අපි තපස් රක්ෂා කරම්හ. ලජ්ජාවෙන් අර්ධයක් පාලනය කරන බැවින් අර්ධපාල නම් රහතුම්හ. යි කීය.”
දියුණු නොවූ ඕනෑම සමාජයක ආගමික චෞරයන්ට වාසිදායකය. ජනයා රවටා ගැනීම පිණිස ඕනෑම නිරූපණයකට යොමු වෙයි. මොහු කෙතරම් විලිලැජ්ජා බැහැර කළේද යත් ජනයා මුළා කර ගැනීම පිණිස ඉණෙන් පහළට වස්ත්‍ර නොහදී. වස්ත්‍ර හැඳීමේ මූලික අරමුණ පවා නොදනී. වර්තමාන ඉන්දියාවේ නිගණ්ඨයන් වෙනුවෙන් තවමත් පුද පූජා තබන්නෝ වෙති.
අපේ රටේ වුව එවැන්නකු පහළ වුවහොත් වන්දනාවට යන ලක්ෂ ගණනක් වුව දැකිය හැකි වනු ඇත.
මේ අර්ධපාල රහතුන් ගැන මිනිසුන් සිතූ දේ බලන්න.
“මොහු මහා බලවත් කෙනෙක. ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූ කලී සන්තානයෙහි නැත්තාහුම යයි කියා පැහැද වඳිති. පුදති. සත්කාර කෙරෙති.”
දැන් අර්ධපාල වැදි ජනයාගේ ශාස්තෘවරයා වී ඇති සැටි පෙනෙයි. එහි වැදි මුදලි හෙවත් ගම් නායකයා විශේෂයෙන් ඇප උපස්ථාන කරයි. නිරුවත් කපටි ආජීවකයන්ට සොබා දහමින් දුන් දඬුවම වන්නේ ලේ උරා බී මරණයට පත් කරන විශාල මැසි උවදුරක් පැතිරීමය. ජීවිතය බේරා ගැනීමට නම් පොළොවේ වළක් හාරා විශාල සැළවල් වළ ලා එහි බැස පියනකින් වැස වාසය කළ යුතුය. අර්ධපාල සොබා දහම සඟවා ගත්තේ එසේය. මුදලි තම ඡාවී නම් දුව සමග දිනපතා මේ අර්ධපාල රහතුන්ට දන් දෙන්නට පැමිණේ. ඡාවීට පෙම් බඳින මෙම හොර තාපසයා ඇය නොලදොත් මියෙන බව මුදලිට පවසන්නේ නූතන බොළඳ පෙම්වතකුගේ විලාසයෙනි.
අවසන ඡාවී විවාහ කර දෙයි. එහෙත් කිසිදු කර්මාන්තයක් නොදන්නා අර්ධපාල මාමාට මෙහෙ කරයි. කත් අදී .දර අදී. දැල් අදී. පන් අදී. මස් අදී. නොබෝ කලකින් ඡාවී භද්දක නම් පුතෙකු වදයි. එම පුතු නළවන කල ඡාවී දරුවා අමතන වදන් සෝපහාසයෙන් පිරුණ වදන්ය. නොගැළපෙන විවාහයකට යන පිරිමියෙකු හට අසන්නට ලැබෙන දරුණුතම වදන්ය. බලන්න.
“මස් කත් අදින කත්පුමයාගේ පුත නොහඬව. මස් වැද්දහුගේ පුත නොහඬව. මූඪයාගේ පුත නොහඬව. කෙළතොල්ලාගේ පුත නොහඬව.”
යනාදීයෙන් අකමැත්තෙන් තමා සමඟ දීග පැමිණි අර්ධපාලට බිරිඳ ප්‍රබල ලෙස පහර දෙයි. ලජ්ජාවට පත් කරයි. නින්දාවට පත් කරයි. පෙර පාලනය කර ගත්තා යැයි වහසි බස් දෙඩූ ලජ්ජාව දැන් දරා ගත නොහැකි ලෙස වේදනාවට පත් කරයි.
අනතුරුව බුදුන් සොයා එන අර්ධපාල හොර තවුස් තෙම බුදුන් හමුවෙහි පැවිදිව විදසුන් වඩා රහත් වෙයි. එම රහත් බව හා පෙර ජනයා රැවටූ රහත් බව අතරෙහි වෙනස ඔහුට කෙලෙසක දැනෙන්නට ඇත්ද?
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 ඔක්තෝබර් 28 – දිනමිණ කටාරම අතිරේකය
තණ්හා රතී රඟා
පසුගිය පූජාවලි විමසුමෙන් ඔබට පැහැදිලි කළේ වසවර්තියා ගැනය. ඉහළම දිව ඉසුරු විඳිතැයි කියැවෙන වසවර්තියාට ඉහළින් කිසිවකුට වසන්නට ඔහු ඉඩ නොදේ. බෝසතුන් මෙලොව බිහි වූ දා සිට එම ගමන නතර කිරීමට මාන බලමින් සිටි වසවර්ති අවසන තමන්ගේ සියලුම බල පරාක්‍රමයන් බුදු වීම වැළැක්වීම සඳහා යොදා ගත් අයුරුත් පිරූ පාරමී දම් බලයෙන් වසවර්තියා පරාජය කොට බුදු වූ අයුරුත් පසුගිය ලිපියෙන් කියැවිනි.
අද ඔබට කියා දෙන්නේ පූජාවලි කතුවර බුද්ධපුත්‍ර හිමියන් මරදූවරුන්ගේ සංග්‍රාමය වර්ණනා කළ පිළිවෙළ ගැනය. පරාජිත වසවර්තියා දෙව්ලොවට ගොස් නෑයන්ගේ මුහුණ දකින්නට නොහැකිව යහනේ වැටී සිටියේ මුණින් අතටය. පසුව එහි ද සිටගත නොහී සැවැත්නුවර වීථියකට පැමිණ අසරණ යාචකයකුගේ ස්වභාවයට පත්ව සිටි අයුරු දක්වන්නේ ප්‍රබල උපහාසය ද සපිරිවය. බුදුපුත් හිමියන් මෙය සැබැවින් ම නිර්මාණයකට පෙරළා පාඨකයා ඉදිරියේ තැබූවාක් මෙනි. මෙය ඉතා රසවත්ය.
“එසමයෙහි මාරදිව්‍ය පුත්‍රයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්දා ඉවසාගත නොහී තමාගේ ඒ දිව්‍ය භවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මඟී වෙසක් ගෙන දෙපා දිගු කොටලා එක් අතක් නිකටැ දීලා කරබා හිඳ සිතනුයේ සිද්ධාර්ථ කුමාරයා මා නොකැමති කරවා ම මහබිනික්මන් කළේය. සාවුරුද්දක් වේලෙහි මට අවකාශයකුත් නොපෑවේය. දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේය. ඉතකින් මාගේ විෂය ඉක්ම ගිය…නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පියයි……. මාගේ නරකවල් අවකාශ කරවයි. සිතින් ශෝක කරනුයේ සොළොස් හිරක් මඟ අවුරා ඇඟිල්ලෙන් ඇන්දේය.“
පරාජිතයකුගේ ස්වභාවය ජවනිකාවක් සේ නිරූපණය කරලීමෙහි බුදුපුත් හිමියෝ කවර තරම් සමත්ද?
විශේෂයෙන් විටෙක කතුවරයා මනෝ විශ්ලේෂකයකු සේය. මහා බලසම්පන්නයකු ඇද දැම්මේ මාවතකටය. එපමණකුදු නොව ඔහුගේ මනස නිරූපණය කරන්නේ කවරක් කරම්දෝයි සිතා ගත නොහැකිව බිම වාඩි වී දහසක් කල්පනාවන් ඇතිව බිම ඉරි අඳින්නා වූ නූතන මනෝ ව්‍යාධියකුගේ විලාසයට ඇද දැමීමෙනි.
මෙයින් වඩාත් කැලඹෙන්නේ වසවර්තියාගේ වසවර්ති දියණියන්ය. ඔවුහු නම් තණ්හා, රතී, රගා ය.
මෙම දියණියන්ගේ නිරූපණය නූතන නිවෙසක අභියෝගයට ලක් වන පියකු වෙනුවෙන් සසල වන දරුවන්ගේ ස්වභාවය නිරූපණය කරන්නකි.
මර දියණිවරුන් පියාගේ කුටියට පිවිස එහි පියා නොමැති බව දුටු කල්හි කලබලයට පත්වන්නේ නූතන දියණියකගේ ස්වභාවය මෙනි. සෑම තැනෙකම පියා සොයන මෙම දියණියන්ට පියාණන් හමුවන්නේ සැවැත් නුවර වීථියේදීය. ඔවුන් කලබලයෙන් ම විමසන්නේ “පියාණන් වහන්ස, මේ කෙසේ වූ දුක්පත් කමෙක් ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශෝකයකින්ද?“ යනුවෙනි.
එවිට වසවර්තියාගේ ප්‍රතිචාරය කතුවරයා ඉදිරිපත් කරන්නේ ඔහුගේ අසරණකම ද මැනවින් ප්‍රකට කරවමිනි.
“ දරුවෙනි. තොප නොදනුද? මහණ භවත් ගෞතමයා දස දහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගාපීය. දැන් මාගේ සතුරා බුදුව ගියේය. මට වූ ලජ්ජා නොදනුද? මාගේ ආත්ම ආරක්ෂාවට තිබූ චක්‍රායුධය දක්වා උදුරා ගත්තේ වේදැයි කීය.“
පියාට අවමාන කළ බුදුන් කෙරෙහි වෛර බඳින දියණිවරුන් පියාට කියා සිටින්නේ තමන් වැනි තරුණ දූවරුන් සිටියදී පියා බැරි වැඩට ගියේ ඇයිද? යන්නය.
“හුන මැනව. ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පා පිටට ගෙනෙන ලෙස බලා වැඩ හුන මැනව“ යනුවෙන් වහසි කථා කියමින් පියාගෙන් වෙන්වන දියණිවරුන්ගේ සංග්‍රාමය ඇරඹුණේ ඉන් පසුවය. ඔවුන් මන්ත්‍රණය කරන්නේ මෙසේය.
“නඟිනි, පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහර කෙනෙක් බාල ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් මධ්‍යම ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන් කැමති වෙති. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ.“
යනුවෙනි.එසේ කතිකා කරගත් මර දියණිවරු සංග්‍රාමයට මර සෙනඟ රැස් කරන්නේ මෙසේය.
“දොළොස් හැවිරිදි කුඩා කෙළි රූ සියයෙක. සොළොස් හැවිරිදි ස්ත්‍රී රූ සියයෙක. එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. දෙදරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. එක දෙ නර දුටු ස්ත්‍රී රූ සියයෙක. විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙක. මවාගෙන ඔහුගේ සිල් බිඳුවෝම යයි කිය කියා නිල් වරලසින් හා නීල භෘංග යුග්මයක් සේ ඉදුමිණි නිල්වන් දිගු පුළුල් වු ඇසින් හා ……. රන්වන් හංස පැටවුන් සේ පිරුණු තන සඟලින් හා නැඹ පියුමට මුවරද ලෝලින් බස්නා භෘංගාවලියක් සේ නිල් වසාරොදින් හා රන් කෙහෙල් කඳට නිගා දුන් මටසිලුටු වූ කලවා සඟලෙන් හා විසිතුරු උතුරු සළු ලා රතියට ආකර සේ, යොබ්බනයට මඟුල් ගෙවල් සේ, ස්ත්‍රි ලීලාවෙන් බුදුන් පෙරටව සිටගෙන ……..“
මෙලෙස කතුවරයා කරන දීර්ඝ වර්ණනයකි. මේ කුඩා උපුටනයක් පමණි. බුදුන් වසඟයට ගැනීමට ඔවුන් නොකළ වෑයමක් නැත. මර දූවරුන් සංග්‍රාමය සිදු කළේ මෙසේය.
පළමුව පිවිසෙන්නේ මැහැලි වෙස් ගත් තණ්හා සමඟ දූතිකාවන්ය. ඔවුන් බුදුන් ඉදිරියේ පවසන්නේ තොපගේ රන්කඳක් වන් පස්කඳ කාමස්ත්‍රීන්ගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටක් වන බවය. මේ ආදී නොයෙක් වර්ණනාවන් විරහිනීන්ගේ කාම වර්ණනාවක් වැන්න. ඒ කිසිවක් නොඇසූ සේ සිටින බුදුන් ඉදිරියට අනෙක් අනෙක් දූතිකාවන් ද පැන නැඟී නටමින් ගයමින් රඟමින් වෙහෙස වන තුරා බුදුන්ගේ අධිෂ්ඨානය බිඳින්නට වෑයම් කළ ද නොහැකිව පලා යන්නේ මහත් වූ ලජ්ජාවෙනි.
බුදු හිමියන් මෙම අවස්ථාවට මුහුණ දුන් පිළිවෙළ කතුවරයා දක්වන්නේ “මාගේ ස්වාමිදරුවාණන් ඒ දිව්‍ය ස්ත්‍රීන්ගේ භාව භාව ලීලා ජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ වෙස් බැඳ පානා විකාර සේ සිතා අශුභ ලකුණු උපදවා මෛත්‍රින් පින පිනා මහමෙර සේ නිශ්චලව වැඩ හුන් සේක්මය. “ යනුවෙනි.
මෙම මාර පරාජය අගනා නූතන නිර්මාණයක් බවට පත් කොට ගයන්නේ මදුමාධව අරවින්දය.
ලඹ සවන් රන් පටින් – දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවමින් – පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් – තුණු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත මඬින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බලෙන්
දැහැමින් බෝපත් අතරේ ගැලු අමා ගඟින්
පවසින් දහමේ ගිලුණේ දම් අමා රසින්
කැණි මඬල පලාලා සුනු විසුනු කළා මැදුරක්
යළි මැඳුර තනාලා වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී නද දුන්නු රාජ නිරිඳෙක්
දැහැමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ
දස දහසක් සක්වල තල එකම්පිත වෙමින්
දස දහසක් ලෝ ධාතුව වගුරුවා හැලී
දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපා මුල පිදී.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com