ශ්‍රී බෝධිරාජාරාමය
ශ්‍රී බෝධිරාජාරාමයට දීර්ඝ ඉතිහාසයක් නොමැති වුව ද එම ස්ථානය ගොඩනැගී ඇත්තේ ඓතිහාසික බෝධීන් වහන්සේ කේන්ද්‍ර කොට ගෙන ය. විහාරස්ථාන භූමිය වසා පැතිරුණ සොබා දහමේ මනරම් නිර්මාණයක් වන මෙම බෝධිරාජයන් වහන්සේ බැතිබර ජනතාවගේ චිත්තාපේක්ෂා ඉටු කරදීමේ අනුහස් ඇති ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් ව තිබෙයි. එබැවින් ගම්වාසීන් තමන්ගේ දුක් දොම්නසේ දී මෙන් ම සොම්නසේ දී ද බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට හුරුපුරුදු වීම අතීතයේ සිට ම සිදු ව තිබෙයි. ඔවුන්ට බෝධිරාජයන් වෙතින් ලද මෙම මානසික සහනය හේතුවෙන් පසුකාලීනව මෙහි විහාරස්ථානයක් බිහි වන්නට හේතු වී තිබෙයි. ආරම්භයේ ඉතා කුඩාවට ඇරඹි මෙම විහාරස්ථානය වර්තමානයේ ප්‍රදේශයේ සියලු ආගමික සමාජයීය කටයුතු සිදු කෙරෙන ආගමික කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබෙයි.
බෝධීන් වහන්සේ වෙතට පැමිණෙන බැතිමතුනට පහසුවෙන් තම වැඳුම් පිදුම් සිදු කර ගැනීමට අලංකාර බෝධිඝරයක් ඉදි ව තිබෙයි. දර්ශනීය සමාධි බුදු රුව සහිත බුදු මැඳුර ද, චෛත්‍යරාජයාණන් වහන්සේ ද විහාරස්ථානය අංග සම්පූර්ණ තත්ත්වයට පත් කරයි. විහාරස්ථානයේ වැඩ වසන මහා සංඝරත්නයට පහසුවෙන් භික්ෂු ප්‍රතිපදාව රැක ගැනීම සඳහා අවශ්‍ය ආවාස පහසුකම් , පුස්තකාල , ධර්මශාලා සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිවීම ලුනාව ගම්මානයට ලද අනගි දායාදයක් වැන්න. රුපියල් මිලියන පහළොවක් මේ සඳහා ධනය වැය වූ අතර වර්ෂ දෙකක් තුළ මෙය ඉදිකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු සියල්ල සිදු කෙරුණේ සාමය හා දයාව සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අධ්‍යක්ෂිකා ජර්මන් ජාතික උර්සුලා බයර් මහත්මියගේ මෙහෙයවීමෙනි. වසර විසි දෙකක් තිස්සේ ශ්‍රී ලංකාවේ දුගී ගම්මාන නඟා සිටුවීමට ද , දුප්පත් පාසැල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කරමින් අධ්‍යාපනයට අත දෙමින් ද උර්සුලා මහත්මිය ලංකාවේ ඉටු කෙරෙන සමාජ සේවයෙහි විශිෂ්ට අවස්ථාවක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදිකර දීම දැක්විය හැකියි. බුදු දහමේ එන කරුණාව හා දයාව දර්ශනයක් ලෙස පෝෂණය කොට තමාගේ දර්ශනය බවට පත් කර ගනිමින් මෙතුමිය, “සුදු අම්මා” නමින් රට පුරා දුගී ජනයා හඳුනාගෙන තිබෙයි. ජර්මනිය ඇතුළු විවිධ රටවල වෙසෙන පරිත්‍යාගශීලීන්ගේ ආධාර මුදල් යොදවා ලුනාව ශ්‍රී බෝධිරාජාරාමයේ ඉදි කළ මෙම ධර්ම මන්දිරය තුළ සමාජ කටයුතු රාශියක් ම මේ වන විට ආරම්භ ව තිබෙයි.
ශ්‍රී සුමංගල දහම් පාසල වසර කිහිපයක් තුළ ශිෂ්‍යයන් තුන්සීය ඉක්මවා ගිය ගුරුවරුන් විසිපස් දෙනෙකුගෙන් යුතු ව ප්‍රදේශයේ බාල පරම්පරාව සංස්කෘතික දරුවන් බවට පත් කරලීමේ වැදගත් කාර්යය විහාරස්ථානය කේන්ද්‍ර කොට සිදු වෙයි. ගල්කිස්ස ටෙම්ප්ලර් පාරේ පිහිටි ඒ.බී. මවුරි සමාගම දහම් පාසලේ දරුවන්ට දිවා ආහාරය පිරිනැමීම ආරම්භයේ සිට ම සිදු කෙරෙන බව ද මේ මොහොතේ පිං දීමෙන් සිහිපත් කළ යුතු ය. එමෙන්ම 2008 වසරේ ඇරඹි “බෝ සෙවන” පෙර පාසල ගම්වැසි දරුවන්ට බෞද්ධ ආගමික පරිසරයක හැඩ ගැසෙන්නට මඟ පෙන්වන වැදගත් මෙහෙවරක් ඉටු කරයි. සේව් ද චිල්රන් ආයතනය මේ සඳහා රුපියල් ලක්ෂ තුනක දැව සම්පත් හා අවශ්‍ය මූලික සම්පත් සියල්ල සපයා දී තිබෙයි. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කොටපොළ අමරකිත්ති, අක්මීමන දයාරතන හිමිවරුන්ගේ විමධ්‍යගත අරමුදල් මත දහම් පාසලට අවශ්‍ය සියලු ඩෙස් පුටු සපයා තිබීම ද සිහිපත් කළ යුතු ය. අලංකාර ලුනාව කලපුව සමීපයෙහි මහා සමුදුර පේනතෙක් මානයෙහි පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාමය ඔස්සේ වර්තමානයේ මුළු ගම්මානයම පිබිදී තිබෙයි. දුප්පත්, පොහොසත් කිසිදු බේදයකින් තොරව ජනතාවගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කෙරෙන විහාරස්ථානය ලුනාව කලපුවට එක් කර ඇත්තේ ද අලුත් චමත්කාරයකි. ඉතා කෙටි කාලයක් තුළ මෙම විහාරස්ථානය මෙලෙස සංවර්ධනය කරලීම පිණිස ප්‍රධාන නායකත්වය සම්පාදනය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනය අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ය. තරුණ යතිවරයෙකු වශයෙන් ප්රබුද්ධ සමාජයේ හැම දෙනාගේ ගෞරවාදරයට ලක්ව ඇති අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ජනතාවගේ සිත් නිවන ධර්ම දේශකයෙකු වශයෙන් බුදු දහමට ඉටු කරන්නේ විපුල මෙහෙවරකි. මේ හැර අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය ක්‍රියාත්මක කරවන වෘත්තීය පාඨමාලා ප්‍රදේශවාසි විරැකියාවෙන් යුතු තරුණියන්ට විශාල අතදීමක් කර තිබෙයි. සණස සංවිධානය , සමෘද්ධි සංවිධානය හා තවත් විවිධ තරුණ ,ළමා සංවිධාන ද ආරම්භ වී ඇති අතර , ගම්මානයෙහි විශාල සමාජ, සංස්කෘතික පෙරළියක සමාරම්භය මේ ඔස්සේ සිදුව තිබෙයි. බෞද්ධ ජනයා පමණක් නොව අනෙකුත් ආගමිකයන්ට ද මෙම ප්රතිලාභ ලබා ගන්නට අවස්ථාව සලසා තිබීම විශේෂයෙන් වැදගත් කරුණක් වෙයි. අලංකාර ලුනාව කලපුව සමීපයෙහි මහා සමුදුර පේනතෙක් මානයෙහි පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාමය ඔස්සේ වර්තමානයේ මුළු ගම්මානයම පිබිදී තිබෙයි. දුප්පත්, පොහොසත් කිසිදු බේදයකින් තොරව ජනතාවගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කෙරෙන විහාරස්ථානය ලුනාව කලපුවට එක් කර ඇත්තේ ද අලුත් චමත්කාරයකි. ඉතා කෙටි කාලයක් තුළ මෙම විහාරස්ථානය මෙලෙස සංවර්ධනය කරලීම පිණිස ප්‍රධාන නායකත්වය සම්පාදනය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනය අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ය. තරුණ යතිවරයෙකු වශයෙන් ප්රබුද්ධ සමාජයේ හැම දෙනාගේ ගෞරවාදරයට ලක්ව ඇති අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ජනතාවගේ සිත් නිවන ධර්ම දේශකයෙකු වශයෙන් බුදු දහමට ඉටු කරන්නේ විපුල මෙහෙවරකි.
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com
