නොවැම්බර් 12, 2020 – අද දිනමිණ
සිංහල සාහිත්‍යයේ බුදුගුණ වර්ණනා අතර ජනප්‍රියතම ග්‍රන්ථය පූජාවලියයි. අමාවතුර, බුත්සරණ වැනි සෙසු සම්භාව්‍ය ග්‍රන්ථ එක් එක් පාඨක පිරිස් අතර විෂයය වන කල පූජාවලිය බණ කතා සාහිත්‍යයේ ජාතක පොතට පමණක් දෙවැනි වන්නේ එබැවිනි. සාමාන්‍ය පොදු ජනතාවට මෙන්ම වියතුන්ට ද එක සේ ගැළපෙන ලෙස රචිත පූජාවලිය, පාඨකයාගේ ශ්‍රද්ධාව දියුණු කරන, සාහිත්‍යකාමීන්ගේ රසඥතාව පෘථුල කෙරෙන මෙන්ම, සමාජ තොරතුරු ද ඇතුළත් ඓතිහාසික ග්‍රන්ථයක් ලෙස ද අගය කළ හැකිය. මීට පනස් වසරකට පමණ පෙර මෙරට සෑම විහාරස්ථානයකම පෝදා බණ මඩුවෙහි පූජාවලිය කියවනු දැකිය හැකි විය.
වියපත් උපාසිකාවක ශබ්ද නඟා කියවනු ඇසීමෙන් සෙසු ශ්‍රාවක පිරිස් එහි ඇති ධර්ම කරුණු අවබෝධයෙන් ශ්‍රද්ධාව දියුණු කොට, ජීවිතය ගොඩනඟාගන්නට උත්සුක වූහ. එහෙත්, නූතනය වන විට මෙවන් උසස් කෘතියක් පිළිබඳ අවබෝධය සමාජයෙන් බැහැරව ඇති බැවින්, මේ පිළිබඳ විවරණයක් සාහිත්‍යකාමි පාඨකයා වෙත රැගෙන එන්නට අපේක්ෂා කළෙමු.පූජාවලිය රචනා වන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය. මේ කාලය උදා වන්නේ මාඝගේ තිස් තුන් වසක බිහිසුණු පාලන කාල පරිච්ඡේදයකින් පසුවය. සොළී සේනා විසින් රට තුළ ඇති කර තිබූ ක්‍රෑර පාලනය, සමාජය අවුලෙන් අවුලට ඇද දැම්මේය.
මේ පිළිබඳ පූජාවලිය කෘතියෙහිම මෙසේ දැක්වෙයි:’මාඝරාජ නම් කලිඟු රජු, සූවිසි දහසක් මලල සෙනඟ ගෙන ලක්දිව බැස කඳවුරු නුවර ගෙන පාඬි රජහු ඇස් උදුරුවා ලෝක ශාසනය නසා රුවන්මැලි මහ සෑය බිඳුවා සෙසුත් දහස් ගණන් දාගබ් බිඳුවා නොයෙක් ශ්‍රද්ධාවන්ත රජුන්ගේ චෛත්‍යය නමැති කීර්ති ශරීරවල කොත් නමැති වොටුණු හා රුවන් නමැති හෘදයමාංස ගෙන ධාතු නමැති ජීවිත අන්තර්ධාන කරවා ලක්දිව කුල ස්ත්‍රීන්ගේ ජාති සම්භේද කොට සිරිලක මිථ්‍යාදෘෂ්ටි ගන්වා ලංකාදීපය ගිනිගත් ගෙයක් සේ කරවා…’මෙවැනි පසුබිමක උදා වන දඹදෙණි යුගය, මානව ධර්ම මුළුමනින්ම ගිලිහී ගිය යුගයකි. රාජධානිය ගොඩනඟාගත් තුන්වැනි විජයබාහුට සහ දෙවන පරාක්‍රමබාහුට ද මුහුණ දීමට සිදු වන්නේ, පිරිහී ගිය මේ මිනිසුන්ගේ මනුෂ්‍ය ධර්ම නැවත ගොඩනංවාලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටයි. රට සමෘද්ධිමත් කිරීම හැරුණු විට, රටේ විවිධ සාහිතය ව්‍යාපාර ආරම්භ කිරීමත්, පලාබත්ගල ඇතුළු අධ්‍යාපන ආයතන ශක්තිමත් කිරීමත් මේ යුගයෙහි සිදු විය. අලුතින් සාහිත්‍ය ව්‍යාපාර ඇරඹෙන අතර, සංඝරක්ෂිත, මේධංකර, අනවමදර්ශී, ධර්මකීර්ති වේදේහ, බුද්ධපුත්‍ර සහ ධර්මසේන වැනි මහ යතිවරු රාශියක් මෙකල පහළ වූහ. මේ බහුශ්‍රැත උගතුන් සියලු දෙනාට පැවරුණු ප්‍රධාන වගකීම වූයේ, යුද්ධයෙන් බිඳවැටුණු මිනිස්කම් නැවත ගොඩනඟන්නට තම සාහිත්‍ය කාර්යය මෙහෙවරේ යෙදමයි.
මේ නිසා මේ යුගයේ සාහිත්‍යයෙහි විශේෂ ලක්ෂණය වන්නේ, බණ කතා ඇසීමේ පොදු ජන රුචිය උදෙසා, විශාල ප්‍රමාණයේ සිංහල බණ පොත් රචනා වීමයි. ජාතක කතා, අටුවා කතා, බුදු සිරිත මෙන්ම බුදු ගුණ ඉතා ජනප්‍රිය මාධ්‍ය බවට පත් වන්නේ ඒ නිසා විය හැකිය. කියන දේ හැකි තාක් විස්තර කොට දැක්වීම මේ යුගයේ බණපොත්හි කැපීපෙනෙන ලක්ෂණය බවට පත් විය. පූජාවලියෙන් පෙනෙන්නේ ඒ ලක්ෂණයයි.මයූරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර නම් මහා යතිවරයකු විසින් රචිත පූජාවලිය, බුදුන්ගේ ‘අරහං’ ගුණය මූලාශ්‍රය කරගනිමින් සම්පාදිත පූජා වැලකි. විශේෂයෙන්, බුදුබව පතන්නා වූ උතුමකු සසරෙහිදී ලබන පූජා වැල විවරණය කිරී මෙහි අභිප්‍රේතාර්ථ අරමුණයි. ‘නිසි වූයෙන් පුදට – අරහ යන නම යෙදෙයි මුනිඳුට’ යනුවෙන් බුදුගුණාලංකාරයෙහි දැක්වෙන්නේ ද එයමයි. බුදුන්ගේ පූජා කථා විවරණය කිරීමේ අරමුණෙන් රචිත වුව ද, පූජාවලී නම් ධර්ම ව්‍යාඛ්‍යාන කථාව ලෙසින් ද කිහිප තැනෙක මෙය හඳුන්වා තිබෙයි. එයින් පෙනෙන්නේ, එකල සමාජ අවශ්‍යතාවමයි. එනම්, දහම නොදත් දහමින් ඈත්වූ සමාජයකට දහම කැඳවන්නට දැරූ උත්සාහයයි.මේ කෘතිය ලියවෙන්නේ ලංකා රාජාවලියෙහි විශිෂ්ටතම පාලකයා ලෙස වුව ද හැඳින්විය හැකි දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු සමයේ දේවප්‍රතිරාජ නම් ඇමැතිවරයාගේ ආරාධනාව පරිදිය. ආරාධනාව සිදු කෙරෙන්නේ, මයූරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ටය. මෙකල උන් වහන්සේ ඉතා ප්‍රබල ධර්මධරයකු ලෙස වැජඹෙන්න ඇත. පූජාවලිය ලිවීමේ ප්‍රධාන අරමුණ, ‘අරහං’ බුදු ගුණය විවරණය කෙරෙන ධර්ම ව්‍යාඛ්‍යානයක් සිදු කිරීම වුව, ඊටත් වඩා ප්‍රබල බාහිර අරමුණක් ද වූ බව පෙනේ. එනම්, දෙවන පරාක්‍රමබාහු රජතුමාට බුදුබව ප්‍රාර්ථනා කිරීමෙහිලා පෙලඹවීමක් ඇති කරන්නට සුදුසු බණක් දේශනා කරන ලෙස කරන ලද ආරාධනයයි.මේ රජතුමා, විශුද්ධිමාර්ග සන්නය වැනි ප්‍රබල ධර්ම ග්‍රන්ථයක් රචනා කළ ද, දරුවන් කෙරෙහි ඇති බලවත් ප්‍රේමය නිසා බුදුබව ප්‍රාර්ථනා කිරීමේ උදාසීනව වසනු දැක, රජුට මහත් සේ හිතවත් ඇමැතිවරයා මෙවැනි ආරාධනාවක් කළ බව කෘතියෙහි දැක්වෙයි. ඇමැතිවරයා රජු කෙරෙහි ඇති අතිශය හිතෛශි බවත්, බුදුපුත් හිමියන් තුළ පැවති ධර්මධරත්වයත් මෙයින් පෙනේ. ආරාධනාව පිළිගත් බුදුපුත් හිමි, මේ අරමුණ ද, තවත් අරමුණු රාශියක් ද පෙරදැරිව පූජාවලිය කළ බව පෙනෙයි. විශේෂයෙන් පැරණි ගත්කතුවරයන් ධර්ම ග්‍රන්ථ කරලීමෙන් ඉටු කරගත හැකි අරමුණු රාශියක් ද සිත්හි තබා, මෙවන් ග්‍රන්ථ කළ බව ද කෘතියෙහි දැක්වෙයි.රාජ නීති, ලෝක නීති, ධර්ම නීති, ලෝක ව්‍යවහාර, ධර්ම ව්‍යවහාර, දේශ ව්‍යවහාර, මෙලෝ – පරලෝ දැන ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහි යෙදීමට රජුන්ට, මහේෂිකාවන්ට, මැති-ඇමැතීන්ට මෙන්ම, රටවැසියන්ට ද වැදගත් වන ලෙස පූජාවලිය ලියන බව, කතුවරයා ආරම්භයෙහිම දක්වා තිබෙයි. අවසන මේ බණ ඇසූ දෙවන පරාක්‍රමබාහු රජු මහත් සේ සතුටුව, සැණකෙළි පවත්වා, මුළු රාජ්‍යයෙන්ම මේ කෘතිය පුදා උපහාර කළ බව ද පැවසේ.
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


