pujawali
දෙසැම්බර් 24, 2020 – දිනමිණ කටාරම අතිරේකය 
 
භික්ෂූත්වයේ පූජනීයත්වය හෙවත් පැවිදි දිවියේ අට මහා සුව
 
අප පසුගිය ලිපියෙන් ඔබට ඉදිරිපත් කළේ ගිහි ඇඳුමේ පලිරෝධ සහ සිවුරේ අනුසස් පිළිබඳවය. මෙවර පූජාවලී විමසුම වෙන් වන්නේ පැවිදි දිවියක් ගෙවන්නකු ලබන අට මහා සුවයක් පිළිබඳ විග්‍රහ කරලීමටය.
 
ධම්මපදයේ භික්ඛු වග්ගයෙහි දැක්වෙන පරිදි ශාන්ත වූ කයත් ශාන්ත වූ සිතත් ශාන්ත වූ වදනත් ඇති ලෝකාමිෂයෙන් මිදුණා වූ භික්ෂුව උපශාන්තයෙකැයි කියවේ. බෞද්ධ ප්‍රවෘජ්‍යාව යනු කිසි විටෙකත් ගිහි දිවියට බියෙන් පලා යාමක් නොවේ. මජ්ඣිම නිකායේ රට්ඨපාල සූත්‍රයට අනුව ලෝකය අස්ථිර බව දැන අතෘප්තිකර බව දැන තෘෂ්ණාවේ දාස බවින් මිදීම අවශ්‍ය බව දැන පැවිද්ද ලබන බව සඳහන්ය. බුද්ධ කාලයෙහි මේ පැවිද්දට පැමිණි අය පිරිහුණු මිනිසුන් නොව උසස් කුල පුත්‍රයෝය. යස කුල පුතුගෙන් හා ඔහුගේ යහළු කුමාරවරුන්ගෙන් ඒ බව පෙනෙයි. ලාභ, ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා බුදු සමයෙහි පැවිද්දකු අපේක්ෂා නොකරයි. වර්තමාන ඇතැම් භික්ෂූන් මේ බව නොදැන බහුභාණ්ඩික වී කීර්ති ප්‍රශංසා ලුහු බඳී.
 
පුහු නායක ධුර තාන්න මාන්න ගෞරව නාම ලුහුබඳී. එහෙත් සංයුක්ත නිකායෙහි දැක්වෙන්නේ, මහණෙනි, ලාභ සත්කාරාදිය සිවිය කා ගෙන යයි. සිඳියි, සිවිය සිඳ සම කා ගෙන යයි. සිඳියි, සම සිඳ මස් කා ගෙන යයි. සිඳියි, මස් සිඳ නහර කා ගෙන යයි. සිඳියි, නහර සිඳ ඇට කා ගෙන යයි. සිඳියි, ඇට සිඳ ඇට මිදුළුත් කා ගෙන යයි. මහණෙනි, එබැවින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. නපුරුයි, භයානකයි, මේ නිසා භික්ෂුව සරල අල්පේච්ඡ දිවියක් ගත කළ යුතුය යන්න දේශනාව වෙයි.
 
මහාචාර්ය වල්පොල රාහුල හිමියන් භික්ෂුවගේ උරුමය සොයා යමින් මේ අල්පේච්ඡ භික්ෂුව ශ්‍රී ලාංකේය වර්ධනයේදී ආර්ථික සමාජ දේශපාලනික මැදහත්වීම්වලට ලක්ව විකාශනය වූ අයුරු පෙන්වා දෙයි. මානව විද්‍යාඥයකු ලෙස දැක්විය හැකි මාර්ටින් වික්‍රමසිංහ වෙනස් වන අපේ උරුමය හා භික්ෂුන් වහන්සේ පිළිබඳ ලියූ ලේඛනවල ලාංකේය භික්ෂුව පිළිබඳව දක්වන්නේ මිනිසුනට භාෂා ශාස්ත්‍ර ඉගැන්වූ, ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ලියූ චිත්‍ර ප්‍රතිමාකාරයන් හික්ම වූ රජුන්ට ද අනුශාසනා කළ පිරිසක් ලෙසිනි. වෙනස් වන ලොවෙහි භික්ෂුත්වයෙහි වෙනස් වීම ද පරිණාම ධර්මයේ ම කොටසක් ලෙස එතුමා දකී.
 
කෙසේ වතුදු භික්ෂුව පිළිබඳ මේ විවරණ පූජාවලිය ලියැවුණු දඹදෙණි සමාජය ඇසුරෙහි සාකච්ඡා කිරීම වැදගත්ය. විශේෂයෙන් මේ යුගයේ භික්ෂූන් වෙනුවෙන් සැකසුණු විශේෂ ලේඛනයක් වන දඹදෙණි කතිකාවත විමසීමෙන් පෙනෙන්නේ භික්ෂුවගේ පිරිහීමය. කොටින්ම භික්ෂුව යකැදුරෙකුගේ තත්වයට පත්ව විවිධ ජීවිකාවන්ට පවා යොමුවූ අයුරු මෙහි පෙනේ. ඒ අනුව පූජාවලී ලියූ බුදුපුත් තෙරණුවන් ආමන්ත්‍රණය කරන්නේ එවැනි පිරිහුණු භික්ෂු සමාජයකට බව පැහැදිලිය. කසාවතෙහි ආශ්චර්ය පහදන කතුවරයා පැවිදි දිවියක අනුසස් කවරේද යන්න ද පැහැදිලි කරන්නේ යහපත් භික්ෂු පරපුරක අපේක්ෂාවද ඇතිවය. උන්වහන්සේ පැවිදි වූවන් ලබන්නා වූ අට මහා සුවයන් මෙසේ දක්වති.
 
වස්තු කාම ක්ලේශ කාම නමැති බන්ධනයෙන් ගැලවීම පළමුවන සුව විඳීමය. නිරවද්‍ය වූ පිඬුසිඟා වැලඳීම දෙවන සුව විඳීමය. උපන් පසයම වැලඳීම තුන්වන සුව විඳීමය. දඩමුඩ ඉස්රන් මස්රන් එළවා ඇවිදිනා රාජ පුරුෂයන්ගෙන් පීඩා නොවිඳීම සතරවන සුව විඳීමය. කෙත්වත් ගව මහිෂාදී ගෘහෝපකරණයෙහි කල්පනා නොකිරීම පස්වන සුව විඳීමය. සොරුන් කෙරෙහි සැක නොකිරීම සවන සුව විඳීමය. රජ යුව රජ මහ ඇමතියන් දුටු කළ භය නැතිව හුනස්නෙන් නොනැගී හිඳීම සත් වන සුව විඳීමය. ගිය යම් දෙසෙක භය නැතිව සිත් සේ ඇවිදීම අටවන සුව විඳීමය.
 
සැබවින්ම කසාවත පෙරවූ උතුමෙකුගේ අභිමානය කවර තරම්ද යන්න බුදුපුත් හිමියන් පෙන්වා දෙන්නේ භික්ෂුව ගෞරවනීය චරිතයක් විය යුතුය යන්න අවධාරණය කරමිනි. කසාවත පෙරවූ කෙනෙකු හට වස්තු රැස් කිරීමේ ආශාවක් හෝ වුවමනාවක් ද නැත. උන්වහන්සේලා විහාරස්ථාන ගොඩ නගන්නට වෙහෙසෙන්නේ ඒවා ශාසනික අවශ්‍යතා සඳහා සහ ජනතාවගේ පරිහරණයට විනා තමාගේ පවුලේ කෙනෙකුට උරුම කරලීම සඳහා නොවේ. ඒවායෙහි නොඇලීමෙන් බොහෝ ක්ලේශයන්ගෙන් ද මිදිය හැකිය. උපයා ගෙන වැළඳීමක් ශාසනයෙහි නැත. පාත්‍රය ලොව ඇති තාක් භික්ෂුව නිරාහාර නොවේ. වත්මනෙහි දායකයා ආදරෙන් දාන මානාදියෙන් පෝෂණය කරනා බැවින් පිඬු සිඟීමක් ලංකාවෙහි නොකළ ද වෙනත් ථෙරවාද රටවල තවමත් පිණ්ඩපාතයෙන් යැපේ. එය නිදහස් අහරකි. ලද දේ වළඳන්නට සිදු වීමෙන් ආශාව නොවැඩේ. ආහාර පමණක් නොව සිවුපසයම ලැබෙන දෙයක් විනා උපයන දෙයක් නොවේ. දඩ හෝ අය බදු ගෙවීමාදියක් ද භික්ෂුවට නැත. ඒ නිසාම රජුන්ට හෝ රාජ පුරුෂයන්ට ද බියක් නැත. කෙත්වතු නඩත්තුව හෝ ගවයන් රැක බලා ගැනීම ආදි කාර්යයන්ගෙන් ද කිසිදු වදයක් නැත. සොරෙකැයි කිසිදා සැකයට ලක් වන්නේ ද නැත. එනිසාම ගිය ගිය තැන පිළිගැනේ. විශේෂයෙන් රජු ඉදිරියේ ද හුනස්නෙන් නොනැගිටින බැවින් මහත් ගෞරවයකින් යුතුව ජීවත් විය හැකියි. කවර පෙදෙසක ගියද ගසක් මුල හෝ සොහොන් බිමක හෝ බිය සැකෙන් තොරව සිත් සේ විසිය හැකිය.
 
මේ අනුව මේ තරම් නිදහස් සරල පූජනීය දිවි පෙවෙතක් භික්ෂුවකට හැර මේ තුන් ලොව අන් කවරෙකුටවත් නොමැත. සැබවින් ම බැඳීම්වලින් තොරව සතුටින් ජීවත් විය හැකි වෙනත් ජීවන ක්‍රමයක් භික්ෂුත්වය තරම් අන් කවරක්වත් නොමැත. දිවියෙන් සමු ගන්නා විටදී ද හඬන්නට වැලපෙන්නට කිසිවකු නොමැති මේ භික්ෂු දිවිය ලොව උතුම් ම සමාජ හිතවාදියෙකුගේ පරමාදර්ශය ප්‍රකට කරවයි.
 
පූජාවලී හිමියන් මේ අපූරු විග්‍රහය තම කෘතියට එකතු කරමින් කළේ එදා අවමානයට ලක් කරගත් භික්ෂු දිවියේ පූජනීත්වය පෙන්වා දීමටයි. මේ දැක්ම හුදෙක් දඹදෙණි යුගයට පමණක් නොව වර්තමානයට ද ගැළපෙයි. භික්ෂුත්වයේ පූජනීයත්වය අමතක කළ ඇතැම් භික්ෂූහු පූජාවලියෙහි මේ විග්‍රහය කියවත්වා.
 
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound