2021.04.08 දිනමිණ – කටාරම අතිරේකය
වංගගිරියෙ යන්න
පසුගිය ලිපියෙන් අප ඉදිරිපත් කළේ සමථකරණය පිළිබඳවය. ලොව මුල්ම සමථකරු මහ බෝසත් මහෞෂධ පඬිතුමන් බව පූජාවලියෙහි දැක්වෙන ‘උමංදාව’ උපුටා ගනිමින් පැහැදිලි කළෙමු. මෙවර ලිපියෙන් ඔබට අවධාරණය කරන්නේ වංගගිරිය පිළිබඳ පූජාවලී විමසුමයි. සිංහල ජන දිවියට වංගගිරිය සම්බන්ධවන්නේ ජන කියමන් ආශ්‍රයෙනි.
ඉතා දුෂ්කර මාර්ගයක් හඳුන්වන්නට ගැමියෝ වංගගිරියක ගියා වගෙයි යන්න භාවිත කළහ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වන බොහෝ දෙනෙක් අතරමං වී ආපසු පිටවන්නට දොරටුවක් සොයා ගන්නේ මහත් අපහසුවෙනි. එබැවින් ශිෂ්‍යයන් මෙය හඳුන්වන්නේ ද වංගගිරිය ලෙසිනි. වංගගිරිය ගීත සාහිත්‍යයට එකතු කළේ රත්න ශ්‍රී විජේසිංහය. 1985 දී ලියූ ‘වස්සානේ’ කාව්‍ය සංග්‍රහයෙහි එන පහත ගී පදවැල් ධ්වනිත කරන්නේ වංගගිරියේ බිහිසුණු ස්වභාවයයි.
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ…//
කවියාට අනුව වංගගිරිය විෂඝෝර සර්ප විමානයකි. වංගගිරියේ බිහිසුණු බව වඩාත් විසිතුරුව කීවේ බුත්සරණ රචනා කළ විද්‍යාචක්‍රවර්තීන්ය. ඔහුට අනුව ‘‘ඒ හිමාලයෙහි දාර පිඹුරෝය, යන සත් කෙනෙක් තමන් දරණින් යොදුන් දෙයොදුන් වල් පට වටා ගෙන තමන් මුඛයට පත් සිංහයන් ද, ව්‍යාඝ්‍රයන් ද, ඇතුන් ද අල්ලාගෙන ගැලපීයති. සොඳුර, ඒ වල ගල්පිට හිඳ සිංහනාද කරන සිංහයන්ගේ හඬින් කන් පැළී යන්නාක් වැන්න. ව්‍යාඝ්‍රයන්ගේ හඬින් කන් පැළී යන්නාක් වැන්න. ඇට දක්වා විද ලේ බොන මදුරුවෝ ද ඉතා බෙහෙව.“
රත්න ශ්‍රී ‘වස්සානේ ගීතය’ සඳහා වස්තු කර ගන්නේ බුත්සරණ උක්ත ප්‍රකාශනයයි. මේ අනුව වංගගිරිය සිතට ගෙනෙන්නේ රමණීය වටපිටාවක් නොවේ.
එහෙත් පූජාවලී කතුවරයා මවන්නේ මෙවැනි බිහිසුණු වංගගිරියක් නොවේ. එය මුළුමනින්ම සොබා දහමේ චමත්කාරය රැඳී සොඳුරු වන පෙතකි. මෙම වන පෙත අප හමුවට ගෙනෙන්නේ අපූරු කතන්දරයක විලාසයෙනි. වෙසතුරු රජු ජාලිය ක්‍රිෂ්ණජිනා සහ මන්ද්‍රී දේවිය ද සමඟ වංගගිරියට ගිය පසු මෙහෙකාරකමට දරුවන් ඉල්වා ගන්නට වෙසතුරු බෝසතුන් සොයා යන්නේ ජූජක නම් බමුණාය.
ජූජක බමුණාට එසේ යාමට අණ කරන්නේ අමිත්තතාපා නම් බැමිණියයි. මෙය පවුල් දිවියේ අවුලක ප්‍රතිඵලයකි. නොගැළපෙන විවාහයක ඉපැරණි ඛේදවාචකයකි.
මෙය පූජාවලී කතාකරුවා විවරණය නොකරතත් රසවත්ව කීවේ විද්‍යා චක්‍රවර්තීන්ය. ඒ බුත්සරණෙහිය. තරුණ අමිත්තතාපා මහලු ජූජකට දෙමාපියන් විවාහ කර දෙන්නේ ගෙවා ගත නොහැකි ණයකට හුවමාරු කරමිනි. මෙයට ඊර්ෂ්‍යා කරන්නේ අහළ පහළ ගැමි ගැහැනුය. ඔවුන්ගේ බස් අසා සිත් ප්‍රකෝප කර ගත් අමිත්තතාපා මහලු සැමියා ගෙදරින් පලවා හරින්නට ගත් උපක්‍රමයකි මෙය. මෙහෙකාර මෙහෙවරට දරුවන් ඉල්ලා ගන්නට වංගගිරිය බලා යන ජූජක බමුණා පාඨකයා වෙත ගෙනෙන්නේ මෙසේය.
“එකල කලිඟු රට දුනුමිටි නම් බමුණු ගම ජූජක නම් බමුණෙක් අමිත්තතාපා නම් බැමිණියගේ නියෝගයෙන් දරු දන් ඉල්ලා යනුයේ වන දොරකඩ රැකවල සෑ රජුන් විසින් සිටුවන ලද වැදි පුත්‍රයාගේ බල්ලන් දැක ගසකට නැගී වැද්දවූ අවුත් භය ගන්වා දැන් දැන් තා විද හෙළමි. කොයි යෙයි ද බමුණැයි කී කල වෙස්සන්තර රජ්ජුරුවන් කරා දූත මෙහෙවර යෙමියි බොරු කියා ගැළවී ඒ වැද්දා කී සලකුණෙන් ගොස්…..”
මේ අනුව ජූජක බමුණා පිවිසෙන්නේ අති දුෂ්කර මාර්ගයකටය. ඒ අතරෙහි මාර්ග බාධක බොහෝය. පළමු බාධකයෙන් පැන ගන්නේ රාජ දූතයෙකු බව පෙන්වමිනි. එතැනින් මඟ අසා ගන්නා බමුණාට ඊළඟට බාධකය වන්නේ අච්චුක නම් තාපසාරාමයෙනි. එම බාධාව ජය ගන්නට ජූජක බමුණා කළේ තමන් වෙස්සන්තරයන්ගේ ගුරුවරයා බවත් ශිෂ්‍යයා බැහැ දැකීමට යන බවත් කියා මාර්ගය අසා ගැනීමෙනි. එය පූජාවලී කතුවරයා ඉදිරිපත් කළේ මෙසේය.
“හිමි මට මඟ කියවයි කී කල තාපසයෝ දකුණත ඔසවා කියන්නාහු බමුණ තෙල පෙනෙන්නේ ගදමහන් පවුවය හිමි මට, තා එගල් පාවිටින් ගිය කළ දැවය, සුය, බුබුළුය, මුරුතය, කිහිරිය, සල කොහොඹය, වල් දැමුණුය, මාලුවා, ලියය, අඹය, ගිවුළුය, කොසය, දඹය, බුලුය, අරලුය… යනාදී වශයෙන් වෘක්ෂලතාවන් වර්ග 50ක නම් ඉදිරිපත් කෙරේ. ඒවායෙහි මල් පිපී බඹරුන් විසින් ගැවසී සිටින අයුරු ද කියා පායි. එතැනින් යන ජූජක බමුණාට නැවත දිස්වන්නේ මහා වනයකි. එය දැක්වූයේ මෙසේය.
“බමුණ ඒ විල දිය කෙලවර නා නා රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසී සිටිනාහ. ඔහු කිනම්හ යත්, කොලොම් පළුලු, කොබලීල, අගුණු වැල් කිණිහිරි, ඇසතු, කරද, ආදී වශයෙන් වෘක්ෂලතා සිය ගණනකි.
අනතුරුව එහි විසූ විවිධ සතුන් හඳුන්වන්නේ මෙසේය.
“තවද බමුණ, ඒ වෙනෙහි සිවුපා සතුන් හා ලිහිණියෝ බෙහෙව. සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, වෙළඹුමුව පක්ෂිය, ඇත්තුය, එළු මුවෝය, පසද මුවෝය, රෝහිත මුවෝය, සරබ මුවෝය, විසිතුරු මුවෝය, කෙහෙල් මුවෝය, දිවන මුවෝය, පනින මුවෝය, කැනහි මුවෝය, කොක් නහමුවෝය, පියාබළල්ලුය, සෙමරුය, වඳුරෝය, ගෝනෝය, අගබෙරලියෝය….”
යනාදී ලෙස සත්ත්ව ලෝකයක් කතුවරයා මවා තිබේ.
මේ අනුව මෙම හිමගිර වැනුම අතිශයින්ම සෞන්දර්යාත්මකය. සොබා දහමේ සොඳුරු චමත්කාරය හොඳින් මවන්නට කතුවරයා තුළ පැවති පරිසර ඥානය බෙහෙවින්ම විශිෂ්ටය. හිමගිර ගැන කියන්නට කතුවරයා මේ ඥානය ලැබුවේ හුදෙක් පතපොතෙන් නොවේ. අපේ රටේ එදා පැවති සොබා සෞන්දර්ය පිළිබඳ ඔහුගේ පරිඥානයම වෙයි. මේ කියැවෙන හැම වෘක්ෂලතාවත්ම සහ සත්ත්ව විශේෂයක්ම අපේ රටට ආවේණික දේවල්ය. ඒ අනුව පරිසරය ගැන හොඳින් සිතූ යටගියාවක තොරතුරු පූජාවලිය අනාවරණය කරන බව පැහැදිලිය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


