pujawali
2021.04.22 -දිනමිණ -කටාරම අතිරේකය 
 
පංච මහා කෝලහාල
 
පූජාවලි විමසුම ඔස්සේ පසුගිය කලාපයෙන් ඔබ දැනුම්වත් කළේ වංගගිරිය ගැනය. වෙසතුරුදාවෙහි එන මේ වංගගිරිය පූජාවලී කතාකරුවා වර්ණනා කළේ සොබා දහමේ අපූර්ව දායාදයක් ලෙසිනි. අද විමසුමට ලක් කෙරෙන්නේ පූජාවලි සත්වැනි පරිච්ඡේදයෙහි එන පංච මහා කෝලාහලයක් ගැන රසබර තොරතුරුය.
 
කෝලාහල යන්නට නූතනයෙහි ලැබෙන අරුත කලහය ආරාවුල, අරගලය යන්නය. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග තම මහා සිංහල ශබ්දකෝෂයෙහි කෝලාහල යන්නට අර්ථ දක්වන්නේ බොහෝ දෙනකු එක විට නඟන ශබ්දය, රණ්ඩුව, දබරය, කලහය, යනුවෙනි. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය දක්වන්නේ ඝෝෂාව යනුවෙනි. මේ අනුව ශාස්ත්‍රීය විග්‍රහයේ එන අරුත ජන ජීවිතයේ ද එලෙසම දැක්වෙයි. මේ හැර දේශපාලන සමාජයේදී හර්තාලය ද කෝලාහල අරුතින් ගත හැකි වන අතර එය අද උද්ඝෝෂණය බවට ද පත්ව තිබේ.
 
1915 දී කෝටහේනේදී සිංහල මුස්ලිම් කෝලාහලයක් පිළිබද වාර්තා කෙරෙයි. ජන වාර්ගික ගැටලු අරබයා එවැනි කෝලාහල ඇති වූ විවිධ අවස්ථා වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම අරුතින් දැක්වෙන කෝලාහලය කිසිවකු ප්‍රිය නොකරන අප්‍රසන්න අත්දැකීමක් වන අතර එය බොහෝ විට කෙළවර වන්නේ කඳුළු පිරි දෙනෙතිනි.
 
පූජාවලියෙහි විවරණය වන මෙම පංච කෝලාහලය මීට වඩා වෙනත් අරුතක් ගෙනෙන කෝලාහලයකි. කතුවරයා ම එය පහදන්නේ මෙසේය.
 
‘ලෝකයෙහි කල්ප කෝලාහලය, චක්‍රවර්තී කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය, මෝනෙය්‍ය කෝලාහලය යැයි පස් කෝලාහලයෙක් ඇත. හේ කෙසේද යත්…..’ යනුවෙනි.
 
කල්ප කෝලාහලය නම් කවර යත්,
 
කල්ප විනාශය ඇති වන්නේ ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟිනි. මෙය සිදුවීමට අවුරුදු ලක්ෂයක් තිබියදී එක්තරා කාමාවචර දේවතාවෙත් රතු වස්ත්‍රයක් හැඳ තවත් රතු වස්ත්‍රයක් ඒකාංශ කොට කෙස් පිටෙහි විහිදුවා ගෙන කඳුළු වගුරුවමින් අවමංගල්‍යයක් වූවා සේ මහත් සක්වළ ඇවිදිමින් මෙසේ කියයි.
 
‘පින්වත් වූ සත්වයෙනි, හවුරුදු ලක්ෂයක් ගිය කල කප නස්සි. කෙළ ලක්ෂයක් සක්වළ ගල් නස්සි. කෙළ ලක්ෂයක් මහ පොළෝ නස්සී. කෙළ ලක්ෂයක් මෙර ගල් නස්සි. කෙළ ලක්ෂයක් හිමවු කුළු නස්සි. කෙළ ලක්ෂයක් කුල පව්වෝ නස්සි. කෙල ලක්ෂයක් දෙව්ලෝ නස්සි. හිර සඳ නස්සි. බඹ ලෝ නස්සි. ඒ කල්පාන්ත විනාශයෙන් ගැලවෙනු කැමති නම් මවුන්ට මෙහෙ කරව. පියන්ට කීකරු වව. කුලදෙටුවන් පුදව. පස් පවු නොකරව. පන්සිල් රකුව. යනාදීන් ඔවා තෙපුලෙන් අවවාද දී ඇවිදිති.’
 
මේ අනුව මෙම දෙවියාගේ ප්‍රකාශනය ඇසූ මිනිසුන් කල්ප විනාශය ඇති වන්නේ යයි බියෙන් කළ කෑ කෝ ගැසීම් පූජාවලියෙහි දැක්වෙන්නේ කල්ප කෝලාහලය යනුවෙනි.
 
චක්‍රවර්තී කෝලාහලය නම් කවර යත්,
 
සක්විති රජ කෙනකු ලොව පහළ වීමට අවුරුදු සීයක් තිබියදී පෙර සේම එක්තරා දේවතා කෙනෙක් රජ මඟුල් වෙසක් ගෙන සක්වළ ඇවිදිමින් මෙසේ පළ කරයි.
 
‘පින්වත් වූ ජනයෙනි, සියක් හවුරුදු ගිය කල සක්විති රජෙක් මේ සක්වළ උපදී. ඔහු උපන් කල රා පිය නොහැක්ක. බොරු කිය නොහැක්ක. සොරකම් කළ නොහැක්ක. සතුන් මැරිය නොහැක්ක. පරදාරයෙහි අනාචාර කළ නොහැක්ක. යමෙක් තමා රහසත් මේ පස් පවින් පවක් කළේ නම් ඔවුන් ඉස් පැළී යෙයි. මතු තොප පස් පව් නොකිරීමට දැන් පටන් අභ්‍යාස කරව. පන්සිල් රකුව. යනාදීන් ඔවා තෙපුල් කිය කියා මුළු සක්වළ වටා ඇවිදිති.’
 
මේ අනුව සක්වළ වැසියන් කෝලාහල කරන්නට පටන් ගත්තේ සක්විති රජකු පහළ වීමත් සමඟම චින්තාමාණික්‍යය පහළ වන බව, මංගල හස්තිරාජයකු පහළ වන බව, අස් රුවනක් පහළ වන බව, අග බිසෝ රුවනක් පහළ වන බව, පුත් රුවනක් පහළ වන බව සිටු රුවනක් පහළ වන බව ද ආදී වශයෙන් කියමිනි. මෙය පූජාවලියෙහි චක්‍රවර්ති කෝලාහලය නම් වෙයි.
 
බුද්ධ කෝලාහලය නම් කවර යත්,
 
බුදු කෙනකු ලොව පහළ වන්නට අවුරුදු දහසක් තිබියදී සුද්ධාවාස දෙවි කෙනෙක් සුදු වස්ත්‍රයක් හැඳ සුදු වස්ත්‍රයක් ඒකාංශ කොට සුදු මල් මාලාවක් පැලඳ සුබ මඟුල් වෙසක් ගෙන සක්වළ වටා ඇවිදිමින් සියලු සත්වයන්ට ඒ බව දැනුම් දුන්නේ මෙසේය.
 
‘පින්වත් වූ සත්වයෙනි, මෙතැන් පටන් දහසක් හවුරුදු ගිය කල ලොව්තුරා බුදු කෙනෙක ලොව ඉපිදැ දහම් වැසි වස්වා සසර ගිම් නිවා නිවන් පුරයෙහි දොර හරිති. ඒ බුදු සිරි දක්නා කෙනෙක් පංචානන්තර්ය කර්මයන් නොකරව. මවුපියන්ට ආක්‍රෝෂ පරිභව නොකරව, නියත මිථ්‍යාදෘෂ්ටි නොගනුව. පංචශීලය රක්ෂා කරව. පවු නොකරව. ව්‍රතයන් නොගනුව. ත්‍රිවිධ වූ සුචරිත ධර්මයන් පුරව. දසපින් කිරියවත් පුරව. ඒ බුදුන් දක්නා සේ පතව.’
 
මේ ඇසූ මිනිස්සු ද දෙවියෝ ද බඹහු ද දහසක් අවුරුදු පුරා මේ ප්‍රීතිය උදෙසා කරන ලද කෝලාහලය බුද්ධ කෝලාහලය නම් වෙයි.
 
මංගල කෝලාහලය නම් කවර යත්,
 
බුදුරදුන් මංගල සුත්‍රය දේශනා කිරීමට පළමුව දොළොස් හවුරුද්දක් පුරා දෙවියන් විසින් මංගල කරුණු අරබයා සිදු කළ කෝලාහලයයි.
 
මෝනෙය්‍ය කෝලාහලය නම් කවර යත්,
 
තවත් සත් වසකින් පසු බුදුරදුන් වෙත පිවිසෙන මහණ කෙනෙකු මෝනෙය්‍ය ධර්ම හෙවත් බුද්ධකාරක ධර්ම විචාරති යි එක්තරා දෙවි කෙනෙක් සක්වළ පුරා ඇවිද කළ ප්‍රකාශයකින් සතුටට පත් සියලු සත්වයන් විසින් කරන ලද කෝලාහලය මෝනෙය්‍ය කෝලාහලය නම් වෙයි.
 
මේ අනුව පූජාවලි කතුවරයා මෙම පංච කෝලාහලය විමසමින් තත්කාලීන සමාජයට කිසියම් සදාචාරාත්මක පණිවිඩයක් ලබා දෙන්නට ගත් උත්සාහය ද කැපී පෙනේ. එනම් හැම විටෙම සමාජය සත්පුරුෂ බවට පත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් ද කතුවරයා පෙනී සිටි බව මේ අනුව පැහැදිලිය.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound