pujawali
2021.04.29 – දිනමිණ – කටාරම අතිරේකය 
 
පඤ්ච මහා විලෝකන
 
පසුගිය සතියේදී පූජාවලී විමසුම ඔස්සේ ඔබ වෙත රැගෙන ආවේ පංච මහා කෝලාහල ගැනය. කෝලාහල යන්නට සම්භාව්‍ය අරුතක් පූජාවලියෙන් ගෙන හැර දැක්වීමු. අද පඤ්ච මහා විලෝකන ගැන පූජාවලී කතුවරයාගේ විමසුම කවරේදැයි සොයා බලමු.
 
පඤ්ච මහා විලෝකන කී පමණින් එහි වචනාර්ථ බොහෝ දෙනෙක් නොදනිති. විශේෂයෙන් බැලීම විලෝකනය ලෙස ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ අරුත් දෙති. ඊට වඩා වෙනස් වූ අරුතක් මෙහි නැත. කෙසේ වෙතත් මෙහි අනාගතය පිළිබඳ දැකීමක් අරුත් ගැන්වෙන අතර, අවලෝකනය නමින් වහරෙහි යෙදෙන වදනෙහි අරුත අතීතය දෙස බැලීම වෙයි. ඇතැම් තැනෙක ‘සිංහාවලෝකනය’ යනුවෙන් අප සාඩම්බර අතීත විමසුම යන්නට යෙදෙයි. සිංහයා ආපසු හැරී බලන්නේ මහත් තේජවන්තාකාරයෙනි.
 
පඤ්ච මහා විලෝකනය යන්නට යෙදෙන සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ පස්මහ බැලුම් යන්නයි. බෝසත් සිරිත දරුවන්ට උගන්වන විට මෙය පස්මහ බැලුම් ලෙසින් දක්වා එය කාලය, දීපය, දේශය, කුලය, මව යනුවෙන් එම කරුණු පහ සරලව උගන්වයි. එහෙත් පූජාවලී කතුවරයා මේ කරුණු අතිශයින් ගැඹුරින් විග්‍රහයට ලක් කර දක්වන්නේ දඹදෙණි යුගයෙහි සමාජයට බුදු කෙනකුගේ උපත ලොව අති දුර්ලභ සිදුවීමක් ලෙස ඒත්තු ගැන්වීම සඳහා විය යුතුය.
 
කතාකරුවා පූජාවලියෙහි මෙය අරඹන්නේ මෙසේය.
 
එකල මාගේ බෝධිසත්වයෝ දෙව්බඹුන්ගේ ආරාධනා නොපිළිගෙන ම කාලය, දීපය, දේශය, කුලය, ජනෙත්ති ය, ආයුෂය යන මේ පඤ්ච මහා විලෝකනයන් කළ සේක.
 
මේ අනුව බෝසතුනට දැන් බුදුවීමට සුදුසු කාලයයි යනුවෙන් කිය කියා සියලු දෙවියෝද, බ්‍රහ්මයෝ ද ආරාධනා කළහ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරුන් පහළව දැන් නුඹ වහන්සේ බුදු විය යුතු කාලයයි ද මිනිස් ලොව මව් කුසක බිහිව ලොව්තුරා බුදුව දෙව්මිනිසුන් සසරින් එතෙර කරන්නැයි දස දහසක් සක්වළ දෙවියෝ ආරාධනා කළහ. ඒ අනුව බෝධිසත්වයෝ මෙම පඤ්ච මහා විලෝකන බැලූහ. කවර යත්,
 
කාලය බැලුවේ ඇයි?
 
මිනිස් ආයුෂ ලක්ෂයකට පවතින කාලයක රෝග ජරා මරණ මද හෙයින් මිනිසුනට දුක් නොදැනෙයි. එනිසා ම කුසල් සිත් නොපිහිටයි. ත්‍රිලක්ෂණ අවබෝධ කළ නොහැකිය. මේ නිසා මෙකල බුදුන් පහළ වීමට සුදුසු නොවෙයි. තවද මිනිස් ලොව ආයුෂ සියක් අවුරුද්දට මද වී නම් රෝග, ජරා, මරණ බහුල වෙයි. එනිසා ම මිනිසුනට දුක් බොහෝ සේ දැනෙයි. ත්‍රිලක්ෂණ අවබෝධයට පහසු වෙයි. කුසල් සිත් ගොඩ නැගීම ද පහසු වෙයි. මේ නිසා බුදු කෙනකු පහළ විය යුතු කාලය නම් මිනිස් ලොව එක්සිය විසි අවුරුද්දට ආයුෂ ඇති කාලය ලෙස සිතූහ. මේ පළමු විලෝකනයයි.
 
අපමණ දිවයින් අතර දඹදිව තෝරා ගත්තේ ඇයි?
 
බෝසතාණෝ සියලු සක්වළ දස දහසක් යොදුන් අතරෙහි පන්සීයක් දිවයින්, පන්සීයක් කොදෙවු, පන්සීයක් ක්ෂුද්‍ර ද්වීප වශයෙන් දෙදහසක් දිවයින් පරීක්ෂා කොට බලා මා බුදුවන ජාතියෙහි උප්පත්තියට කවර ද්වීපයක් උතුම් දෝහෝයි පරීක්ෂා කොට අනන්තාපර්යන්ත බුදුන්ගේ උප්පත්ති ස්ථාන වූ ජම්බුද්වීපයෙහි උපදිමියි තීරණය කළහ. මේ අනුව ලොව අපමණ දිවයින් ඇතත් සියලු බුදුවරුන් පහළ වූ භූමිය දඹදිව බැවින් එය තෝරා ගත් බව පෙනේ. මේ දෙවන විලෝකනයයි.
 
මධ්‍ය දේශය තෝරා ගත්තේ ඇයි?
 
මෙම ජම්බුද්වීපය වනාහී යොදුන් දස දහසක් පුරා විහිදුණු බිමකි. එහි එක් පසෙක හිමාලය වෙයි. තවත් පසෙකින් මහා සාගරය වෙයි. එක්සියයක් රාජධානි වෙයි. ශ්‍රී මහා බෝධිය පිහිටි බෝධිමණ්ඩලය වෙයි. මෙම බෝධි මණ්ඩලයට පූර්ව භාගයෙහි රුවන් ආකර පිහිටි මහ නගර හතකි. අග්නි භාගයෙහි සැවැත් නුවර රජගහ නුවර වැනි නගර හයකි. දක්ෂිණ දිශාවෙන් බරණැස් පුරය ඇතුළු උත්තම නගර හතකි. පශ්චිම භාගයෙහි විශාලා මහනුවර, කොසඹෑ නුවර වැනි තවත් සත් නගරයකි. උතුරු දෙසින් උත්තර පංචාල, තක්සලා, කුසිනාරා වැනි නගර අටක් වෙයි. මේ පන්තිස් නගර මධ්‍ය මණ්ඩලයට අයත් වෙන අතර මෙහි බුදුන් පසේ බුදුවරුන් සක්විති රජවරුන් මහ සිටුවරුන් වැනි උතුමන්ගේ ජාතභූමිය වෙයි. එබැවින් මධ්‍ය දේශය තෝරා ගැණිණි. මේ තෙවන විලෝකනයයි.
 
රජ කුලය තෝරා ගත්තේ ඇයි?
 
සියලුදෙනාගෙන් වැඳුම් ලබන කුලය කවරේදැයි සොයා බැලූ විට එය රජ කුලය බව බෝසතාණෝ දුටහ. ඒ අනුව කපිලවත්ථුවේ ශාක්‍ය වංශික උභය කුල පාරිශුද්ධ සුද්ධෝදන නරපතීන් කෙරෙහි අවධානය යොමු වීය. මේ රජ පරපුර මහාසම්මත රජුගේ සිට පැමිණි ආකාරය ද දුටහ. එසේම තමන් වහන්සේ මෙම රාජ පරපුරෙහි මහාමන්ධාතු නම් සක්විති රජව ද මඛාදේව, කුස, මහිංසක, කට්ඨාරි, මහාසීලව, චුල්ලපදුම, මහාපදුම, සුතසෝම, ධර්මපාල ආදී බොහෝ රජව උපන් හෙයින් මෙම රජ කෙළවර සිටිනා ශාක්‍ය වංශික සුද්ධෝදන රජු පිය තනතුරෙහි තබා ගන්නට සිතූහ. මේ සිවුවන විලෝකනයයි.
 
මහාමායා මව ලෙස තෝරා ගත්තේ ඇයි?
 
කප් ලක්ෂයක් ප්‍රාර්ථනා ඇති උභය කුල පාරිශුද්ධ වූ පස් පව් නොකළ පතිදම් රැකි සුද්ධෝදන අගමෙහෙසි මහාමායා දේවී මව් තනතුරෙහි තබා ගන්නට සිතූහ. විශේෂයෙන් බුදු කෙනෙකුන් උපන් කුස ධාතු කරඬුවක් සේ වන බැවින් වෙනත් කිසිවකුට එම කුසෙහි පිළිසිඳිය නොහැකි වෙයි. මේ නිසා බුදු කෙනෙකුන් ඉපිද සත් දිනකින් මියගොස් දෙව්ලොව උපදී. ඒ අනුව ඇයගේ ආයුෂ පරීක්ෂා කොට බලා නිසි කල ඇගේ කුසෙහි පිළිසිඳිනට සිතුහ. මේ පස්වන විලෝකනයයි.
 
මේ අනුව පූජාවලී කතුවරයා මෙම පඤ්ච මහා විලෝකන අපූරු ලෙසින් පහදා තිබෙයි. බුදු කෙනෙකුන්ගේ උපත අති ශ්‍රේෂ්ඨත්වයට පත් කරයි. පාඨක දැනුම වඩයි. බොහෝ දෙනා තුළ ඇති කුහුල නසයි. සත්‍යාවබෝධයට මග සලසයි.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound