pujawali
2021.05.20 දිනමිණ කටාරම අතිරේකය 
 
ප්‍රසව මංගල පූජා කථා
 
අප පසුගිය ලිපියේදී පැහැදිලි කළේ බෝසතාණන් වහන්සේගේ පිළිසිඳ ගැනීම හා බැදුණු දෙතිස් පුජා කථා පිළිබඳව පූජාවලී කතුවරයාගේ විවරණයයි. අද පූජාවලියෙහි නව වැනි පරිච්ඡේදයෙහි එන ප්‍රසව පූජා කථා පිළිබඳ විවරණය විමසා බැලේ. විශේෂයෙන් අප ගත කරන්නේ වෙසක් කාල පරිච්ඡේදයේය. නිරතුරු බෝසත් උපත පිළිබද කථා කෙරෙන සමයයි. එබැවින් ඉතා කැමැත්තෙන් මේ විමසුම කියවන පාඨක ඔබට මෙය වැදගත් වෙතියි අප කල්පනා කරමු.
 
බෝසත් උපත අසිරිමත්ය. එය හුදෙක් ඕනෑම දරුවෙකුගේ උපතට වඩා සුවිශේෂය. මේ පිළිබඳ බොහෝ වියතුන් වැදගත් අදහස් ඉදිරිපත් කර තිබේ. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන් තම බුද්ධ චරිතය පොතෙහි මෙම අවස්ථාව දක්වන්නේ මෙසේය.
 
“මද වේලාවකින් බෝසතාණෝ මව් කුසින් බිහි වූහ. මේ මොහොතෙහි හිරු වටා වර්ණවත් චක්‍රයක් කරකැවෙන්නා සේ දර්ශනය විය. දෙතිස් පෙර නිමිති පහළ විය. ක්ෂණයක් මුළු ලෝදාහි ම සියලු දුක් කරදර නිවී ගිය බැවින් මහා ශාන්තියක් පැවැතිණ. මෙය වූයේ කලියුග වර්ෂයෙන් 2478 වැන්නෙහි වෙසක් පුණු පෝදා උදයාදී එකොළොස් වන පැය පමණේදීය.
 
මේ අනුව බෝසත් උපත මීට වසර 2664 කට පෙර ලුම්බිණි සල් උයනේදී සිදු වූ ලොව අසිරිමත් ම දරු උපතයි. පියකුට දාව මවකගේ කුසින් බිහි වූ මෙම දරු උපත ලොව අන් කිසිදු මවකට විදින්නට නොලැබෙන අත්දැකීමකි. එය මහමායා පමණක් ම විදි සුවපත් අත්දැකීමකි. ප්‍රසව වේදනා නොමැති ලේ කුණු ආදියෙන් තොර අත්දැකීමකි. මුළු මහත් සොබා දහම ම ආශීර්වාද කළ උපතකි.”
 
පූජාවලී කතුවරයා මෙම උත්තම උපත උත්කර්ෂයට නංවයි. නව වැනි පරිච්ඡේදය පුරා දිව යන මෙම වැනුම පහන් සිතින් රස විදිය හැකි ශාන්ත නිර්මාණයකි. එහි රසවත් ඉදිරිපත් කිරීම් උපුටා ගනිමින් ඔබ වෙත රැගෙන එමි.
 
කතුවරයා බෝසත් කුමාරයා මහාමායා මව් කුසෙහි බිහි වීමට ආසන්නව සිටි අයුරු කියා පෑවේ “මෑණියන් වහන්සේගේ නාභි මණ්ඩලයට මුහුණ ලා පලක් බැද ධර්මාසනයක උන් ධර්ම කථිකයකු සේ, මිණි කරඩුයෙක වඩාලූ කනක රූපයක් සේ බලන්නවුනට පෙනී පෙනී වැඩ හිදිනා සේක” යනුවෙනි. මහාමායාවන් මේ කුමාරයා තම කුසෙහි තබා පෝෂණය කළ අයුරු කියා පෑවේ “ප්‍රීතින් පින පිනා පිරුණු තෙල් පාත්‍රයක් ධරන්නා සේ ගබට කිසි පීඩාවක් නොකොට ඉතා උෂ්ණ භෝජනය, ඉතා ශීත භෝජනය, තිත්ත භෝජනය, කටුක භෝජනය යනාදියෙහි රස නොදැන දස මස මුළුල්ලෙහි ම පුතණුවන්ට ගැහැටුම් වෙතියි, කුස පුරා බත් නොකා මුහුණින් වැද නොහෙව වම් ඇලයෙන් නොසැතපී දක්ෂිණ භාගයෙන් ම සැතපී සක්මන් මාත්‍රාවකුත් නොකොට දස මස මුළුල්ලෙහි අප්‍රමාදව ගබ පිරිමැසූහ” යනුවෙනි.
 
එමෙන් ම කුමාරයා කුසට පැමිණි දා සිටම මහාමායා දේවිය පුරුෂයන් කෙරෙහි කිසිදු රාග චේතනාවක් එතුන්සිය දාම නොහටගත් බවද, වෙසග මැදි පොහෝදා සදු විශාඛ නම් යෝගයෙහි සිටියදී මැණියන් වහන්සේට දෙව්දහ නම් වූ කෝලිය නුවරට යාමේ දොළක් උපන් බව ද කතුවරයා කියයි. එම දොළ සංසිදවන්නට සුදොවුන් රජ කිඹුල්වතේ සිට දෙව්දහ නුවර දක්වා සියලු මාර්ග සරසා අලංකාර කළ අයුරු පවසනුයේ කෙසෙල් තොරණ පුන් කලස් ධ්වජ පතාක සහිත වූ මගෙහි ලද පස්මලින් බිම අතුරමිනි. මෙම සැරසිලි ගැන කියන්නට ශ්‍රී ලාංකේය සැරසිලි සංස්කෘතියේ ආභාසය කතුවරයා නොමදව ලද බව ද පෙනෙයි.
 
ඒ මාර්ගය දිගේ එන මහාමායාවන් ලුම්බිණි සල් උයනට පැමිණි විට එම උද්‍යානය ඇය පිළිගනු ලැබූයේ සොබා දමේ සැණකෙළියක් පරිද්දෙනි. එම දීර්ඝ වැනුමෙහි මෙසේ දැක්වෙයි. “එසද එම උද්‍යානයෙහි පුන්නාග නාග කුවරක උද්දාලක මධුගන්ධික අශෝක කරවීර කර්ණිකාර තගර කේතක තමාලාදී නන් කුසුමයෝ ඒ උතුමාගේ උප්පත්ති ශ්‍රී බලම්හයි මුල පටන් අග දක්වා තුරු වසා අතුරු නොදී සිටගත්හ. මල් රොන් ගන්නා බමරුන්ගේ නාදයෙන් හා තුරු අග හිද ලිය ගී නගන සියොතුනගේ නාදයෙන් හා එක නින්නාදව ඉතා රම්‍ය විය.” කතුවරයා මේ තරම් රමණීය වර්ණනාවක් කරන්නට පාරිසරික සෞන්දර්ය පිළිබද අපමණ ඥානයකින් හෙබි වූ කෙනකු බව අවිවාදිතය.
 
මහාමායාව සල් අත්තක් අල්ලන්නට අත දිගු කල විට එය ඇයගේ අතට පත් වූ අයුරු කියා පෑවේ “ප්‍රේම කාන්තාවක දැක අත දිගු කළා වූ කාම පුරුෂයකු සේ ඒ බිසොවුන් දුටුවා වූ ශාලද්‍රැමරාජයා තමාගේ ශාඛා නමැති හස්තය නමා පෑලීය” යනුවෙනි. භාෂා ප්‍රේමීත්වයෙන් මත් වූ භාෂාධරයෙකුට විනා මෙවන් අපූරු යෙදුම් යොදමින් මෙම අවස්ථා නිරූපණය කරන්නට වෙනත් කෙනකුට හැකි වේද?
 
බෝසත් කුමරාගේ උපත සිදු වූ ආකාරය කතුවරයා කියා පාන්නේ අපූරු මනහර යෙදුමකිනි. “එකල මෑණියන් වහන්සේ ඒ ශාල ශාඛාව අල්ලා ගෙන සිටියදීම බ්‍රහ්ම ලෝකයෙන් බස්නා බ්‍රහ්ම කුමාරයකු සේ, දිව්‍ය ලෝකයෙන් බස්නා දිව්‍ය කුමාරයෙකු සේ ධර්මාසනයකින් බස්නා මහ තෙර කෙනෙකුන් සේ මවු කුසින් බිහි වූ සේක” යනුවෙනි. එපමණක් නො එය තව දුරටත් කියා පාන්නේ “කසීසළුවකින් වසා තිබූ ජාතිරංග මාණික්‍යරත්නයක් සේ දිලියෙමින් මවුකුසින් නික්මුණු” බවයි.
 
එවෙලාවේ දෙවියන් හා මනුෂ්‍යයන් සුවඳින් මලින් පුදා දොහොත් මුදුන් දී “ස්වාමීනි, මහා පුරුෂයාණෙනි, මෙ දෙස නුඹ හා සම වු කෙනෙකුන් නැත. නුඹට වඩනා කෙනෙකුන් නැත. නුඹම උතුරු දෑයයි කිය කියා වැන්දාහුය” යනුවෙන් මේ කුමරාට උපන් මොතේම දෙව් මිනිසුන් වෙතින් ලද පූජාවන් වර්ණනා කර තිබෙයි. එවිට බෝසත් කුමරා “මම ලොවට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අවසන් භවයයි. නැවත උප්පත්තියක් නැත” යනාදී ලෙසින් සිංහනාද කළ ආකාරය ද දැක්වෙයි.
 
මෙලෙසින් ප්‍රසව පූජා පරිච්ඡේදය පුරාම පූජාවලි කතුවරයා උත්සාහ කළේ මේ උපතෙහි අසිරිමත් බව ලොවට කියා පෑමයි. මේ තරම් උත්කර්ෂයෙන් බෝසත් උපත වර්ණනා කළ අන් සාහිත්‍යකරුවකු අපට හමු නොවෙයි. පසුකාලීන ගත්කරුවන් ගුරු කොට ගත්තේ ද පුජාවලීකරුවාගේ මෙම වර්ණනාවයි. මේ උපත බුදු උපත ලොවට සැපතකි.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound