2021.05.27 – දිනමිණ කටාරම අතිරේකය.
කාලදේවල තවුසාගේ නමස්කාර පූජාව
පසුගිය පූජාවලී විමසුමෙන් අප ඉදිරිපත් කළේ බෝසතුනගේ බිහිවීම ගැන දැක්වෙන ප්‍රසව පූජා කථා පරිච්ඡේදයයි. අද ලිපිය මඟින් පූජාවලියේ දස වැනි පරිච්ඡේදයෙහි එන කාලදේවල තවුසාගේ නමස්කාරය සහ කතුවරයා එම අවස්ථා රසවත්ව වර්ණනා කළ ආකාරය පිළිබඳව ඔබගේ අවධානයට යොමු කෙරේ.
මෙම පරිච්ඡේදය ආරම්භයෙහි කතුවරයා දක්වන්නේ බෝසතුන් උපන් දා පහළ වූ වස්තු කිහිපයක් ගැනය. එනම් යශෝධරා දේවිය, කන්ථක නම් අශ්ව රාජයා, ඡන්න නම් අමාත්‍යයා, අනඳ මහ තෙරුන් වහන්සේ, කාළුදායි නම් ඇමතියා, සතර මහා නිධාන, සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේය. අනතුරුව කාලදේවල තවුසා පිළිබඳ කතාව සවිස්තරාත්මකව දක්වයි. විශේෂයෙන් එම විවරණය බෝසතාණන් වහන්සේ පිළිබඳව වැදගත් අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. ඊට හේතුව අප පෙර ලිපිවල දැක්වූවා සේම බුදු උපත අසිරිමත් ම උපතක්ය යන්න පෙන්වා දෙන්නට ඇති හොදම නිදසුන වන බැවිනි.
ශුද්ධෝදන රජුගේ පියාණන් වන්නේ සිංහහනු රජතුමාය. එතුමාගේ පුරෝහිත වූ කාලදේවල සුද්ධෝදන රජුන් බාල කාලයෙහි ශිල්ප දුන් ගුරුවරයා ද වන්නේය. සිංහහනු රජුගේ මරණින් පසු මෙම පුරෝහිත කාලදේවල තවුසෙකු බවට පත් වෙයි. එවිට සුදොවුන් රජු තම ගුරුතුමාණන් ඈතට නොයවා තම උයනෙහි රදවා රජ ගෙදරින් තවුසාට ආහාරපානාදිය සම්පාදනය කළේය. රජුගේ පූර්ණ සැලකිලි සත්කාර, සම්මාන ලබමින් භාවනානුයෝගියෙකු වන තවුසා අභිඥාලාභීව අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතලිස් කපක් දක්නා නුවණ ලබා ඒ ඒ ලෝකවල ඇවිදිමින් ධ්‍යාන සුව විදියි. බෝසතුනගේ උපත සිදු වූ කාලයෙහි තවුසා ශක්‍ර භවනට ගොස් නන්දන උයනෙහි දිව්‍ය ප්‍රාසාදයක ධ්‍යාන සුවයෙන් වසයි.
මෙසමයෙහි දෙව්ලොව දෙවියෝ කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජුහුගේ පුත් රුවනක් උපන. ඒ උත්තමයා බෝමැඩ හරා බුදුව ධම්සක් පතුරවයි. ඔහුගේ බුද්ධශ්‍රී බලම්හයි කිය කියා නටති. මෙවේලෙහි කාලදේවල තාපසයෝ ධ්‍යානයෙන් නැගී කුල්මත් වන්නට හේතුව විචාරති. එවිට දෙවියෝ මෙසේ පිළිතුරු දෙති. “ශුද්ධෝදන රජහුගේ පුතෙක් උපණ. එකුමර පන්තිස් හවුරුද්දකින් ලොව්තුරා බුදු වෙයි. ඒ කාලය අපගේ දිව්‍ය ගණනායෙන් එක්විසි පැයෙක. එසේ හෙයින් ඔහුගේ බුදුසිරි ඇසිල්ලකින් දකිනා හෙයින් සතුටු වම්හ” යි කීහ.
දෙවියන්ගේ මෙබස් ඇසූ කාලදේවලයෝ ඇසිල්ලකින් දෙවුලොවින් බැස සුදොවුන් රජුගේ මාලිගාවට ගොස් පනවන ලද අසුනෙහි උන්හ. රජු තාපසයන් නැමද කල්හි මෙසේ රජුගෙන් ඇසූහ. “මහරජ තොපගේ දේවීන් පුතකු ලදහයි ඇසීමි. එකුමරුන් දැන්ම දකිනා කැමැත්තෙමි” යි කීහ. එවිට රජු පුතණුවන් සරහා පලසකින් වසා ගෙනවුත්, පුතණ්ඩ මේ ස්වාමීන් වැද පින් පුරා ගන්නැයි කිය කියා තාපසයන් කරා බෝසතුන් පෑලූහ. එවිට සිදු වූයේ මහා ආශ්චර්යයකි. ධ්‍යානලාභී තවුසාට අසුනෙහි හිදගත නොහී අසුනෙන් බිමට බැස්සේය. බෝසතුනගේ දෙපා තවුසාගේ හිසෙහි වැදී ගිය අයුරු පූජාවලියෙහි කියැවෙන්නේ බෝසතාණන්ගේ සිරිපතුල් සුං දෙක පෙරළී නැගී තාපසයන් ජටාවෙහි පෙනී විදුලිය සුං දෙකක් සේ විරාජමාන විය.
ඒ ආශ්චර්ය දුටු පිය මහ රජ්ජුරුවෝ ප්‍රේම ධරා ගත නොහෙන්නාහු තුමූ ද පුතණුවන්ගේ ඒ සිරිපතුල් සුං දෙක තමන් නළල තබා ගෙන වැන්දාහ. යනුවෙනි. බෝසත් කුමරුගේ උපතෙහි ආශ්චර්ය මෙහි මැනවින් ප්‍රකට කෙරිණි. එනම් ධ්‍යානලාභී තවුසකු අසුනෙන් බිමට බස්සන්නට කුමරුගේ තේජස මහත් වූ අයුරු පෙන්වන කතාකරුවා තවුසාට වදින්නැයි කී විට කුමරුගේ දෙපා තවුසාගේ ජටාවෙහි පතිත වීමෙන් ද මෙය දුටු පියාණන් වහා කුමරුගේ දෙපා අල්ලා වැදීම ද කුමරුගේ උපත ශ්‍රේෂඨත්වයට පත් කර තිබෙයි.
සක් දෙවිදුන්ගෙන් පවා වැදුම් ලබන කාලදේවල තවුසා කල්පනා කළේ තමා අතින් වැදුම් ලබන්නට මේ කුමරා පුණ්‍යවන්ත වුයේ කෙසේද යන්නයි. ඔහු කුමරාගේ සිරිපතුල් පරීක්ෂා කළ අතර එවිට දුටුවේ අටතුරා සියයක් (108) මඟුල් ලකුණු පිහිටා ඇති ආකාරයයි. මෙම සියලුම මඟුල් ලකුණු පූජාවලීකරුවාගේ වර්ණනයට ලක් වෙයි. එනම් සුරභි ධේනුවෝ දෙදෙනය. කිම් පුරුෂයෝ දෙදෙනය. කින්නරාංගනාවෝ දෙදෙනය. සඳකිඳුරෝ දෙදෙනය. පුරවිකෙවිල්ලෝ දෙදෙනය. මයුර රාජයෝ දෙදෙනය. යනාදී මධුර මනෝහර බසකින් එය කියා තිබෙයි. මේ සියල්ල දකින තවුසා මේ කුමරා ඒකාන්තයෙන් බුදුවන බව සැළ කර සිටියේය. එපමණක් නොව කුමරුගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා කළ නිරීක්ෂණයේදී දෙතිස් මහා පුරිස ලක්ෂණ ද දුටහ. කතුවරයා ඒවා ද ඉතා විසිතුරු ලෙසින් ඉදිරිපත් කරන්නේ බෝසත් කුමරුගේ උපතේ අසිරිය මවන්නටය.
මෙයින් මේ කුමරා ඒකාන්තයෙන් මතු බුදු වන බව දැන කුල්මත්ව තමන් තපස් වී නියාව ද අමතකව ගොස් මහ හඩින් සිනාසෙන්නට විය. එය මනහර උපමාවකට නැගූයේ පිරුණු පැන් කළයක් මුහුණින් නැමූ කල බක බකයේ පැන් වැගිරෙන්නා සේ යනුවෙනි. එහෙත් කුමරා බුදුවන විට තමනට වසන්නට ආයු නොමැති බව දැන ගත් විට ශෝකයෙන් හැඩූ අයුරු උපමාවකින් දැක් වූයේ බුන් කළයකින් පැන් වැගිරෙන්නා සේ කදුළු වැගිරූ බවයි. අනතුරුව නාලක නම් බෑණනුවන් කැදවා තමා වෙනුවෙන් තවුස් දිවියට පත් කරවීය. බුදු සසුන වෙනුවෙන් ගිහි දිවිය හළ පළමු උතුමා මෙම නාලක කුමාරයා ය. ඔහු හිමාලයේ වසමින් පිඬු සිගා වඩිමින් කාලය ගෙවා බුදුන් දම්සක් පැවැත්වූ පසු පැමිණ බණ අසා රහත්ව පිරිනිවන් පෑ බව ද කියා තිබෙයි.
මේ අනුව පූජාවලී කතාකරුවා බුදුසිරිත කියන්නට අරඹමින් මෙසේ බෝසත් කුමරාගේ උපත ම ශ්‍රේෂ්ඨ සිදුවීමක් බව පසක් කරවයි. දඹදෙණි යුගයේ පාඨකයා මෙය මහත් ගෞරවයෙන් පිළිගන්නට ඇත. එපමණකුදු නොව අන්‍ය ලබ්ධීන් ගෙන මිසදිටු වූ බොහෝ දෙනා බුදු කෙනෙකුන් යනු කවරාකාර තරම් ශ්‍රේෂ්ඨයෙකු ද යන්න පසක් කර ගන්නට ඇත. මේ වෙසක් සමයෙහි අපට මේ අසිරිමත් බුදු උපතේ සැපත වැටහේවා. සියලු දෙනාට එහි තේජස කාලදේවල තවුසාට මෙන් ම දැනේවා.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


