2021.08.05 – දිනමිණ කටාරම අතිරේකය
බෝසත් අබිනික්මන..
පසුගිය ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කළේ දෙවියන් මැවූ සතර පෙර නිමිති සම්බන්ධවය. අප පොතින් කියවා අසා තිබූ දෙයට වඩා පූජාවලී විමසුම කෙතරම් විසිතුරුදැයි එයින් ඔබට පසක් කෙරිණි. බෝසත් සිරිතේ මෙම සිදුවීම විමසා බැලූ විට පෙනෙන්නේ ලෝකය පිළිබඳ කලකිරීමක් ඇති වීමට වඩා ලෝකය පිළිබඳ අවබෝධයක් ගොඩ නඟා ගන්නට මෙය හේතු වූ බවය.
ජරා, ව්‍යාධි, මරණ ලොව සැබෑ යථාර්ථය නම් ඒවා ඇති වීමෙහි හේතු සහ නැති කිරීමේ මාර්ගය සොයා බැලීම තම වගකීම බව වටහාගත් බෝසතුන් එය මාලිගාවේ සිට කිසිදා කළ නොහැකි බැව් දැන වහා නික්ම යාම සුදුසු බව තීන්දු කළේය. අබිනික්මන එයයි.
පූජාවලී කතුවර හිමියන්ගේ මෙම වර්ණනාව පාඨක රසවතුනගේ සිත් ගත් චමත්කාරයෙන් සපිරි වර්ණනාවකි.
රාහුල උපන් දා සසර බැඳ තබන්නට තවත් බැම්මක් ඇති වූ බව දැනගත් බෝසතුන් ඒ ගැන සිතමින් එදා නිදන කුටියට පිවිසුණු කල්හි එහි දැක්ම පූජාවලිය ගෙනෙන්නේ මෙසේය.
“දෙවඟනන් බඳු රූ ඇති සතළිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු වීණා ගාති. සමහරු අත්තල එළති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාංග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්‍රීඩාවට පටන් ගත්හ” යනුවෙනි.
කතුවරයා මෙම දැක්ම ගොඩනඟන්නේ තමන් වහන්සේ ද දුටු දර්ශනයක් සෙයින් ගොඩ නඟා ගත් පරිකල්පනයෙනි. එතැන පැවතිය හැකි ආකාරය පාඨක සිත්හි ද මවයි. ඊට උචිත ගැළපෙන ළගන්නා සුළු බසක් කතුවරයා යොදා ගනී.
මෙම අවස්ථාව වඩාත් කුළුගන්වන්නේ මෙසේ රංගනයෙහි යෙදුණු නළඟනන්ගේ සැබෑ ස්වභාවය මැදියම් රැයේ පිබිද දකින විටදීය. එහි පිළිකුල පාඨකයාට ද දැනෙයි. කතුවරයා ද එය දුටු සේය. ඉදිරිපත් කළ අයුරු බලන්න.
බෝසතාණෝ යහනින් නැඟී වැඩ හිඳ ස්ත්රීන්ගේ නොයෙක් විකාර දුටු දෑය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසති. සමහරු නන් දොඩති. සමහරු අලගත වස්ත්‍රව කෝපීන ස්ථාන දක්වති. බෝධිසත්වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයින් ලෝභ නැතිව මේ ස්ත්‍රීහු පෙරයම් වේලෙහි දිව්‍යාංගනාවන් සේ සිටියාහුය. දැන් මෘත රූප වැනියහ. යනුවෙනි.
නින්දට යද්දී දෙව්ලොවක අසිරිය පෑ මෙම බෝසත් නිදන කුටිය දැන් අමු සොහොනක සිරි ගත් කල්හි එහි තව දුරටත් රැඳීම නිෂ්ඵල බව බෝසතාණෝ කල්පනා කළහ. යශෝධරාව රාහුල බිලිඳා ද සමඟින් නිදි යහනේය. ඒ දෙස ආලය ඇති කර ගැනීමෙන් තමා රැඳෙන්නේ මෙවන් අමු සොහොනක බව ද කල්පනා කොට වහා නික්ම යාමට තීන්දුව ගන්නේ සිරි යහනේදීමය.
අනතුරුව යහළු ඡන්න වෙතට යන බෝසතාණෝ මේ බව මෙසේ සැල කරති.
“යහළු ඡන්නය. දැන්ම මම මහබිනික්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනෙකුටත් නොහඟවා මගුලසු සරහා වහා ගෙනෙවයි” කී දෑය.
ඡන්න අස්හලට ගොස් කන්ථක අසු මැනවින් සරසද්දී ඌට ද දැනුණේ අමුතු අසිරියකි. තදින් නිදන රැයෙහි මෙතරම් සැරසිලි කුමක් සඳහා ද යන්න වටහාගත් අශ්වයා මහත් සතුටින් හේෂාරව කළ බව ද දැක්වෙයි.
බෝසතාණෝ පුතණුවන් දැක යන්නට යශෝධරාගේ කුටියට පිවිසුණු කල සිදු වූ දේ පූජාවලී කතුවරයාගේ වැනුමට හසු වූයේ මෙසේය.
“දරුවන් වඩා ගෙන සිඹ සනහා පියමි යි සිතාලා දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශෝධරා දේවි පිබිද යෙති. උන් හා සමඟ කථායෙක් වී නම් මා කාම බන්ධනයෙන් බැඳ මහබිනික්මන් ගොඩගත නොදී ගමනාන්තරාය කෙරෙති, යි සිතා මතු බුදුව ආ දා ම දරුවන් දැකපියමියි සිතාලා දැන් එක දරුවන් ප්‍රේමයෙන් මහණ නොවීම නම් මතු මුළු ලෝ වැසියන් හැම නොවරදවා කෙසේ දරු කොට ගනිම්ද?”
යනාදී වශයෙන් සිතූ බෝසතාණෝ එක දරුවෙකු වෙනුවෙන් බැඳි ප්‍රේමය ලොව සියලු දරුවන් වෙනුවෙන් අත්හළහ.
ඡන්න ඇමැතියා විසින් සකසා ගෙනෙන ලද කන්ථක අශ්වයා වෙතට ගිය බෝසත්හු මෙසේ කීහ.
“යහළු කන්ථකය, අද එක රැ තෝ මා ගලව. මම තාගේ සහායෙන් ගොස් බුදුව තා ඇතුළුව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගලවමියි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැගි දෑය.”
දැන් ගැටලුව වී ඇත්තේ කුමක්ද? සුදොවුන් රජුගේ බාධා බිඳ නික්ම යන්නේ කෙසේද යන්නය. සුදොවුන් රජු දහසක් යෝධයන් විසින් වසා ලනු ලබන බියලි දොර දෙකක් තනා දහසක් යෝධයෝ එහි රැකවලෙහි යොදා තිබෙයි. මෙය බිඳින්නට බෝසතුනට පැවතියේ සසර පුරා සපුරා ඇති වීර්ය පාරමිතාවේ බලයේ මහිමය පමණි. එයින් ලද බලය සිතට නඟා ගත් බෝසතාණෝ එය ජය ගත්තේ මෙසේය.
බෝසතාණන් සිතන්නේ ඉදින් දොර නොහැරේ නමුත් ඡන්නයා අසු වල්ගය අල්වා ගත දී අසු දෙකලවයෙන් බදා ගෙන අටළොස් රියන් මහ පවුර ගරුඬ රාජයෙකු සේ පැන දමා පියමියි සිතූ සේක. අමාත්‍යයා සිතන්නේ ඉදින් දොර නොහැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු අසරුවෙහි හිඳුවා ගෙන අශ්වරාජයා සකක් සේ වම් අත්ලෙහි තබා ගෙන පවුර පැනපියා යෙමියි සිතීය. කන්ථක අශ්වයා සිතන්නේ අමාත්‍යයා වල්ගය ගතදීම මේ ප්‍රාකාරය සිංහයෙකු සේ පැනපියා යෙමියි සිතීය. එකල වාසල් දොර අරක් ගත් දෙවියා මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැයි, සතුටුව වාසල් දොර හැරපීය.
කුතුහලයෙන් යුතු සිදු වීමක් කෙළවර කරන්නේ අපූර්වාකාරයෙනි. පාඨකයා කුල්මත් වෙයි. බෝසතුනට බැඳි සියලු බාධා සිඳී බිඳී යයි. මහාභිනිෂ්ක්‍රමණය සිදු වූයේ මෙසේය.
පූජාවලී කතුවරයා මෙම අවස්ථාව ඉතාමත් බැතියෙන් යුතුව පාඨක අප වෙත රැගෙන එන්නේ මේ සියල්ල ඇසූ දුටුවකු ලෙසින්ය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


