2021 නොවැම්බර් 25 – දිනමිණ කටාරම අතිරේකය
බරණැසට දහම් වැසි
පූජාවලී පසුගිය විමසුමෙන් ඔබට ගෙනහැර පෑවේ බුදුන් හමුවට පැමිණි උපක ආජීවකයාගේ කථාවය. එය නූතන සාහිත්‍යයේ එන රසබර කෙටිකතාවක් වැන්න. මෝඩ බැතිමතුන් මුළා කොට අර්ධපාල රහත් කෙනකු ලෙස පෙනී සිට ජාවී නම් යෞවනියකට පෙම් බැඳ ඇති කර ගත් විවාහයේ උත්ප්‍රේක්ෂාව අපූරුවට එහි විවරණය කෙරිණි. මෙවර අප ඔබට රැගෙන එන්නේ බුදුරදුන් බරණැසට වැඩමවා කළ ප්‍රථම දහම් දෙසුම හෙවත් දම්සක් පැවතුම පිළිබඳ පූජාවලී හිමියන්ගේ විවරණයයි.
දම්සක් පැවතුම සඳහා බුදුන් ඉසිපතනයට වැඩි ගමනේ දී එහි වැඩ සිටියේ පස්වග තවුසන්ය. සය වසක් දුෂ්කර ක්‍රියා කළ සමයෙහි බෝසතුනට ඇප උපස්ථාන කළ මේ පිරිස බෝසතුනගෙන් වෙන්ව ගියේ බෝසතුන් දුෂ්කර ක්‍රියාව නතර කිරීමට එරෙහි වෙමිනි. මේ නිසා බුදුන් ඉසිපතනාරාමයට වැඩම කිරීම ගැන ඔවුන් තුළ සතුටක් ඇති නොවුණි. ඇතැම් විට ඔවුන් සිතන්නට ඇත්තේ නැවත වරක් ඔවුන්ගේ සහාය අපේක්ෂාවෙන් පැමිණෙන බවය. එනිසා ඔවුන් කතිකා කළේ බුදුන් නොතකා හරින්නටය. එම කතිකාව මෙසේ පූජාවලී හිමියන්ගේ අවධානයට ලක් වෙයි.
“භගවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා හැරපියා තමන් රජ කුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙන ලද මධුර වූ ආහාරය අනුභව කොට ඡවි පහස් ලදින් දැන් ප්‍රභාසම්පන්නව රන් කඳක් සේ ගියාහුය. බඩපුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇතිව යහපත් වූය. නොයෙක් උත්සාහ කොට බුදු විය නොහී දැන් අප කරාම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ. හුනස්නෙන් නොනැගෙම්හ. පෙර ගමන් නොකරම්හ. පෙර සේ ඔහු අපි නොවදුම්හායි කතිකා කළහ.“
මෙසේ කතිකා කළ අයට පසුව සිදු වූයේ මීට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. බුදුන් සමීපයට වඩිද්දී බුද්ධ තේජසින් සිටි තැන සිටගත නොහී ඔවුන් කලබලයෙන් හැසිරුණේ කෙසේද? පෙර මඟට යයි. බුදුන් වඳී. පා සිවුරු ගනී. ශ්‍රීපාදය දොවයි. පැන් පවස් විචාරයි. එවිට බුදු හිමියන් මොවුන්ගේ සැක සංකා දුරු කරනු වස් මෙසේ වදාළහ.
“මහණෙනි, සමසමයන් හා කථා කරන්නා සේ ලොව්තුරා බුදුන් හා කථා නොකරව. මර සෙන් බිඳහැරපීමි. වසවත් මර මන් බිඳපීමි. ගිරිමෙවුලා මතැතු දණ බිම අන්වාපීමි. එකොළොස් මහා යුද්ධයෙහි ජය ගෙනපීමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කළෙමි. මහපොළොව ගුගුරුවාපීමි. මහමෙර සක්වළගල් නටවාපීමි. දෙවි බඹ කැලන් කළ පූජා විඳපීමි. මරඟනන් පලවාපීමි. මහණෙනි, සවුනේ ගෙවා බුදු ව තුන් ලෝ මුඳුන්පත් වීමි. තොප හැමදෙනාගේ සැක හැර අද රෑ දම්සක් දෙසුම අසා බලගැයි වදාළ සේක.“
මේ බුදුදම් ඇසූ පස්වග තවුසන්ට වූයේ කවරක්දැයි කතුවරයා පෙන්වා දෙන්නේ බුද්ධ තේජසින් වෙවුලා ගියේ කේශර සිංහයක්හු දුටු සිංහ පැටවුන් සේ වූ බවයි. එකත්පස්ව නොසෙල්වී සිටි බවයි. බුදුන් දහම් දෙසන්නට සූදානම් වූ කල්හි එතැන්හි බුද්ධාසනයක් ද සැකසිණි. මේ මොහොතේ සොබාදහම පරිසරය සියල්ල ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු කතුවරයාගේ වැනුමට ලක් වෙයි. සන්ධ්‍යාව ඒ වෙනුවෙන් සූදානම්ව සිටි අයුරු කතුවරයාගේ වර්ණනාවට හසු වන්නේ මෙසේය.
“ එකෙණෙහි නිශා නමැති කාන්තා තොමෝ තරු පෙළෙ නමැති ගෙලෙ මුතු දම් පැලඳ නිල්වලා නමැති කෙස් වැටි තනා දික් නමැති හස්තයෙන් සඳරැස් නමැති දිවසළු විදා හැඳ බඹලෝ නමැති මිණි ඔටුනු දරා තුන්ලෝ නමැති ඇඟ සොල්වා කෞමද නමැති ඇස් දල්වා භෘංගනාද නමැති ගායනා පතුරුවා මාගේ ස්වාමිදරුවාණන් වහන්සේගේ පළමුවන මඟුල් බණ පූජාවට මෙසේ ලීලෝපේතව සැරසී සිටගත.“
මනරම් සැඳෑ වැනුමක යෙදෙන්නට කතුවරයා සමත් විය. සොබාදහම මෙසේ ආසිරි ගන්වද්දී බුදුහු තම දෙසුම පවත්වන්නට සූදානම් වූහ. එවිට දස දහසක් සක්වළ දෙවි දේවතාවෝ දහම් අසන්නට සැරසුණු ආකාරය ද කතුවරයාගේ වර්ණනාවට හසු වෙයි. මෙහි චමත්කාරය බලන්න.
“ දස දහසක් සක්වළ දිව්‍ය නාගයෝ කඩුපුල් මල් මිටි ගෙන දිවූය. ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩා ගෙන දිවූය. ගාන්ධර්වයෝ තූර්යභාණ්ඩ ගෙන දිවූහ. අසුරයෝ පළොල් මල් ගෙන දිවූය. දෙවියෝ පරසතු මල් ආදි වූ නන් විසිතුරු සිව මල් ගෙන දිවූය. බ්‍රහ්මයෝ සේසත් ගෙන දිවූය. දස දහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරු දෙවියෝ දිවූහ.“
මෙලෙසින් දෙවියන්ගේ සූදානම කවරාකාර ද යන්න සිතා ගත හැකිය. මේ පිටු ගණනාවක් පුරා කරන වැනුමක ඇරඹුමක් පමණි. දිව්‍ය සේනාවන් පැමිණ දහම් අසන්නට අතොරක් නැතිව ම රැස් වූ බවයි. එපමණක් නොව දෙවියන්ගෙන් ලද අපමණ පූජාවන් ද මෙහිදී වැනුමට එක් කෙරේ. බුදුනට චාමර සලන දෙවියන් ජයසක් පිඹින දෙවියන් ආදිය ගැන ද තවත් අනේක පුද පූජාවන්හි යෙදෙන දෙවියන් ගැන ද මෙහි කියවේ.
දෙවියන්ගේ මෙම අසිරිමත් පූජාවන් මධ්‍යයෙහි බුදුහු දම්සක් දෙසූ අයුරු වැනුමට හසු වූයේ මෙසේය.
“ මාගේ ස්වාමි දරුවෝ ඒ මහීනාදය සමඟ තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ බුද්ධඥාන නමැති සූර්ය කාන්තියෙන් ප්‍රබෝධ වූ සුරක්ත වූ ජිව්හා ධාතු නමැති කෙමි ඇති දන්ත ධාතු නමැති කෙසරු ඇති සුරක්ත වූ ඕෂ්ඨ ධාතු නමැති පත්‍ර ඇති සද්ධර්ම නමැති මධු බිංදු ඇති ශ්‍රීමත් වූ මුඛ පද්මය විවෘත කොට බැණ නැගි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඩක් සේ කෙරෙමින් ………..“
මෙලෙසින් උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළ බව පූජාවලී හිමියෝ වර්ණනාවට ලක් කරති. සැබවින්ම ලොවට ධර්මාලෝකය ලද මෙම උතුම් අවස්ථාව උත්කර්ෂයෙන් වර්ණනා කිරීම අරුමයක් නොවනු ඇත. මෙම අවස්ථාව පසුකාලීන බොහෝ සාහිත්‍යකරුවෝ විවිධාකාරයෙන් වර්ණනාවට හසු කර ගෙන තිබෙයි.
නූතනයේදී සුනිල් සරත් පෙරේරා ලියා අමරදේවයන් ගයන මේ ගීය ද ඊට නිදසුනකි.
සනරාමර හිමි දම්සක් දෙසුවේ – ඉසිපතනේ මිගදා වන අරණේ
පස්වග මහණුන් හමුවේ – සිව්සස් දෙසුවේ
සුරඹුන් පරසතු සැලුවේ – සාධු සාධු හඬ නැඟුවේ
සසර කතර දුක් සිඳණේ- සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ – දම්සක් පැවතුම දෙසුණේ
කෙලෙස් මලින් ලොව මිදුණේ – නිවන් දොරට මං ඇරුණේ
අවිඳු අඳුර දුරු කෙරුණේ – මුනිඳු නැණින් ලොව දිලුණේ.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


