2021 දෙසැම්බර් 2 – දිනමිණ කටාරම අතිරේකය
අසිරිමත් ජටිල දමනය
පසුගිය ලිපියෙන් ඔබට කියා පෑවේ බුදුරදුන්ගේ ඉසිපතනාරාම ගමනය. පළමු දම් දෙසුම සඳහා වැඩිය මෙම ගමනේදී පස්වග තවුසන් ක්‍රියා කළ පිළිවෙළ හා ඔවුන්ට දහම් දෙසුම සිදු වෙද්දී දෙවි දේවතාවන්ගේ පූජා පෙළහර සිදු වූ අයුරු කතාකරුවාගේ වර්ණනාවට ලක් වූ අයුරු විවරණය කළෙමු. පූජාවලියෙහි දාහතරවන පරිච්ඡේදය හෙවත් වේළුවනාරාම පූජා කතා විමසුම තුළ ඇතුළත් ජටිල දමනය කෙරෙහි මෙවර අවධානය යොමු කරවමු.
විශේෂයෙන් කතාකරුවා බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමට බුදු සිරිතේ හැම අවස්ථාවක් ම හොඳින් භාවිතයට ගත් අයුරු මෙම විශේෂ අවස්ථාවන් ඉදිරිපත් කළ පිළිවෙළින් ම පෙනේ.
උරුවෙලාවෙහි නේරංජනා ගංතෙර විසූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිලයන් තිදෙනා පූජාවලී කතුවරයාණන් හඳුන්වා දෙන්නේ “රහතුම්හයි කියා මිථ්‍යා දෘෂ්ටි ගෙන ලෝවැස්සන් වංචාවෙන් පහදවා ලාභයෙහි යසසෙහි අග්‍රව වෙසෙති.“ යනුවෙනි. නූතන ඇතැම් රහතුන්ලාට ජටිලයන් සමාන කළ හැකි යයි සිතේ. මෑත ශ්‍රී ලංකාවේ ද වදුරඹ සිරිවර්ධන රහතුන්, පොළොන්නරුවෙහි රහතුන් ආදී වංචාකාරයෝ රාශියක් ම පහළ වූහ. අවාසනාවට මොවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය වැළඳගත් බොහෝ මිථ්‍යාදෘෂ්ටි ශ්‍රාවකයෝ ද වූහ. විශාල පිරිස් ඇතිව වැජඹුණු මොවුහු ඇතැම් විට පූජාවලිය පෙන්වන පුරාණ ජටිලයන්ගේ පුනරාගමනයක් විය හැකිය.
බුද්ධකාලීන මෙම ජටිලයන් තිදෙනාට දහසක් අනුගාමිකයන් වූ බව කියවෙයි. මිථ්‍යාදෘෂ්ටි ගත වීමෙන් නියත අපාය හිමිව තිබූ මොවුන්ගේ පුරාණ හේතු සම්පත් දැක මේ සියලු දෙනා නිවන් මඟට හරවා ගැනීමට බුදුහු ඔවුන් වෙත යාමට තීරණය කළහ. පළමුව වැඩම කළේ උරුවෙල කාශ්‍යපයන්ගේ ආරාමයටයි. ගොස් “කාශ්‍යපයෙනි, තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ.“ යනුවෙන් බුදු හිමියෝ කාශ්‍යපයාගෙන් ඉල්ලා සිටියහ.
එයට කාශ්‍යපයාගේ පිළිතුර වූයේ “මහණ භවත් ගෞතමයෙනි, තපස්වීවරයන්ට අවසර දීම අප සේ වූ තපස්වීවරයන්ට ම සුදුසු ය. එසේද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාගයෙක් වෙසෙයි. ඒ අප රහත් හෙයින් අපට කිසිවකුත් නොකෙරෙයි. නොරහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනෙකුන්ට උපද්‍රවයක් කළේ නම් අලාභ වේදැයි කීහ.
පූජාවලී කතුවරයා මෙය ලියන්නට ඇත්තේ කට කොනකට නැංවුණු සරද සිනහවකින් ද යුතුව විය යුතුය. ලොව්තුරා බුදු කෙනෙකුන්ගේ තරාතිරම නොදත්තකු තමන් රහත් බව බුදුන් ඉදිරියේ කියා පෑම සරද උපහාසයක් ම වේ. එපමණකුදු නොව මෙම නාගයා වෙතින් තමනට අනතුරක් නොවන්නේ තමන් රහත් නිසා බව කීමෙන් ද බුද්ධිමත් පාඨකයා ඉදිරියේ ජටිලයන් පත් කරවන්නේ දීනයන්ගේ විලාසයටය. එහෙත් බුදුන්ගේ පිළිතුර දෙස බලන්න. “තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනු කැමැත්තම්හ“ යන්නයි.
දෙවන වරද ජටිලයා මෙය ප්‍රතික්ෂේප කරන අතර නාගයාගේ විෂඝෝර බව ම කියා සිටී. තෙවන වරද බුදුන් ඉල්ලීම කරන අතර කාශ්‍යපයෝ නාගයාගේ දැඩි බව ම කියා සිටියහ.
එවිට බුදුහු “ නයිගේ බල නොකියා තොපගේ ගිනිහල් ගෙය අපට අවසර දෙව යි වදාරා උන්නේ අනුදන්වා ගෙන නා විමනකට වඩනා ගරුඬ රාජයක්හු සේ නිර්භීතව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැද වැඩ උන් සේක.“
කතුවරයා යෙදූ උපමාව අපූරුය. ගරුඬයන් ඇති තැන නයින්ට වාසයක් නැත. ගරුඬ රාජයෙකු සේ යන්නෙන් බුදුන්ගේ තේජස් මහිමය ද ප්‍රකට කෙරෙයි. දැන් බලසම්පන්න විෂඝෝර නාගයකුට අත් වන ඉරණම දැක ගැනීමේ ආශාව පසුපස පාඨකයා ලුහු බඳී. සිදු වූයේ කුමක්දැයි බලන්න.
“ඉක්බිති නාගරාජ තෙම ගිනිහල් ගෙයි වැඩහුන් බුදුන් දැක ඇතකු කරා පැමිණි උම්මත්තකයකු සේ මාගේ භවනයට අවුදින් තමාගේ ගෙයක සේ හිඳ ගත් මොහු කවරෙක්දැයි කිපී බුදුන් කරා විෂ ධූම හරනට වන. ස්වාමිදරුවෝ මම ද එක විෂ ධූමයක් හළිම් නම් එක නයෙකු තබා මුළු ලොව මකුළු හූයක් සේ දායෙයි. එසේ ද වුවත් මොහුගේ අභිමාන මැඬ දැමුව මනා වේදැයි සිතාලා මාගේ ශරීරයෙන් නික්මුණා වූ දුමින් කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදි සියලු සතුන්ටත් උපද්‍රවයක් නොවේවයි අධිෂ්ඨාන කොට ලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශරීරයෙන් දුම් කඳු හරනට පටන් ගත් සේක.
නාගයා විෂ දුම් හරිද්දී බුදු හිමියන් කළේ කිහිඹියකුට දු හිරිහැරයක් නොවන පරිද්දෙන් සිය බුදු සිරුරෙන් දුම් නිකුත් කිරීමය. දුමින් වැසුණු නාගයා අනතුරුව බුදුන් දවන්නට සෙයින් ගිනි පිට කරන්ට පටන් ගති. බුදුහු තේජෝ කසිණයට සමවැද තම සිරුරින් ගිනි ජාලාවක් නිකුත් කෙරුනේ ගිනි ගෙන දැවෙන හේනක් සෙයිනි. මෙය දුටු ජටිලයන් සිතුවේ “ තෙලෙ නාගරාජයා හළ ගිනි කඳය. මහණ භවත් ගෞතමයන්ගේ රන් කඳක් වන් ශරීරය අද දා නස්සි. අප කියමන් නොගත්හ“ යනුවෙනි.
එහෙත් ඒ වන විට බුදු හිමියන් නාගයා දමනය කොට පාත්‍රයට දමා ගත්තේ ඉඳුනිල්මිණි කරඬුවෙක රිදී හවඩියක් ලන්නා සේ ය.
ගිනි දුම් සියල්ල පහව ගිය පසු උරුවෙල කාශ්‍යපයන් කැඳවා කලින් දා මහා බලසම්පන්නයකැයි කී නාග රාජයා පත්ව ඇති ආකාරය පෙන්වා දුන්නේය. එවිට උරුවෙල කාශ්‍යප කල්පනා කළ හැටි බලන්න. “ මේ මහණ භවත් ගෞතමයෝ අප සේ ස්වසන්තාන දමනය කොට රහත් වන සේ නොදන්නා බව මුත් නයින් දමන්නා වූ ආනුභාව ඇතියහයි කියා රහත් ගුණ තමන් කෙරේ ම තබා දුටහ.
ජටිලයා කල්පනා කළේ බුදුන් නයින් දමනය දන්නා නමුත් තමන් සේ රහත් නොවූ බවය. මෙලෙසින් බුදුන් ඉදිරියට පැමිණි සියලු අභියෝග පරාජය කළ පසු බුදුහු ඔවුනට දහම් දෙසා වදාළහ. රහතුන් හා නොරහතුන් හඳුන්වා දුන්හ. එයින් සියලු පිරිස සෝවාන්හි පිහිටියහ. එවිට ඔවුන්ගේ මුව‘ගට නැගුණු වදන් මෙසේය.
“මෙතෙක් දවස් නුඹ බුදු වූ බව් නොදත්තෙමි. නොහැඳින්නෙමි. ගැත්තහු නොදැන කළ වරද ක්ෂමා කොට වදාළ මැනව. ස්වාමිනි දැන්ම ගැති මහණ වනු කැමැත්තේය‘ යි ආරාධනා කළහ. අනතුරුව පැවිදි බව ලද මෙම දහසක පිරිස ආදිත්ත පර්යාය සුතුරෙන් බණ අසා අර්හත් බව ලදහ.
මෙය බුදු සිරිතේ තවත් අසිරිමත් සිදු වීමක් ලෙසින් පූජාවලි හිමියෝ උත්කර්ෂයෙන් වර්ණනා කරති.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


