ජනවාරි 14, 2021 – දිනමිණ කටාරම අතිරේකය
බෝසත්වරුන් සසරදී ලබන තෙළෙස් සුව
පසුගිය ලිපියෙන් ඔබට ඉදිරිපත් කළේ බෝසතුනගේ පාරමී විසිතුරු පිළිබද තොරතුරුය. අද ලිපියෙන් තවත් රසබර අදහසක් පූජාවලියෙන් උපුටා අපගේ වියත් පාඨකයන් වෙත ඉදිරිපත් කරමු. ඒ බෝසත්වරුන් සසරදී ලබන තෙලෙස් සුවයක් හෙවත් ආනිසංසයක් පිළිබඳවය.
බෝසත් බවේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ පෙර ලිපියේ දී ද කරුණු දක්වා තිබේ. බෝසත් බවට නව අරුතක් එකතු කළේ ධර්මසිරි ගමගේ නම් බෝසත් කවියාය. 1976 තිරගත වූ හුලවාලි චිත්‍රපටයට ඔහු ලියූ අපූරු ගීයක් සුනිල් එදිරිසිංහ ගයයි. එහි බෝසත්කමට දෙන අරුත බලන්න.
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලේ බිඳුණු දා කුමකට කදුළු හෙළනු සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී
ධර්මසිරි ගමගේ ආදරය යන්නට යොදන ආලවඩන යන වදනත් ඔහු ඊට දෙන අරුතත් මුනිවර සිතකින් විනා වෙන සිතකට පහළ නොවන්නකි. තනි පැදුරක රැය පීඩාවෙන් ගෙවන්නකුට කිසිදා නොලැබෙන මේ බෝසත්කම ආදරයයි. ඒ බෝසත්කම බිඳී ගිය දා කඳුළු සළා පලක් වෙයිද? ඒ බෝසත්කමේ නූතනාර්ථයයි. මෙලෙසින් බෝසත් බවට කෙතරම් අරුත් දිය හැකිද? මිනිස්කම ද බෝසත්කමයි. කරුණාව හද පත්ලේ පුරවා ගෙන අනුන් සුවපත් කරන්නෝ බෝසත්වරුය. සැබෑ බෝසත්වරු පාරමී දම් පුරන සමයෙහි සුවහසක් දුකට පත් සත්වයන් සුවපත් කළහ. සුතසෝම බෝසතුන් මිනී මස් කෑ පෝරිසාදයා ඉන් මුදවා නැවත රජයෙහි පිහිට වූ අතර මහිංසාස බෝසත් කුමරු රාක්ෂයාට ගොදුරු වූ තම සහෝදර කුමරුන් දෙදෙනා බේරා සුවපත් කළේය. ජාතක පොත පුරා මෙම බෝසත් චරිත විවරණය වෙයි.
බෝසත්වරු බුදු බව උදෙසා අසංඛ්‍ය කල්ප ගණන් සසරේ පාරමී පුරති. පූජාවලි කතු බුදුපුත් හිමි පූජාවලියෙහි අසංඛ්‍යය පහදයි. එය දඹදෙණි යුගයේ ලංකාවේ දියුණුව පැවති ගණිත ශාස්ත්‍රයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නකි. දස දසයෙක් නම් සියයෙක. දස සියයෙක් නම් දසසෙක. සියක් දහසෙක් නම් ලක්ෂයෙක. සියක් ලක්ෂයෙක් නම් කෝටියෙක. කෝටි කෝටියෙක් නම් ප්‍රකෝටියෙක. ප්‍රකෝටි කෝටියෙක් නම් කෝටි ප්‍රකෝටියෙක. කෝටි ප්‍රකෝටි කෝටිකේ නම් නහුතයෙක. නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක. නින්නහුත කෝටියක් නම් හුත නහුතයෙක. හුත නහුත කෝටියක් නම් කම්භයෙක. කම්භ කෝටියෙක් නම් විශ්කම්භයෙක. විශ්කම්භ කෝටියෙක් නම් අහගයෙක. අහග කෝටියෙක් නම් අබබයෙක. අබබ කෝටියෙක් නම් අටටයෙක. අටට කෝටියෙක් නම් සොගන්ධියෙක. සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක. උප්පල කෝටියෙක් නම් කුමුදයෙක. කුමුද කෝටියෙක් නම් පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක් නම් පදුමයෙක.පදුම කෝටියෙක් නම් කථානයෙක. කථාන කෝටියෙක් නම් මහා කථානයෙක. මහා කථාන කෝටියෙක් නම් අසංඛ්යෙයක.
මේ අනුව දසයේ සිට අසංඛ්‍යය දක්වා ඉතා පැහැදිලිව ගණනය කරන්නට දඹදෙණි සමාජය තුළ අවබෝධයක් පැවති බව මෙයින් පෙනේ. බෝසත්වරයෙක් මෙවැනි අසංඛ්‍යය කල්ප අසූ හාරදහසක් පාරමී දම් පුරන බව දැක්වෙයි. බුද්ධත්වය කෙතරම් දුර්ලභ ද යන්න මේ අනුව වැටහෙයි.
අසංඛ්‍යය කල්ප අසූ හාර දහසක් පාරමී පුරන බෝසතුන් ලබන සසරේ ලබන සුව තෙළෙසක් පූජාවලිය හෙළිකරයි. ඒවා කවරේ දැයි සංක්ෂිප්තව පැහැදිලි කිරීම මෙහිදී සිදු වෙයි. පංචානන්තර්ය කර්ම ආදී පව් කොට අපමණ මහ දුක් විඳින සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය,ප්රතාපය,අවීචිය යන අටමහ නරකයන්හි කිසිදා නූපදී. මිථ්‍යාදෘෂ්ටි ගත්තවුන් වැටී අපමණ දුක් කල්පයක් පුරා විදින ලෝකාන්තරික නම් නරකයෙහි කිසිදා නූපදී. බත් පැන් නොලබන ගිනිගත් ශරීර ඇතිව කල්පයක් දුක් විදින නිජ්ජාමතණ්හා නම් ප්‍රේත යෝනියෙහි කිසිදා නූපදි.
මහාසාගරයේ පැන් එක් වර කටට ගත්ත ද උගුර හෝ නොතෙමෙන මහා පිපාසාවෙන් බුද්ධාන්තරයක් දුක් විඳින ඛුප්පිපාස නම් ප්‍රේත යෝනියෙහි කිසිදා නූපදි. දිලියෙන ආයුධ ගෙන ඔවුනොවුන් මරා ගන්නා කාලකඤ්ජක නම් ප්‍රේත යෝනියෙහි කිසිදා නූපදී. උකුණුව, ඉනිකුණුව, මකුණුව, කුහුඹුව, පණුව, ගැඩවිල්ව, මැසිව, මදුරුව වැනි ක්ෂුද්‍ර ප්‍රාණීන්ව ද දාර පිඹුරන් ආදී ලාමක ප්‍රාණීන් ව නූපදී. අන්ධව, ගොලුව බිහිරිව, කොරව, පිලුව, කුෂ්ටයෙකුව නූපදී ස්ත්‍රීව නූපදී.
නපුංසක, ඔපක්කමික, පණ්ඩකව ගෙයක් නැතිව, දොරක් නැතිව, දරුත් නැතිව, ගැහැණුත් නොවන පිරිමිත් නොවන හීනාත්මභාවයන්හි නූපදී. මාතෘඝාතක, පිතෘඝාතක, අරහන්තඝාතක, ලෝහිතුප්පාදක, සංඝභේදක යන පංචානන්තර්ය කර්ම නොකරයි. අරූප ලෝක, අසඥතල වැනි ඒ ඒ කල උපන් බුදුන් නොදකින ලෝකවල නූපදී. අනාගාමීන් උපදනා වූ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි නූපදී. මිථ්‍යාදෘෂ්ටි ගත් කුලයෙක නූපදී.
මේ අනුව කතුවරයා මිනිස් දහම් ගිලිහී ගිය දඹදෙණි යුගයේ සමාජයට පව්කම්හි බිහිසුණු බව කීයේ මෙසේය. විශේෂයෙන් මෙහි දැක්වූ අටමහා නරකයන් හා ප්‍රේත යෝනිවල නූපදින එකදු සත්වයෙක් නොමැති බව පුන පුනාම මෙහි කියා තිබීමෙන් ඒ බව පෙනෙයි. මේ නිසා බෝසත් ගුණ වඩන්නට සත්පුරුෂයන්ට කතුවරයා මේ ඔස්සේ ආරාධනා කරන්නේ මෙසේය.
මේ ආදී නොයෙක් කාරණයෙන් සත්පුරුෂ වූ ජනයන් විසින් බුද්ධ ප්‍රාර්ථනාව උත්තම ප්රාර්ථනාවකැයි දැන බුදු බැව් පතා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් සාදා සංසාර සාගරයෙන් ගොඩ නැංග යුතු.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්ව විද්‍යාලය.


