2021 නොවැම්බර් 04 – දිනමිණ කටාරම අතිරේකය
උපක ආජීවික බුදුන් දකී..

පසුගිය පූජාවලී විමසුමෙන් පෙන්වා දුන්නේ බුදුන් හමුවට පැමිණි ‘තණ්හා, රතී, රගා’ යන මරදූවරුන්ගේ මාර සංග්‍රාnමය පිළිබඳවය. ඇතැම් තැනෙක මේවා බුදුන්ගේ සිතුවිලි ලෙස විග්රහ වෙතත් එහි වැරැදි බව පෙනෙන්නේ මේ සිදු වීම වූයේ බුදු වීමෙන් පසුව හතරවන සතියේදී වීමය. එවිට බුදු හිමියෝ තණ්හාව, රතිය, රාගය මුළුමනින්ම දුරුකර තිබුණි. එනිසා පූජාවලී කතුවරයා මෙය පුද්ගලාරෝපණයක් ලෙසින් ඉදිරිපත් කළේය. එම ඉදිරිපත් කිරීම හා වර්ණනා සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තැනෙක පවතී. මෙවර ලිපියෙන් ඔබට අවධාරණය කරන්නේ පූජාවලී ඉසිපතනාරාම පූජා කථාවෙහි එන උපක ආජීවක බුදුන් සරණ ගිය පිළිවෙළය. සැබවින්ම මෙය ඉතාම රසබර කථාවකි. ලංකාවේ බොහෝ උසස් විභාග සඳහා මෙම පරිච්ඡේදය බොහෝ වාරයක් ම නිර්දේශ වී තිබේ.
ඉසිපතනය ඍෂීන් පතිත වන බිමය. ධර්මාලෝකයෙන් නැහැවුණු බිමය. පස්වග තවුසන් ධර්මාවබෝධය ලද බිමය. සඟ සසුනේ ඇරඹුම සිදු වූ බිමය. වැලිකලමුල්ලේ වික්‍රමසිංහ නමැත්තකු ලියා පුණ්‍යා කත්‍රිආරච්චි සහ දයානන්ද කෝනාර ගායනා කරන අපූරු ගීයක් ඇතුළත මේ සියල්ල කියවෙයි.
බුදු රැස් දහරින් මුළු ලොව සතපා
සමන් බදුරු හිමි කරුණා නෙතපා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
පස්වග මහණුන් මල් පෙති අතුරා
බුදු බණ පදයෙන් ඇත සිත සපුරා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
දම්සක් සුතුරින් දහම් අමා දිය
දෙව්බඹ සපුරති සීල සමාධිය
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
නිවනෙහි දොර හැර බව දුක නැසුවා
අරි අට මග ඵල සත හට බෙදුවා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ මෙම ඉසිපතනයට බුදු හිමියන් වඩින්නේ පළමු දහම් දෙසුම සඳහාය. සාවුරුද්දක් පුරා දුෂ්කර ම කාලයෙහි තමා ළඟ වෙසෙමින් ඇප උපස්ථාන කළ පිරිස පස් වග තවුසන්ය. කළගුණ සැලකුමේ උතුම් ධර්මතාව ලොවට පසක් කරවමින් මේ පිරිස වෙනුවෙන් තම පළමු දෙසුම කරන්නට තෝරා ගත් බුදු හිමියෝ ඒ සඳහා ඇසළ පෝදා දෙසැත්තෑ ගව්වක් දුර මග ගෙවා වැඩියහ. උපක ආජීවකයන් හමු වන්නේ මේ අතරෙහිය. ඔහු බුදුන් දැක විස්මයට පත්ව මෙසේ කියන්නට වීය.
“ ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතුද? ස්ථිර වූ ගුණ ගනරන් මෙන් ගතුද? ගැඹුරු වූ ගුණ මහ මුහුදින් ගතුද? තේජෝ ගුණ හිරු මඬලින් ගතුද? සොමි ගුණ සඳ මඬලින් ගතුද?අමා පිඬක් වැනි කෙනෙකු ව. මහපින් පිඬක් වැනි කෙනෙකු ව. ……… තෙපි කවුරුද?”
එවිට බුදු හිමියන්ගේ පිළිතුර වූයේ තමන් ශක්‍රයාවත් බ්‍රහ්මයාවත් නොව ‘අනන්ත ජින’ නම් වන බවයි. එවිට ආජීවකයා බෙහෙවින් පැහැදව “එසේ නම් අනන්ත ජිනයෙනි. අද පටන් තෙපි මාගේ යහළුව“ යනාදිය කියා සිටි අතර, බුදු හිමියෝ එය පිළිගෙන ඉසිපතනාරාමයට වැඩම කළහ.
ආජීවකයා වංගහාර නම් වැදි ගමකට පිවිස උඩු කයට පමණක් පිළි හැඳ හිණෙන් පහළ නිරුවත්ව ආජීවක ස්වරූපය විදහාලන්නට ගම මධ්‍යයට වී සිටියේය. එහි වැදි ජනයන් මේ අමුතු පුද්ගලයා දැක විමසා බැලූ විට ආජීවක කියා සිටියේ,
“ගිහි මිනිසුන් සේ ලජ්ජා වසා පිළි නොහදුම්හ. අපි තපස් රක්ෂා කරම්හ. ලජ්ජාවෙන් අර්ධයක් පාලනය කරන බැවින් අර්ධපාල නම් රහතුම්හ. යි කීය.”
දියුණු නොවූ ඕනෑම සමාජයක ආගමික චෞරයන්ට වාසිදායකය. ජනයා රවටා ගැනීම පිණිස ඕනෑම නිරූපණයකට යොමු වෙයි. මොහු කෙතරම් විලිලැජ්ජා බැහැර කළේද යත් ජනයා මුළා කර ගැනීම පිණිස ඉණෙන් පහළට වස්ත්‍ර නොහදී. වස්ත්‍ර හැඳීමේ මූලික අරමුණ පවා නොදනී. වර්තමාන ඉන්දියාවේ නිගණ්ඨයන් වෙනුවෙන් තවමත් පුද පූජා තබන්නෝ වෙති.
අපේ රටේ වුව එවැන්නකු පහළ වුවහොත් වන්දනාවට යන ලක්ෂ ගණනක් වුව දැකිය හැකි වනු ඇත.
මේ අර්ධපාල රහතුන් ගැන මිනිසුන් සිතූ දේ බලන්න.
“මොහු මහා බලවත් කෙනෙක. ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූ කලී සන්තානයෙහි නැත්තාහුම යයි කියා පැහැද වඳිති. පුදති. සත්කාර කෙරෙති.”
දැන් අර්ධපාල වැදි ජනයාගේ ශාස්තෘවරයා වී ඇති සැටි පෙනෙයි. එහි වැදි මුදලි හෙවත් ගම් නායකයා විශේෂයෙන් ඇප උපස්ථාන කරයි. නිරුවත් කපටි ආජීවකයන්ට සොබා දහමින් දුන් දඬුවම වන්නේ ලේ උරා බී මරණයට පත් කරන විශාල මැසි උවදුරක් පැතිරීමය. ජීවිතය බේරා ගැනීමට නම් පොළොවේ වළක් හාරා විශාල සැළවල් වළ ලා එහි බැස පියනකින් වැස වාසය කළ යුතුය. අර්ධපාල සොබා දහම සඟවා ගත්තේ එසේය. මුදලි තම ඡාවී නම් දුව සමග දිනපතා මේ අර්ධපාල රහතුන්ට දන් දෙන්නට පැමිණේ. ඡාවීට පෙම් බඳින මෙම හොර තාපසයා ඇය නොලදොත් මියෙන බව මුදලිට පවසන්නේ නූතන බොළඳ පෙම්වතකුගේ විලාසයෙනි.
අවසන ඡාවී විවාහ කර දෙයි. එහෙත් කිසිදු කර්මාන්තයක් නොදන්නා අර්ධපාල මාමාට මෙහෙ කරයි. කත් අදී .දර අදී. දැල් අදී. පන් අදී. මස් අදී. නොබෝ කලකින් ඡාවී භද්දක නම් පුතෙකු වදයි. එම පුතු නළවන කල ඡාවී දරුවා අමතන වදන් සෝපහාසයෙන් පිරුණ වදන්ය. නොගැළපෙන විවාහයකට යන පිරිමියෙකු හට අසන්නට ලැබෙන දරුණුතම වදන්ය. බලන්න.
“මස් කත් අදින කත්පුමයාගේ පුත නොහඬව. මස් වැද්දහුගේ පුත නොහඬව. මූඪයාගේ පුත නොහඬව. කෙළතොල්ලාගේ පුත නොහඬව.”
යනාදීයෙන් අකමැත්තෙන් තමා සමඟ දීග පැමිණි අර්ධපාලට බිරිඳ ප්‍රබල ලෙස පහර දෙයි. ලජ්ජාවට පත් කරයි. නින්දාවට පත් කරයි. පෙර පාලනය කර ගත්තා යැයි වහසි බස් දෙඩූ ලජ්ජාව දැන් දරා ගත නොහැකි ලෙස වේදනාවට පත් කරයි.
අනතුරුව බුදුන් සොයා එන අර්ධපාල හොර තවුස් තෙම බුදුන් හමුවෙහි පැවිදිව විදසුන් වඩා රහත් වෙයි. එම රහත් බව හා පෙර ජනයා රැවටූ රහත් බව අතරෙහි වෙනස ඔහුට කෙලෙසක දැනෙන්නට ඇත්ද?
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


