2021 ඉල් පොහෝ දින බුදුසරණ පුවත්පත
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
කලාව වනාහි මිනිසා සමාධිගත කරවන ලොව බිහිවූ අපූර්ව මාධ්‍යයකි. දාර්ශනික මනසින් විඳි සෞන්දර්යයේ අපූර්වත්වය සංකේතානුසාරයෙන් අන්‍යයන්ට විඳින්නට සලස්වන්නේ කලාවයි.
තෝල්ස්තෝයිට අනුව කලාව යනු, මිනිසා විසින් සාක්ෂාත් කර ගනු ලැබූ උත්තරීතර හා විශිෂ්ටතම හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කොටගත් මානව ක්‍රියාවලියකි. තොල්ස්තෝයිගේ අදහස් විග්‍රහ කරන මහාචාර්ය ඒ.වී.සුරවීර කලාව යනු කුමක් ද? කෘතියෙහි කලාව වූ කලි එකම වේදිතයක් තුළින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් බවත් , කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයක් බවත් කියා සිටී.
මෙම සංක්ෂිප්ත විවරණ ඔස්සේ කලාව සහ කලාවේ කාර්යභාරය පිළිබඳ දළ සටහනක් අපට ලබාගත හැකි ය. මේ ඔස්සේ අනුරපුර යුගයේ ඉදිවූ අවුකන සම්බුදු රුව කේන්ද්‍ර කර ගත් විශිෂ්ට කලා නිර්මාණ හඳුනන්නට හා ඒවා විවරණ සපයද්දී දැනුණේ බොහෝ දෙනා තවමත් මෙම ගීතය හඳුනා ගෙන නැති බවයි.
මේ තරම් සියුමැලිද කළුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලෙක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මම ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයයි කියා
අප සිතින් අතීත කලා කෘති අතරට කැන්දන මේ ගීතය කලාවේ නිමැවුම්කරුවන් සොයන්නට අපට මඟ පෙන්වයි.
උසස් ගීතයක ලක්ෂණ පිළිබඳ අදහස් දක්වන භාරතීය සුප්‍රකට සංගීතඥයකු වන ශාරංගදේව
“සුස්වරං සාරසං චෛව
සරාගං මධුරාක්ෂරම්
සාලංකාරං සප්‍රමාණං
සඩ්විධං ගීතලක්ෂණම්
යනුවෙන් මනා වූ ස්වරයත්, උසස් රසයත්, රාගයකින් බැඳීමත්, මිහිරි අක්ෂරත්, අලංකාර සහිත බවත්, ප්‍රමාණාත්මක බවත් යන සයාකාර ලක්ෂණ ගීතයක තිබිය යුතු බව කීය. මේ අනුව ගීතය යනු හුදෙකලා රස වින්දන මාධ්‍යයක් නොව මානව අධ්‍යාත්මය පෝෂණය කරන සොබාදහමේ රිද්මය හා බැඳුණකි. සුභාවිත ගීතය හැම විටෙක ම රසය චමත්කාරය සමඟ ඥාන ගවේෂණයක නියැළෙයි. ජීව ලෝකය සහ මනුෂ්‍යයා පිළිබඳ සැපයෙන එකී දැනුම නිසා යහපත් ගීතයක් විඳ අවසන් වූ විට රසිකයා උසස් අවබෝධයකින් නව ලොවකට කැඳවයි.
මේ සංකල්පනා අනුව උක්ත ගීතය අප කැඳවන්නේ අපේ අතීත කලාවන් විඳින්නට සහ එහි නිර්මාතෘන් සොයන්නට ය. අවුකන ප්‍රතිමාව වෙතට යන ඕනෑම කෙනෙකු හට දැනෙන්නේ මේ තරම් කළුගල් සියුමැලි ද යන ප්‍රශ්නයයි. කවියා ප්‍රශ්න කරන්නේ කළුගල් සියුමැලි වූවා නොව ඒ පසුබිමේ සිටි විශිෂ්ට කලාකරුවාගේ සිත සියුමැලි වූ බවයි. සිතෙහි තැන්පත් වූ බුදුගුණ ඔස්සේ රළු ගල් පවා සියුමැලි කරන්නට කලාකරුවා සමත් වූ බවයි. පැරැණි ගීයක ඇසෙන පරිදි…
“අවුකන පිළිමය වැනි දෑ නෙළුවත් දෑතේ විස්කම් පාන නියා
බුදුන් වඳින්නෝ නිවන් පතනු මිස නෙළුවේ නොසොයති කවුද කියා”
මේ ගී පදවැල් කියා දෙන්නේ කලාවේ නිර්මාතෘන් නොසෙවීම වැරැද්දක් බවයි. එහෙත් යටකී උසස් ගීතය නිර්මාතෘන් සොයන්නට අප කැඳවයි. එහෙත් අපට ඔහු පෙන්වන්නේ දහසින් බැඳි පියල්ලෙන් තුටුව සරුව වෙසෙන කලාකරුවකු නොවේ. දැවැන්ත කළුගල් සමඟ පොර බැඳි නිසා ම ශරීර වේදනා ඉවසාගත නොහැකිව කලාවැව අසල පැලක පැදුරක වැතිරී රිදුම් පිරිමදින අසරණයෙකි. මේ කලාකරුවා ඉතිහාසය පුරා අපි අසරණ කළෙමු. ඔහු වෙනුවෙන් කවරක් අප ජාතිය ඉටු කළාදැයි ප්‍රශ්න කළ නොහැකිද? එමෙන්ම භෞතික සැප පිරි මැදුරක් නො ලදත් සම්බුදු රුව නිමැවුමේ පිනින් ඔහුගේ ආධ්‍යාත්මය පොහොසත් ව පවතී. ඔහු කලාවැව දෙස බලා විඳින්නේ කවරක් ද? මැරෙන ඉපදෙන රළ පන්තියයි. මේ යෙදුම මුළු සම්බුදු දහම ම කැටි කරයි. එනම් අනිත්‍ය ධර්මයයි. ලොව කලාවේ උත්කෘෂ්ට ඵලය නම් මිනිස් සිත සමාධිගත කර ලෝකෝත්තර දැක්මක් ඇති කිරීම විය යුතු ය. බෞද්ධ සෞන්දර්යයේ පරම අරමුණ වන්නේ ද එයයි.
කලාව විඳින්නා දාර්ශනිකයකු විය යුතු ය. ඒ තරම් ම කලාව විශිෂ්ටය. කලාව නිමවන්නා විශේෂයෙන් බුදුරුව නිමවූ කලාකරුවා ඒ ගුණ සිතින් දරා කළ පින ඔහු උසස් ආධ්‍යාත්මික දියුණුවකට ළං කරයි.
අවුකන ප්‍රතිමාව නෙළූ කලාකරුවා කලාවැව ළඟ ඉලුක් හෙවනක කලාවැවේ රළ භාවනාවක් කොට වසනා බව කීම මොන තරම් අරුත්බර ද?
කලාවැවත් අවුකන ප්‍රතිමාවත් නිමවන්නට නියමුවා වූයේ ධාතුසේන රජුය. ධාතුසේන රජුගේ සිත විමසන්නට අහෝ අපට නොහැකි වීම කවර තරම් අභාග්‍යයක්ද? යෝධ කලාවැව සකසා දිය පිරවූ විට ධාතුසේන රජුගේ සතුට කෙසේ වන්නට ඇත්දැයි අපට කියන්නට උපමා නැත. ධාතුසේන රජු අන් වාරි නිමැවුම්කරුවන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කලාවැව සමඟ අවුකන ප්‍රතිමාව ද සෑදූ නිසා ය.
ආර්ථිකය සහ අධ්‍යාත්මය මිනිසාගේ සමබරව ගමන් කළ යුතු අංග බව කල්පනා කළ පාලකයකු වෙතින් රටට ලද මහා දායාදය මේ කලාවැව සහ අවුකන ප්‍රතිමාවයි. අපගේ කවියා රජීව් වසන්ත දකින්නේ ඇතැම් විට ධාතුසේන රජුගේ චරිතය ද? උතුම් රාජ්‍ය සංකල්පයක් ක්‍රියාවට නැංවූ රජකුට දරුවන් උරුම කළේ කුමක්ද? වැව් බැම්මට තබා මැටි ගසා මරා දැමීමයි. ධාතුසේනයන් මෙවැනි අවසන් ගමනකට යොමු කොට අහිංසකයකුගේ ස්වභාවයට පත් කළත් ඔහු නිමැවූ කලාවැවෙහි ජලය දිහා බලා බවුන් වඩන යෝගාවචරයකු බවට පත් වීම අනිවාර්යයෙන් විය හැකි දෙයකි.
විජය කුවේණි සලරුව කළ සුගත් සමරකෝන් කලාකරුවාට ධාතුසේන රජු සොයා යන්නටත් හැකි වේ නම් ඉතිහාසයේ තවත් කතිකාවක් අපට නිර්මාණය කරන්නට හැකි වනු ඇත.
කවියා ගීතයේ අවසන් කොටසේ දී අප කැඳවන්නේ ඉසුරුමුණි පෙම් යුවළ තැනූ විශිෂ්ට කලාකරුවා සොයා යන්නට ය. මහත් සංයමයෙන් යුතු කයින් අනූනව ආභරණ විරලභාවය නිසා වඩාත් කැපී පෙනෙන මෙම මූර්තිය කලා විචාරකයන්ගේ අතිශය ප්‍රශංසාවට පත්වූවකි.
ඕලාරික පෙම්වතුන් තම පෙම්වතියන් මරා දමන මෙවන් යුගයක අපේ අතීත කලාකරුවා ආධ්‍යාත්මික ප්‍රේමයක මහඟු පරමාදර්ශය කෙසේ විය යුතුද යන්න මෙසේ නෙළා ඇති අයුරු අවධානයට යොමු කළ යුතු ය. මෙම ගීත රචකයා සිදු කර ඇත්තේ එයයි.
ආධ්‍යාත්මික ප්‍රේමය කවරාකාර ද යන්න ගලෙහි නෙළූ මෙම කලාකරුවා සොයා යන කවියා ඔහු තවමත් තනිකඩ ලෙස වසන බව කීමෙන් නඟන උත්ප්‍රාසය කවරේදැයි විමසිය යුතු ය.
බැඳීම්වලින් නිදහස්ව ඇති බව ද? එසේ නම් ගීත රචකයා එම කලාකරුවා ද ඔසවා තබන්නේ ඉතා ඉහළ තැනකට ය. එනම් ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් කලාකරුවකුගේ තලයට නොවේ ද?
මෙසේ අනුරාධපුර යුගයේ ඓතිහාසික මෙහෙයුමකට අපව කැන්දන නූතන ගීතයක් ලෙස රජිව් වසන්ත වෙල්ගම ලියා සුනිල් එදිරිසිංහ ගයන මෙම ගීතය අපට දැක්විය හැකිය.
කලාවේ උත්කෘෂ්ට නිමැවුම් මිනිසාගේ අවබෝධයේ පරිධිය පුළුල් කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. විශේෂයෙන් අතීත කලාවේ නටබුන් පවා අපට කියා දෙන්නේ මහා දාර්ශනික සිතිවිලි සමුදායකි. මේවා සෙමෙන් විඳින්නට නොහැකි නූතන අපේ පරපුර ගමන් කරන්නේ කවර දිශාවකටදැයි අපට දුක සිතේ.
මේ රටේ විසූ විශිෂ්ට ඉතිහාසඥයෙකු හා මිනින්දෝරුවෙකු වූ ආර්.එල්. බ්‍රෝහියර් තම කෘතියක කියා ඇති ප්‍රකාශනයකින් මෙම පරිච්ඡේදය අවසන් කරමු.
සියවස් ගණනාවක් අව්වට වැස්සට මුහුණ දෙමින් තිබෙන මේ ගල් ටැම්, පිළිම, ගෘහ නිර්මාණ යනාදිය කලාව නුරුස්සනා දුෂ්ටයාට කිසිම හැඟීමක් ඇති නොකරයි. මේ පෞරාණික නටබුන් නරඹා සතුටක් ලබා ගත නොහැකි, වින්දනය අතින් නෂ්ටකාමයට පත් වී ඇති අයට දෙන්නේ එකම එක උපදේශයකි. මේ පෞරාණික පූජනීය වස්තූන් කෙළෙසන්නේ නැතිව කරුණාකර මෙහි පැමිණීමෙන් වළකින්න. (72 සිට, බ්‍රෝහියර් දුටු ලංකාව, පරිවර්තනය අභය හේවාවසම්)
2021 නිකිණි පෝ දා බුදුසරණ පුවත්පත
ඉතිහාසයේ රසබර තොරතුරු කියන අභිලේඛන සාහිත්‍යය
ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි.
අභිලේඛන උරුමය පිළිබඳ විමසා බලද්දී ශී‍්‍ර ලංකාවේ අතීත සමාජය පිළිබඳ හමුවන විශ්වසනීය තොරතුරු රාශියකි. එක්තරා යුගයක සමාජය විමසන සමාජ විද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස ද අභිලේඛන හැදෑරීමට ගත හැකි ය. විශේෂයෙන් පැරැණි ලක්දිව පැවති විවිධ සමාජ සංවිධාන පිළිබඳවත්, සමාජය මෙහෙය වූ විවිධ බලවේග මෙන් ම සමාජ සිරිත් විරිත් පිළිබඳවත් වටිනා කරුණු රාශියක් විමසීම මෙහි දී සිදු කෙරෙයි.
පැරැණි පුරාවිද්‍යාත්මක කැණීම් රාශියක් අනාවරණය කළ වැදගත් කරුණක් වන්නේ ලංකාවේ ඉපැරැණි රෝහල් සම්බන්ධ තොරතුරු ය. රෝහල් පිළිබඳ තොරතුරු කැණීම්වලින් හමුවෙද්දී ඊට අදාළ වෘත්තීන් පිළිබඳ තොරතුරු අභිලේඛනයන්හි දැක්වේ.
දහ වන සියවසට අයත් කිරිබත් වෙහෙර ටැම් ලිපිය පෙන්වා දෙන්නේ රෝහලේ නඩත්තුව සඳහා ඉඩකඩම් පවරා දී තිබූ බවයි. එමෙන් ‘වෙද්හල්‘, ‘බෙහෙත් ගේ,‘ ‘මහවෙද්නා‘, සුළු වෙද්නා, ‘වෙද්හල් සම්දරුවන්, ‘වෙද්හල් කැමියන්, වෙද්හල් දසුන්‘ වැනි වෛද්‍ය වෘත්තියට අදාළ ස්ථාන සහ තනතුරු නාම රාශියක් ම බොහෝ අභිලේඛනවල හමු වීමෙන් පෙනෙන්නේ පැරණි සමාජයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සමාජයේ පැවති ආකල්පයයි.
ජලය හා බැඳුණු සංස්කෘතියක් පැවති අයුරු බොහෝ අභිලේඛන පෙන්වා දෙන කරුණකි. දිඹුලාගල සමීපයෙන් සොයාගත් මෝලාහිටියවෙලේගල ගිරි ලිපියෙන් අනාවරණය කරන්නේ “සොවණ කොතුරු නියතෙ“ යනුවෙන් ස්වර්ණ වූ කෙණ්ඩියකින් ජලය වත් කොට විහාර නඩත්තුව පිණිස ඇළක් භික්ෂූන්ට පූජා කළ බවයි. මෙම සම්ප්‍රදාය වත්මන තුළ අපට දැකිය හැකි වන්නේ, දේපළක් විහාරාරාම සන්තකව පූජා කිරීමේ දී මෙම ක්‍රමය අනුගමනය කිරීමෙනි.
එහි දී ජලය හුවමාරු සංකේතයක් ලෙස පිළිගැනේ. අනුරපුර පෙරුමියම්කුලම් ගිරි ලිපියෙහි දැක්වෙන්නේ “දකපති‘ සහ ‘මජිබක‘ යනුවෙන් රජුට හිමි ජල බද්ද සහ මාළු බද්ද භවනා ගෘහයක් ප්‍රතිසංස්කරණය සඳහා විහාර සන්තක කළ බවයි. ජලය සංස්කෘතික මෙන් ම ආර්ථික සම්පතක් වූ අයුරු එයින් පෙනෙයි.
ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි. මෙහි දී මිනීමැරීමේ වරදට දඬුවම් පනවා ඇතත් එය තීරණය කළ යුත්තේ දසගම් ප්‍රධානීන් එකතු වී සාකච්ඡා කොට නඩුව විචාරා සියලු තොරතුරු ලියා තැබීමෙන් පසුව ය.
රාජ නියෝගයකින් මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම නඩුව අසා නියම කරවා අයිතිකරුට අයත් කොට ද සොරු එම ගමින් නෙරපා හැරීමයි. මේ නිසා අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි විය.
මිනී මැරීමට අනුබල දීම මිනීමැරීම තරම් බරපතළ වරදක් සේ පිළිගැනුණි. ඔහුට රත්‍රං කලං පනහක් දඩ ගැසිය යුතු වූ අතර එය ගෙවිය නොහැකි වූ විට ගෙය රාජ සන්තක කිරීමට හෝ අත් කපා දැමීමට හෝ නියෝග කර තිබුණි.
ගවයා පැරැණි යුගයේ වටිනාම ආර්ථික සම්පතක් සේ පිළිගැනුණු අතර ගවයා මැරීම මරණ දඬුවම ලැබීමට තරම් වරදක් ලෙස වේවැල්කැටිය ලිපියෙහි නියෝගකර තිබෙයි. ගවයින් සොරකම් කරන්නන් අල්වා කිසිල්ලේ හංවඩු ගැසීමට නියෝග කර තිබීමෙන් පෙනෙන්නේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම කෙරෙහි තිබූ රාජ්‍ය මැදිහත් බවයි.
මෙම නීති උල්ලංඝනය කළවුන් අල්වා රත් කළ යකඩ පාවහන් පැළඳවීමට නියම කර තිබීමෙන් පෙනෙන්නේ නීතියේ තිබූ දැඩි බවයි. නීතිය ලිහිල්ව ගිය සමාජයක සාමකාමී සහජීවනය අපේක්ෂා කළ නොහැකි බවට පැරැන්නන් තුළ පැවති විශ්වාසයේ අගය වර්තමානය හා සමඟ සසඳා බලද්දී අපට පෙනෙයි.
පෝෂණීය ආහාර වේලක තොරතුරු තෝනිගල ගිරි ලිපියෙන් පෙනෙයි. මෙයට අනුව වී, උඳු, මුං, කව්පි, තල ආදිය ප්‍රධාන නිෂ්පාදිතයන් වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාර වේල බවට මේවා පත් විය.
මෙයට අමතරව දීකිරි, මීපැණි, කැවිලි වර්ග, පැනි, දුන්තෙල් හා පලාවර්ග ද බුලත් ද ආහාර වේලෙහි අංග විය. සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලකට අවශ්‍ය දෑ මෙහි අන්තර්ගත ය.
දහ වන සියවස පමණ වන විට පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් ව පැවති බවට බදුලු ටැම් ලිපිය අනාවරණය කරයි. පෝදා වෙළඳාම් කරන්නෙකු වෙතින් තෙල් බද්දක් දඩය වශයෙන් නියම කර ඇති අතර එම තෙල් වැය කොට මහියංගණ විහාර භූමියෙහි පහන් දැල්වීමට නියම කර තිබුණි.
දඬුවම නියම කෙරුණේ නැවත එවන් වැරැද්දක් නොවන ලෙස ආගමික පසුබිමක ගත කිරීමට ය.
තිඹිරිවැව ලිපියට අනුව රාජ කාර්යයන් සඳහා දින නියම කර තිබූ අතර පෝ දිනයෙහි කිසිදු රාජකාරියක් නියම කර නොතිබුණි. මේ අනුව පෙනෙන්නේ ආගමික කටයුතු සඳහා පොහොය දිනය වෙන්ව තිබූ බවයි.
අල්ලස් ගැනීම දහ වන සියවස වන විට මුළුමනින් ම තහනම් කර තිබුණි. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන්නේ “ගවට් ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා“ යනුවෙනි. එයින් කියවෙන්නේ රාජ්‍ය නිලධාරීන් ගම්වලට වැද රා මස් ආදිය අල්ලසට දී ගිතෙල් ලබා නොගත යුතු බවය.
හතර වන මිහිඳු රජු පැනවූ මිහින්තලා පුවරු ලිපියෙහි ද දැක්වෙන්නේ විහාර රාජකාරී වෙනුවෙන් ලබන වැටුප්වලට අමතරව වෙනත් කිසිවක් නොලද යුතු බවයි. අල්ලස් ගැනීමට එරෙහි ව පැරණි සමාජයේ පැවති තහංචි රාශියක් අභිලේඛන රාශියක ම දැක්වෙයි.
ලොව ඉතා සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් ශී‍්‍ර ලංකාවේ පැවති බවට තොරතුරු හෙළි කරන්නේ ද බදුලු ටැම් ලිපියකි. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා ද ආරක්ෂා වන පරිදි එහි පැනවීම් රාශියක් කර තිබෙයි.
මෙයින් පාරිභෝගිකයා කෙතරම් ආරක්ෂා කර තිබේ ද යන්න පෙන්වා දෙන්නේ බුලත්, පුවක් වැනි ක්ෂණික ආහාර ආවරණයකින් තොරව විකිණීම තහනම් කර ඇති බැවිනි. නූතන වෙළඳ සමාජය හා සංසන්දනය කිරීමේ දී මෙවන් වෙළඳ ප්‍රතිපත්ති අතීත සමාජය කෙතෙක් සෞඛ්‍ය සම්පන්න කළා ද යන්න පෙන්වයි.
එමෙන් ම සාධාරණ කිරුම් මිනුම් ක්‍රම එකල භාවිත කිරීමට නියෝග කිරීමෙන් පාරිභෝගිකයා සුරක්ෂිත කෙරිණි. “ගණ ලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනනු“ යන නියෝගය තුළ පෙනෙන්නේ සම්මත ලාසුවෙන් ම ධාන්‍ය මැනිය යුතු බවයි. හොර තරාදි, හොර පඩි භාවිතය වැළැක්ම සඳහා ඒවා සීල් තැබීමේ ක්‍රමයක් ද පැවතුණි. භාණ්ඩ විකිණීමට සුදුසු ස්ථාන නියෝග කර තිබීමෙන් නුසුදුසු ස්ථානවල වෙළඳාමෙන් පාරිභෝගිකයාට වන අනර්ථය වළකා තිබෙයි. නූතන වෙළඳ සමාජය මෙ අතීතයෙන් පාඩම් උගත යුතු ව තිබෙයි.
මෙසේ මෙම ඓතිහාසික මූලාශ්‍ර පරික්ෂා කිරීමේ දී ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ රසබර තොරතුරු රාශියකින් ම අප දැනුවත් කෙරෙයි. මේවා මතාන්තර යයි කිසිවෙකුටත් බැහැර කළ හැකි ද? ක්‍රමවත් පරිපාලනයක් හා සමාජ රටාවක් එකල සකස්ව පැවති බවට මොන තරම් සාක්ෂි අභිලේඛන සාහිත්‍ය අපට අනාවරණය කරයි ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com