Category

ලිපි 01

Home / ලිපි 01
ලිපි 01

හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ

2022 මාර්තු 3 – දිවයින වටමඬල

මෙම ග‍්‍රන්ථය අද දින සවස 03.00 ට  කොළඹ 07 ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී ජනගත වන අතර,  මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහල සංදේශ කාව්‍ය අතර හංස සංදේශයේ පරිදර්ශනය, ගම්භීරවත් සසංවේදීවත් සංවිභාගයේදී දකිනට හැකි සුවිසෙස් සලකුණ වන්නේ, හංස කතුවරයාගේ ස්වතන්ත‍්‍රවූත් ස්වාධීනවූත් අනායත්තවූත් වැනුම් මගයි. භාරතීය සංස්කෘත දූත කාව්‍ය ඇසුරේ වැඩුණ ගණනින් සුවිසල් සිංහල සංදේශ කාව්‍යයෝ පෙරදිග ආලංකාරික ෙසෙද්ධාන්තික රාමුව නොඉක්මවූ නමුත් එකී කක්ෂය ඇතුළත විබුධ නිර්මාණශීලීත්වයකට උරුමකම් කීවෝය. ඒ අතුරෙන් කෝට්ටේ යුගයේ ප‍්‍රණීත, කතුවරයා අරබයා මතිභ‍්‍රම තිබුණ මුත් සංදේශයේ පැනෙන ඇතැම් පද්‍ය පාද කරණ කොට ගෙන වීදාගම මෛත්‍රෙය හිමිපාණන් විරචිත බවට සැලකෙන, හංස සංදේශය ”සියබස්ලකර” නම් සිංහල සාහිත්‍යයේ අත්පොතට ගරු කොට සුසාධිත බව පෙනෙයි. එකී හංස සංදේශය පොදු ජනතාවට වඩාත් ළං කරමින් එහි රසය හා හරය සරලව හා සුලලිතව යළි සකසා එළි දක්වන්නට කොළඹ සරසවියේ සිංහලාංශයේ මහැදුරු පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමිපාණෝ සමත්ව සිටිති. උන්වහන්සේගේ ඒ සැකසුම ගැන එහි මෙසේ සටහන් කොට ඇත.

”අප උසස් පෙළ අධ්‍යයන කටයුතුවල යෙදී සිටිය දී සිංහල විෂය නිර්දේශය සඳහා සම්භාව්‍ය පද්‍ය කෘතියක් ලෙස අපට නිර්දේශිතව පැවතියේ හංස සංදේශය කෘතියයි. මා උසස් පෙළ හැදෑරූ බද්දේගම මාජුවාන ශ‍්‍රී ඉන්දසාර විද්‍යායතන පිරිවෙනේ සිටි අපූරු ඇදුරන් හංස සන්දේශයේ ඇති රසප‍්‍රවාහය නොඅඩුවම අප වෙත ප‍්‍රදානය කළ අයුරු ජීවිතයේ කිසිදා අමතක නොවනු ඇත. නූතනයේ බාහිර අධ්‍යාපන ආයතනයන්හි හුරු කරන පරිදි ප‍්‍රශ්නයකට පිළිතුරක් සපයා ගැනීමේ අටියෙන් කළ පාඩමක් නොව හංසය අප පාඩම් කළේ එහි පැවති රසමුසු සෞන්දර්යාලංකාර විමසා ගැනීමෙහි ද ආශාවෙනි. ඒ අනුව පිරිවෙන් වේලාවෙන් පසු, දිනකට එක් කවියක් පාඩම් කර ගැනීමට පිරිවෙන් බිමෙහි තිබූ දැවැන්ත රුක් සෙවණක් සොයා ගියෙමි. ශිෂ්‍යයකුව සිට විඳි ඒ රසය නිසා ම අන් සියලූ සංදේශවලට වඩා මාගේ ප‍්‍රියතම කාව්‍ය වූයේ හංස සංදේශයයි. එය මෙලෙස සංස්කරණ කෘතියක් ලෙස සකස් කරන්නට කල්පනා කළේ ද එබැවිනි. (පිටුව 07)

එනයින් ගත්කල සිරිසුමන නා හිමියෝ හංස සංස්කරණාවලියේ නව ලකුණක් තබන්නට තැත් කොට ඇත. ඒ කුමක්දැයි කෙටියෙන් හෝ විමසීම මෙහි අරමුණයි. හංස සංදේශයට සංස්කරණ/විවරණ දුන් පැවිදිගිහි පඬිවරු අතර, රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම හිමි, වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමි, කේ.ඞී.පී. වික‍්‍රමසිංහ, දෙගම්මැද සුමනජෝති, රැු. තෙන්නකෝන්, චාල්ස් ගොඩකුඹුරේ, ජී.එස්.බී. සේනානායක, අමරසිරි ගුණවඩු, පී.එල්. පෙරේරා, ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි හා සිරි තිලකසිරි යන අය වෙති. ඒ ඒ අයගේ සංස්කරණ ද සේවනය කරමින් අප නාහිමිපාණෝ සිදු කර ඇති මේ සරල සංස්කරණයට පූර්වයෙන් ඉදිරිපත් කරනු ලබන පිටු 46ක හැඳින්වීම හංසය විෂයයක සැලකිය යුතු පරිමාණයක දැනුමක් පාඨකයාට ගෙන දෙන්නකි. සංදේශ සාහිත්‍ය ඉතිහාසය, සංදේශ යුගය හෙවත් කෝට්ටේ යුගය, සංදේශයේ අන්තර්ගත වර්ණනා යනාදි අනුමාතෘකා 17ක් පුරා විහිද ඇති එය සංස්කරණයෙහි ව්‍යක්තබව සහවේදනය කරයි. තවද හංසය සම්බන්ධ ඇති වාද පිළිබඳව ද තම පන්හිඳෙන් උන්වහන්සේ එතුළ වීමංසනය කරති.

”හංසය, ගිරාවට පිළිතුරකැයි යනුවෙන් ප‍්‍රවාදයක් ඇතැම් සාහිත්‍යකරුවන් අතර එයි. හංසයේ කතුවරයා කවරෙකුුද යන්න තීන්දු කර ගැනීමට මෙය ද මහත් සේ වැදගත් ය. අනුරාධපුර යුගයේ සිට පැවත පැමිණි මහාවිහාර, ජේතවන, අභයගිරි යන තුන් නිකාය පොලොන්නරු යුගයේදී මහපැරකුම්බාවන් සමගි කොට එක් නිකායක් බවට පත් කළ අයුරු පොලොන්නරුව කතිකාවතෙන් පෙනෙයි.” (පිටුව 30)

හංසය සරලව සංස්කරණයේදී හංසයට ආවේණික විප්ලවකාරීත්වය අගලකඩ සිරිසුමන හිමි සුසංයමශීලී භාෂාවකින් සන්න කොට ඇති අයුරු සනිදර්ශනයකින් මෙසේ දැක්විය හැකිය. අන් සංදේශ හා සැසඳීමෙහිලා හංස කතු තම දූතයා යැවීමේදී සාම්ප‍්‍රදායික නක්ෂත‍්‍ර යෝග සුබ මුහුර්ත නිමිති යෝගාදිය බැලීමේ දෘෂ්ටිය නිශේධනය කරන පහත කවි පාද උපුටමින් ඒ ස්ඵුට කළ හැකිය.

තුුසර තුසර කර සිහිලස කැරැු ඉක් ක්ම අඹර තඹර කර දිනකර එන තෙ ක්ම බැහැර නොහැර සිත සිහි කැරැු පිරිත ක්ම තිසර තිසර මමිතර මෙපුරෙන් නි ක්ම  (පිටුව 136)

සිරිසුමන හිමිපාණෝ මෙයට සපයන සරල සන්නය නම්: ”පින්නත්, චන්ද්‍රයාත්, සිසිලසත් බැහැර කර අහස නමැති නෙළුම් විලට සූර්යයා එන කල්හි හැම පිරිතක් ම බැහැර නොකොට සිතින් සිහි කර මගේ හංස මිත‍්‍රයාණනි, මේ නගරයෙන් පිටත්ව යන්න” යනුවෙනි. උන්වහන්සේගේ ඒ විවරණය පැහැදිලිය. අර්ථ පූර්ණය. රස පූර්ණය. රමණීයය. කමනීයය. එනයින්ම තම හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ දැකගත හැකිය.

හංසයේ භාෂා රීතියේ තවත් සුවිශේෂත්වයක් නම් පැරකම්බා සිරිත්කරු ගුරු කොට ගත් සංස්කෘත මිශ‍්‍ර බසයි. එසේ සකුමුසු පහත පද්‍ය බලන්නැ.

වික‍්‍රමවීර විරිදුන් දැක නොපෑ පිටි සක‍්‍රම නිබොරු බස් මිස නො තෙපලන සැටි අක‍්‍රම වංක ගුුණ මඳකුත් නො ගෙන සිටි වික‍්‍රමසිංහ අධිකාරග මැතිඳු සිටි  (පිටුව 123)

 උන්වහන්සේ එසේ සංස්කරණය කළ එම කවට උන්වහන්සේම ගොතන පරිකථාව කොතරම් රසවත්ද යන්න මෙසේ උපුටා දැක්විය හැකිය. ”වික‍්‍රමසිංහ අධිකාරතුමා ගැන කියවෙන අපූරු විවරණයකි. ඔහු ගැන කළ මේ විවරණය ඉතා වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරියකු සතුව පැවති අගනා පුරුෂාර්ථ රාශියක් මේ තුළින් ප‍්‍රකට කරන බැවිනි. එනම් බුදුන්, දෙවියන් හා රජු පිළිබඳව භක්තිමත් වීම, සියලූ ජනයා කෙරෙහි මෙත් සිතින් ක‍්‍රියා කිරීම, තෙදවත් බව හෙවත් පූර්ණ පෞරුෂය, සතුරන් ඉදිරියේ එඩිතර බව, සත්‍ය වචන ප‍්‍රකාශ කිරීම, අවගුණ කිසිත් නොමැති වීම යනාදී කරුණු නූතන රාජ්‍ය නිලධාරියකු තුළ පවා පැවතිය යුතු සාරධර්ම පෙළයි.” පෙර සංස්කාරකවරයකු නොකළ දෙයක්ද එම විවරණයෙන් ජනිත කර ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. එනම් තත්කාලීන සංදේශකරුවන්ගේ අරුත් මගින් සමකාලීන සමාජයට ගත හැකි සංදේශ හෙවත් පණිවුඩද සිරිසුමන හිමිපාණන්ගේ කල්පනාවට හසුව ඇති බවයි. එකල අදිකාරම්වරු හා මෙකල නිලදරුවන්ගේ ගුුණාගුණ පිළිබඳ උන්වහන්සේගේ ඒ සටහන එක්තරා ආකාරයකට යති දෘෂ්ටිය කුළු ගැන්වුණ සමාජානුශාසනාවක් බඳුය.

 හංස කතුවරයාගේ කවීත්වය හා ශ‍්‍රද්ධා සම්පන්න ජීවන දෘෂ්ටිය අන්තර්ගත කවි/ වැනුම් එකින් එක විවරණය කරමින් අගලකඩ හිමිපාණන් ගෙනහැර පාන්නේ චිත‍්‍රපටයක රාමුවෙන් රාමුව සෙමෙන් සෙමෙන් චලනය වන්නාක් මෙනි. අන් සංදේශ කතුවරු මෙන් හින්දු දෙවියන්ගේ ආශිංසනය නොපතමින් එහෙත් රතන සුතුර සියදහස් වරක් ජල්පනය කරමින් බොදු දෙවිවරුන්ගේ ආශීර්වාදය රජුට පතන හංසය නම් ජාතික කාව්‍යය පොදු ජන හද බන්ධන විලසින් සකසන්නට සිරිසුමන හිමිපාණෝ සමත්ව ඇති බව මෙනයින් නිගමනය කළ හැකිය. ”හංස සංදේශය සඳහා සරල බසින් ලියැවුණු අර්ථ සන්න පරිකථා ආදියෙන් යුක්තව සම්පාදනය වී ඇති මෙම සරල සංස්කරණය හංස කතුවරයාගේ කවීත්වය හා වර්ණනා චාතූර්යය රස විඳීමට කැමැති ගුරු සිසු පාඨක සැමට උපකාරී වන කෘතියක්” ලෙස විනේතෲ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ද මෙම කෘතියේ පසුවදනෙහි දක්වා ඇත්තේ ඒ බව තහවුරු කරමිනි.

 * නාලක ජයසේන

සංස්කරණය – මහාචාර්ය  පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
ප‍්‍රකාශනය – සරසවි ප‍්‍රකාශකයෝ

ලිපි 01

සිංහල ඉතිහාසයේ අසිරිමත් වංශ කතාව මහාවංසය

මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි.

අපේ ඉතිහාසය විමසා බලන්නට අපට උරුම අපූර්ව සාහිත්‍යයකි වංසකතා. පාලි හා සකු සාහිත්‍යය ඇසුරෙන් මෙම සාහිත්‍යාංගය අපට හිමි විය. රඝුවංශය වැනි සංස්කෘත වංසකතා මෙන් ම බුද්ධවංශ, අනාගත වංශ වැනි පාලි වංසකතා ඇසුරෙන් අපගේ වංශ කථා සාහිත්‍යය බිහි වන්නට ඇතැයි සිතිය හැකි ය.

ශ්‍රී ලංකාවේ දී වංසකතා සාහිත්‍යය නව මගකට අවතීර්ණ වන්නේ පූජනීය වස්තු මූලාශ්‍රය කොට වංසකතා සාහිත්‍යයක් බිහි වීමෙනි. බෝධීන් වහන්සේ, දළදා වහන්සේ ඇතුළු පූජනීය වස්තුන් අපට ලැබුණු විට ඒවායෙහි පරම්පරාව, ඉතිහාසය මතු නොව ඒවාට කළ යුතු පුද පූජා පිළිවෙළ ද ලියා තැබීමට අවශ්‍ය විය. එය නවතම සාහිත්‍යාංගයක් අපට එක් කිරීමෙනි. බෝධි වංශය, දළදා සිරිත, කේසධාතු වංශය, ථූපවංශය වැනි වටිනා කෘති එයින් අපට උරුම වේ.

තවත් පසෙකින් වංසකතාව විකසිත වන්නේ පුද්ගලයන් වටා ද වංසකතා ලියන්නට පෙළඹීමෙනි. දඹදෙණි කාලයෙහි පාලියෙන් ලියැවෙන හත්ථවනගල්ල විහාර වංශය එවැන්නකි. අත්තනගලු විහාරයේ වංශ කථාව ලියනු අටියෙන් මේ කෘතිය රචිත වුව ද සැබවින් ම සිරිසඟබෝ චරිතයේ විශිෂ්ටත්වය කියාපෑම එහි අරමුණ විය.

මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි. ක්‍රි .පූ. හයවන සියවසෙහි සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මෙම මහාවංසයට ඇතුළත් ය. මහාවංසය ලියැවෙන්නේ පස් වන සියවසෙහි මහානාම නම් මහාවිහාරයික භික්ෂුවක් අතිනි.

මහාවංස කතුවරයා ග්‍රන්ථාරම්භයේ දක්වා ඇති පාඨයක් විමසා බැලීම මහාවංසයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරවයි. පැරැන්නන් විසින් සම්පාදිත වූ එය ඇතැම් තැනෙක ඉතා විස්තර සහිතව ද තවත් තැනෙක ඉතා සංක්ෂිප්තව ද ඇති අතර, තවත් තැනක් පුනරුක්තයෙන් ගහන ය. මේ දෝෂයන්ගෙන් මිදී අවබෝධ කර ගැනීමට හා ධාරණය කර ගැනීමට පහසු අන්දමින් පහන් සංවේගය ඇති කරවමින් රචිත මෙම ග්‍රන්ථයේ මුඛ පරම්පරාවෙන් පැවත ආ පුරාවෘත්ත ඇතුළත් වේ.

උක්ත උද්ධෘතය තුළ මහාවංස කතුවරයා මහාවංසයට මුල් වූ කෘතියක් ගැන සඳහන් කරයි. එය එක් කෘතියක් නොව කෘති කිහිපයක් ද වන්නට ඇත. විශේෂයෙන් දීපවංශය නමැති කෘතියක් මේ වන විටත් සම්පාදිත ව පැවතුණි. පස් වන සියවස දක්වා ලංකා ඉතිහාසයෙහි කරුණු සංක්ෂිප්තයක් දීපවංශයෙහි දැක් වේ. ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංශය ඇගයේ. මහානාම හිමියන් පස් වන සියවස දක්වා ලංකාවේ ඉතිහාසය ගොඩ නගද්දී දීපවංශාගත තොරතුරු ඉතා වැදගත් මූලාශ්‍රයක් කොට ගන්නට ඇතැයි සිතිය හැකි ය.

කරුණු ඉදිරිපත් කිරීමේ දී දුර්වලත්වය හේතුවෙන් දීපවංශයට මහාවංසය තරම් ශ්‍රේෂ්ඨ ස්ථානයක් වංශකතා සාහිත්‍යයේ දී හමු නොවේ. එහෙත් මහාවංසගත නොවූ ඇතැම් කරුණු ගවේෂණය කරන ඉතිහාසඥයෝ අදත් දීපවංශය ද සමීප කෘතියක් සේ භාවිත කරති. මේ අනුව මහාවංස කතුවරයා පළ කරන මුල් කෘති අතර එක් කෘතියක් ලෙස දීපවංශය දැක්වීම නිවැරැදි ය.

මේ හැර මහාවංසයට මුල් වූ සිංහල කෘතියක් පිළිබඳව ද වංසකතාකරුවන්ගේ අවධානය යොමු වෙයි. එය වංසත්ථප්පකාසිනී නම් මහාවංස ටීකාවෙහි දැක්වෙයි. බුද්ධඝෝෂ අටුවාකරණයක් සමග පාලි බසෙහි මතු වූ ප්‍රබෝධය හේතුවෙන් මෙම සිංහල වංශකතාව මාගධියෙන් තබන්නට යෑම හේතුවෙන් පාලි මහාවංසයක් ලියැවෙන්නට ඇතැයි ද ඇතැමෙක් කල්පනා කරති. එපමණක් නොව බුද්ධඝෝෂ අටුවා කෘතින් ද මහාවංසකරුවාට මූලාශ්‍රය වන්නට ඇත. විශේෂයෙන් සීහලට්ඨ කතා අටුවාවෙහි ඇතුළත් බොහෝ කරුණු මහාවංසකරුවා තම කෘතියට පාදක කරගන්නට ඇත. ඒ අනුව කතුවරයා පවසන ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඔස්සේ මහාවංසය සැකසෙන්නට ඇත. එනම් දීපවංශය, සිංහල වංසකතාව සහ සීහලට්ඨ කථා යන්න යි.

මහාවංසකරුවාගේ රචනා රීතිය කුමක් ද යන්න ආරම්භක පාඨයෙහි දැක්වූයේ ග්‍රන්ථයන්හි පැවති සංක්ෂිප්ත අවස්ථා විස්තර කරමින් ද, විස්තරාත්මක අවස්ථා සංක්ෂිප්ත කරවමින් ද, පුනරුක්තයන් බැහැර කරමින් ද කළ බවයි. විශේෂයෙන් සංක්ෂිප්තකරණයේ දී ඉතා වැදගත් පාරම්පරික ඥාන සම්භාරයක් අපට අහිමි වූවාට සැක නැත. කෙසේ වෙතත් මහාවංසය යනු මූලාශ්‍ර ග්‍රන්ථවල පදානුපදික පරිවර්තනයක් නොව ඉතාම ස්වාධීන රචනා රීතියකින් වැඩුණු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස ඇගයීමට ලක් කළ හැකි ය.

මහාවංස කතුවරයා මහාවිහාරික භික්ෂුවක ලෙස ථෙරවාදයේ මුර දේවතාවකු වී සිටියේ ය. යන්න අවිවාදිත ය. මූලාශ්‍රයන් හි සැකෙවින් විවරණය වූ දුටුගැමුණු චරිතය මහාවංස කතුවරයා පරිච්ඡේද ගණනාවකින් විවරණය කරන්නේ ද ඒ නිසා විය යුතු ය. මහාවංස කතුවරයා මෙම වංසකතාව රචනා කරන්නේ පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය පිණිස ය. කර්තෘ බෞද්ධ භික්ෂුවක වූ හෙයින් එවැනි අදහසක පිහිටියා වන්නට ඇත. රජවරුන්ගේ බලපරාක්‍රමය ආදිය උසස් ලෙස වර්ණනා කළ ද අවසානයේ සියල්ලන් මරුගේ වසඟයට ගිය බව දක්වන්නේ උක්ත අදහසෙහි පිහිටා විය යුතු ය.

ආශ්චර්යවත් කථා පුවත්වලින් මහාවංසය පිරී පැවතිය ද කතුවරයා ගේ වැඩි ම අවධානය යොමු වී ඇත්තේ ලංකා ඉතිහාසය වාර්තා කර තැබීම කෙරෙහි ය. විශේෂයෙන් රජ කෙනකුගේ පාලන කාලය තුළ බුද්ධාගමේ දියුණුව පිණිස කළ පුණ්‍යක්‍රියා මෙහි වාර්තා කෙරිණි. මීට හේතුව ආගම මනුෂ්‍ය ජීවිතයේ ප්‍රබල අංගයක් ව පැවතීම නිසා විය යුතු ය. තත්කාලීන දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් තතු සියල්ල වාර්තා කර තබන්නට කතුවරයා එතරම් උත්සුක වූ බවක් නො පෙනේ.

ඇතැම් කල්පිත මත ඉවත ලා ඉතා පරික්ෂාවෙන් බැලූ විට මහාවංසය ලංකාවේ ඉතිහාසය පිළිබඳ විවරණය කෙරෙන විශ්වාසනීය මූලාශ්‍රය ලෙස විද්වත්හු පිළිගනිති. විශේෂයෙන් ශිලා ලේඛනගත කරුණුවල සත්‍ය අසත්‍ය බව නිශ්චය කර ගැනීමට මහාවංසය ප්‍රබල සාධකයක් ව පවතී. එමෙන් ම ශිලා ලේඛනගත රාජ පරම්පරා තීරණය කර ගැනීමට මහාවංසය මඟ පෙන්වයි. බොහෝ විට ශිලා ලේඛනමය කරුණු හා මහාවංසයේ තොරතුරුවල සාම්‍යයක් පවතී. මේ නිසා මහාවංසයේ ඓතිහාසික අගය බොහෝ පඬිවරුන්ගේ අවධානයට යොමු විය. ජෝර්ජ් ටර්නර්, හර්මන් ඕල්ඩෙන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් වැනි බටහිර උතුන් මෙන් ම ආනන්ද ගුරුගේ වැනි දේශිය උගතුන් ද ඒ අතර විශේෂයෙන් දැක්වෙයි.

ක්‍රි. ව පස්වන සියවසේ ලියැවෙන්නට ආරම්භ කළ මහාවංසය මේ දක්වා අඛණ්ඩ ව රචනා වීම ද විශේෂ කරුණකි. එය ආරම්භයේ සිට 1978 දක්වා කොටස් පහකින් රචනා කොට තිබේ. පළමු කොටස ආරම්භයේ සිට ක්‍රි. ව. 301 දක්වා ද, එතැන් සිට 1815 දක්වා දෙවැනි කොටස ද, 1815 සිට 1936 දක්වා හතරවන කොටස ද, 1956 සිට 1978 දක්වා පස්වන කොටස ද ලෙසින් ඉතිහාසය රචනා කර තිබෙයි. එහි හය වන කොටස 1978 සිට 2010 දක්වා වර්තමායේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලේඛනගත වෙයි. මහාචාර්ය විමල් බලගල්ල හා මහාචාර්ය මාලනී ඇඳගම දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ලේඛක මඬුල්ලක් විසින් මෙම කාර්යය මෙම වසරේ දී නිමාවට පත් කෙරෙනු ඇත.

සිංහල ඉතිහාසයේ අසිරිමත් වංසකතාව මහාවංසය දැයට ආභරණයකි.

මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි

ලිපි 01

අතීතය ලියා අනාගතයට පාඩම් කියා දෙන අභිලේඛන සාහිත්‍යය

” ගවයා පැරැණි යුගයේ වටිනා ම ආර්ථික සම්පතක් සේ පිළිගැනුණු අතර, ගවයා මැරීම මරණ දඬුවම ලැබීමට තරම් වරදක් ලෙස වේවැල්කැටිය ලිපියෙහි නියෝග කර තිබෙයි. ගවයින් සොරකම් කරන්නන් අල්වා කිසිල්ලේ හංවඩු ගැසීමට නියෝග කර තිබීමෙන් පෙනෙන්නේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම කෙරෙහි තිබූ රාජ්‍ය මැදිහත් බවයි.”
පසුගිය නිකිණි පුර පසළොස්වක පෝ දා ලිපියෙන් අපි ඔබට අභිලේඛන උරුමය පිළිබඳ හැඳීන්වීමක් කළෙමු. මෙම උරුමය විමසා බලද්දී ශ්‍රී ලංකාවේ අතීත සමාජය පිළිබඳ හමුවන විශ්වසනීය තොරතුරු රාශියකි.
එක්තරා යුගයක සමාජය විමසන සමාජ විද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස ද අභිලේඛන හැදෑරීමට ගත හැකි ය. විශේෂයෙන් පැරැණි ලක්දිව පැවති විවිධ සමාජ සංවිධාන පිළිබඳවත්, සමාජ මෙහෙය වූ විවිධ බලවේග මෙන් ම, සමාජ සිරිත් විරිත් පිළිබඳවත් වටිනා කරුණු රාශියක් විමසීම මෙහි දී සිදු කෙරෙයි.පැරණි පුරාවිද්‍යාත්මක කැණීම් රාශියක් අනාවරණය කළ වැදගත් කරුණක් වන්නේ ලංකාවේ ඉපැරැණි රෝහල් සම්බන්ධ තොරතුරු ය. රෝහල් පිළිබඳ තොරතුරු අභිලේඛනයන් හි දැක්වේ. දහ වැනි සියවසට අයත් කිරිබත් වෙහෙර ටැම් ලිපිය පෙන්වා දෙන්නේ රෝහලේ නඩත්තුව සඳහා ඉඩකඩම් පවරා දී තිබූ බවයි. එමෙන් ම ‘වෙද්හල්’, ‘බෙහෙත් ගේ’, ‘මහවෙද්නා’, ‘සුළු වෙද්නා’, ‘වෙද්හල් සම්දරුවන්’, ‘වෙද්හල් කැමියන්’, ‘වෙද්හල් දසුන්’ වැනි වෛද්‍ය වෘත්තියට අදාළ ස්ථාන සහ තනතුරු නාම රාශියක් ම බොහෝ අභිලේඛනවල හමු වීමෙන් පෙනෙන්නේ පැරැණි සමාජයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සමාජයේ පැවති ආකල්පය යි.
ජලය හා බැඳුණු සංස්කෘතියක් පැවති අයුරු බොහෝ අභිලේඛන පෙන්වා දෙන කරුණකි. දිඹුලාගල සමීපයෙන් සොයා ගත් මෝලාහිටියවෙලේගල ගිරි ලිපියෙන් අනාවරණය කරන්නේ “සොවණ කොතුරු නියතෙ” යනුවෙන් ස්වර්ණ වූ කෙණ්ඩියකින් ජලය වත් කොට විහාර නඩත්තුව පිණිස ඇළක් භික්ෂූන්ට පූජා කළ බවයි. මෙම සම්ප්‍රදාය වත්මන තුළ අපට දැකිය හැකි වන්නේ දේපළක් විහාරාරාම සන්තක ව පූජා කිරීමේ දී මෙම ක්‍රමය අනුගමනය කිරීමෙනි. එහි දී ජලය හුවමාරු සංකේතයක් ලෙස පිළිගැනේ. අනුරපුර පෙරුමියම්කුලම් ගිරි ලිපියෙහි දැක්වෙන්නේ ‘දකපති’ සහ ‘මජිබක’ යනුවෙන් රජුට හිමි ජල බද්ද සහ මාළු බද්ද භාවනා ගෘහයක් ප්‍රතිසංස්කරණය සඳහා විහාර සන්තක කළ බවයි. ජලය සංස්කෘතික මෙන් ම ආර්ථික සම්පතක් වූ අයුරු එයින් පෙනෙයි.
ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම, අත් පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි. මෙහි දී මිනීමැරීමේ වරදට මරණ දඬුවම පනවා ඇතත් එය තීරණය කළ යුත්තේ දසගම් ප්‍රධානීන් එකතු වී සාකච්ඡා කොට නඩුව විචාරා සියලු තොරතුරු ලියා තැබීමෙන් පසුව ය. රාජ නියෝගයකින් මරණ දඬුවම ක්‍රියාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම නඩුව අසා නියම කරවා අයිතිකරුට අයත් කොට දී සොරු එම ගමින් නෙරපා හැරීම යි. මේ නිසා අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි විය.
මිනී මැරීමට අනුබල දීම මිනීමැරීම තරම් බරපතළ වරදක් සේ පිළිගැනුණි. ඔහුට රත්‍රං කලං පනහක් දඩ ගැසිය යුතු වූ අතර එය ගෙවිය නොහැකි වූ විට ගෙය රාජසන්තක කිරීමට හෝ අත් කපා දැමීමට හෝ නියෝග කර තිබුණි. ගවයා පැරැණි යුගයේ වටිනා ම ආර්ථික සම්පතක් සේ පිළිගැනුණු අතර, ගවයා මැරීම මරණ දඬුවම ලැබීමට තරම් වරදක් ලෙස වේවැල්කැටිය ලිපියෙහි නියෝග කර තිබෙයි. ගවයින් සොරකම් කරන්නන් අල්වා කිසිල්ලේ හංවඩු ගැසීමට නියෝග කර තිබීමෙන් පෙනෙන්නේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම කෙරෙහි තිබූ රාජ්‍ය මැදිහත් බවයි. මෙම නීති උල්ලංඝනය කළවුන් අල්වා රත් කළ යකඩ පාවහන් පැළඳවීමට නියම කර තිබීමෙන් පෙනෙන්නේ නීතියේ තිබූ දැඩි බවයි. නීතිය ලිහිල් ව ගිය සමාජයක සාමකාමී සහජීවනය අපේක්ෂා කළ නොහැකි බවට පැරැන්නන් තුළ පැවති විශ්වාසයේ අගය වර්තමානය හා සමඟ සසඳා බලද්දී අපට පෙනෙයි.
පෝෂණීය ආහාර වේලක තොරතුරු තෝනිගල ගිරි ලිපියෙන් පෙනෙයි. මෙයට අනුව වී, උඳු, මුං, කව්පි, තල ආදිය ප්‍රධාන නිෂ්පාදිතයන් වූ අතර ජනතාව ගේ ප්‍රධාන ආහාර වේල බවට මේවා පත්විය. මෙයට අමතර ව දීකිරි, මීපැණි, කැවිලි වර්ග, පැනි, දුන්තෙල් හා පලා වර්ග ද, බුලත් ද ආහාර වේලෙහි අංග විය. සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලකට අවශ්‍ය දෑ මෙහි අන්තර්ගත ය.
දහ වැනි සියවස පමණ වන විට පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් ව පැවති බවට බදුලු ටැම් ලිපිය අනාවරණය කරයි. පෝදා වෙළඳාම් කරන්නකු වෙතින් තෙල් බද්දක් දඩය වශයෙන් නියම කර ඇති අතර, එම තෙල් වැය කොට මහියංගණ විහාර භූමියෙහි පහන් දැල්වීමට නියම කර තිබුණි. දඬුවම නියම කෙරුණේ නැවත එවන් වැරැද්දක් නොවන ලෙස ආගමික පසුබිමක ගත කිරීමට ය. තිඹිරිවැව ලිපියට අනුව රාජ කාර්යයන් සඳහා දින නියම කර තිබූ අතර පෝ දිනයෙහි කිසිදු රාජකාරියක් නියම කර නොතිබුණි. මේ අනුව පෙනෙන්නේ ආගමික කටයුතු සඳහා පොහොය දිනය වෙන් ව තිබූ බවයි.
අල්ලස් ගැනීම දහ වන සියවස වන විට මුළුමනින් ම තහනම් කර තිබුණි. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන්නේ ‘ගමට ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා’ යනුවෙනි. එයින් කියවෙන්නේ රාජ්‍ය නිලධාරීන් ගම්වලට වැද රා මස් ආදිය අල්ලසට දී ගිතෙල් ලබා නොගත යුතු බව ය. හතර වන මිහිඳු රජු පැනවූ මිහින්තලා පුවරු ලිපියෙහි ද දැක්වෙන්නේ විහාර රාජකාරී වෙනුවෙන් ලබන වැටුප්වලට අමතරව වෙනත් කිසිවක් නොලද යුතු බව යි. අල්ලස් ගැනීමට එරෙහි ව පැරැණි සමාජයේ පැවති තහංචි රාශියක් අභිලේඛන රාශියක ම දැක්වෙයි.
ලොව ඉතා සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ පැවති බවට තොරතුරු හෙළි කරන්නේ ද බදුලු ටැම් ලිපියයි. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා ද ආරක්ෂා වන පරිදි එහි පැනවීම් රාශියක් කර තිබෙයි. මෙයින් පාරිභෝගිකයා කෙතරම් ආරක්ෂා කර තිබේ ද යන්න පෙන්වා දෙන්නේ බුලත්, පුවක් වැනි ක්ෂණික ආහාර ආවරණයකින් තොරව විකිණීම තහනම් කර ඇති බැවිණි. නූතන වෙළඳ සමාජ හා සංසන්දනය කිරීමේ දී මෙවන් වෙළඳ ප්‍රතිපත්ති අතීත සමාජය කොතෙක් සෞඛ්‍ය සම්පන්න කළා ද යන්න පෙන්වයි.
එමෙන් ම සාධාරණ කිරුම් මිනුම් ක්‍රම එකල භාවිත කිරීමට නියෝග කිරීමෙන් පාරිභෝගිකයා සුරක්ෂිත කෙරිණි. ‘ගණ ලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනනු‘ යන නියෝගය තුළ පෙන්නේ සම්මත ලාසුවෙන් ම ධාන්‍ය මැනිය යුතු බවයි. හොර තරාදි, හොර පඩි භාවිතය වැළැක්ම සඳහා ඒවා සීල් තැබීමේ ක්‍රමයක් ද පැවතුණි. භාණ්ඩ විකිණීමට සුදුසු ස්ථාන නියෝග කර තිබීමෙන් නුසුදුසු ස්ථානවල වෙළඳාමෙන් පාරිභෝගිකයාට වන අනර්ථය වළකා තිබෙයි. නූතන වෙළඳ සමාජය මෙම අතීතයෙන් පාඩම් උගත යුතු ව තිබෙයි.
මෙසේ මෙම ඓතිහාසික මූලාශ්‍ර පරික්ෂා කිරීමේ දී ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ රසබර තොරතුරු රාශියකින් ම අප දැනුවත් කෙරෙයි. මේවා මතාන්තර යයි කිසිවකුටත් බැහැර කළ හැකි ද? ක්‍රමවත් පරිපාලනයක් හා සමාජ රටාවක් එකල සකස් ව පැවති බවට මොන තරම් සාක්ෂ්‍ය අභිලේඛන සාහිත්‍යය අපට අනාවරණය කරයි ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
ලිපි 01

දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය

2021 සැප්තැම්බර් 17 – සිකුරාදා – දිවයින පුවත්පත

දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය

අනගාරික ධර්මපාල ශි‍්‍රමාතණන්ගේ 156 වන ජන්ම සමරුව

රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු  බුදුව නිවනින් සැනසෙත්වා

පරාදින ජාතියක් එයින් මුදා ගැනීම උදෙසා ක‍්‍රමවත් නායකත්වයක් සමාජය තුළින්  ගොඩනැඟිය යුතුය යන්න ධර්මපාලතුමන්ගේ දැක්ම වීය. දොන් ඬේවිඞ් ලෙසින් ඉංගී‍්‍රසි ආභාසයෙන් තමන්ට ලද නාමය වෙනස් කොට ස්වදේශිකයන් අතීතයේ භාවිතා කළ ආගමික නාමකරණයට අනුව ‘‘ධර්මපාල’’ නමින් තම නාමය වෙනස් කරගත් එතුමා නායකයා හැම කල්හිම ස්වදේශ වාත්සල්‍යයෙන් යුතු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉංගී‍්‍රසි නම් ගම් ගෞරවයෙන් භාවිත කළවුන් ප‍්‍රසිද්ධියේ සමච්චලයට ලක් කොට දේශීය නම් ගම් තබා ගැනීමේ අගය වටහා දුන්නේය. ඒ අනුව සමාජය වෙනස් වී පැරණි රාජ යුගවලින් පසු සිංහල බෞද්ධ නම් ගම් තබාගන්නට ජනයා යොමු වීමෙන් සංස්කෘතිකමය වශයෙන් ලොකු වෙනසක් ඇතිකරලීමට හැකි වීය.

සිංහල නම් ගම් පමණක් නොව ස්වදේශික සිංහලයා සිංහල භාෂාවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ එතුමා ‘‘දැන ගත යුතු කරුණු’’ නම් කෘතියෙහි මෙසේ පවසා තිබෙයි.

‘‘ලාංකික සිංහලයන් ස්වකීය ජන්ම භාෂාව ඉගෙන නොගෙන ඉංගී‍්‍රසි පමණක් ඉගෙන ගැනීම ජාතිය නැති කිරීමට කරන උපක‍්‍රමයකි. පුරාණ උතුම් චරිත ඇති සිංහලයන් ගැන දැනගැනීමට ඇති එකම මාර්ගය සිංහල භාෂාවයි. සිංහල, පාලි භාෂා දෙක හොඳින් ඉගෙන ගත් කල සිංහල ජාතිය කෙරෙහි පේ‍්‍රමයක් ඇතිවීමට මාර්ගයක් වෙයි. මේ භාෂා දෙක ඉගෙන ගන්නා කාලයේ ඉංගී‍්‍රසි ඉගෙනීම කළොත් පහසුයි.’’

20 වන සියවසේ මුල් භාගයේදී සිංහල බස හැදෑරීමේ වැදගත්කම පිළිබඳව එතුමා දැක්වූ එම අදහස් වර්තමානයටත් එලෙසම වැදගත් වෙයි. සිංහල බසේ අභිමානය මෙසේ එතුමා හැම තැන්හිදීම ඉස්මතු කිරීමත්, ඉංගී‍්‍රසි අධ්‍යාපනයෙහි යෙදීමේ අවශ්‍යතාව පෙන්වා දීමත් නිසා නිදහස් අධ්‍යාපන පනත, සිංහල රජ බස වීම හා ස්වභාෂික අධ්‍යාපනය අපට උරුම විය. රජයන්ට එවැනි තීන්දු තීරණ, කි‍්‍රයාත්මක කරලීම උදෙසා අනගාරික ධර්මපාලතුමන් නැගූ ප‍්‍රබල හඬ හේතු විය. එමෙන්ම ඒ ඔස්සේ ගොඩනැඟුණු ස්වභාෂික සමාජය වෙතින් දැයට උරුම වූ දායදයෝ රාශියකි. සිංහල සංස්කෘතිය, සිංහල සාහිත්‍යය හා කලාවන් මෙන්ම මධ්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල ද අපට වෙයි.

එතුමා හැම විටෙකම සන්නිවේදනය සඳහා හෙළ බසෙහි ප‍්‍රබල වදන් භාවිතයට යොදා ගත්තේය. සමාජයේ ඇස් ඇරවීම උදෙසා ‘‘ගොන්තඩියා’’ වැනි ආමන්ත‍්‍රණ එතුමාගේ වාග්කෝෂය පුරාම විය. සුරාපානයට, ගෙරි මස් කෑමට එරෙහිව එතුමාගේ ආමන්ත‍්‍රණ ප‍්‍රබල විය. එතුමා නායකයකු වශයෙන් සැපිරිය යුතු සියලූ ගුණාංගයන්ගෙන් පිරිපුන් විය. බුදු දහම හා අපේ අතීතාභිමානය මනාකොට නිරීක්ෂණයෙන් ලබාගත් දැනුම එතුමාගේ දර්ශනය විය. බුදු දහමේ එන සරල ඉගැන්වීම් මෙන්ම ප‍්‍රබල ජාතක කතා නිතර උපුටා ගනිමින් ජනයාට දේශන පැවැත්වීය. ‘‘සිංහල බෞද්ධයා’’ පුවත්පත අරඹා අසිපතක් ලෙසින් ජන මනස වෙනස්කරලීමට ඒ ඔස්සේ තම අදහස් ඉදිරිපත් කළේය. වරක් වට්ඨකී සූකර ජාතකය උපුටා ගනිමින් ව්‍යාඝ‍්‍රයකුගෙන් සූකර වර්ගයාට පැමිණි අභියෝගයක් ජයගන්නට බෝසත් සූකරයකුගේ නායකත්වය හේතු වූ ආකාරය පැහැදිලි කොට ජාතිය බේරා ගැනීමට ඌරාට තිබූ මොළේ වත් සිංහලයාට නොමැති ඇයි දැයි ප‍්‍රශ්න කළේය. මහාජනක ජාතක කතාව උපුටා ගනිමින් හෙළ කාන්තාව බුදු දහමින් ශික්ෂණය ලද උපාසිකාවක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ලෝක ගොල්ෆ් ශුරයා වන ඇමෙරිකානු ජාතික ටයිගර් වුඞ්ස් විසින් ‘‘මාගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා’’ යැයි අන්තර්ජාලයට එක් කළ ප‍්‍රකාශයක් ලොව පුරා මෑතදී ප‍්‍රකට විය. ඔහුගේ මව බෞද්ධ කාන්තාවක වූ බැවින් ධර්මපාලතුමාගේ පොතපත නිවසේ තිබී ඒවා පරිශීලනයෙන් ලද දැක්ම ලෝක ශුරයකු නිර්මාණය කරන්නට සමත් විය. එහෙත් අපේ රටේ උපන් කිසිවකුට මගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා යැයි කියන්නට හුරුවක් කවදාවත් ඇතිවන්නේ නැත. ඒ එතුමා අප විසින් අධ්‍යයනය නොකරනු ලබන බැවිනි.

සංඝ සමාජයේ පවා පැවැති දුර්වලතා ප‍්‍රබල ලෙස විවේචනය කළ ධර්මපාලතුමා භික්ෂුව නිරන්තරයෙන් ජනතාවගේ මුරදේවතාවා බවට පත් විය යුතු බව කියා සිටියේය. මිථ්‍යා දෘෂ්ටිකයන් සම්මා දිට්ඨියට පත්කරලීම, අකුසල් කරන අය කුසලයෙහි යෙදවීම, ආදිය උදෙසා රාති‍්‍රයක් පාසා ගම්වල බුදුන්ගේ ධර්මය නිවැරදිව දේශනා කළ යුතු බව කියා සිටියේය. භික්ෂුන් වහන්සේලාගෙන් වැඩි කොටසක් අලසව කටයුතු කරන බවත්, එබැවින් භික්ෂුවගේ වගකීම කවරේද යන්න එතුමාගේ ලේඛනවලින් අවධාරණය කෙරිණි.

සිංහල දරුවන් නිසි පරිදි ශීලාචාරව සකසා  නොගැනීමෙන් මුළු මහත් ජාතියම විනාශ වී යන බවට ධර්මපාලතුමන් පළ කර ඇති පහත ප‍්‍රකාශය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමු.

‘‘සිංහල දරුවන්ට බාල කාලයේදී වත්පිළිවෙත් කියා දීමට කිසි කෙනකු නැති බැවින් ඔවුහු තරුණ වයසට පැමිණි කල ශීල විපත්ති, ආචාර විපත්ති, දෘෂ්ටි විපත්ති යන මේවාට පැමිණෙත්. මරක්කල ගැහැණු පිරිමි දරුවන්ට බාල කාලයේ පටන්ම ඔවුන්ගේ ආචාර්යයන් විසින් ඔවුන්ගේ කොරාන් පොතෙන් ධර්මය ද අරාබි දෙමළ භාෂා ද ගණිතය ද උගන්වනු ලැබේ. දෙමළ වර්ගයාටත් එසේමැයි. යුරෝපීය වර්ගයා ඔවුන්ගේ දරුවන්ට නොයෙක් ශිල්පාදිය උගන්වනු ලැබේ. සිංහල දරුවන්ට ගුරුකම් දීමට කිසිවකු නැති බැවින් දුප්පත් බෞද්ධ දරුවෝ පාපීන්ගේ වසඟයට පැමිණ විනාශ වෙත්, පුරාණ කාලයේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අනුකම්පා සිතින් බෞද්ධ දරුවන්ට කුලදේවතාවුන් මෙන් කටයුතු කළෝය.’’

මෙවන් ප‍්‍රකාශයක් ධර්මපාලතුමන් වෙතින් කෙරෙන්නට ඇත්තේ මොන තරම් කරුණාබර හැඟිමකින්දැයි කල්පනා කළ යුතුය. අන්‍ය ජාතීන් පිළිබඳ වෛර හැඟීමක් කිසිවිට ඇති නොවන ලෙසින් ඔවුන්ගෙන් අප ඉගෙන ගත යුතු දේ උපුටා ගෙන පෙන්වා දුන්නේය. මේ ප‍්‍රකාශ සියවසකට පෙර කළ ද ඒවායෙහි වර්තමාන වටිනාකම් ද බොහෝ ඇති බව සිතිය යුතුය.

ධර්මපාලතුමා තරම් මෑත යුගයේ අපට පහල වූ සංස්කෘතික වීරයකු තවත් නැත. අද අප බුක්ති විඳින සංස්කෘතික වටිනාකම් යමක් වෙතොත් ඒ ධර්මපාලතුමන් විසින් අපට උරුම කරන ලද දේයි. ධර්මපාලතුමාගේ ප‍්‍රකාශයක් මෙසේ උපුටා දක්වමු.

‘‘උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා එක් කොස් ඇටයක් වී ඇටයක් සිටවන්නේ නැතිව. සුද්දගෙ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජිරි දීලා උඹලගෙ සම්පත් ටික සූරගෙන උන්ගෙ රටට

ගෙනියන එක උඹලට පේන්නෙ නෑ.

කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය.

කෝ උඹලගෙ සංස්කෘතිය

කෝ උඹලගෙ මනුස්සකම

බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද?

උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩකරපල්ලා.

(අනාගතය විනිවිද දුටු ධර්මපාල වීරයා)

2008-09-17 ලංකාදීප

ජනතාවගේ දෑස් පුබුදුවන්නට මෙවන් ප‍්‍රබල ප‍්‍රකාශ කළේ රටටත් ජාතියටත් එතුමා තුළ පැවැති බලවත් පේ‍්‍රමය නිසාය. මේ වදන් නිදහස් රටක දශක 07 ක් ගෙවා දැමූ අපට පෙරදාට වඩා කොතෙක් ගැළපේදැයි සිතා බැලිය යුතුය. තිරි`ගු පිටි සංස්කෘතියෙහි වහලූන් වී ඇති අප පරපුර දිනෙන් දින ගොවිබිමෙන් ඈත් වෙමින් පවතී. අධිරාජ්‍යවාදී පාලකයන්ට බිය නොවී සිංහලයකු සේ දිවා රාතී‍්‍ර වෙහෙසෙමින් ජාතිය ගොඩනැංවීම උදෙසා ධර්මපාල ශී‍්‍රමතාණන් ඉටු කළේ සංස්කෘතික විප්ලවයක කාර්යභාරයයි. අලසයනට බැට දුන් ඔහු වේලාවට වැඩ කිරීමේ අගය ජාතියට හඬගා කීවේය. වරක් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හමුවීමට ඔහුට වේලාව ලබාදී තිබුණේ ප.ව. 1.00 ටය. එහෙත් ඔහු පැයක් පමා වී ප.ව. 2.00 ට පැමණියේය. එවිට ධර්මපාලතුමා කීවේ නුඹලා වැනි වෙලාවට වැඩ නොකරන මෝඩයන් නිසා මගේ වටිනා කාලය අපතේ ගිය බවයි. මට නුඹ සමග කිසිදු කතාවක් අවශ්‍ය නැතැයි බැණවදිමින් රජ ගෙදරින් නික්ම ගියේ අපේ සිංහලයාට ද වේලාවට වැඩ කිරීමේ අගය පෙන්වමිනි. එමෙන්ම එතුමා ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගමන් කරද්දී අහංකාර සුද්දකු තමා ඉදිරියේ දුම්වැටියක් උරමින් මත්පැන් පානය කරද්දී එය නොකරන්නැයි අණක් දුන්නේය. එය නොතකා සිටි විට මත්පැන් බෝතලයත්් වීදුරුවත් ගෙන දුම්රිය කවුළුවෙන් එළියට විසි කළේය. එයින් කලබලයට පත් සුද්දාට ඔහු තර්ජනය කළේ නැවත එසේ කළහොත් සුද්දා ද කවුළුවෙන් එළියට විසි කරන බවට ගෝරනාඩු කරමිනි.

අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රේෂ්ඨ බව දැයට ලියා තැබූ ගණේගම සරණංකර හිමියෝ එහි මෙසේ දක්වති..

ධර්මපාලතුමා තරම් වැඩ කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට රාජ්‍යයන්හි ඇවිදපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් කතා පැවැත්වූ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් පරිත්‍යාග කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට ජාතිය ආගම වෙනුවෙන් දුක් විඳපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් බැණුම් අහපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් ලියපු සිංහලයෙක් වෙන නැත. එක මිනිස් ජීවිතයකදී අවුරුදු පනහක් තුළ එතුමා කරපු වැඩ මෙතෙක් මේ රටේ උසස් කිසිදු සිංහලයෙක් කර නැත. ඒ වැඩ රාශිය සිංහලයන් දස දහසකට ද කළ නොහැකි තරම්.

භාරත දේශයෙන් අතුරුදන්ව ගිය බෞද්ධ උරුමය සුරකින්නට එතුමා විදින ලද දුක කෙතරම් ද යන්න දැනගැනීමට ඉන්දියාවේ බුද්ධගයාව, සාරනාත්, ලූම්බිණි කුසිනාරා ආදී ස්ථාන වෙත යා යුතුය. වර්තමානයේ එක් දිනකට ලක්ෂ ගණනක් ලෝවැස්සන්ගේ වන්දනාවට ලක්වන බුද්ධගයාව, ධර්මපාල තුමන්ගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරෙහි ප‍්‍රතිඵලයක් බව ඔවුහු කිසිවෙක් නොදනිති. රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු බුදුව නිවනින් සැනසෙත්වා.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ  සිරිසුමන හිමි
සිංහල අධ්‍යයනාංශය – කොළඹ විශ්වවිද්‍යාලය

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound