Category

ලිපි

Home / ලිපි
pujawali
ලිපි

පූජාවලි විමසුම – 37

2021 දෙසැම්බර් 16 – දිනමිණ කටාරම අතිරේකය

පියාගේ මිසදිටු බව දුරු කළ දියණිය.

පසුගිය ලිපියෙන් අප අවධාරණය කළේ ‘ජටිල දමනය‘ පිළිබඳවය. බොරු රහතුන් ලෙසින් පෙනී සිටිමින් සමාජය මුළාවට පත් කරන නූතන මිසදිටුවන්ගේ ස්වභාවය ද එයින් ධ්වනිත විය. පූජාවලී හිමියන් මිසදිටුවනට තදින් පහර දෙන්නේ දඹදෙණි යුගයේ විසූ මිසදිටුවන් දෙස ද බලාගෙන බව පැහැදිලිය. එය ඊටත් වඩා නූතනයට අදාළ වෙයි. මෙම සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයේ වැදගත්කම මේවා පිළිබඳ නිවැරැදි වැටහීමක් පාඨකයනට ලබා ගත හැකි බැවිනි. අද එය තවත් ඉදිරියට රැගෙන යමින් මිසදිටු පියකු එයින් මුදා ගන්නට දියණියක් ගන්නා වෑයම පිළිබඳව අවධානය යොමු කරමු.

මෙය මහානාරද කාශ්‍යප ජාතකයෙහි සංක්ෂිප්තාර්ථයයි. දමනය කළ ජටිලයන්ට ධර්මාවබෝධය ලබන්නට උපස්ථම්භක වූයේ මෙම ජාතක කථාවය. වර්තමානයෙහි ජටිලයන් තුළ පැවති ඒ ප්‍රබල මිසදිටු බව පෙරදීත් එලෙස ම පැවති බව තහවුරු කරලීම මෙන්ම එයින් මිදෙන්නට බෝසතාණන් වහන්සේගේ මැදිහත්වීම සිදු වූ ආකාරය මෙහිදී විවරණය කෙරෙයි.

විශේෂයෙන් ම මෙම අතීත කථා පුවත මාපිය දූදරු සබැඳියාව පිළිබඳව කරුණු කියන්නට හේතු වන අපූරු ධර්ම විවරණයකි. බුදු හිමියන් දේශනා කළේ මාපිය දෙදෙනා කර මත හිඳුවා සියවසක් පුරා උපස්ථාන කළේ වී නමුත් එයින් ඔවුන්ට වූ ණයෙන් නිදහස් විය නොහැකි බවය. එසේ නම් නිදහස් කළ හැකි ක්‍රමය ලෙස ඉගැන්වූයේ ශ්‍රද්ධාව, ශීලය, සම්මා දිට්ඨිය නැති මාපියන් එයින් මුදාගන්නට යම් දරුවකුට හැකි වන්නේ ද එවිට ණයෙන් නිදහස් විය හැකි බවය. හේතුව මෙම ධර්මතා නොමැති වීම අපායට මඟ හදන බැවිනි.

කතුවරයා උක්ත ඡාවී දුවගේ කථාව අරඹන්නේ මෙසේය.

“යටගිය සවස මියුළු නුවර අංගාති නම් රජෙක් වීය. ඔහුගේ රුජා නම් වූ ප්‍රිය වූ දුවක් ඇත. ඕ මනෝඥ වූ රූ ඇත්තීය. සූක්ෂම නුවණ ඇත්තීය. අචල වූ ශ්‍රද්ධා ඇත්තීය. තුදුස් ජාතියක් දක්නා ජාතිස්මරණ ඥාන ඇත්තීය. ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පලඳනා දුවට දෙයි. මැදි පොහොයෙන් පො‍හොයට දන් දෙනු සඳහා දහසින් බැඳි පියලි ද දෙයි. තෙමේද දැහැමෙන් සෙමෙන් රජ කරයි.“

පියා හා දුව කවරාකාර ද යන්න කතුවරයා කෙටියෙන් ම කියා දෙයි. විශේෂයෙන් දුවගේ උසස් ගුණ අවධාන ගත වෙයි. බෞද්ධ සමාජගත යෞවනියකගේ ගුණවත් හැඩ රුව කවරාකාර ද යන්න උගන්වයි. විශේෂයෙන් රූපය කතට අබරණය. එහෙත් නුවණ නැති සැදැහැ නැති රුවෙන් කවර පලයක් ද? රුජා සියල්ල සපිරිය. රූ ඇත. නුවණ ද ඇත. අචල ශ්‍රද්ධාව ද ඇත. ඈ හට පින් කරන්නට සියලු දේ පියාගෙන් ලැබේ. කල් යාමේදී සිදු වූයේ කුමක් ද?

අංගාති රජ දිනක් පොහෝ දිනෙක දහම් අසන්නට උයනට ගිය විට නිවටෙක් හමු වෙයි. එනම් නිගණ්ඨයෙකි. ඔහු වෙතට ගොස් “හිමි මෙලෝ පරලෝ පවු පින් විපාක විභාගය විශේෂයෙන් ම මට වදාළ මැනවැයි කීය.“ එවිට මෙම නිගණ්ඨයා රජුට කළ දෙසුම මෙසේය.

“මහරජ කුමක් කියවුද? මෙලොවක් පරලොවක් නැත. පින් නැත. පින් පල නැත. පවු නැත. පවු පල නැත. සුගති නම් නැත. දුගති නම් නැත“ ආදී වශයෙන් කිවූ කල එමොහොතේ ම මිසදිටු ගත. ඇතුළු නුවරට දිව යන රජුගේ සියලු දන්හල් බිඳ සුනු විසුනු කර දමයි. රජ ගෙට ගොස් සියලු පුර ස්ත්‍රීන්ට පංචකාමයෙහි අභිරත වෙන්නට නියෝග කරයි. මේ බව දත් රුජා දියණිය වහාම පියාණන්ගේ මිසදිටු බව බිඳින්නට සිතා පන්සීයක් කුමාරියන් ද සමඟ පියාගේ මාලිගාවට ගොස් පියාට කියා සිටින්නේ එළඹෙන පොහෝ දිනයෙහි දන් පිණිස යොදවන මසු දහස දෙන්නැයි කියාය.

එවිට පියා කියා සිටිනුයේ “පුතණ්ඩ පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමුව. ශරීරයට බොහෝ දුක් දුනුව. පිනෙහි පල නැත්ල. පවෙහිත් පල නැත්ල. එබැවින් පුතණ්ඩ, අද පටන් පින් නිසා දුක් නොගනුව. දන් නිසා මස්සකුත් වියදම් නොකරව. මෙලොවම සුව විඳ ගනුව“ දියණියට පියා විසින් කරනු ලබන මෙම අවවාදය ඉදිරියේ ඇය නොසැලෙයි. පියාට පින් පව් විපාක සහිත වන බව කියා දෙයි. සසර බිය පෙන්වා දෙයි. මෙසේ මිසදිටු වීමේ ප්‍රතිවිපාකයන්හි බරපතළ බව පසක් කරවන්නට උත්සාහ කරයි. ධර්ම දේශකයකු සේ බොහෝ නිදසුන් කථා පියා ඉදිරියේ කියා සිටී. කුසලාකුසල කර්ම විපාක ලැබෙන පිළිවෙළ පවා තම නුවණින් කියා දෙයි. එහෙත් දරුවන් කියන බණ පිළිගන්නට ඇතැම් පියවරුන් සූදානම් නොමැති සේ ම මේ පියා ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය.

අවසන කාන්තාවගේ බලය සත්‍යයේ බලයයි. ඈ දෙවියන් යදී. ඈ දෙවියන් යදින්නේ මෙසේය. “ලෝකපාල දෙවියනි, මෙලොවක් පරලොවෙක් ඇත්නම් ශ්‍රද්ධා ගුණයෙක් මාගේ ළෙහි පිහිටියේ නම් උපන් තැන් පටන් මේ ජාතියෙහි සිහිනෙනුත් බොරු නොකියෙම් නම් සබවක් ම රැකියෙම් නම් කෙළි පිණිසත් පවු නොකෙළෙම් නම් මපියාණන් වහන්සේ මේ මිත්‍යාදෘෂ්ටි නමැති කටුබැද්දෙන් ඇද එළියෙහි ලා පියත්ව යි කිය කියා යද යද දෙවුලොව දිසාවට වැඳ වැඳ සිටියහ.“

මෙය දීර්ඝ අයැදුමක සංක්ෂිප්තයකි. කාන්තාවගේ බලය නම් සත්‍ය බලය බව ලොවට කියා පෑමකි. සම්බුලා ජාතකයේ සම්බුලාව ද මෙසේ යදින කල සක් දෙවිඳුගේ අසුන පවා රත් වූ අයුරු දැකිය හැකිය. මේ අනුව මෙහිදී බ්‍රහ්ම රාජයකුව සිටි මහා නාරද කාශ්‍යප නම් බෝසතුන් ඇගේ හඬින් සංවේදීව තවුස් වෙස් ගෙන මිසදිටු පියාණන් වෙතට පැමිණෙයි. එවිට රජුට වූ දේ කතාකරුවා ඉදිරිපත් කෙරෙන්නේ හාස්‍යයෙන් ද පිරි වර්ණනාවක් ලෙසිනි.

“රජ බ්‍රහ්ම තේජසින් වෙවුලා සිංහාසනයෙන් බැස එකත්පස්ව සිට කියනුයේ තාපසයෙනි! තොපගේ ශරීරාලෝකයෙන් මෙනුවර හිරු උදයක් සේ ඒකාලෝකය. තෙපි කොයි සිට අවුදැයි විචාළේය. බ්‍රහ්ම රාජයෝ සිතන්නාහු මේ රජ පරලෝ නැතැයි දෘෂ්ටි ගත. පරලෝ ඇති බැව් මෝ හට කියා වාද උපදවමි යි සිතා රජ්ජුරුවෙනි පරලොව සිට අයිමි යි කීහ.“
මෙසේ ඇති වන වාදය ඉතා දීර්ඝ විය. අවසානයේ රජු දැමුණි. පරාජයට පත්ව තාපසයන් ළඟ වැඳ වැටෙන්නේ ගැත්තකු බවට පත් වෙමිනි. මෙය ඉතා රසබර පූජාවලි වර්ණනාවකි. දරුවන් දෙමාපියන්ට වූ ණයෙන් නිදහස් වන මාර්ගය ද මෙයින් කියවෙයි.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 36

2021 දෙසැම්බර් 2 – දිනමිණ කටාරම අතිරේකය

අසිරිමත් ජටිල දමනය

පසුගිය ලිපියෙන් ඔබට කියා පෑවේ බුදුරදුන්ගේ ඉසිපතනාරාම ගමනය. පළමු දම් දෙසුම සඳහා වැඩිය මෙම ගමනේදී පස්වග තවුසන් ක්‍රියා කළ පිළිවෙළ හා ඔවුන්ට දහම් දෙසුම සිදු වෙද්දී දෙවි දේවතාවන්ගේ පූජා පෙළහර සිදු වූ අයුරු කතාකරුවාගේ වර්ණනාවට ලක් වූ අයුරු විවරණය කළෙමු. පූජාවලියෙහි දාහතරවන පරිච්ඡේදය හෙවත් වේළුවනාරාම පූජා කතා විමසුම තුළ ඇතුළත් ජටිල දමනය කෙරෙහි මෙවර අවධානය යොමු කරවමු.

විශේෂයෙන් කතාකරුවා බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමට බුදු සිරිතේ හැම අවස්ථාවක් ම හොඳින් භාවිතයට ගත් අයුරු මෙම විශේෂ අවස්ථාවන් ඉදිරිපත් කළ පිළිවෙළින් ම පෙනේ.

උරුවෙලාවෙහි නේරංජනා ගංතෙර විසූ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ජටිලයන් තිදෙනා පූජාවලී කතුවරයාණන් හඳුන්වා දෙන්නේ “රහතුම්හයි කියා මිථ්‍යා දෘෂ්ටි ගෙන ලෝවැස්සන් වංචාවෙන් පහදවා ලාභයෙහි යසසෙහි අග්‍රව වෙසෙති.“ යනුවෙනි. නූතන ඇතැම් රහතුන්ලාට ජටිලයන් සමාන කළ හැකි යයි සිතේ. මෑත ශ්‍රී ලංකාවේ ද වදුරඹ සිරිවර්ධන රහතුන්, පොළොන්නරුවෙහි රහතුන් ආදී වංචාකාරයෝ රාශියක් ම පහළ වූහ. අවාසනාවට මොවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය වැළඳගත් බොහෝ මිථ්‍යාදෘෂ්ටි ශ්‍රාවකයෝ ද වූහ. විශාල පිරිස් ඇතිව වැජඹුණු මොවුහු ඇතැම් විට පූජාවලිය පෙන්වන පුරාණ ජටිලයන්ගේ පුනරාගමනයක් විය හැකිය.

බුද්ධකාලීන මෙම ජටිලයන් තිදෙනාට දහසක් අනුගාමිකයන් වූ බව කියවෙයි. මිථ්‍යාදෘෂ්ටි ගත වීමෙන් නියත අපාය හිමිව තිබූ මොවුන්ගේ පුරාණ හේතු සම්පත් දැක මේ සියලු දෙනා නිවන් මඟට හරවා ගැනීමට බුදුහු ඔවුන් වෙත යාමට තීරණය කළහ. පළමුව වැඩම කළේ උරුවෙල කාශ්‍යපයන්ගේ ආරාමයටයි. ගොස් “කාශ්‍යපයෙනි, තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ.“ යනුවෙන් බුදු හිමියෝ කාශ්‍යපයාගෙන් ඉල්ලා සිටියහ.

එයට කාශ්‍යපයාගේ පිළිතුර වූයේ “මහණ භවත් ගෞතමයෙනි, තපස්වීවරයන්ට අවසර දීම අප සේ වූ තපස්වීවරයන්ට ම සුදුසු ය. එසේද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝෝර වූ නාගයෙක් වෙසෙයි. ඒ අප රහත් හෙයින් අපට කිසිවකුත් නොකෙරෙයි. නොරහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනෙකුන්ට උපද්‍රවයක් කළේ නම් අලාභ වේදැයි කීහ.

පූජාවලී කතුවරයා මෙය ලියන්නට ඇත්තේ කට කොනකට නැංවුණු සරද සිනහවකින් ද යුතුව විය යුතුය. ලොව්තුරා බුදු කෙනෙකුන්ගේ තරාතිරම නොදත්තකු තමන් රහත් බව බුදුන් ඉදිරියේ කියා පෑම සරද උපහාසයක් ම වේ. එපමණකුදු නොව මෙම නාගයා වෙතින් තමනට අනතුරක් නොවන්නේ තමන් රහත් නිසා බව කීමෙන් ද බුද්ධිමත් පාඨකයා ඉදිරියේ ජටිලයන් පත් කරවන්නේ දීනයන්ගේ විලාසයටය. එහෙත් බුදුන්ගේ පිළිතුර දෙස බලන්න. “තොපගෙන් අවසර ලදුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනු කැමැත්තම්හ“ යන්නයි.

දෙවන වරද ජටිලයා මෙය ප්‍රතික්ෂේප කරන අතර නාගයාගේ විෂඝෝර බව ම කියා සිටී. තෙවන වරද බුදුන් ඉල්ලීම කරන අතර කාශ්‍යපයෝ නාගයාගේ දැඩි බව ම කියා සිටියහ.

එවිට බුදුහු “ නයිගේ බල නොකියා තොපගේ ගිනිහල් ගෙය අපට අවසර දෙව යි වදාරා උන්නේ අනුදන්වා ගෙන නා විමනකට වඩනා ගරුඬ රාජයක්හු සේ නිර්භීතව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැද වැඩ උන් සේක.“

කතුවරයා යෙදූ උපමාව අපූරුය. ගරුඬයන් ඇති තැන නයින්ට වාසයක් නැත. ගරුඬ රාජයෙකු සේ යන්නෙන් බුදුන්ගේ තේජස් මහිමය ද ප්‍රකට කෙරෙයි. දැන් බලසම්පන්න විෂඝෝර නාගයකුට අත් වන ඉරණම දැක ගැනීමේ ආශාව පසුපස පාඨකයා ලුහු බඳී. සිදු වූයේ කුමක්දැයි බලන්න.

“ඉක්බිති නාගරාජ තෙම ගිනිහල් ගෙයි වැඩහුන් බුදුන් දැක ඇතකු කරා පැමිණි උම්මත්තකයකු සේ මාගේ භවනයට අවුදින් තමාගේ ගෙයක සේ හිඳ ගත් මොහු කවරෙක්දැයි කිපී බුදුන් කරා විෂ ධූම හරනට වන. ස්වාමිදරුවෝ මම ද එක විෂ ධූමයක් හළිම් නම් එක නයෙකු තබා මුළු ලොව මකුළු හූයක් සේ දායෙයි. එසේ ද වුවත් මොහුගේ අභිමාන මැඬ දැමුව මනා වේදැයි සිතාලා මාගේ ශරීරයෙන් නික්මුණා වූ දුමින් කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදි සියලු සතුන්ටත් උපද්‍රවයක් නොවේවයි අධිෂ්ඨාන කොට ලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශරීරයෙන් දුම් කඳු හරනට පටන් ගත් සේක.

නාගයා විෂ දුම් හරිද්දී බුදු හිමියන් කළේ කිහිඹියකුට දු හිරිහැරයක් නොවන පරිද්දෙන් සිය බුදු සිරුරෙන් දුම් නිකුත් කිරීමය. දුමින් වැසුණු නාගයා අනතුරුව බුදුන් දවන්නට සෙයින් ගිනි පිට කරන්ට පටන් ගති. බුදුහු තේජෝ කසිණයට සමවැද තම සිරුරින් ගිනි ජාලාවක් නිකුත් කෙරුනේ ගිනි ගෙන දැවෙන හේනක් සෙයිනි. මෙය දුටු ජටිලයන් සිතුවේ “ තෙලෙ නාගරාජයා හළ ගිනි කඳය. මහණ භවත් ගෞතමයන්ගේ රන් කඳක් වන් ශරීරය අද දා නස්සි. අප කියමන් නොගත්හ“ යනුවෙනි.

එහෙත් ඒ වන විට බුදු හිමියන් නාගයා දමනය කොට පාත්‍රයට දමා ගත්තේ ඉඳුනිල්මිණි කරඬුවෙක රිදී හවඩියක් ලන්නා සේ ය.

ගිනි දුම් සියල්ල පහව ගිය පසු උරුවෙල කාශ්‍යපයන් කැඳවා කලින් දා මහා බලසම්පන්නයකැයි කී නාග රාජයා පත්ව ඇති ආකාරය පෙන්වා දුන්නේය. එවිට උරුවෙල කාශ්‍යප කල්පනා කළ හැටි බලන්න. “ මේ මහණ භවත් ගෞතමයෝ අප සේ ස්වසන්තාන දමනය කොට රහත් වන සේ නොදන්නා බව මුත් නයින් දමන්නා වූ ආනුභාව ඇතියහයි කියා රහත් ගුණ තමන් කෙරේ ම තබා දුටහ.

ජටිලයා කල්පනා කළේ බුදුන් නයින් දමනය දන්නා නමුත් තමන් සේ රහත් නොවූ බවය. මෙලෙසින් බුදුන් ඉදිරියට පැමිණි සියලු අභියෝග පරාජය කළ පසු බුදුහු ඔවුනට දහම් දෙසා වදාළහ. රහතුන් හා නොරහතුන් හඳුන්වා දුන්හ. එයින් සියලු පිරිස සෝවාන්හි පිහිටියහ. එවිට ඔවුන්ගේ මුව‘ගට නැගුණු වදන් මෙසේය.

“මෙතෙක් දවස් නුඹ බුදු වූ බව් නොදත්තෙමි. නොහැඳින්නෙමි. ගැත්තහු නොදැන කළ වරද ක්ෂමා කොට වදාළ මැනව. ස්වාමිනි දැන්ම ගැති මහණ වනු කැමැත්තේය‘ යි ආරාධනා කළහ. අනතුරුව පැවිදි බව ලද මෙම දහසක පිරිස ආදිත්ත පර්යාය සුතුරෙන් බණ අසා අර්හත් බව ලදහ.

මෙය බුදු සිරිතේ තවත් අසිරිමත් සිදු වීමක් ලෙසින් පූජාවලි හිමියෝ උත්කර්ෂයෙන් වර්ණනා කරති.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 35

2021 නොවැම්බර් 25 – දිනමිණ කටාරම අතිරේකය

බරණැසට දහම් වැසි

පූජාවලී පසුගිය විමසුමෙන් ඔබට ගෙනහැර පෑවේ බුදුන් හමුවට පැමිණි උපක ආජීවකයාගේ කථාවය. එය නූතන සාහිත්‍යයේ එන රසබර කෙටිකතාවක් වැන්න. මෝඩ බැතිමතුන් මුළා කොට අර්ධපාල රහත් කෙනකු ලෙස පෙනී සිට ජාවී නම් යෞවනියකට පෙම් බැඳ ඇති කර ගත් විවාහයේ උත්ප්‍රේක්ෂාව අපූරුවට එහි විවරණය කෙරිණි. මෙවර අප ඔබට රැගෙන එන්නේ බුදුරදුන් බරණැසට වැඩමවා කළ ප්‍රථම දහම් දෙසුම හෙවත් දම්සක් පැවතුම පිළිබඳ පූජාවලී හිමියන්ගේ විවරණයයි.

දම්සක් පැවතුම සඳහා බුදුන් ඉසිපතනයට වැඩි ගමනේ දී එහි වැඩ සිටියේ පස්වග තවුසන්ය. සය වසක් දුෂ්කර ක්‍රියා කළ සමයෙහි බෝසතුනට ඇප උපස්ථාන කළ මේ පිරිස බෝසතුනගෙන් වෙන්ව ගියේ බෝසතුන් දුෂ්කර ක්‍රියාව නතර කිරීමට එරෙහි වෙමිනි. මේ නිසා බුදුන් ඉසිපතනාරාමයට වැඩම කිරීම ගැන ඔවුන් තුළ සතුටක් ඇති නොවුණි. ඇතැම් විට ඔවුන් සිතන්නට ඇත්තේ නැවත වරක් ඔවුන්ගේ සහාය අපේක්ෂාවෙන් පැමිණෙන බවය. එනිසා ඔවුන් කතිකා කළේ බුදුන් නොතකා හරින්නටය. එම කතිකාව මෙසේ පූජාවලී හිමියන්ගේ අවධානයට ලක් වෙයි.

“භගවත් ගෞතමයෝ දුෂ්කර ක්‍රියා හැරපියා තමන් රජ කුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙන ලද මධුර වූ ආහාරය අනුභව කොට ඡවි පහස් ලදින් දැන් ප්‍රභාසම්පන්නව රන් කඳක් සේ ගියාහුය. බඩපුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇතිව යහපත් වූය. නොයෙක් උත්සාහ කොට බුදු විය නොහී දැන් අප කරාම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ. හුනස්නෙන් නොනැගෙම්හ. පෙර ගමන් නොකරම්හ. පෙර සේ ඔහු අපි නොවදුම්හායි කතිකා කළහ.“

මෙසේ කතිකා කළ අයට පසුව සිදු වූයේ මීට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. බුදුන් සමීපයට වඩිද්දී බුද්ධ තේජසින් සිටි තැන සිටගත නොහී ඔවුන් කලබලයෙන් හැසිරුණේ කෙසේද? පෙර මඟට යයි. බුදුන් වඳී. පා සිවුරු ගනී. ශ්‍රීපාදය දොවයි. පැන් පවස් විචාරයි. එවිට බුදු හිමියන් මොවුන්ගේ සැක සංකා දුරු කරනු වස් මෙසේ වදාළහ.

“මහණෙනි, සමසමයන් හා කථා කරන්නා සේ ලොව්තුරා බුදුන් හා කථා නොකරව. මර සෙන් බිඳහැරපීමි. වසවත් මර මන් බිඳපීමි. ගිරිමෙවුලා මතැතු දණ බිම අන්වාපීමි. එකොළොස් මහා යුද්ධයෙහි ජය ගෙනපීමි. මරු දැමූ චක්‍රායුධය පාබිසි කළෙමි. මහපොළොව ගුගුරුවාපීමි. මහමෙර සක්වළගල් නටවාපීමි. දෙවි බඹ කැලන් කළ පූජා විඳපීමි. මරඟනන් පලවාපීමි. මහණෙනි, සවුනේ ගෙවා බුදු ව තුන් ලෝ මුඳුන්පත් වීමි. තොප හැමදෙනාගේ සැක හැර අද රෑ දම්සක් දෙසුම අසා බලගැයි වදාළ සේක.“

මේ බුදුදම් ඇසූ පස්වග තවුසන්ට වූයේ කවරක්දැයි කතුවරයා පෙන්වා දෙන්නේ බුද්ධ තේජසින් වෙවුලා ගියේ කේශර සිංහයක්හු දුටු සිංහ පැටවුන් සේ වූ බවයි. එකත්පස්ව නොසෙල්වී සිටි බවයි. බුදුන් දහම් දෙසන්නට සූදානම් වූ කල්හි එතැන්හි බුද්ධාසනයක් ද සැකසිණි. මේ මොහොතේ සොබාදහම පරිසරය සියල්ල ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු කතුවරයාගේ වැනුමට ලක් වෙයි. සන්ධ්‍යාව ඒ වෙනුවෙන් සූදානම්ව සිටි අයුරු කතුවරයාගේ වර්ණනාවට හසු වන්නේ මෙසේය.

“ එකෙණෙහි නිශා නමැති කාන්තා තොමෝ තරු පෙළෙ නමැති ගෙලෙ මුතු දම් පැලඳ නිල්වලා නමැති කෙස් වැටි තනා දික් නමැති හස්තයෙන් සඳරැස් නමැති දිවසළු විදා හැඳ බඹලෝ නමැති මිණි ඔටුනු දරා තුන්ලෝ නමැති ඇඟ සොල්වා කෞමද නමැති ඇස් දල්වා භෘංගනාද නමැති ගායනා පතුරුවා මාගේ ස්වාමිදරුවාණන් වහන්සේගේ පළමුවන මඟුල් බණ පූජාවට මෙසේ ලීලෝපේතව සැරසී සිටගත.“

මනරම් සැඳෑ වැනුමක යෙදෙන්නට කතුවරයා සමත් විය. සොබාදහම මෙසේ ආසිරි ගන්වද්දී බුදුහු තම දෙසුම පවත්වන්නට සූදානම් වූහ. එවිට දස දහසක් සක්වළ දෙවි දේවතාවෝ දහම් අසන්නට සැරසුණු ආකාරය ද කතුවරයාගේ වර්ණනාවට හසු වෙයි. මෙහි චමත්කාරය බලන්න.

“ දස දහසක් සක්වළ දිව්‍ය නාගයෝ කඩුපුල් මල් මිටි ගෙන දිවූය. ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩා ගෙන දිවූය. ගාන්ධර්වයෝ තූර්යභාණ්ඩ ගෙන දිවූහ. අසුරයෝ පළොල් මල් ගෙන දිවූය. දෙවියෝ පරසතු මල් ආදි වූ නන් විසිතුරු සිව මල් ගෙන දිවූය. බ්‍රහ්මයෝ සේසත් ගෙන දිවූය. දස දහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරු දෙවියෝ දිවූහ.“

මෙලෙසින් දෙවියන්ගේ සූදානම කවරාකාර ද යන්න සිතා ගත හැකිය. මේ පිටු ගණනාවක් පුරා කරන වැනුමක ඇරඹුමක් පමණි. දිව්‍ය සේනාවන් පැමිණ දහම් අසන්නට අතොරක් නැතිව ම රැස් වූ බවයි. එපමණක් නොව දෙවියන්ගෙන් ලද අපමණ පූජාවන් ද මෙහිදී වැනුමට එක් කෙරේ. බුදුනට චාමර සලන දෙවියන් ජයසක් පිඹින දෙවියන් ආදිය ගැන ද තවත් අනේක පුද පූජාවන්හි යෙදෙන දෙවියන් ගැන ද මෙහි කියවේ.

දෙවියන්ගේ මෙම අසිරිමත් පූජාවන් මධ්‍යයෙහි බුදුහු දම්සක් දෙසූ අයුරු වැනුමට හසු වූයේ මෙසේය.

“ මාගේ ස්වාමි දරුවෝ ඒ මහීනාදය සමඟ තමන් වහන්සේගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ බුද්ධඥාන නමැති සූර්ය කාන්තියෙන් ප්‍රබෝධ වූ සුරක්ත වූ ජිව්හා ධාතු නමැති කෙමි ඇති දන්ත ධාතු නමැති කෙසරු ඇති සුරක්ත වූ ඕෂ්ඨ ධාතු නමැති පත්‍ර ඇති සද්ධර්ම නමැති මධු බිංදු ඇති ශ්‍රීමත් වූ මුඛ පද්මය විවෘත කොට බැණ නැගි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඩක් සේ කෙරෙමින් ………..“

මෙලෙසින් උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදු කළ බව පූජාවලී හිමියෝ වර්ණනාවට ලක් කරති. සැබවින්ම ලොවට ධර්මාලෝකය ලද මෙම උතුම් අවස්ථාව උත්කර්ෂයෙන් වර්ණනා කිරීම අරුමයක් නොවනු ඇත. මෙම අවස්ථාව පසුකාලීන බොහෝ සාහිත්‍යකරුවෝ විවිධාකාරයෙන් වර්ණනාවට හසු කර ගෙන තිබෙයි.
නූතනයේදී සුනිල් සරත් පෙරේරා ලියා අමරදේවයන් ගයන මේ ගීය ද ඊට නිදසුනකි.

සනරාමර හිමි දම්සක් දෙසුවේ – ඉසිපතනේ මිගදා වන අරණේ
පස්වග මහණුන් හමුවේ – සිව්සස් දෙසුවේ
සුරඹුන් පරසතු සැලුවේ – සාධු සාධු හඬ නැඟුවේ
සසර කතර දුක් සිඳණේ- සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ – දම්සක් පැවතුම දෙසුණේ
කෙලෙස් මලින් ලොව මිදුණේ – නිවන් දොරට මං ඇරුණේ
අවිඳු අඳුර දුරු කෙරුණේ – මුනිඳු නැණින් ලොව දිලුණේ.

 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 34

2021 නොවැම්බර් 04 – දිනමිණ කටාරම අතිරේකය

උපක ආජීවික බුදුන් දකී..

පසුගිය පූජාවලී විමසුමෙන් පෙන්වා දුන්නේ බුදුන් හමුවට පැමිණි ‘තණ්හා, රතී, රගා’ යන මරදූවරුන්ගේ මාර සංග්‍රාnමය පිළිබඳවය. ඇතැම් තැනෙක මේවා බුදුන්ගේ සිතුවිලි ලෙස විග්‍රහ වෙතත් එහි වැරැදි බව පෙනෙන්නේ මේ සිදු වීම වූයේ බුදු වීමෙන් පසුව හතරවන සතියේදී වීමය. එවිට බුදු හිමියෝ තණ්හාව, රතිය, රාගය මුළුමනින්ම දුරුකර තිබුණි. එනිසා පූජාවලී කතුවරයා මෙය පුද්ගලාරෝපණයක් ලෙසින් ඉදිරිපත් කළේය. එම ඉදිරිපත් කිරීම හා වර්ණනා සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහළ තැනෙක පවතී. මෙවර ලිපියෙන් ඔබට අවධාරණය කරන්නේ පූජාවලී ඉසිපතනාරාම පූජා කථාවෙහි එන උපක ආජීවක බුදුන් සරණ ගිය පිළිවෙළය. සැබවින්ම මෙය ඉතාම රසබර කථාවකි. ලංකාවේ බොහෝ උසස් විභාග සඳහා මෙම පරිච්ඡේදය බොහෝ වාරයක් ම නිර්දේශ වී තිබේ.

ඉසිපතනය ඍෂීන් පතිත වන බිමය. ධර්මාලෝකයෙන් නැහැවුණු බිමය. පස්වග තවුසන් ධර්මාවබෝධය ලද බිමය. සඟ සසුනේ ඇරඹුම සිදු වූ බිමය. වැලිකලමුල්ලේ වික්‍රමසිංහ නමැත්තකු ලියා පුණ්‍යා කත්‍රිආරච්චි සහ දයානන්ද කෝනාර ගායනා කරන අපූරු ගීයක් ඇතුළත මේ සියල්ල කියවෙයි.

බුදු රැස් දහරින් මුළු ලොව සතපා
සමන් බදුරු හිමි කරුණා නෙතපා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
පස්වග මහණුන් මල් පෙති අතුරා
බුදු බණ පදයෙන් ඇත සිත සපුරා
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
දම්සක් සුතුරින් දහම් අමා දිය
දෙව්බඹ සපුරති සීල සමාධිය
ඉසිපතනේ මිගදායේ
ඉසිපතනේ මිගදායේ
නිවනෙහි දොර හැර බව දුක නැසුවා
අරි අට මග ඵල සත හට බෙදුවා
ඉසිපතනේ මිගදායේ

ඉසිපතනේ මිගදායේ මෙම ඉසිපතනයට බුදු හිමියන් වඩින්නේ පළමු දහම් දෙසුම සඳහාය. සාවුරුද්දක් පුරා දුෂ්කර ම කාලයෙහි තමා ළඟ වෙසෙමින් ඇප උපස්ථාන කළ පිරිස පස් වග තවුසන්ය. කළගුණ සැලකුමේ උතුම් ධර්මතාව ලොවට පසක් කරවමින් මේ පිරිස වෙනුවෙන් තම පළමු දෙසුම කරන්නට තෝරා ගත් බුදු හිමියෝ ඒ සඳහා ඇසළ පෝදා දෙසැත්තෑ ගව්වක් දුර මග ගෙවා වැඩියහ. උපක ආජීවකයන් හමු වන්නේ මේ අතරෙහිය. ඔහු බුදුන් දැක විස්මයට පත්ව මෙසේ කියන්නට වීය.

“ ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතුද? ස්ථිර වූ ගුණ ගනරන් මෙන් ගතුද? ගැඹුරු වූ ගුණ මහ මුහුදින් ගතුද? තේජෝ ගුණ හිරු මඬලින් ගතුද? සොමි ගුණ සඳ මඬලින් ගතුද?අමා පිඬක් වැනි කෙනෙකු ව. මහපින් පිඬක් වැනි කෙනෙකු ව. ……… තෙපි කවුරුද?”

එවිට බුදු හිමියන්ගේ පිළිතුර වූයේ තමන් ශක්‍රයාවත් බ්‍රහ්මයාවත් නොව ‘අනන්ත ජින’ නම් වන බවයි. එවිට ආජීවකයා බෙහෙවින් පැහැදව “එසේ නම් අනන්ත ජිනයෙනි. අද පටන් තෙපි මාගේ යහළුව“ යනාදිය කියා සිටි අතර, බුදු හිමියෝ එය පිළිගෙන ඉසිපතනාරාමයට වැඩම කළහ.

ආජීවකයා වංගහාර නම් වැදි ගමකට පිවිස උඩු කයට පමණක් පිළි හැඳ හිණෙන් පහළ නිරුවත්ව ආජීවක ස්වරූපය විදහාලන්නට ගම මධ්‍යයට වී සිටියේය. එහි වැදි ජනයන් මේ අමුතු පුද්ගලයා දැක විමසා බැලූ විට ආජීවක කියා සිටියේ,

“ගිහි මිනිසුන් සේ ලජ්ජා වසා පිළි නොහදුම්හ. අපි තපස් රක්ෂා කරම්හ. ලජ්ජාවෙන් අර්ධයක් පාලනය කරන බැවින් අර්ධපාල නම් රහතුම්හ. යි කීය.”

දියුණු නොවූ ඕනෑම සමාජයක ආගමික චෞරයන්ට වාසිදායකය. ජනයා රවටා ගැනීම පිණිස ඕනෑම නිරූපණයකට යොමු වෙයි. මොහු කෙතරම් විලිලැජ්ජා බැහැර කළේද යත් ජනයා මුළා කර ගැනීම පිණිස ඉණෙන් පහළට වස්ත්‍ර නොහදී. වස්ත්‍ර හැඳීමේ මූලික අරමුණ පවා නොදනී. වර්තමාන ඉන්දියාවේ නිගණ්ඨයන් වෙනුවෙන් තවමත් පුද පූජා තබන්නෝ වෙති.

අපේ රටේ වුව එවැන්නකු පහළ වුවහොත් වන්දනාවට යන ලක්ෂ ගණනක් වුව දැකිය හැකි වනු ඇත.

මේ අර්ධපාල රහතුන් ගැන මිනිසුන් සිතූ දේ බලන්න.

“මොහු මහා බලවත් කෙනෙක. ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූ කලී සන්තානයෙහි නැත්තාහුම යයි කියා පැහැද වඳිති. පුදති. සත්කාර කෙරෙති.”

දැන් අර්ධපාල වැදි ජනයාගේ ශාස්තෘවරයා වී ඇති සැටි පෙනෙයි. එහි වැදි මුදලි හෙවත් ගම් නායකයා විශේෂයෙන් ඇප උපස්ථාන කරයි. නිරුවත් කපටි ආජීවකයන්ට සොබා දහමින් දුන් දඬුවම වන්නේ ලේ උරා බී මරණයට පත් කරන විශාල මැසි උවදුරක් පැතිරීමය. ජීවිතය බේරා ගැනීමට නම් පොළොවේ වළක් හාරා විශාල සැළවල් වළ ලා එහි බැස පියනකින් වැස වාසය කළ යුතුය. අර්ධපාල සොබා දහම සඟවා ගත්තේ එසේය. මුදලි තම ඡාවී නම් දුව සමග දිනපතා මේ අර්ධපාල රහතුන්ට දන් දෙන්නට පැමිණේ. ඡාවීට පෙම් බඳින මෙම හොර තාපසයා ඇය නොලදොත් මියෙන බව මුදලිට පවසන්නේ නූතන බොළඳ පෙම්වතකුගේ විලාසයෙනි.

අවසන ඡාවී විවාහ කර දෙයි. එහෙත් කිසිදු කර්මාන්තයක් නොදන්නා අර්ධපාල මාමාට මෙහෙ කරයි. කත් අදී .දර අදී. දැල් අදී. පන් අදී. මස් අදී. නොබෝ කලකින් ඡාවී භද්දක නම් පුතෙකු වදයි. එම පුතු නළවන කල ඡාවී දරුවා අමතන වදන් සෝපහාසයෙන් පිරුණ වදන්ය. නොගැළපෙන විවාහයකට යන පිරිමියෙකු හට අසන්නට ලැබෙන දරුණුතම වදන්ය. බලන්න.

“මස් කත් අදින කත්පුමයාගේ පුත නොහඬව. මස් වැද්දහුගේ පුත නොහඬව. මූඪයාගේ පුත නොහඬව. කෙළතොල්ලාගේ පුත නොහඬව.”
යනාදීයෙන් අකමැත්තෙන් තමා සමඟ දීග පැමිණි අර්ධපාලට බිරිඳ ප්‍රබල ලෙස පහර දෙයි. ලජ්ජාවට පත් කරයි. නින්දාවට පත් කරයි. පෙර පාලනය කර ගත්තා යැයි වහසි බස් දෙඩූ ලජ්ජාව දැන් දරා ගත නොහැකි ලෙස වේදනාවට පත් කරයි.

අනතුරුව බුදුන් සොයා එන අර්ධපාල හොර තවුස් තෙම බුදුන් හමුවෙහි පැවිදිව විදසුන් වඩා රහත් වෙයි. එම රහත් බව හා පෙර ජනයා රැවටූ රහත් බව අතරෙහි වෙනස ඔහුට කෙලෙසක දැනෙන්නට ඇත්ද?

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 33

2021 ඔක්තෝබර් 28 – දිනමිණ කටාරම අතිරේකය

තණ්හා රතී රඟා

 
පසුගිය පූජාවලි විමසුමෙන් ඔබට පැහැදිලි කළේ වසවර්තියා ගැනය. ඉහළම දිව ඉසුරු විඳිතැයි කියැවෙන වසවර්තියාට ඉහළින් කිසිවකුට වසන්නට ඔහු ඉඩ නොදේ. බෝසතුන් මෙලොව බිහි වූ දා සිට එම ගමන නතර කිරීමට මාන බලමින් සිටි වසවර්ති අවසන තමන්ගේ සියලුම බල පරාක්‍රමයන් බුදු වීම වැළැක්වීම සඳහා යොදා ගත් අයුරුත් පිරූ පාරමී දම් බලයෙන් වසවර්තියා පරාජය කොට බුදු වූ අයුරුත් පසුගිය ලිපියෙන් කියැවිනි.

අද ඔබට කියා දෙන්නේ පූජාවලි කතුවර බුද්ධපුත්‍ර හිමියන් මරදූවරුන්ගේ සංග්‍රාමය වර්ණනා කළ පිළිවෙළ ගැනය. පරාජිත වසවර්තියා දෙව්ලොවට ගොස් නෑයන්ගේ මුහුණ දකින්නට නොහැකිව යහනේ වැටී සිටියේ මුණින් අතටය. පසුව එහි ද සිටගත නොහී සැවැත්නුවර වීථියකට පැමිණ අසරණ යාචකයකුගේ ස්වභාවයට පත්ව සිටි අයුරු දක්වන්නේ ප්‍රබල උපහාසය ද සපිරිවය. බුදුපුත් හිමියන් මෙය සැබැවින් ම නිර්මාණයකට පෙරළා පාඨකයා ඉදිරියේ තැබූවාක් මෙනි. මෙය ඉතා රසවත්ය.

“එසමයෙහි මාරදිව්‍ය පුත්‍රයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්දා ඉවසාගත නොහී තමාගේ ඒ දිව්‍ය භවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මඟී වෙසක් ගෙන දෙපා දිගු කොටලා එක් අතක් නිකටැ දීලා කරබා හිඳ සිතනුයේ සිද්ධාර්ථ කුමාරයා මා නොකැමති කරවා ම මහබිනික්මන් කළේය. සාවුරුද්දක් වේලෙහි මට අවකාශයකුත් නොපෑවේය. දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේය. ඉතකින් මාගේ විෂය ඉක්ම ගිය…නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පියයි……. මාගේ නරකවල් අවකාශ කරවයි. සිතින් ශෝක කරනුයේ සොළොස් හිරක් මඟ අවුරා ඇඟිල්ලෙන් ඇන්දේය.“

පරාජිතයකුගේ ස්වභාවය ජවනිකාවක් සේ නිරූපණය කරලීමෙහි බුදුපුත් හිමියෝ කවර තරම් සමත්ද?

විශේෂයෙන් විටෙක කතුවරයා මනෝ විශ්ලේෂකයකු සේය. මහා බලසම්පන්නයකු ඇද දැම්මේ මාවතකටය. එපමණකුදු නොව ඔහුගේ මනස නිරූපණය කරන්නේ කවරක් කරම්දෝයි සිතා ගත නොහැකිව බිම වාඩි වී දහසක් කල්පනාවන් ඇතිව බිම ඉරි අඳින්නා වූ නූතන මනෝ ව්‍යාධියකුගේ විලාසයට ඇද දැමීමෙනි.
මෙයින් වඩාත් කැලඹෙන්නේ වසවර්තියාගේ වසවර්ති දියණියන්ය. ඔවුහු නම් තණ්හා, රතී, රගා ය.

මෙම දියණියන්ගේ නිරූපණය නූතන නිවෙසක අභියෝගයට ලක් වන පියකු වෙනුවෙන් සසල වන දරුවන්ගේ ස්වභාවය නිරූපණය කරන්නකි.

මර දියණිවරුන් පියාගේ කුටියට පිවිස එහි පියා නොමැති බව දුටු කල්හි කලබලයට පත්වන්නේ නූතන දියණියකගේ ස්වභාවය මෙනි. සෑම තැනෙකම පියා සොයන මෙම දියණියන්ට පියාණන් හමුවන්නේ සැවැත් නුවර වීථියේදීය. ඔවුන් කලබලයෙන් ම විමසන්නේ “පියාණන් වහන්ස, මේ කෙසේ වූ දුක්පත් කමෙක් ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශෝකයකින්ද?“ යනුවෙනි.

එවිට වසවර්තියාගේ ප්‍රතිචාරය කතුවරයා ඉදිරිපත් කරන්නේ ඔහුගේ අසරණකම ද මැනවින් ප්‍රකට කරවමිනි.

“ දරුවෙනි. තොප නොදනුද? මහණ භවත් ගෞතමයා දස දහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගාපීය. දැන් මාගේ සතුරා බුදුව ගියේය. මට වූ ලජ්ජා නොදනුද? මාගේ ආත්ම ආරක්ෂාවට තිබූ චක්‍රායුධය දක්වා උදුරා ගත්තේ වේදැයි කීය.“

පියාට අවමාන කළ බුදුන් කෙරෙහි වෛර බඳින දියණිවරුන් පියාට කියා සිටින්නේ තමන් වැනි තරුණ දූවරුන් සිටියදී පියා බැරි වැඩට ගියේ ඇයිද? යන්නය.
“හුන මැනව. ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පා පිටට ගෙනෙන ලෙස බලා වැඩ හුන මැනව“ යනුවෙන් වහසි කථා කියමින් පියාගෙන් වෙන්වන දියණිවරුන්ගේ සංග්‍රාමය ඇරඹුණේ ඉන් පසුවය. ඔවුන් මන්ත්‍රණය කරන්නේ මෙසේය.

“නඟිනි, පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය. සමහර කෙනෙක් බාල ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් යෞවන ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් මධ්‍යම ස්ත්‍රීන් කැමති වෙති. සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන් කැමති වෙති. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ.“
යනුවෙනි.එසේ කතිකා කරගත් මර දියණිවරු සංග්‍රාමයට මර සෙනඟ රැස් කරන්නේ මෙසේය.

“දොළොස් හැවිරිදි කුඩා කෙළි රූ සියයෙක. සොළොස් හැවිරිදි ස්ත්‍රී රූ සියයෙක. එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. දෙදරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. එක දෙ නර දුටු ස්ත්‍රී රූ සියයෙක. විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙක. මවාගෙන ඔහුගේ සිල් බිඳුවෝම යයි කිය කියා නිල් වරලසින් හා නීල භෘංග යුග්මයක් සේ ඉදුමිණි නිල්වන් දිගු පුළුල් වු ඇසින් හා ……. රන්වන් හංස පැටවුන් සේ පිරුණු තන සඟලින් හා නැඹ පියුමට මුවරද ලෝලින් බස්නා භෘංගාවලියක් සේ නිල් වසාරොදින් හා රන් කෙහෙල් කඳට නිගා දුන් මටසිලුටු වූ කලවා සඟලෙන් හා විසිතුරු උතුරු සළු ලා රතියට ආකර සේ, යොබ්බනයට මඟුල් ගෙවල් සේ, ස්ත්‍රි ලීලාවෙන් බුදුන් පෙරටව සිටගෙන ……..“
මෙලෙස කතුවරයා කරන දීර්ඝ වර්ණනයකි. මේ කුඩා උපුටනයක් පමණි. බුදුන් වසඟයට ගැනීමට ඔවුන් නොකළ වෑයමක් නැත. මර දූවරුන් සංග්‍රාමය සිදු කළේ මෙසේය.

පළමුව පිවිසෙන්නේ මැහැලි වෙස් ගත් තණ්හා සමඟ දූතිකාවන්ය. ඔවුන් බුදුන් ඉදිරියේ පවසන්නේ තොපගේ රන්කඳක් වන් පස්කඳ කාමස්ත්‍රීන්ගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටක් වන බවය. මේ ආදී නොයෙක් වර්ණනාවන් විරහිනීන්ගේ කාම වර්ණනාවක් වැන්න. ඒ කිසිවක් නොඇසූ සේ සිටින බුදුන් ඉදිරියට අනෙක් අනෙක් දූතිකාවන් ද පැන නැඟී නටමින් ගයමින් රඟමින් වෙහෙස වන තුරා බුදුන්ගේ අධිෂ්ඨානය බිඳින්නට වෑයම් කළ ද නොහැකිව පලා යන්නේ මහත් වූ ලජ්ජාවෙනි.
බුදු හිමියන් මෙම අවස්ථාවට මුහුණ දුන් පිළිවෙළ කතුවරයා දක්වන්නේ “මාගේ ස්වාමිදරුවාණන් ඒ දිව්‍ය ස්ත්‍රීන්ගේ භාව භාව ලීලා ජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ වෙස් බැඳ පානා විකාර සේ සිතා අශුභ ලකුණු උපදවා මෛත්‍රින් පින පිනා මහමෙර සේ නිශ්චලව වැඩ හුන් සේක්මය. “ යනුවෙනි.

මෙම මාර පරාජය අගනා නූතන නිර්මාණයක් බවට පත් කොට ගයන්නේ මදුමාධව අරවින්දය.
 
ලඹ සවන් රන් පටින් – දන නෙතින් තදින් බඳිමින්

මිණි මෙවුල හඬවමින් – පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් – තුණු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී – ගය ගයා මියුරු අරුතින්
 
දැහැමින් බැඳි සිත මඬින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බලෙන්
දැහැමින් බෝපත් අතරේ ගැලු අමා ගඟින්
පවසින් දහමේ ගිලුණේ දම් අමා රසින්

කැණි මඬල පලාලා සුනු විසුනු කළා මැදුරක්
යළි මැඳුර තනාලා වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී නද දුන්නු රාජ නිරිඳෙක්
දැහැමින් බවුන් වඩයි නේරංජන නදි තීරේ
 
දස දහසක් සක්වල තල එකම්පිත වෙමින්
දස දහසක් ලෝ ධාතුව වගුරුවා හැලී
දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපා මුල පිදී.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 32

2021 ඔක්තෝබර් 21 – දිනමිණ කටාරම අතිරේකය

බෝසතුනට එරෙහි වූ වසවර්ති මාරයා

පූජාවලී විමසුම පසුගිය ලිපියෙන් අප ඔබට කතා කළේ සුජාතාවගේ බාරය සහ බෝසතුන් බුදු වීමට පෙර දින‍යෙහි දුටු සිහින පහක් පිළිබඳවය. ස්ථිරව ම තමන් වහන්සේ බුද්ධත්වයට පත් වන බවට මෙය හොඳම පෙර නිමිති බවට පත් විය. ඉන් පසු නේරංජනා නදියට ගොස් දිය නා පිරිසිදුව සුජාතාවගේ කිරි පිඬු වළඳා එම පාත්‍රය ද උඩු ගං බලා යාමට සලස්වා තවදුරටත් බුදුබව ලබනා බව තහවුරු කොට ගත්තේය. අනතුරුව ගයා සිරසෙහි ඇසතු බෝ මැඬට ගොස් වජ්‍රාසනය පනවා ගනිමින් ඇස් ඉස් මස් ලේ නහර වියළී ගිය ද බුදු වී මිස මෙම අසුනින් නොනැගිටිමි යි අධිෂ්ඨාන කොට දැහැන්ගත විය. මේ අවස්ථාව පූජාවලි කතුවරයාගේ වර්ණනයට හසු වූයේ මෙසේය.

“එකෙණෙහි මාගේ ස්වාමිදරුවෝ වජ්‍රාසනය දැක ඒකාන්තයෙන් අද බුදු වෙම්ම යයි කුල්මත්ව ඒ විදුරස්නට පැන නැගී බෝකඳට පිටලා නැගෙනහිර බලාගෙන මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියළී සුණුවිසුණු වේ නමුත් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි වීර්ය කොට මා ලැබ ගත්තා වූ මේ වජ්‍රාසනය හැරපියා බුදු නොව නැඟී නොසිටිම්ම යැයි චතුරංග සමන්වාගත වීර්යාධිෂ්ඨාන කොට ගෙන රන් ගල් මුදුනක් දුටු සිංහ පොව්වකු සේ වැඩ හුන් සේක.“

මෙම සිදුවීමෙන් කම්පිත වූ සුවිශේෂී කෙනෙක් විය. ඒ වසවර්ති මාරයාය. සියලු සැප සම්පතින් සපිරි පරනිම්මිත වසවර්තියෙහි දිව සැප විදුනා වූ වසවර්ති මාරයා තමාට වඩා ඉහළින් තවත් කිසිවකු සිටිනු දකින්නට අකමැති මාන්නක්කාරයෙකි. බෝසතුන් බුදු වූ කල්හි බුදු හිමියන් සිටින්නේ දිව්‍ය බ්‍රහ්මාදීන්ට ඉහළිනි. වසවර්ති කලබල වූයේ මේ නිසාය. වසවර්තිගේ සිතුවිලි පූජාවලී කතුවරයා බුදුපුත් තෙරිඳුන්ගේ ම වදනින් කියවීම වටී.

“සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දාත් මා නොයව යි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙත් මට අවකාශයක් නො පෑයේය.දැන් බුදු වෙමියි වජ්‍රාසන නැඟී හිඳගත. දැන් ඇසිල්ලක් පමා වීම් නම් බුදුව මට බොහෝ පරිහානි කෙරෙයි. අද ඔහු බුදු විය නොදෙමියි සිතා ………“

මෙලෙසින් සිතා ප්‍රකෝප වූ වසවර්තියා බුදු වන්නට නොදී කළ බාධාවෝ අපමණය. තම මර සෙනඟ රැස් කරවා වසවර්තිඝෝෂා නම් කෝලාහලයක් ඇති කළේය. එනම් ගැසූ බෙර හඬ දෙවියන් බ්‍රහ්මයන් වෙව්ලා සසළ කරන්නට තරම් ම වීය. එහෙත් බෝසතාණන් සිතුවේ මෙසේය.

“අද මාගේ වික්‍රම මුළු ලෝ වැසියෝ දක්නා වන්හයි සිතා උපන් සන්තෝෂයෙන් නිශ්චලව වැඩහුන්සේක් ම ය.“

එවිට වසවර්තියා පැමිණි අයුරු පුජාවලී කරුවා දකින්නේ මෙසේය.

“එකල වසවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමේඛලා නම් ඇත් රජෙකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම්දැයි සිතාලා පන්සීයක් සහිස් මවාලා ගිනිවට සේ දහසැක් රතැස් මවා දෙකපෝලයෙන් නික්ම තිබෙන භයංකර වූ දහසක් දළ මවා දහසක් අත් මවාගෙන ……“

ඔබට නිරන්තරයෙන් මේ අදහස සිහිපත් කෙරෙන්නේ ජයමංගල ගාථා අතරෙහි එන පළමු ගාථා පාඨයයි.

“බාහුංසහස්ස මභිනිම්මිත සායුධංතං – ගිරිමේඛලං උදිතඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දෝ – තං තේජසා භවතු තෙ ජයමංගලානී“

මෙහි අරුත වන්නේ ආයුධ සහිත අත් සහසක් මවා ගෙන දරුණු ගිරිමෙවුල් ඇතු පිටට නැඟුණු සෙන් සහිත මරු පරදවා දානාදි පාරමී දහම් බලෙන් බුදුරජාණන් වහන්සේ ජයගත් සේක. ඒ බෙලෙන් ඔබට ජයමඟුල් වේවා. යන්නයි.

පූජාවලී කතුවරයා මෙම මාර පරාජය ඉදිරිපත් කරන්නේ ඉතාම උත්කර්ෂයෙනි. මෙතරම් උත්කර්ෂයට මෙය නංවා ලීමෙහි මූලික අරමුණ වූයේ බුදුගුණවල ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමයි. විශේෂයෙන් මේ සඳහා පැමිණි මාර සෙනඟෙහි ස්වරූපය කතාකරුවා ඉදිරිපත් කරන්නේ එහි සිටි ප්‍රේක්ෂකයකු ලෙසිනි.

මේ වර්ණනාව බලන්න.

“මේ සා මාර සෙනගෙහි දෙදෙනෙක් එක් වෙසක් නොගත්තහ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නොගත්තහ. සමහරු ඇත්වෙස් මවා දිවෙති. සමහරු අස් වෙස් මවා දිවෙති. සමහරු සී වෙස් මවා දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනක වෙස් මවා දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දිවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු නා, පොළොං, පිඹුරු, රාක්ෂස, යක්, වෙස් මවා දිවෙති…..“

බෝසතුනට මුහුණ දෙන්නට සිදු වූ ස්වභාවය සිතා ගන්නටවත් නොහැකි තරම්ය. කවර තරම් යුද පිටියක් මේ අනුව පවතින්නට ඇද්ද?

කතුවරයා බුදුන්ගේ බුදු වීමේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨත්වය මෙතුළින් මතු කරයි. ඒ ඔස්සේ ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාව භක්තිය ගොඩනැංවීමට ගන්නා වෑයම ද අප අමතක නොකළ යුතුය. බෝසතාණෝ මේ සියල්ල පරාජය කළේ දානාදී පාරමී බලයෙනි. අනතුරුව මේ සියල්ල තුළ බෝසතාණන් සෙලවිය නොහැකි බව දුටු වසවර්තියා බෝසතුනට එරෙහිව ගොඩ නැඟූ බලවේග පෙළහර පිටු ගණනාවක් විවරණය කරයි.

මහා සුළං රැලි, ඝන මහා වරුෂා, පර්වත වර්ෂා, ආයුධ වර්ෂා, අඟුරු වර්ෂා, අළු වර්ෂා, වැලි වරුෂා, මඩ වරුෂා, වස්වා ඒ කිසිවකින් බෝසතුනගේ සිවුරු රැල්ලකටවත් කිසිවක් කර ගත නොහී මහා අන්ධකාරයක් මැවීය. එහෙත් එය බුදුනට මහා ආලෝක පූජාවක් බවට පත් වීය. අනතුරුව චක්‍රායුධයෙන් දමා ගැසීය. පොළොව දෙකඩ කරන්නට සමත් මෙම ආයුධය බුදුනට මල් වියනක් වීය. අනතුරුව වසවර්තියාට වූ දේ වාර්තා කරන්නේ මෙසේය.

“එ‍ෙකණෙහි වසවත් මරු බුදුන් සොලවා ළිය නොහී කෝපාග්නියෙන් දිලිහී දිලිහී පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක් අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා දැන් දැන් තා දෙකකුල ගෙන පර සක්වළ ගසමි. මාගේ වජ්‍රාසනයෙන් වහා නැගී සිටැ කීය.“

අවසන වසවර්තියා දිව්‍ය ලෝකයට දිව ගොස් ලජ්ජාවෙන් තමාගේ සෙනඟගේ මුහුණ බැලිය නොහී යහනෙහි මුණින් වැටී සුසුම් ලලා වැද හොත් බව පූජාවලිය කියයි. මර දූවරුන් පැමිණෙන්නේ ඊට පසුවය.
 
 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 31

2021 ඔක්තෝබර් 14 – දිනමිණ කටාරම අතිරේකය

සුජාතාවගේ බාරය සහ බෝසතුන් දුටු සිහින පහ

පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ බෝසත් බිම්සර හමුව ගැනය. අප දැන සිටි මෙම හමුව පූජාවලී කතුවර හිමියන් දකින්නේ එදා එතැන සිට එය සජීවී ලෙසින්ම දුටුවකු සේය. එබැවින් එය රමණීය අරුත් ප්‍රතිපාදනයෙහි සමත්ය. අද ලිපිය වෙන් කරනු ලබන්නේ අනතුරුව වූ වැදගත්ම සිදුවීම් වූ සුජාතා සිටු දේවියගේ බාරය වෙනුවෙන් පෙර සූදානමක් ලෙස බෝසතුන් දුටු සිහින පහ පිළිබඳ වැනුම් ඉදිරිපත් කිරීම පිණිසය.

සුජාතා සිටු දියණියගේ බාරය නූතන ලාංකේය ජන සමාජයේ පැතිකඩක් විවරණය කෙරෙන්නකි. විශේෂයෙන් බුදු දහම හා බුද්ධාගම යනුවෙන් පැහැදිලිව අප සමාජයෙහි අංශ දෙකක් හඳුනාගත හැකිය. ත්‍රිපිටක ධර්මය බුදු දහමයි. එයින් පරිබාහිරව ජනතාවගේ ඇදහිලි විශ්වාස පද්ධතිය බුද්ධාගමය. අපගේ සංස්කෘතියෙහි මෙය හැඳින්වෙන්නේ සිංහල බුද්ධාගම යනුවෙනි. මේ පිළිබඳව කෙරුණු පර්යේෂණ රාශියක්ම අප සතු වෙයි. මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියන් විසින් ලියන ලද ‘සිංහල බුද්ධාගම‘ නමැති කෘතියෙහි ප්‍රස්තාවනාවෙහි මෙසේ දැක්වෙයි.

‘මේ අනුව මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙනු ලැබූ ‍‍‍ථෙරවාදී බුදු දහම සිංහල ආචාර්යවරුන් විසින් ස්වදේශිකයන්ගේ අදහස් උදහස් හා විශ්වාස ද සැලකිල්ලට ගනිමින් පවත්වා ගෙන එනු ලැබූ අයුරුත් බාහිර ඉගැන්වීම් ඇසුරින් සංවර්ධිත වූ අයුරුත් පැහැදිලි වෙයි. බුදු දහමේ ඇතැම් කරුණු වෙනස්ව ඇත. මේ වෙනස ඇති වීමේදී සිංහලයන්ගේ ජාතික හා දේශීය අනන්‍යතාව එයට පදනම්ව ඇති බව කිව යුතුය. එය අනෙකුත් ථෙරවාදී රටවල බුදු දහමින් වෙනස් වන අතර එය හැඳින්විය යුත්තේ සිංහල බුද්ධාගම නමිනි‘

මේ අනුව බුදු දහම ඇසුරින් ගොඩනැඟුණු සංස්කෘතිකාංග සිංහල බුද්ධාගම වූ බව පැහැදිලිය. මේ හැර මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ද ‘බුදු සමය හා පූජා චාරිත්‍ර‘යනුවෙන් පළ කළ සාරවත් ලිපි සංග්‍රහයක වැඩිදුර තොරතුරු දැකිය හැකිය.

ලාංකේය සිංහල බුද්ධාගමෙහි ප්‍රධාන අංගයක් ලෙස දෙවියන් උදෙසා වන භාරහාර දැක්විය හැකිය. විශේෂයෙන් දරු සම්පත් අපේක්ෂාවෙන් කරන බාරහාර වෙනුවෙන් නවගමුව දේවාලය ප්‍රධාන තැනක් ගනී. විශාල පිරිස් දිනපතා මෙහි පැමිණෙති. මේ සංකල්පය පුරාණ ඉන්දියාවේ පැවති අයුරු සුජාතා සිටු දේවියගේ බාරයෙන් පෙනේ. පූජාවලිය මේ පිළිබඳ දක්වන අයුරු මෙසේය.

‘මේ වෘක්ෂයෙහි දේවතාවාණෙනි. මම් මතු සම වූ ජාති හා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකී කුලුඳුලෙහි පුතෙකු ලදිම් නම් එතැන් පටන් හවුරුදු පතා ලක්ෂයක් අගනා කිරි බතකින් තොපට පූජා කෙරෙම්යි යාදිනි කළාය. පසුව ඕ තොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුලුඳුලෙහි යස නම් පුතෙකු ලදින් හවුරුදු පතා ඒ නුග ගස දේවතාවාට බිලියම් දෙයි‘

මෙවැනි බාරහාර වීම් පුරාතන ඉන්දියාවට පමණක් නොව නූතන ශ්‍රී ලංකාවට ද එකසේම වැදගත්ය. සුජාතා සිටු දුව ලබන පුතු මෙම බාරයේ ඵලයක්ය යන්න විශ්වාස කළ ඇය එයට කෘතවේදීත්වය පළ කරන්නේ අවුරුදු පතා වටිනාම කිරිබතකින් නුගයේ දෙවියන් පිදීමෙනි. විශේෂයෙන් පූජාවලිකරුවා මෙය දක්වන්නේ පළමුව දහසක් දෙනුන් හට වැල් මී කවා ඔවුන්ගෙන් ලද මීපැණි රසැති කිරි කකාරවා පන්සීයක් දෙනුන්ට පොවා උන්ගෙන් ලද කිරි කකාරාවා දෙසිය පනහක් දෙනුන් පොවා…. ආදී වශයෙන් අවසන දෙනුන් අට දෙනෙකුගෙන් ලද කිරිවලින්ම මෙම කිරි බත සැකසූ බවයි. තම බාරය පුදන්නට පුන්නා දාසිය පෙරාතුවම නුගය අවට පිරිසුදු කිරීමට යැවීය.

මේ අතරෙහි බෝසතාණෝ පෙර දින රැයෙහි අපූරු ස්වප්න පහක් දුටහ. මෙම ස්වප්න පහ පිළිබඳ බොහෝ දෙනා නොදනිති. පූජාවලී කතුවරයා තරම් අපූරු ලෙසින් මෙය දැක්වූ වෙනත් බුදුගුණ ග්‍රන්ථයක් නැත්තේය. එම සිහින මෙසේය:

01. ‘එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්‍රී යහනක් කොට හිමාලය පර්වතය මාවුලාවක් කොට සතර මහා සාගරයෙහි සතර ගානය ගලා ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින් උඩු බලා වැදහොත් සේක‘

02. එක් වේලෙක සුරක්ත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැන නැගී නගුලිසක් සාව සියක් යොදුන් ව වැඩි සදෙවුලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස් මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගනී‘

03. එක්තරා එක් පණුවෝ ජාතියක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙ‍සේ වූ ලක්ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදී ගලා ගෙන දෙපත්ලේ පටන් දෙදණමඬල දක්වා පැන නැංගෝය‘

04. එක් වේලෙක අනේක වර්ණ වූ පැහැ ඇති ඉතා මනෝහර වූ රූ ඇති ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාද මූලයෙහි හිඳ ඇසිල්ලකින් තමාගේ පළමු වර්ණ හැර ඉතා සර්වාංග ධවලව ගොස් ඒක වර්ණව ගියෝය.

05. යෝජන ප්‍රමාණ වූ අමේධ්‍යපර්වතයක් (ප්‍රත්‍ය පහසුකම් පිරි) මුදුනට පැන නැගී ඔබමොබ සක්මන් කොට ඇවිදිනා සේක් කිසි අමේධ්‍යයකුත් ශ්‍රී පාදයෙහි නොවැකේ.

මෙම සිහින සියල්ල පරීක්ෂා කොට බලන බෝසතුනට වැටහී ගියේ තමන් ඒකාන්තයෙන්ම බුදුවීමේ පෙර නිමිති මේ තුළ පවතින බවයි. පළමු සිහිනය පෙන්වා දුන්නේ ඒකාන්තයෙන් බුද්ධ ඥානය ලබා මුළු ලොවෙහි තම ධර්ම චක්‍රය පවත්වන බවය. දෙවන සිහිනය පෙන්වා දුන්නේ තෘෂ්ණාව දුරු කොට අමා මහ නිවන් ශාන්තියෙන් මුළු ලොවට මහ සෙවණක් වන බවය. තුන්වන සිහිනයෙන් පෙන්වා දෙන්නේ බොහෝ වූ වෛනෙය ජනයෝ තමන් කරා පැමිණ තම පාද මූලයෙහි සරණ යන බවය. සිව්වන සිහිනය පෙන්වා දෙන්නේ නා නා දෘෂ්ටි ඇති බොහෝ දෙනා තමන් කරා පැමිණ නා නා ජාති ගෝත්‍ර හැරපියා එකම ශාක්‍ය පුත්‍රයන් වන බවය. පස්වන සිහිනය පෙන්වා දෙන්නේ තමන් අපමණ ප්‍රත්‍යලාභී වන නමුත් ඒ කිසිවක නොඇලී කටයුතු කරනා බවය.

මේ අනුව මේ සිහින බුදු වීමේ පෙර නිමිති වූ බව ඉතා පැහැදිලිය. පසුදින නුග රුක වෙත යන බෝසතාණෝ තමන් එදින ස්ථිර වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව දැන සිටියහ. ඒ උතුමාණන්ට එම දින කිරිබතින් දානය පුදන්නට සුජාතා සිටු දේවිය පෙර පින් කර තිබූ බව පූජාවලීකරුවාගේ විවරණය වෙයි.

 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 30

2021.10.07 – දිනමිණ කටාරම අතිරේකය

බෝසත් – බිම්සර හමුව..

පසුගිය පූජාවලී විමසුම මඟින් ඔබට ඉදිරිපත් කළේ බෝසතුන් තවුස් දිවියට ප්‍රවේශ වීම හා බැඳුණු රසබර තොරතුරුය. විශේෂයෙන් තම අතින් කපා ලූ හිසකේ අහසට විසි කොට බුදු වන්නේ ද නැද්ද යන්න උරගා බැලූ අයුරුත් දෙවියන් එය රැගෙන සිළුමිණි සෑය ඉදි කළ අයුරුත් විග්‍රහ කෙරිණි. අද අපගේ විමසුමට ලක් වන්නේ අනතුරුව සිදු වූ සිදුවීම් කිහිපයකි. විශේෂයෙන් බිම්සර රජු හමුව හා එහිදී වූ සාකච්ඡා, පොරොන්දු ආදිය පිළිබඳව පූජාවලි හිමියන්ගේ වර්ණනා ඔබේ අවධානයට යොමු කරවමු. මේ ඔස්සේ බෝසත් සිරිතෙහි මෙම වැදගත් අවස්ථා දැන සැදැහැ සිත දියුණු කර ගනු ඇතැයි සිතමු.

බෝසතුනගේ පැවිද්දෙන් පසු ඡන්න ඇමැතිවරයා ශෝක දෙකකින් යුතුව ආපසු පිටත්ව ගියේය. එනම් උපන් දා සිට ළඟින් සිටි යහළුවා අහිමි වීමේ ශෝකය සහ බෝසතුනගේ සියලු ගමන් බිමන් සඳහා පහසුකම් සැලසූ කන්ථක අසු සොවින් මියැදීමය.

බෝසතාණෝ අනෝමා ගංතෙරින් බැහැරව අනුපිය නම් අඹ වනයට පිවිස සුවෙන් සත් දිනක් වැඩ සිට අනතුරුව රජගහනුවරට ගොස් ගෙපිළිවෙළින් පිඬු සිඟන්නට වූහ. එදින රජගහනුවර ඇසළ සැණකෙළියකි. සියලු දෙනා උත්සව කෙළියෙහිය. බෝසතුනගේ පිඬු සිඟා වැඩි ගමන ඔවුනට ඇති කළේ විශේෂත්වයකි. සැණකෙළි පසෙක දැමූ ඔවුහු මෙම අමුතු දැක්ම නරඹන්නට බෝසතුන් පසුපස එන්නට වූහ. මේ දර්ශනය පිළිබඳ කුතුහලයෙන් විවිධ අදහස් දැක්වූ පිරිස් පිළිබඳව පූජාවලී හිමියෝ සජීවාරෝපණය කරන්නේ මෙසේය.

“සමහර කෙනෙක් කොල මේ රාහුගේ භයින් මිනිස් ලොවට දිව වෙස් වලා ඇවිදිනේ පූර්ණ චන්ද්‍රයා දෝ යි යෙති. සමහර කෙනෙක් කොල කුමක් කියවු ද ඒ පූර්ණ චන්ද්‍රයා මනුෂ්‍ය ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරීද? ඒ සකලංකය. මේ අකලංකය. එසේ හෙයින් මේ පූර්ණ චන්ද්‍රයා නොවෙයි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්‍රීඩා විභූතිය අසා කෙළනා නිසා වෙස් වළා ආයේ මේ කාම දේවයාදෝ යි යෙති.“

මිනිසුන් කුතුහලයෙන් යුතුව මෙසේ කරන ප්‍රකාශන තුළ අනාවරණය වන්නේ තත්කාලීන සමාජයයි. බොහෝ තවුසන් මෙසේ අහර සොයා යනු දැක ඇති මුත් මෙවැනි යෞවන කුමාරයකු එසේ යනු ඔවුන් දැක නැත. සිදුහතුන්ගේ රුව පූර්ණ චන්ද්‍රයාටත් කාම දෙවියාටත් සමාන කර දැක්වීමෙන් පෙනෙන්නේ සැබවින් ම බෝසතුනගේ රාජ සුකුමාලත්වය යි. සක්විති රජ සැප විඳින්නට සියලු භාග්‍ය ලද මෙවන් ශාක්‍ය කුමාරයකු ගෙන් ගෙට අහර සොයා යාම කටුක දිවියෙහි දුක කවරේද යන්න සොයා බැලීමේ පර්යේෂණයෙහි සමාරම්භයයි.

අනතුරුව තවත් බොහෝ දෙනා කී වදන් මෙසේ වාර්තා කර තිබෙයි. ඇතැමෙක් මේ ශක්‍රයා බව ද ඇතමෙක් මේ බ්‍රහ්මයා බව ද ඇතැමෙක් තපස්වීවරයකු යයි ද තර්ක කරන්නට වූහ. මෙහි උච්ඡ අවස්ථාව කතුවරයා ඉස්මතු කරන්නේ රාජ පුරුෂයන් මේ බව බිම්සර රජුට වාර්තා කළ පිළිවෙළයි. බලන්න.

“ස්වාමීනී, දෙවියෙකු බවත් නොදනුම්හ. බ්‍රහ්මයෙකු බවත් නොදනුම්හ. නාගයෙකු බවත් නොදනුම්හ. ගරුඬයෙකු බවත් නොදනුම්හ. අපගේ මේ නුවර දොරින් දොර පිඬුසිඟයි. ඉතා ආශ්චර්ය පුරුෂයෙකැයි කීහ. “

වැසියන්ගේ මෙම වාර්තාවෙන් රජු අතිශයින් කලබලයට පත් වූවාට කිසිඳු සැකයක් නැත. රජුගේ ද කුතුහලය පෙන්වන්නේ රජු ජනයාට කළ පහත නියෝගයෙනි.

“ කොල වහා යව. ඉදින් අමනුෂ්‍යයෙක් වී නම් නුවරින් පිටත්වෙලා අන්තර්ධාන වෙයි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැඟී යෙයි. දිව්‍ය නාගයෙක් වී නම් පොළොව කිමිද යෙයි. ඉදින් මිනිස් තවුසෙක් වීනම් ලද ආහාරයක් සැප තැනෙක හිඳ වළඳයි. දුටු පවත් මට කියවයි නියෝග කළේය.“

තවුසකු සහ අමනුෂ්‍යයකු, දෙවියකු වෙන් කොට හඳුනා ගන්නා ලක්ෂණ එකල සමාජය දැන සිටි බව පෙනේ. ආහාර ගන්නේ තවුසෝය. දැන් රජුගේ නියෝගයට අනුව රාජ පුරුෂයෝ සිදුහත් බෝසතුන් පසු පසින් යමින් කළ නිරීක්ෂණය කවරාකාර වන්නට ඇත්ද? ඇතැම් විටෙක ඇසි පිය නොහෙළා බෝසතුන් දෙස බලා සිටින්නට ඇත. එවිට බෝසතාණෝ යැපෙන පමණින් බත් ලදින් නුවරින් නික්ම පාණ්ඩව නම් පර්වත සෙවනක සිට වළඳන්නට පටන් ගත්හ. සුවඳ ඇල් සහලෙන් පිසූ අග බොජුන් මෙතෙක් වැළදු බෝසතාණෝ කටුක රළු අහරින් මෙදා සැතපුණහ. සැබවින් ම එය ඉතා පිළිකුල් අහරකි. පිළුණු දුර්ගන්ධය ද දැනුණි. ඒත් සියල්ල ඉවසා දරා ගත්හ. මේ අත්ථකිලමථානුයෝගයයි.

ඉක්බිති රාජ පුරුෂයෝ බෝසතාණන් බත් වළඳන්නා දැක වහා ගොස් රජුට ඒ බව කියා පෑහ. රජතුමා වහාම නික්ම බෝසතුන් වෙත පැමිණ හැඳින මෙසේ විචාළේය.
“ කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි, තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකු හෝ නැත. මහත් වූ රාජ්‍යශ්‍රී ම විඳිති. තොපගේ රජ කුලයට පරිභව නොකරවා යහළු මාගේ මේ රජගහනුවර නම් අසූ දහසක් නියම්ගමින් හා අටළොස් කෙළක් මනුෂ්‍යයන් විසින් හා ගැවසී ගත්තේය. පූර්වයෙහි චක්‍රවර්තී රජුන්ගේ වාසස්ථානය. අමිතභෝගී වූ පඤ්ච මහා ධන සිටුවරුන්ගෙන් ශෝභමානය. යහළු මෙනුවර මා හා එක්ව රජ කරව.“

බිම්සර රජු පිළිබඳ පාඨකයාට දැනෙන්නේ අනුකම්පාවකි. තම මිත්‍ර සුදොවුන් රජුගේ පුත් සිද්ධාර්ථ බව දැන ගැනීමෙන් රජුට ඇති වූයේ වේදනාවකි. රජ කුමරෙකු මෙසේ විය යුතුද? යන්නය. අනෙක් පසින් තවත් සත් දිනකින් සක්විති රජ පදවිය පවා ලබන්නට සූදානම්ව සිටි කුමාරයකුට තම රාජ්‍යයෙන් කොටසක් පාලනය කරන්නට කරන යෝජනාව ගැන ද රජු ගැන පාඨකයා තුළ උපහාසාත්මක සොවක් දැනේ.

මෙහිදී බෝසතුනගේ පිළිතුර වූයේ “මම සම්‍යක් සම්බෝධිය වෙනුවෙන් මහණ වීමි“ යන්නය. රජුට එහිදී කළ හැකි අන් කිසිවක් නොමැති විය. ශෝකයෙන් බිම්සර රජු නික්ම යන්නේ “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසක බුදු වූ සේක් වී නම් පළමුව මාගේ නුවරට වැඩ මිනිසුනට දෙසන පළමු දේශනාව මටම දෙසුව මැනවැයි“ ප්‍රතිඥාවක් ද ගෙනය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 29

2021.08.12 දිනමිණ කටාරම අතිරේකය

සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ…

පූජාවලී විමසුම පසුගිය ලිපියෙන් අප විමසා බැලුවේ අබිනික්මනෙහි විසිතුරු ය. බොහෝ දෙනා කුඩා කල සිට අසා තිබූ දේට වඩා පූජාවලි කතුවරයාණන්ගේ විසිතුරු යෙදුම් පූජාවලිය නොකියවූ බොහෝ පාඨකයනට අමුතු චමත්කාරයක් රැගෙන ආ බව සැලවීම සතුටකි. බෝසතුන් මැදියම් රෑ දුටු නළඟනන්ගේ දර්ශන යශෝධරාවගෙන් රාහුලයන්ගෙන් වෙන්වීම කතුවරයා නිරූපණය කළේ තාත්වික නිමැවුමක් ලෙසිනි . ඡන්න යහළුවා ද පුබුදුවා කන්ථක අසු පිට නඟී උරුවෙලාවට වැඩි ගමන අද ලිපියෙන් අප විවරණය කරන්නේ පූජාවලියේ එකොළොස් වන පරිච්ඡේදයේ තොරතුරු ඇසුරිනි. මෙම පරිච්ඡෙදය හැඳින්වෙන්නේ බෝධිමණ්ඩල පූජා කථා නමිනි. එයින් කියැවෙන්නේ තවුස් දිවියට පිවිසීම හා සම්බන්ධ රසබර තොරතුරුය.

මෙහි පළමු අවස්ථාව වන්නේ අනෝමාවෙන් එතෙරවීමයි. මේ සංවාදය බලන්න.

“මෙසේ මාගේ බෝධිසත්වයෝ එදා රෑ නුවරින් නික්ම මහත් වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා මේ කිනම් ගඟෙක්දැයි විචාළ දෑය. අමාත්‍යයා, ස්වාමීනි මේ ගඟ අනෝමා නමැයි කීය. මාගේ පැවිද්දත් අනෝමය. අලාමකයැ යි ගඟ නම අසා සතුටුව අශ්වයාට ගඟ පැනයි විළුඹෙන් සන් කළදෑය.”

අනෝමා කිඹුල්වත වෙන් කළ සීමාවය. සිදුහත් බෝසතුන් මේ දක්වා මෙම ගඟ ඉක්මවා නොගිය බව පැහැදිලිය. ගඟ විමසුවේ ඒ නිසාය. ගඟෙහි නම අනෝමාය. අනෝමා යනු අලාමක හෙවත් නොඇලීමය. කුමරු මේ ගඟ ම තම ගමනට අපූරු සංකේතයක් කර ගන්නේ එසේය.

කන්ථක අසු මෙම අනෝමාවෙන් එතෙර වන්නේ බෝසතුන් සසරින් එතෙර වීම ද සංකේතවත් කරවමිනි. එතෙරව අනෝමාවෙහි සුදු වැලි තලාව මත වූ සංවාදය ද බලන්න. අපූර්ව සංවාදයකි.

“යහළු ඡන්නය, තෝ මා පළන් ආභරණ හා මේ අශ්වයාත් නුවරට ගෙන යා. මම් මහණ වෙමියි කී දෑය. ඇමති, ස්වාමීනී මම ද මහණ වෙමි යි කී දෑය. බෝසතාණෝ කියන්නාහු තට දැන් පැවිදි නොලැබෙයි. තා මහණ වූවොතින් මේ ආභරණත් නස්සි. අශ්වයාත් එකලා වෙයි. මපියාණන් හා කුඩා මෑණියන් හා යශෝධරා දේවීන් හා මා පැවිදි වූ ලෙස් නොදනිති. එසේ හෙයින් දැනට තෝ යා.”

ඡන්න ඇමති හා සිදුහත් බෝසතුන් අතර පැවති දෘඪ මිත්‍රත්වය ඉතා හොඳින් පසක් කළ හොඳම අවස්ථාව මෙයයි. බෝසතුන් පැවිද්දට සුදානම් වන බව දැන්වූ විට ඡන්න ද පැවිද්දට අවසර පතයි.

බෝසතුන් වනයෙහි තනිකර දමා යන්නට ඡන්න කැමති නොවෙයි. එහෙත් බෝසතුන් එය වළකන්නේ කාරණා කීපයක් හේතුවෙනි. ඡන්නට පැවිද්දට මෙය අවස්ථාව නොවන්නේ මේ පණිවුඩය බිරිඳට , මවට , පිය රජුට දැන්වීම කළ යුතු එකම පණිවුඩකරුවා ඔහු වන බැවිනි. වෙන කිසිවෙකු ඒ සඳහා නැත.

බෝසතුන් ආපසු මාලිගාවට නොයන්නට පැමිණි මෙම ගමනේදි ඒ බව දැන ගත් විට කම්පා වන තිදෙනෙකු මාලිගාවෙහි සිටින බව බෝසත්හු දනිති. එය සිහි කරන්නේ ද තරමක ශෝකාකූලවය. ඔවුන් සනසන්නට සිටින එකම කෙනා ද ඡන්නය. එබැවින් ඡන්නගේ ඉල්ලීම බැහැර කරන්නේ මතු පැවිදි කර ගන්නා බවට ද පොරොන්දු වෙමිනි.

අනතුරුව පැවිදි වන්නට පෙර කෙස්වැටිය කපා දැමීම තම අතින්ම සිදු වීය. දකුණතින් කඩුව ගෙන වමතින් කෙස් වැටිය කපා අහසට හෙළන්නේ මෙවන් ප්‍රාර්ථනාවක් ද සහිතවය. කෙසේ ප්‍රාර්ථනාවක් ද යත්,

“ඉදින් ඒකාන්තයෙන් මම බුදු වෙම් නම් මේ කෙස්වැටි අහසෙහි රඳවයි. බුදු නොවෙම් නම් බිම වැටේවායි අධිෂ්ඨාන කොට අහසට දැමුදෑය. ඒ කෙස් වැටිය සතර ගවුවක් අහසට නැඟී කාළහංස රාජයකු සේ ලීලෝපේතව සිටියේය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයා රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන ශක්‍ර භවනයට ගෙන ගොස් සිළුමිණි සෑ නම් දාගැබක් මවා දෙදෙව් ලෝ වැසියන් ගෙන දැන් දක්වා පූජා කෙරෙයි.”

බෝසතුන් තමනගේ බුද්ධත්වය උරගා බැලූ අවස්ථාවක් වශයෙන් මෙම අවස්ථාව දැක්විය හැකි වෙයි. තමා ආ ගමනේ අවසන් පැතුම ස්ථිරව ම සිදුවේදෝ නොවේදෝ හෝයි සැකයකින් තොරව දැන ගැනීමට මෙම පරීක්ෂණය සිදු කළහ. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණි. අහසට දැමූ කෙස් වැටිය නැවත පොළොවට වැටුණේ නැත. එය පිළිගත්තෝ දෙවියෝ ය. දෙවියන් මෙය නිදන් කොට දෙව්ලොව සැදු සෑය සිළුමිණි සෑයයි. මීට අදාළව ලියැවුණු අපූරු සම්භාව්‍ය ගීයකින් අප ගීත සාහිත්‍යය ද පෝෂණය වෙයි.

සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ –

පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා –
ලංකාර වූ අනෝමා හා ලංකාර වු අනෝමා ගංගා තීරෙදි එදිනා
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ –
මම මතු බුදු වේ නම් රැඳේවයි සිතා ගුවනේ
අහසේ දැමු එලෙසා සක් රජුන් මහත් තෙදිනා –
රැගෙනා සංතොසිනේ රම්‍ය තවුතිසා භවනේ
සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ –
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ”

ග්‍රැම‍ෆෝන් තැටියට අහමඩ් මොහිදීන් නමැත්තකු ගායනා කළ බව දැක්වෙන මෙම මධුර ගීතය පසුකාලීනව බොහෝ අය ගායනා කළ අතර සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියගේ ගායනය නිතර ඇසෙයි. බුදු වන්නට ගිය බෝසත් සිරිතේ පළමු පියවර මෙසේ චමත්කාර ගීයකට පවා නැංවීමෙන් එම අවස්ථාවේ උත්කර්ෂය පිළිබද තවත් කවර කථාද?

අනතුරුව ඝටීකාර බ්‍රහ්මයා පිදූ සිවුරු පොරවා උතුම් වූ තවුස් දිවියට ප්‍රවේශ විය. ඒ මොහොතෙහි ද තමන් එතෙක් ඇඳ සිටි කසී සළුව බුදු බව ඉටා ආකාශයට දැමිණි. එයට වූයේ ද පෙර සේ ම මෙවර මහා බ්‍රහ්මයා පැමිණ මෙම කසී සළුව තම දෝත‍ට ගෙන බ්‍රහ්ම ලෝකයට රැගෙන ගොස් නිදන් කොට සෑයක් බැඳීමයි. එය “සළුමිණිසෑය” වෙයි.

මේ අනුව සිද්ධාර්ථ බෝසතුනගේ තාපස ප්‍රවේශය පුදුම එළවන අසිරිමත් සිදුවීම් රාශියකින් යුතු වීම බුදු වන උතුමෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා පෑමකි. බුදුපුත් තෙරණුවෝ මෙතරම් අසිරියෙන් මෙම තොරතුරු වර්ණනාවට ලක් කරන්නේ දඹදෙණි යුගයේ සමාජය වෙතට බුදු හිමියන් කැඳවීමේ අරමුණ ද පෙරදැරිව ය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 28

2021.08.05 – දිනමිණ කටාරම අතිරේකය

බෝසත් අබිනික්මන..

පසුගිය ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කළේ දෙවියන් මැවූ සතර පෙර නිමිති සම්බන්ධවය. අප පොතින් කියවා අසා තිබූ දෙයට වඩා පූජාවලී විමසුම කෙතරම් විසිතුරුදැයි එයින් ඔබට පසක් කෙරිණි. බෝසත් සිරිතේ මෙම සිදුවීම විමසා බැලූ විට පෙනෙන්නේ ලෝකය පිළිබඳ කලකිරීමක් ඇති වීමට වඩා ලෝකය පිළිබඳ අවබෝධයක් ගොඩ නඟා ගන්නට මෙය හේතු වූ බවය.

ජරා, ව්‍යාධි, මරණ ලොව සැබෑ යථාර්ථය නම් ඒවා ඇති වීමෙහි හේතු සහ නැති කිරීමේ මාර්ගය සොයා බැලීම තම වගකීම බව වටහාගත් බෝසතුන් එය මාලිගාවේ සිට කිසිදා කළ නොහැකි බැව් දැන වහා නික්ම යාම සුදුසු බව තීන්දු කළේය. අබිනික්මන එයයි.

පූජාවලී කතුවර හිමියන්ගේ මෙම වර්ණනාව පාඨක රසවතුනගේ සිත් ගත් චමත්කාරයෙන් සපිරි වර්ණනාවකි.

රාහුල උපන් දා සසර බැඳ තබන්නට තවත් බැම්මක් ඇති වූ බව දැනගත් බෝසතුන් ඒ ගැන සිතමින් එදා නිදන කුටියට පිවිසුණු කල්හි එහි දැක්ම පූජාවලිය ගෙනෙන්නේ මෙසේය.

“දෙවඟනන් බඳු රූ ඇති සතළිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු වීණා ගාති. සමහරු අත්තල එළති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාංග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්‍රීඩාවට පටන් ගත්හ” යනුවෙනි.

කතුවරයා මෙම දැක්ම ගොඩනඟන්නේ තමන් වහන්සේ ද දුටු දර්ශනයක් සෙයින් ගොඩ නඟා ගත් පරිකල්පනයෙනි. එතැන පැවතිය හැකි ආකාරය පාඨක සිත්හි ද මවයි. ඊට උචිත ගැළපෙන ළගන්නා සුළු බසක් කතුවරයා යොදා ගනී.

මෙම අවස්ථාව වඩාත් කුළුගන්වන්නේ මෙසේ රංගනයෙහි යෙදුණු නළඟනන්ගේ සැබෑ ස්වභාවය මැදියම් රැයේ පිබිද දකින විටදීය. එහි පිළිකුල පාඨකයාට ද දැනෙයි. කතුවරයා ද එය දුටු සේය. ඉදිරිපත් කළ අයුරු බලන්න.

බෝසතාණෝ යහනින් නැඟී වැඩ හිඳ ස්ත්‍රීන්ගේ නොයෙක් විකාර දුටු දෑය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසති. සමහරු නන් දොඩති. සමහරු අලගත වස්ත්‍රව කෝපීන ස්ථාන දක්වති. බෝධිසත්වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයින් ලෝභ නැතිව මේ ස්ත්‍රීහු පෙරයම් වේලෙහි දිව්‍යාංගනාවන් සේ සිටියාහුය. දැන් මෘත රූප වැනියහ. යනුවෙනි.

නින්දට යද්දී දෙව්ලොවක අසිරිය පෑ මෙම බෝසත් නිදන කුටිය දැන් අමු සොහොනක සිරි ගත් කල්හි එහි තව දුරටත් රැඳීම නිෂ්ඵල බව බෝසතාණෝ කල්පනා කළහ. යශෝධරාව රාහුල බිලිඳා ද සමඟින් නිදි යහනේය. ඒ දෙස ආලය ඇති කර ගැනීමෙන් තමා රැඳෙන්නේ මෙවන් අමු සොහොනක බව ද කල්පනා කොට වහා නික්ම යාමට තීන්දුව ගන්නේ සිරි යහනේදීමය.

අනතුරුව යහළු ඡන්න වෙතට යන බෝසතාණෝ මේ බව මෙසේ සැල කරති.

“යහළු ඡන්නය. දැන්ම මම මහබිනික්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනෙකුටත් නොහඟවා මගුලසු සරහා වහා ගෙනෙවයි” කී දෑය.
ඡන්න අස්හලට ගොස් කන්ථක අසු මැනවින් සරසද්දී ඌට ද දැනුණේ අමුතු අසිරියකි. තදින් නිදන රැයෙහි මෙතරම් සැරසිලි කුමක් සඳහා ද යන්න වටහාගත් අශ්වයා මහත් සතුටින් හේෂාරව කළ බව ද දැක්වෙයි.

බෝසතාණෝ පුතණුවන් දැක යන්නට යශෝධරාගේ කුටියට පිවිසුණු කල සිදු වූ දේ පූජාවලී කතුවරයාගේ වැනුමට හසු වූයේ මෙසේය.

“දරුවන් වඩා ගෙන සිඹ සනහා පියමි යි සිතාලා දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශෝධරා දේවි පිබිද යෙති. උන් හා සමඟ කථායෙක් වී නම් මා කාම බන්ධනයෙන් බැඳ මහබිනික්මන් ගොඩගත නොදී ගමනාන්තරාය කෙරෙති, යි සිතා මතු බුදුව ආ දා ම දරුවන් දැකපියමියි සිතාලා දැන් එක දරුවන් ප්‍රේමයෙන් මහණ නොවීම නම් මතු මුළු ලෝ වැසියන් හැම නොවරදවා කෙසේ දරු කොට ගනිම්ද?”

යනාදී වශයෙන් සිතූ බෝසතාණෝ එක දරුවෙකු වෙනුවෙන් බැඳි ප්‍රේමය ලොව සියලු දරුවන් වෙනුවෙන් අත්හළහ.

ඡන්න ඇමැතියා විසින් සකසා ගෙනෙන ලද කන්ථක අශ්වයා වෙතට ගිය බෝසත්හු මෙසේ කීහ.

“යහළු කන්ථකය, අද එක රැ තෝ මා ගලව. මම තාගේ සහායෙන් ගොස් බුදුව තා ඇතුළුව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගලවමියි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැගි දෑය.”

දැන් ගැටලුව වී ඇත්තේ කුමක්ද? සුදොවුන් රජුගේ බාධා බිඳ නික්ම යන්නේ කෙසේද යන්නය. සුදොවුන් රජු දහසක් යෝධයන් විසින් වසා ලනු ලබන බියලි දොර දෙකක් තනා දහසක් යෝධයෝ එහි රැකවලෙහි යොදා තිබෙයි. මෙය බිඳින්නට බෝසතුනට පැවතියේ සසර පුරා සපුරා ඇති වීර්ය පාරමිතාවේ බලයේ මහිමය පමණි. එයින් ලද බලය සිතට නඟා ගත් බෝසතාණෝ එය ජය ගත්තේ මෙසේය.

බෝසතාණන් සිතන්නේ ඉදින් දොර නොහැරේ නමුත් ඡන්නයා අසු වල්ගය අල්වා ගත දී අසු දෙකලවයෙන් බදා ගෙන අටළොස් රියන් මහ පවුර ගරුඬ රාජයෙකු සේ පැන දමා පියමියි සිතූ සේක. අමාත්‍යයා සිතන්නේ ඉදින් දොර නොහැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු අසරුවෙහි හිඳුවා ගෙන අශ්වරාජයා සකක් සේ වම් අත්ලෙහි තබා ගෙන පවුර පැනපියා යෙමියි සිතීය. කන්ථක අශ්වයා සිතන්නේ අමාත්‍යයා වල්ගය ගතදීම මේ ප්‍රාකාරය සිංහයෙකු සේ පැනපියා යෙමියි සිතීය. එකල වාසල් දොර අරක් ගත් දෙවියා මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැයි, සතුටුව වාසල් දොර හැරපීය.

කුතුහලයෙන් යුතු සිදු වීමක් කෙළවර කරන්නේ අපූර්වාකාරයෙනි. පාඨකයා කුල්මත් වෙයි. බෝසතුනට බැඳි සියලු බාධා සිඳී බිඳී යයි. මහාභිනිෂ්ක්‍රමණය සිදු වූයේ මෙසේය.

පූජාවලී කතුවරයා මෙම අවස්ථාව ඉතාමත් බැතියෙන් යුතුව පාඨක අප වෙත රැගෙන එන්නේ මේ සියල්ල ඇසූ දුටුවකු ලෙසින්ය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

1 2 3 4
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound