2021.05.13 දිනමිණ – කටාරම අතිරේකය
බෝසතාණෝ පිළිසිඳ ගත් දා සිදු වූ අසිරිමත් සිදුවීම්
මේ වෙසක් සමයයි. බුද්ධ මහිමය ලොවට හොඳින්ම දැනෙන සමයයි. බුදු කෙනෙකුන් ලොව පහළ වීම අතිශයින්ම සිරිමත් සිදුවීමක් වෙයි. මීට අදාළව අප පසුගිය පූජාවලිය විමසුමේදී පඥ්ච මහා විලෝකන ගැන විවරණයක් කළෙමු. ඒ අනුව බුදුවරුන්ගේ ලොව පහළ වීම කෙතරම් දුර්ලභ කරුණක් ද යන්න පැහැදිලි විය. අද විමසුම තුළින් ද අප උත්සාහ කරන්නේ පූජාවලියේ කතු හිමියන් තව දුරටත් බුදු උපත අසිරිමත් දෙයක් බව දඹදෙණි සමාජයට පෙන්වා දෙන්නට දැරූ උත්සාහයකි.
පූජාවලියේ අට වැනි පරිච්ඡේදය නම් කරන්නේ ප්‍රතිසන්ධි පූජා කථා යනුවෙනි. එහිදී තුසිත දිව්‍ය පුරයෙහි වසන් බෝසතාණෝ දිව්‍ය පුරයෙන් චුත වීමේ නිමිති පහක් දුටහ. එනම් දිව සළුව කෙලෙසී ගියේය. පැලැඳි මල් පරව ගියේය. ශරීර ප්‍රභාව පහව ගියේය. දිව්‍ය මාලිගය රිසි නැති විය. දිව සිරුරෙන් දහදිය ගලන්නට වන. එවිට දෙවියන් මගුල් ගී ගයද්දි බෝසතාණෝ සුළඟින් නිවී ගිය පහනක් සේ තුසී පුරෙන් නික්මී ඇසළ පෝ දා අලුයම් වේලේ මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත්හ.
ඇසළ සැණකෙළිය දිනයෙහි මගුල් පොකුණෙහි ජල ක්‍රීඩා කොට කසී සළු හැද පැලැඳි මහාමායාවෝ තම කුටියට වැද නිදන්නට වූහ. එවිට සතර වරම් දෙව් රජ දරුවන් දේවීන් ඔසවා ගෙන අනවතප්ත විලට ගෙන ගොස් දිව්‍යාංගනාවන් ලවා මිනිස් ගඳ හරින්නට නහවා දිව යහනෙහි තැබූහ. එවිට චිත්‍රකූට පර්වත වැසි සුදු ඇත් පැටවෙක් සුදු පියුමක් සොඩින් ගෙන බිසොවුන් බල බලා සිටියදීම බිසොවුන් සැතපුණු යහන වටා පැදකුණු කරවා බිසවගේ කුසට පිවිසුණි.
බිසොවුන් දුටු සිහිනය ගැන සුදොවුන් රජුට කියා බමුණන් ලවා සිහිනය පරීක්ෂා කොට මතු බුදු වන පුත් රුවනක් දේවීන් කුස පිළිසිඳ ගත් බව කියා සිටියේය. එවිට ලොව අසිරිමත් සිදුවීම් දෙතිසක් පහළ වීය. එය බෝසතාණන්ගේ පහළ වීම පිළිබඳ ආශ්චර්ය ලොවට හැඟවීම පිණිසය. ඒවා නම් කවරේද?
මහ පොළොව ගර්ජනා වීමය. දස දහසක් සක්වල ආලෝක වීමය. ජාති අන්ධයන් රූප දැකීමය. ජාති ගොළුවන් නාද කිරීමය. ජාති බිහිරන් ශබ්ද ඇසීමය. අත පය විරූපී වූ පිළුන් නැටීමය. කුරුව කුදුව උපන් අය සෘජු සරීර ඇති වීමය. සිරගතව සිටි සතුන් නිදහස් වීමය. නිරයන්හි ගිනි නිවී යාමය.ප්‍රේතයන්ගේ සා පිපාසා නිවී සන්සිඳීමය. අපායගාමී වූවන්ගේ මරණ බිය පහවීමය. රෝගීන් නීරෝගී වීමය.
සියලු සත්වයන් ප්‍රිය භාෂණය කිරීමය.අශ්වයන් මිහිරිව හේෂාරව කිරීමය. ඇතුන් සතුටින් කුංචනාද කිරීමය.සිංහරාජයන් ගර්ජනා කිරීමය. සියලු සිවුපාවුන් තම තමන්ගේ නාද පැවැත්වීමය. දෙවු මිනිසුන් පැලැඳි අබරණ නාද දෙන්නට වීමය. දස දිශාවන්හි ප්‍රභාෂ්වර විහිදීමය. සුළඟ මඳ පවන් පැවැතීමය. දස දහසක් සක්වල මද වැසි වැස්සීමය. මහ පොළොවෙන් ජලධාරා නැගී අහසට විහිදීමය. සියලු පක්ෂීන් පොළොවට බැස මධුර නාද කිරීමය. ගංගාවන් නොගලා නැවතී තිබීමය. සමුදුරු ජලයේ ලුණු රස බැහැරව මධුර වීමය. සාගරයේ පස් පියුම් පිපීමය. දිය ගොඩ පිපි හැම මලක්ම පිපී සුවඳ පැතිරීමය. සියලු වෘක්ෂලතා මලින් බර වීමය. ගල්තලාවන්හි නෙළුම් පිපීමය. අහස මල් වියනක් සේ පෙනීමය. මල් වරුසා වැසීමය. අහස පුරා ධ්වජ පතාකයෙන් පිරීමය.
මේ විවරණය පෙන්වා දෙන්නේ බුදු කෙනෙකුන්ගේ ලොව පහළ වීම මොන තරම් අසිරිමත් ද යන්නයි. මුළු මහත් සොබාදහමම විචිත්‍රවත් වූ බවක් පෙනෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගුණ දම් පිරූ උතුමකු වෙනුවෙන් මෙසේ ලොව අසිරිමත් වීම පුදුමයක් නොවිය යුතුය. මේ ගැන තව දුරටත් ඉදිරි ලිපිවලදී සාකච්ඡා කෙරේ. තෙරුවන් සරණයි.


