පොත් ලිවීමෙන් ලෝකාර්ථ අටක්
2020 දෙසැම්බර් 03 – දිනමිණ කටාරම අතිරේකය
මෙවර ලිපියෙන් විමසුමට ලක් කෙරෙන්නේ, පොත් ලිවීම හෙවත් ග්‍රන්ථකරණය සම්බන්ධව පූජාවලි කතුවර බුදුපුත් තෙරුන්ගේ විවරණ විමසීමය. බුදුසමයේදී ධර්ම ග්‍රන්ථකරණය, අට මහා කුසලයට අයත් වන පිංකමකි. ඊට හේතුව, කෙනෙකුගේ ධර්ම ඥානය දියුණු වීමෙහිලා එය මහෝපකාරී වන බැවිනි. ධර්මධරත්වය සහ බහුශ්‍රැතත්වය, බෞද්ධ සමාජය තුළ පුද්ගලයකු ළඟා කර ගත යුතු උසස්ම තත්ත්වයකි. බණ පොත් ලියූවෝ මෙතේ බුදුන් දකින්නේ යැයි යන මතය, අනාගතවංශය ගොඩනඟන්නේ, මෙහි වැදගත්කම නිසා විය හැකිය.
මේ අනුව පූජාවලී හිමියෝ පූජාවලිය ලිවීමෙහිදී අපේක්ෂා කළ ප්‍රධාන අරමුණු තුනක් දැකිය හැකිය. පළමුව දැක්වෙන්නේ, “අප රජ හට බෝධිසත්ව පාරමිතාවෙන් යෙදුණා වූ බණක් වදාළ මැනවැයි ආරාධිතව, රජු කෙරෙහි උපන් මහ කුලුණු ඇතිව ……” යනුවෙන් දැක්වෙන්නේ, දඹදෙණි පැරකුම්බාවන් ලවා බුදු බව ප්‍රාර්ථනා කරවා ගැනීමෙහිලා, මේ ග්‍රන්ථය කළ බවයි. මෙය රජුගේ අගමැති දේවප්‍රතිරාජයන්ගේ වුවමනාවයි.
දෙවනුව, “සිංහල භාෂාව දන්නා සත්පුරුෂ ජනයාගේ බොහෝ කල් ශ්‍රද්ධා බුද්ධි ජනනය කරවා, ත්‍රිවිධ වූ සම්පත් සාදා දෙනු පිණිස” යනුවෙන්, පාලි සකු භාෂා නොදත්, එහෙත් සිංහල බස මැනවින් දත් පොදු ජනතාවගේ පරිහරණයට අවශ්‍ය ධර්ම ග්‍රන්ථයක් කිරීමේ අරමුණයි. එය ද මේ යුගයේ බොහෝ ගත්කරුවන්ගේ අභිප්‍රායකි. තෙවනුව, ‘අරහං‘ යන අකුරු තුනෙන් කීවා වූ අර්හත් ගුණය ගෙන, “පූජාවලී නම් ධර්ම ව්‍යාඛ්‍යාන කථාවකින් අප මහා ගෞතම බුදුන්ගේ ගුණෙක දේශයක් වර්ණනා කරම්හ” යනුවෙන් ‘අරහං’ බුදු ගුණය පිළිබඳ උත්කර්ෂවත් වර්ණනාවක් කිරීම ද කතුවරයා තුළ පැවතුණි.
මේ ප්‍රධාන අරමුණු තුනට පරිබාහිර තවත් වැදගත් අරමුණක් වූයේ, මෙවැනි මහා බණ පොතක් රචනා කිරීමෙන් සිදු විය හැකි ලෝකාර්ථචර්යා අටක් ඉටු කර ගැනීමයි.
1. රජවරුන්ට වන යහපත
බලයෙන් මත්ව, සැපයෙන් ආඪ්‍යව දිවි ගෙවන රජවරුන්ට, බුදුන්ගේ ධර්මය කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වෙයි. මේ නිසා, බොහෝ රජවරු අගතිගාමී වෙති. එවිට මැති ඇමැතිවරු අගතිගාමී වෙති. රටවැසියෝ ද අගතිගාමී වෙති. රට පිරිහේ. සමාජය පිරිහේ. ‘ගණ්ඩතීන්දු’ ජාතකයෙහි මේ පිළිබඳ හොඳම විවරණය එයි. එවැනි පාලකයන් හට විවේක බුද්ධියෙන් කියවා, නුවණ දියුණු කොට, ආත්මාර්ථ පරාර්ථ සාධනයෙහි නියුක්ත වීමට මඟ පෙන්වීම, පළමු ලෝකාර්ථචර්යාවයි.
2.රාජ මහේෂිකාවන්ට වන යහපත
රාජ සම්පතින් මත් වූ උත්තම ස්ත්‍රීන් හට, රිසි සේ ඇවිද දහම් අසන්නට නොහැකි බැවින්, නුවණැතියන්ගේ ධර්ම කථා විඳින්නට අවකාශ නොවන බැවිනුත්, එවැනි වූ ස්ත්‍රීන්ට මෙවැනි පුස්තකයක් ගෙන්වා ගෙන, විවේකීව කියවා අවබෝධ කොට ගෙන, නුවණ වඩා දානාදී පිංකම් කිරීමට මඟ පෙන්වීම දෙවැනි ලෝකාර්ථචර්යාවයි.
3. යුව රජ මැති ඇමතිවරුන්ට වන යහපත
යුව රජුන්, මැති ඇමැතිවරුන් නිරන්තරව රට පාලනය සඳහා නොයෙක් කාර්යයන්හි නිරත වන බැවින්, ධර්මය විමසන්නට අවකාශ නොලැබේ. ඔවුන්ට විවේකී වූ විට මේ ධර්ම කථා කියවා, රාජ නීති, ලෝක නීති, ධර්ම නීති, ලෝක ව්‍යවහාර දැන, පිං පව් දැන, රාජ්‍ය විචාරන්නට මඟ පෙන්වීම, තෙවැනි ලෝකාර්ථචර්යාවයි.
4.මහ තෙරවරුන්ට වන යහපත
ශාසනාරක්ෂාවෙහි යෙදෙන, නොයෙක් තානාන්තර දරන, මහ තෙරවරුන් හට බණ ඇසීම සුලබ නොවෙයි. අවකාශයක් ලද විටෙක මේ මහ තෙරවරුන්ට මේ ධර්ම ව්‍යාඛ්‍යාන කියවා, විසිතුරු බණ දැන, පෙර ධර්ම කථිකයන්ගේ ව්‍යවහාර සමඟ සසඳමින්, ප්‍රඥාව දියුණු කර ගැනීම හතර වැනි ලෝකාර්ථචර්යාවයි.
5. පැවිදිව වෙසෙන සබ්‍රම්සරුන් වහන්සේලාට වන යහපත
බොහෝ ශ්‍රද්ධාවෙන් සසුනට වන් කුල පුත්‍රයන් හට කියවා, ධර්ම විභාග, ශීල විභාග, ප්‍රඥා විභාග හොඳින් දැන, පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදයට පැමිණිමට මඟ පෙන්වීම, පස් වැනි ලෝකාර්ථචර්යාවයි.
6. ධර්ම කථිකයන්ට වන යහපත
නොයෙක් ධර්මය ඉගෙන, බණ කීමෙහි අති දක්ෂ මහ පඬිවරයන් හට පුර්ව ධර්මධරයන්ගේ වාග් ප්‍රබන්ධ බලා කියවා, තම කථිකත්වය දියුණු කර ගැනීම, හය වැනි ලෝකාර්ථචර්යාවයි.
7. පෘථග්ජන මිනිසුනට වන යහපත
වැරැදි ජීවිකාවන්ගෙන් මිදී, නිරවද්‍ය කර්මාන්තවල යෙදෙමින්, ආත්මාර්ථ – පරාර්ථ සාදා ගැනීම, ධර්ම දානයෙහි යෙදීමට මඟ පෙන්වීම, සත් වැනි ලෝකාර්ථචර්යාවයි.
8. ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයන්ට වන යහපත
පොත් පත් සොයා ගත නොහැකි, ධර්මය ද නොමැති, දුෂ්කර ප්‍රදේශවල වසන්නා වූ සත්පුරුෂ මිනිසුනට, මෙවැනි කෘතියක් සොයා කියවනු ඇසීමෙන් මෙලොව පරලොව දැන ජීවත් වීමට මඟ සැලසීම, අටවැනි ලෝකාර්ථචර්යාවයි.
මේ අනුව පූජාවලී කතුවර හිමියෝ මෙවන් මහා ධර්ම ග්‍රන්ථයක් රචනා කිරීමෙන්, සමාජයේ සෑම ගණයකම පාඨකයන් වෙත තම අවධානය යොමු කළහ. එනිසාම, කවර කාලයක වුව, කවර පාඨක පිරිසකට වුව, ලෝකාර්ථචර්යාවෙහි යෙදෙන්නට මේ මහඟු කෘතිය මඟ පෙන්වයි.
මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


