ජනවාරි 21, 2021 – දිනමිණ කටාරම අතිරේකය
මෝර පිරිතේ අනුසස්
පූජාවලී විමසුම පසුගිය ලිපියේදී බෝසත් බවේ අරුමය පැහැදු වෙමු. අද පූජාවලී සිවු වන පරිච්ඡේදය ඇසුරින් ඔබේ ජීවිතයට ඉතා වැදගත් ආශිර්වාදයක් රැගෙන එන්නෙමු. එනම් මෝර පිරිතේ අනුසස් කවරේදැයි පෙන්වා දීමයි.
ජීවිතයකට ආශිර්වාදය අවශ්‍ය වන්නේ ද එවැනි සංකල්ප ලොව බිහිවන්නේ ද ගැටලු වැඩි වීම හේතුවෙනි. විසුද්ධි මාර්ගයෙහි දැක්වෙන පරිදි අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. මුළු මහත් ප්‍රජාව ම ඇතුළතින් සහ පිටතින් අවුලෙන් අවුලට ගොස්ය. ජීවිතය අවුල් වූ විට නොයෙක් දේවල්හි පිහිට පැතීම ස්වභාවයයි. ආශිර්වාදය අවශ්‍ය වන්නේ එවිටය. ඒ අනුව සිංහල සමාජය බොහෝ ආශිර්වාදයන්හි පිහිට නිතර නිතර අපේක්ෂා කරයි. බෞද්ධයන් තෙරුවන්ගේ පිහිට මෙන්ම දෙවියන්ගේ පිහිට ද අපේක්ෂා කරන අතර ඇතමෙක් මේවාට අමතරව විවිධාකාර දේවල් කෙරෙහි පිහිට ලබා ගනිති. මැණික් ඇල්ලූ මුදු පැලඳීම, යන්ත්‍ර මන්ත්‍ර ඉණේ කරේ පැලඳීම, අලි කෙන්ද පැලඳීම, කොටි දත් පැලඳීම, විවිධ තෙල් වර්ග මතුරා නළලෙහි ආලේප කිරීම, සෙත් කවි කීම, ඇප වීම, නළලේ අළු ගා ගැනීම, වැනි සිය දහස් ගණනක් ඇදහිලි අප සමාජයේ පවතී. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ මේවා ගැන වැදගත් අදහස් දක්වා තිබෙන අතර මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියන් මේ ඇදහිලි හදුන්වන්නේ සිංහල බුද්ධාගම නමිනි.
බෞද්ධ සමාජයේ මේ ඇදහිලි අතරට එක්වෙන වැදගත් ශාන්ති කර්මයක් වන්නේ පිරිතයි. පිරිත බුද්ධ වචනයයි. එය විද්‍යානුකූල ශාන්තිකර්මයකි. පිරුවානා පොත සැකසෙන්නේ ආශිර්වාදාත්මක සූත්‍ර දේශනාවන්ගේ එකතුවක් ලෙසිනි. මෙයට ඇතුළත් සූත්‍ර අතරෙහි මෝර පිරිත වැදගත් ආශිර්වාදාත්මක දේශනාවක් ලෙස පැරැන්නෝ පවා විශ්වාස කළහ. මෙහි පසුබිමේ ඇති රමණීය කතන්දරය බොහෝ දෙනෙක් නොදනිති. පූජාවලී සිව්වන පරිච්ඡේදයෙහි බුදුපුත් හිමියන් මේ පිළිබද කළ විවරණය ඉතා රසබර කතන්දරයකි.
මෙය ජාතිභේද පූජා කථාවයි. එනම් බෝසතුන්ගේ විවිධ ආත්මභාව පිළිබද විවරණය කෙරෙන පරිච්ජේදයයි. එහි විවරණිත එක් කථාවක් වන්නේ ස්වර්ණමයූර ජාතකයයි. බෝසතුන් බොහෝ කලක් පූරණය කළ ශීල පාරමිතාවෙහි ආනුභාවයෙන් එක් භවයක මයුරයකුව ජන්මය ලබන්නේ කසුන් පිඬක් බදු රන්වන් ශරීරයක් ද ලබමිනි. හිමාලයේ දණ්ඩකී නම් පර්වත මුදුනෙහි වසන මේ ස්වර්ණ මයුරයා සෑම උදෑසනකම අරුණෝදගමනයෙහි එක් වතාවතක් සපුරයි. කවරක්ද යතහොත් උදය පර්වතයෙන් නැගෙන සූර්යයා දෙස බලා
උදේතයං චක්ඛුමා ඒකරාජා – හරිස්සවණ්ණෝ පඨවිස්සභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං
යනුවෙන් හිරුට නමස්කාර කරයි.
අනතුරුව
යෙ බ්‍රාහ්මණා වේදගූ සබ්බ ධම්මේ – තෙ මෙ නමෝ තෙ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා – නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති එසනා
යනුවෙන් අතීතයේ උපන් බුදුන්ට නමස්කාර කොට ගෝචර ග්‍රහණයට යයි. සියලු ආරක්ෂාව ලබා සවස පර්වත මස්තකයට එන ස්වර්ණ මයුරයා නැවත හිරුටත් සියලු බුදුවරුනටත් නමස්කාර කරයි. මේ ආශිර්වාදය නිසාම මෙම මයුරයාට කිසි දිනෙක බයක් විපතක් කරදරයක් සිදු නොවීය.
දිනක් පර්වත මුදුනෙහි රන්වන් පිල්බර සොලවා නටන මයුරයා එක් වැද්දෙකුගේ අවධානයට යොමු වෙයි. ඔහු මියෙන වේලෙහි මේ ආරංචිය තම පුතුට කියා රහසක් ලෙස රකින්නැයි ඉල්ලීය. එසමයෙහි බරණැස් රජුගේ ඛේමා නම් බිසව රන්වන් මොනරෙකු වෙතින් බණ අසන සිහිනයක් දැක එය දොළක් බවට පත් කොට ගෙන කෙසේ හෝ ඉටු කර දෙන්නැයි රජුට කීය. රජු වැදි සෙනඟට මෙම රන්වන් මයුරයකු සොයා එන්නැයි පැවරූ අතර පියා දුන් ආරංචියෙන් එයට ගිය වැදි පුත්‍රයා හිමාලයට ගොස් ස්වර්ණ මයුරයා අල්ලන්නට සත් වසක් වෙහෙසව මයුරයා පුරන පිරිතේ බලයෙන් කිසිදු උගුලකට හසු කර ගත නොහී එහිම මළේය. බිසව ද එය නොලද ශෝකයෙන් මළාය. රජතුමා ද එම ශෝකයෙන් ස්වර්ණ මයුරයාට වෛර බැඳ අසුවල් පර්වතයේ සිටින ස්වර්ණ මයුරයා මරා කෑ කෙනෙකු අජරාමර (නොමැරෙන) වන්නේ යයි තල්පතක ලියා තබා මළේය.මේ රන්පත දුටු පසුකාලීන රජවරු ද ඌ අල්වා ගත නොහැකිව එම ශෝකයෙන් මළහ.
මේ අතර එක් රජෙක් මායම් දන්නා වැද්දකු හට කාර්යය පැවරීය. ඔහු වනයට ගොස් මලෙහි නොබැදෙන හේතු පරීක්ෂා කර බැලීය. උදේ සවස හිරු දෙස බලා මන්ත්‍රයක් ජප කරවන අයුරු දැන මයුරයාගේ මෙම බ්‍රහ්මචර්යාව බිඳින්නට කාම උගුලක් ඇටවීය. එනම් පසුදින හිරු වඳින්නට පෙර ඒ අසල සෙබඩක් තබා නාද කරන්නට සැලැස්විය. එම සෙබඩ ද බෝසත් මයුරයා පර්වත මුදුනට පැමිණි වහාම කාමරාවයෙන් හැඬුවාය. එය කෙතරම් ප්‍රබල ද යත් බෝසතුනගේ බඹසර බිඳින්නට සමත් විය. හිරු වන්දනය පසෙක ලා මයුරයා කාම පාසයෙහි ඇළුණි.
එකනෙහි වැද්දා මයුරයා අල්වා රජුට ගෙනැවිත් දී සිංහාසනයෙහි වාඩි කරවා තොප මරා මස් කෑ පසු අජරාමර වන බැවින් ඒ සඳහා රැගෙන ආ බව කීය. බෝසතුන් ප්‍රශ්න කළේ මාගේ මස් කන්නට මා මැරිය යුතු බවත් එවිට රජු අජරාමර වන්නේ නම් තමා ඊට පෙර අජරාමර විය යුතු නොවේද යන්නයි. එයින් අවබෝධය ලද රජුට මයුරයා දහම් දෙසීය. තමා බොහෝ කලක් රැකි ශීලයෙන් රන්වන් සිරුරක් ලද බව ද කියා දුන් පසු බඹදත් රජු මේ මයුරයාට තම රාජ්‍යය පූජා කළේය.
එබැවින් මෝර පිරිතේ අනුසස් කල්පයක් පුරා පවතින බව සැලකිය යුතුය. ඔබේ දවස ඇරඹීමේ දී ද දවස නිමවීමේදී ද මෙම පිරිතේ ආශිර්වාදය ලබන්නට හුරුවන්න. එම බුදු ගුණ මහිමය ඔබව රකිනු ඇත.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්ව විද්‍යාලය


