2021.01.28 දිනමිණ කටාරම අතිරේකය
අගති රජුන්ට සුනඛෝවාදයක්
පසුගිය ලිපියෙහි අප ඔබට ඉදිරිපත් කළේ මෝර පිරිතෙහි අනුසස් ගැනයි. අනුසස් මතු නොව ඒ වටා ගෙතුණු හරබර කථාවයි. බොහෝ දෙනෙක් මෙය අන්තර් ජාලයෙන් ද කියවා අදහස් දක්වා තිබුණි. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ අගතිගාමී රජෙකු ඉදිරියේ බෝසත් සුනඛයෙකු කළ සුනඛෝවාදයක් පිළිබදවයි. බුදුපුත් හිමියන් මෙය ඉදිරිපත් කරන්නේ හුදෙක් ඕනෑම කාලයක අගතිගාමී රජුන් ට කරන අනුශාසනාවක් වශයෙනි. දූෂිත පාලකයන් වෙත බෝසත් ගුණ ළං කරවීම බුදුපුත් තෙරුන්ගේ අරමුණයි.
පූජාවලියෙහි 33 පරිච්ඡේදයෙහි මෙසේ දැක්වෙයි.
මේ ලංකාද්වීපය නම් අබුද්ධෝත්පාද කාලයෙහි යක්ෂයන්ට ම නිවාස වෙයි. බුද්ධෝප්පාද කාලයෙහි මනුෂ්‍යයන්ට වාස වෙයි. සමහර බුදුහු තමන් වහන්සේ ම වැඩ යක්ෂයන් ප්‍රලය කොට මනුෂ්‍ය වාසය කරවා සසුන් පිහිටුවන සේක. එහෙයින් ම මේ ලංකාද්වීපය තුණුරුවන් භාණ්ඩාගාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නොවූවා සේ ම ස්ථිර නොවේ ම ය. මිථ්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කළේ වී නමුත් ඔවුන්ගේ වංස ප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේ ම ආනුභාව විශේෂයක් ම ය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍යදෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවේණිය පවතිනේ දඒකාන්තමය. මේ මේ කාරණයෙන් ලංකාධිපති රජුන් විසින් බුදුන් කෙරෙහි ස්වභාව වූ ආදර බහුමානයෙන් ශාසන ප්‍රතිෂ්ඨාවෙහි අප්‍රමාදව ආඥාචක්‍රය හා ධර්ම චක්‍රය රක්ෂා කොට රාජ්‍යය කොට කුල ප්‍රවේණිය රක්ෂා කළ යුතු.
පූජාවලියෙහි එන මෙම ප්‍රකාශනය තුළ ගම්‍ය කෙරෙන අරුත් රාශියකි. විශේෂයෙන් බුදුවරුන් පහළ නොවූ යුගයන්හි මෙය යක්ෂයන් අරක් ගත්තකි. එම යක්ෂයන් මනුෂ්‍යයන් බවට පත් කරනුයේ බුදුවරුන්ගේ වැඩමවීමෙනි. අපේ ගෞතම බුදුහිමියෝ තෙවරක් මෙහි වැඩම කොට ඉටු කළේ එම කාර්යභාරයයි. එපමණක් නොව තම සසුන ද පිහිටුවන බව දක්වයි. ඒ අනුව කතුවරයා දක්වන්නේ මේ රට තෙරුවන්ගේ භාණ්ඩාගාරයක් ය යන්නය. එවැනි දේශයක මිථ්‍යාදෘෂ්ටි ගත් රජවරුන්ට හෝ අගතිගාමී රජවරුන්ට මේ රටේ කිසිදා පවතින්නට බැරි බව කතුවරයා පවසයි. අතීතය මෙන්ම මෑත ඉතිහාසය විමසීමෙන් ද මේ බව ප්‍රකටය. එළාර 44 වසක් මෙහි රාජ්‍යය කළේය. එහෙත් ඔහුට දුටුගැමුණු අතින් පරාජය උරුම වූවා මෙන්ම පරම්පරාවක් ද ස්ථාපිත කළ නොහැකි වීය. පොළොන්නරු යුගයෙහි මාඝ 33 වසක් රාජ්‍යය කළ ද ස්ථාපිත නොවුණි. මෑත යුරෝපීය ජාතීන් අවුරුදු 500 ක් ආධිපත්‍යය දරා සිටිය ද අවසන සියල්ල භාර දි යන්නට සිදු විය. මීට හේතුව තෙරුවන්ගේ භාණ්ඩාගාරය මිථ්‍යාදෘෂ්ටි ගත්තවුනට පාලනය කළ නොහැකි වීමයි. මේ රටේ රජ විය යුත්තේ බෝසත්වරුය යන්න පස්වන මිහිදු රජු ගලක කොටා තැබූවේ එහෙයිනි.
බුදුපුත් හිමියෝ මේ කරුණ නිතර නිතර පාලකයන්ට මතක් කර දෙති. වරෙක පණ්ඩිත සිරි තිලකසිරි ලක්බිම සම්භාෂණ අතිරේකයට ලියූ ලිපියක දැක්වෙන්නේ රජුන් සැබෑ බෝසත් සිරිත වෙත යොමු කරවීමට බුද්ධපුත්‍ර තෙරණුවන් වෙහෙසෙන බවයි. මුලු කෘතිය පුරා මෙය දැකිය හැකිය සුනඛෝවාදය ඊට නිදසුන් සපයන එක් අවස්ථාවක් පමණි.
මෙය දැක්වෙන්නේ පස්වන පරිච්ඡේදයේ බෝසතුන් විවිධ සත්ව ආත්මයන්හි ඉපිද රජුන්ට අනුශාසනා කළ අවස්ථා ඉස්මතු කරමිනි. එය මෙසේ දැක්වෙයි.
තවද කුක්කුර ජාතකයෙහි සුනක රාජන්ව ඉපිදැ ඥාත්‍යර්ථ චර්යාව පූරනය සමයෙහි බොහෝ නෑයන්ට රජ කුලෙන් උපන් භය දැක ඒ රජ්ජුරුවන් කරා ගොස් රජ පිරිස විස්මය පත් කරවා රජහු පහදවා රජහුගේ සිංහාසන නැගී වැඩ හිද සුනඛෝවාද නම් දේශනාවක් කොට සියලු සතුන් පන්සිල් ගන්වා රජහුගේ දළපුඩු සේසතින් පුජා ලදින් එදවස් දෙසූ ධණින් දැමුණා වූ සත්වයන් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි කරන ලද අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් සේක.
මෙම සුනඛෝවාදය එන්නේ කුක්කුර ජාතකයෙහිය. එම කතාපුවත කතුවරයා ඉතා සංක්ෂිප්තව මෙහි දක්වා තිබෙයි. සැබවින් ම එය රස කතාවකි.
මෙහි කතා නායකයා සුනඛයෙකි. බෝසතුන් කර්ම විපාකයකින් සුනඛයෙකුව ඉපිද සුනඛ සේනාවකට නායකත්වය දී සොහොන් බිමක් ඇසුරෙහි ජීවත් වෙයි. එහිදී සුනඛ වර්ගයා ප්‍රබල අභියෝගයකට ලක් වෙයි. එනම් එරටෙහි රජතුමාට දිනක් රාජ්‍යය නැරඹීමට යාමට අවශ්‍ය වී ඒ සදහා අලංකාර රථයක් රාජ පුරුෂයෝ සකස් කළහ. එය සැරසුනේ හම් පටි වලිනි. රජ සංචාරය නිමවා පැමිණි පසු රාත්‍රියෙහි රජ මිදුලෙහි මෙම රථය නවතා තිබුණි. රාත්‍රි මහා වැස්සක් ඇද වැටී මෙම රථයේ සම් පටි සියල්ල තෙමී මෙලෙක් වි රජ ගෙදර බල්ලන් විසින් සියල්ල කා දැමිණි. පසු දින උදෑසන ද රජුට සංචාරයට හදිසියේ රථය රැගෙන එන්නැයි රාජ පුරුෂයන්ට නියෝග කළේය. එවිට ඔවුන් කියා සිටියේ රහස් දොරටුවෙන් රජ මිදුලට රිංගා ගත් බල්ලන් රථයේ සම්පටි සියල්ල කා විනාශ කර ඇති බවයි. කෝපයට පත් රජතුමා රටේ සියලුම බල්ලන් මරා දමන්නැයි නියෝග කළේය.
මෙහිදී බෝසත් සුනඛයා තම වර්ගයා බේරා ගැනීම සදහා රහස් දොරින් රජ මැදුරට රිංගා පරීක්ෂා කර බලා වැරැද්ද රජ ගෙදර බල්ලන්ගේ ම බව දැන සිංහාසනය යටට රිංගා ගත්තේය. රජු සිංහාසනයට පැමිණි පසු ඉදිරියට පැමිණ වැරදි කළ බල්ලන් රජ ගෙදරදී ම සිටියදි තම වර්ගයා නසන්නට නියෝග දුන්නේ ඇයිදැයි විමසීය. රජගෙදර බල්ලන් ගෙන්වා උන් ලවා වමනය කරවන්ට සලස්වා වැරැද්ද කළ බව තහවුරු කර පෙන්වීය.
එවිට රජු එය පිළිගත් පසු බෝසත් සුනඛයා රජුට අගතිගාමී නොවී නිවැරදි තීන්දු ගෙන දසරාජ ධර්මයෙන් රට පාලනය කළ යුතු අයුරු පෙන්වා දුන්නේය. සුනඛෝවාදය වන්නේ මෙයයි. මේ සුනඛෝවාදය කවර කලෙකත් කවර පාලකයෙකුටත් අදාළ වන්නේ ම ය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්ව විද්‍යාලය.


