පෙබරවාරි 4, 2021 – දිනමිණ කටාරම අතිරේකය
සාරධර්ම මතක් කරන යෝධ බල්ලා
පසුගිය ලිපියෙන් අප ඔබට කියා දුන්නේ අගතිගාමි රජුන්ට බෝසත් සුනඛයකු විසින් කළ සුනඛෝවාදයක් ගැනයි. අදත් එවැනි ම අපුරු පූජාවලී ප්‍රකාශනයක් ඔබ වෙත ඉදිරිපත් කරමු. ඒ සාරධර්ම නැති රටක සාරධර්ම හදන්නට ආ යෝධ බල්ලෙකු පිළිබද කථාවකි.
සාරධර්ම නැතහොත් සදාචාර ධර්ම ඕනෑම රටක සෞභාග්‍යයේ පදනමයි. සාරධර්ම වනාහී ඒ සමාජයේ උසස් සංස්කෘතික ලක්ෂණයක් ලෙස ද දැකිය හැකිය. සදාචාරය නැති සමාජය දුරාචාරයට මග කියයි.
එවිට මිනිසා දූෂිතයකු වී ලොව විනාශයට මග පෑදෙයි. බොහෝ සමාජ මිනිස් වාසයට නුසුදුසු වන්නේ ඒ සමාජයේ දුෂ්ට මිනිසුන්ගේ දුරාචාරයන් නිසාය. මංගල සූත්‍රයෙහි කියවෙන්නේ පතිරූපදේශයක් පිළිබඳවයි. සැබවින්ම මේ පතිරූපදේශ ගොඩනැගෙන්නේ එහි වසන මිනිසුන්ගේ ආකල්ප හා ක්‍රියාකලාප හේතු වෙනි. විශේෂයෙන් රටක සමාජයක ආගමික අංශ පාලකයන් නිලධාරීන් ගුරුවරුන් පිරිහුණු කල්හි මුළුමහත් සමාජය ම පිරිහීම අනිවාර්ය අංගයකි.
පූජාවලිය සමාජ සාරධර්ම ගොඩනැගීමෙහිලා අපමණ මග කියූ කෘතියකි. යුද මානසිකත්වයෙන් ඔද්දල්ව ගිය වටපිටාවක සාරධර්ම ඉතිරි විය නොහේ. කතුවර බුදුපුත් තෙරණුවෝ වියත් යතිවරයකු වශයෙන් සාරධර්ම යායක් පූජාවලියෙන් ගොඩ නඟති. පූජාවලිය විශිෂ්ට සංස්කරණයක් කළ මහාචාර්ය ඒ.වී. සුරවීර එහි ප්‍රස්තාවනාවෙහි මේ පිළිබද ව මෙසේ කියවයි.
තම කෘතිය වඩාත් ගිහි පැවිදි ප්‍රබුද්ධ සමාජය කෙරෙහි යොමු කළේ ඔවුන් ආචාර ධර්මයන්හි පිහිටුවීම මුළු මහත් සමාජය ම බෝසතුන් බවට පත් කිරීමට පදනම වශයෙන් සලකන ලද හෙයිනි. පාලක පක්ෂයේ ධර්ම ප්‍රතිෂ්ඨාව ම සාධු සමාජයක් ඇති කිරීමට මෙන් ම යහපත් පැවැත්මට අදාළ වන පරිසරයක් නිර්මාණයට ද කරුණු වන බව පවසා ඇත. සතරවන පරිච්ඡේදය බෝධිසත්ව සංකල්පය වඩාත් තහවුරු කිරීම පිණිස ම ලියන ලද්දකි.
එහිදී කතුවරයා ඉදිරිපත් කරන බෝධිසම්භාර පූජා කථාව ඇසු ඇසුවන් බුදුබැව්හි ලෝභ කරවාපි යන තරම් වූවක් බව පැවසේ. මුළු පූජාවලිය පුරා දිස්වනුයේ ලෝක සත්ත්වයා බෝධිසත්ව සංකල්පය කෙරෙහි ඇදබැඳලීම පිණිස ගන්නා පරිශ්‍රමයකි.
ආචාරධර්ම ගොඩනැගීමෙහිලා බෝසත් ගුණ සමාජගත කිරීමට පූජාවලී කතාකරුවා තරම් උත්සුක වූ තවත් ගත්කරුවකු නොමැති තරම්ය. මහාචාර්ය සුරවීර දක්වන පරිදි ම සිවුවන පරිච්ඡේදය පුරා ම ඒ සඳහා දැරූ උත්සාහය දැකිය හැකිය. මේ එහි එන එක් අවස්ථාවකි.
“තවද මහාකණ්හ ජාතකයෙහි ශක්‍ර දේවේන්ද්‍රව ඉපිදැ ලෝකාර්ථ චර්යාව කළා වූ මාගේ බෝධිසත්වයෝ කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ ශාසනය විසි දහක් හවුරුදු පැවත නස්නට පටන්ගත් අවධියෙහි බොහෝ සතුන් අපා ගත වන සේ දැක උපන් මහා කරුණාවෙන් මිනිස්ලෝ වැඩ ශුනක ඝෝෂයෙන් තුන්ලෝ වෙවුල්වා සියලු සතුන් බය ගන්වා මෙතැන් පටන් බුදුන් කී පිළිවෙත් වරදවා පාපයක් කළ කෙනෙක් ඇත්නම් මේ ශුනකයා ලවා කවා මරවමි’යි බොහෝ දෙනා භය ගන්වා අවවාද දී සියලු සතුන් දහම් ගන්වා වැඩි සේක. එතැන් පටන් මනුෂ්‍යයෝ බෝසතුන් කෙරෙහි භය ඇතිව ගුණ රක්ෂා කරන්නාහු නටුවා වූ ශාසනයෙහි දහසක් අවුරුදු මුළුල්ලෙහි සසුන් පවත්වා ප්‍රතිපත්ති පූජාව කළහ.”
මේ බෝසත් සක් දෙවිඳුගේ වැඩකි. බෝසත් ගුණ ඇති කල්හි ලෝකයේ දියුණුව කෙරෙහි කටයුතු කරනවා විනා විනාශයට කටයුතු නොයොදති. කසුප් බුදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි දුරාචාර වූ බොහෝ මිනිසුන් අපා ගත වන අයුරු දකින බෝසත් සක්දෙවිඳු ජනතාව එයින් මුදා ගත්තේ යෝධ බල්ලෙකු ගෙන්වා බය කිරීමෙනි.
මෙම කථාව ජාතක පොතෙහි එන්නේ මහාකණ්හ ජාතකය නමිනි. එය සැකෙවින් මෙසේය.
බුදුහිමියෝ පෙර උසීරථ නම් රාජ්‍ය සමයෙහි සක් දෙවිඳුව උපන්හ. එකල සමාජය බරපතළ පිරිහීමකට පත්ව තිබූ අවධියකි. මනුෂ්‍ය ධර්ම නොතකා හරිමින් බොහෝ පැවිද්දන් ද පාලකයන් ද ජනයා ද අධර්මයෙහි යෙදුණු සමයකි. මිනිස් සිත දූෂ්‍ය වී බොහෝ අධර්මයෝ කළහ. මිනිසුන් තිරිසනුන් සේ හැසිරී අපායගාමී බවින් මිදෙන්නට නොහැකි විය. මේ පිරිහීම දුටු බෝසත් සක්දෙවිඳු මාතලී දෙව්පුත් කැඳවා ඔහු යෝධ බල්ලකුගේ වේශයට පත් කොට තමන් වැද්දෙකුගේ වේශය ගෙන මිනිස් ලොව එක් වීදියකට පැමිණ මහ හඬින් බුරන්නට වීය.
කන් පැලෙන තරම් වූ එම හඬින් බේරෙන්නට සියලු දෙනා උන් හිටි තැන් නොබලා දුව ගොස් රජ මිදුලට රැස් විය. බල්ලා ද දුව ගොස් තාප්පයෙන් රජ මිදුලට පැන බුරන්නට විය. රජතුමා වැද්දා ගෙන්වා මේ යෝධ බල්ලා මෙසේ බුරන්නේ ඇයි දැයි ඇසීය. සාගින්නේ යැයි කීය. රජ ගෙදර සියලු බත් ද නිමවා ගෙවල්වල උයා තිබූ සියලු බත් ද කා ඒත් බුරන්නට විය. එවිට වැද්දා කීවේ දැන් මිනී මස් ඉල්ලා බුරන බවයි. කවරෙකුගේ මස ඉල්ලන්නේදැයි ඇසූ කල වැද්දා කීවේ භික්ෂු ධර්ම නොරක්නා දූෂිත පැවිද්දන්ගේ මස්, භික්ෂුණී ධර්ම නොරක්නා දූෂිත භික්ෂුණීන්ගේ මස්, හොර තාපසයන්ගේ මස්, මිනිසුන් මුළා කරන පූජකයන් යන්ත්‍ර මන්ත්‍රකරුවන්ගේ මස්, රාජ ධර්ම අමතක කළ පාලකයන්ගේ මස්, දෙමාපියන්ට නොසලකන වසල දරුවන්ගේ මස්, දෙමාපියන් පරිභවයට ලක් කරන දරුවන්ගේ මස්, ගුරුන්ට නොසලකන වසල ශිෂ්‍යයන්ගේ මස්, අනාචාරයෙහි හැසිරෙන ස්ත්‍රී පුරුෂයන්ගේ මස්, මිනී මරා වස්තුව උපදවන්නන්ගේ මස්, ස්වාමියා උපයන ධනය වනසන භාර්යාවන්ගේ මස්, පංච දුෂ්චරිතයේ යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ගේ මස් යනාදී දූෂිත ලැයිස්තුවක් ම ඉදිරිපත් කළේය. සියලු දෙනාම මේ ලැයිස්තුවට ඇතුළත් බැවින් ජීවිත දානය ඉල්ලා හඬන්නට වූහ. එවිට වැදි වෙස් හළ සක් දෙවිදු මනුෂ්‍ය ධර්ම රකිමින් සදාචාරාත්මකව ජීවත් වන බවට පොරොන්දු ගෙන ආපසු දෙව් ලොවට ගියහ. එතැන් පටන් දහසක් වසක් සමාජය ශීලාචාර විය. අධර්මයෝ පලා ගියහ.
මේ අනුව අදටත් අපට යෝධ බල්ලකු වුවමනා කර තිබේ. කවුරුන් උදෙසාද? ලැයිස්තුව ලියන්නට බැරි තරම්ය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


