pujawali
උපාය දන්නෝ අපායේ නොවැටෙති යන්න සිංහල ජන ජීවිතයෙහි නිතර කියැවෙන උපහැරණයකි. ඇතැම්හු උපාය යනු කපටිකම ලෙස දකිතත් බුදුසමයෙහි උපාය හෙවත් උපායශීලී බව ඥානයක් ලෙස අගය කෙරෙති. කුඩා කල දරුවන්ට උපායශීලී බව උගන්වන්නට කපුටා සහ කේජු කෑල්ලේ කතාව, ඉබ්බා අහසින් ගිය කතාව, ඉබ්බා දියට දැම්ම කතාව ආදී බොහෝ ජනකථා උගන්වයි. මීට අමතරව තවත් බොහෝ හරබර ජනකතා පවතී.
 
එයින් පෙනෙන්නේ සාමාන්‍ය ජන දිවියේදී උපාය ජීවිතය පහසු කරවන අංගයක් වූ බවයි. සාර්ථක නායකත්වයකට අනිවාර්යයෙන් උපායශීලීත්වය අවශ්‍යය. උපාය නොදන්නා අය බොහෝ අමාරුවේ වැටෙති. වැඩ වරද්දා ගනිති. ඇතැම් විට උපාය නොදන්නා බව මෝඩ බවේ ලක්ෂණයක් ලෙස ද ගත හැකිය.
 
බුදු දහම තුළ කෙනෙකුගේ දියුණුවට හේතු වන ඥාන තුනක් විග්‍රහ කෙරෙයි. එනම් ආය කෞශල්‍ය ඥානය, අපාය කෞශල්‍ය ඥානය, සහ උපාය කෞශල්‍ය ඥානයයි. ආය කෞශල්‍ය ඥානය යනු දියුණුව ඇති කර ගැනීමේ දක්ෂකම පිළිබඳ නුවණයි. අපාය කෞශල්‍ය ඥානය යනු පිරිහීමේ කරුණු දැනගෙන ඉන් වැළකී සිටීමට හැකි නුවණයි. උපාය කෞශල්‍ය ඥානය යනු ස්ථානෝචිත ප්‍රඥාවෙන් හෙවත් තැනට සුදුසු නුවණ භාවිත කොට දියුණුව ඇති කර ගැනීමයි.
 
මේ අනුව උපාය යනු ඥානයකි. කපටි කුහක ප්‍රතිපදාවක් නොවේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දීඝජානු කුල පුත්‍රයාට දේශනා කළේ උත්සාහය යනු ‘අලං කාතුං’ ලෙසය. එනම් ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු නුවණ භාවිත කිරීම බවයි. බෞද්ධ සාහිත්‍යයේ එන කුණ්ඩලකේශී කතාවේදී ඇය මෙම උපාය භාවිත කොට සොර සැමියාගෙන් දිවි බේරා ගෙන උතුම් රහත් මෙහෙණියක් වන අයුරු දැකිය හැකිය.
 
මෙම උපාය කෞශල්‍ය ඥානය බෝසත්වරුන් අපමණව ප්‍රගුණ කළ අයුරු ජාතක කථා පරිශීලනයෙන් පෙනේ. පූජාවලී කතු බුද්ධපුත්‍ර හිමියෝ බෝසතුනගේ මෙම උපායශීලී ඥානය බොහෝ පූජාවන් ලබන්නට හේතු වූ අයුරු ගෙනහැර දක්වති. එවන් අවස්ථා දෙකක් පිළිබද පාඨක අවධානය යොමු කිරීම මෙහිදී සිදු වෙයි.
 
එකක් පඤ්චායුධ ජාතකයයි. අනෙක වානරින්ද ජාතකයයි. පළමුව පඤ්චායුධ ජාතකය පිළිබඳ කතාකරුවාගේ විවරණය දක්වමු.
 
“තවද, පඤ්චායුධ ජාතකයෙහි බ්‍රහ්මදත්ත රජහට පුත්ව දුනු මුගුරු කඩු සිරි අඩයටි යන පඤ්චායුධ නිමවා දත් හෙයින් පඤ්චායුධ නම් කුමාරව සොළොස් හැවිරිද්දෙහි තක්සලා නුවර ගොස් සූසැට කලාශිල්පයන් නිමවා නැවත බරණැස් නුවර වඩනා වූ මගේ බෝධිසත්වයෝ සුචිලෝම නම් යක්ෂයාට අසුව වීර්ය පාරමිතාවෙන් ඔහු ජය ගෙන ප්‍රඥා පාරමිතාවෙන් බණ කියා ඔහු සංතෝෂ කරවූදෑය. ප්‍රසන්න වූ ඒ චණ්ඩ යක්ෂයා පවා මාගේ බෝධිසත්වයන්ගේ ජීවිතය පූජා කළේය.”
 
මෙම කතාව උපාය කෞශල්‍ය ඥානය බෝසතුන් විසින් භාවිතයට ගෙන දිවි බේරා ගත් අයුරු කදිමට නිරූපණය වන තරමක සෝපහාසයෙන් ද පිරි කථාවකි. බෝසත් පඤ්චායුධ කුමාරයා තක්සලාවට ගොස් ශිල්ප හදාරා එන විට දුටු දුටුවන් අල්ලා කන යක්ෂයකුට හසු විය. බෝසත් කුමාරයා යක්ෂයාගෙන් බේරීම සදහා විෂ කැවූ ඊතලයක් ගෙන විද මරමියි සිතා විද්දේය.
එම ඊතලය යක්ෂයාගේ රෝමවල ඇලුණි. කුමාරයා තමා සතු ඊතල පනහ ම විද්දේය. පනහම රෝමවල ඇලුණේය. යක්ෂයා ඇඟ කිළිපොලා ඊතල පනහම බිමට හැලීය. කුමාරයා ඊළඟට කළේ කඩුවෙන් ගැසීමයි. කඩුව ද රෝමවල ඇලුණි.
 
එවිට කුමාරයා තමාගේ බලය බලවයි කියා වේගයෙන් දකුණතින් ගැසීය. දකුණත ද ඇලුණි. වමතින් ගැසීය. එය ද ඇලුණි. දකුණු පයින් ගැසීය. පය ද ඇලුණි. වම් පයින් ගැසීය. එය ද ඇලුණි. අනතුරුව හිසින් පහර දුන්නේය. හිස ද ඇලුණි. එවිට යක්ෂයා දැන් තා ගිලිමියි ගර්ජනා කළ විට කුමාරයා කීවේ මාගේ උදරයෙහි වජ්‍රායුධයක් ඇති බවත් මා ගිලි පසු එය තොපගේ බඩේ ඇනී තෝ මරණයට පත්වන බවයි. එයින් බියට පත් යක්ෂයා කුමාරයා හැර දැමීය. ජීවිතය බේරා ගත්තේය. මෙය ස්ථානෝචිත ප්‍රඥාවයි. උපායශීලිත්වයයි. තැනට සුදුසු නුවණයි.
 
මෙම නුවණ නූතනයාට ද වැදගත්ය. අවස්ථාවෝචිතව හැසිරිය යුතු පිළිවෙළ මෙයින් කියවේ. බොරුකාර කපටි යක්ෂයන්ගේ ග්‍රහණයට පත් වූ විටෙක භාවිතයට ගැනීම උචිතය. මේ භාවිතාව ඇත්නම් බොහෝ විපත්වලින් නුතනයේ වැනසෙන තරුණයන්ට එයින් බේරීමට හැකිය. විශේෂයෙන් සමාජ මාධ්‍යවල සැරිසරන කපටියන්ගෙන් බේරීමට මෙවැනි උපාය දැන ගත යුතුය. තවද කථාකරු වානරින්ද කථාව ද මීට ගෙනහැර පායි.
 
“තවද වානරින්ද ජාතකයෙහි කපි රාජන් වූ මාගේ බෝධිසත්වයෝ තමන් කමියි කට දල්වා සැඟවී ගලතල වැදහොත් දෙවිදත් කිඹුලා දැක දාන පාරමිතාවෙන් ඔහු වංචා කොට ඒ කිඹුලාගේ ම කටට පැන පියා ඕහට අසු නොව අභිමතස්ථාන ගත වූ දෑය.”
මෙය ද බෝසතුනගේ උපායඥානය ප්‍රකට කෙරෙන අපූර්ව කථාවකි. බෝසත් වඳුරා ගංගා තීරයක වෙසෙයි. ගංතෙර සිට ගඟ මැද ඇති ගල් තලාවට වේගයෙන් පැන එගොඩට ගොස් පලවැල කාබී නැවත මෙගොඩට එයි. ගඟ මැද වසන කිඹුලකු මෙය දකී. කිඹුලියට වඳුරාගේ හෘදයමාංසය කෑමට සිත් වී කිඹුලාට ඒ බව කියයි. කිඹුලා ගල මතට වී වඳුරා අල්ලන්නට බලා සිටී. වඳුරා මෙය දැන කිඹුලාට කට අරින්නැයි ද එවිට කටට පනින බව කියයි. මෝඩ කිඹුලා කට ඇරන් සිටී. එවිට ඔහුගේ ඇස් වැසෙයි. වඳුරා කළේ කිඹුලාගේ කටට නොව ඇඟට පැන ග‍‍ඟෙන් එගොඩට යාමයි.
 
මෝඩ කිඹුලා වඳුරාගේ මේ උපායට හසු විය. වඳුරා දිවි බේරා ගත්තේය.
 
මෙම කතාව ද පූජාවලි කතුවරයා දක්වන්නේ බෝසතුන් උපායශීලී වීමෙන් ජීවිත පූජා ලද බව පෙන්වා දෙන්නටයි. මේවා ආදිකාලීන සමාජයටත් වඩා බොරු වළවල්හි වැටී නැසෙන කපටියන්ගේ ග්‍රහණයන්ට හසු වී වැනසෙන නූතනයාට වඩාත් වටී. පැරැන්නන් උපාය දන්නෝ අපායේ නොවැටෙතියි කීවේ කට කහනවට නොවේ. මේ ධර්ම කතා මැනවින් ප්‍රගුණ කොටය.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound