මාර්තු 11, 2021 – දිනමිණ කටාරම අතිරේකය
පන්සිල් රැක ලැබිය හැකි තවුස් දම් අටක්
පසුගිය ලිපියෙන් අප විචාරයට ලක් කළේ පූජාවලියේ ආ පංචායුධ ජාතකයයි. උපාය දත් අය අපායට නොයන බවට ඇති ජනප්‍රවාදය තේමා කර ගනිමින් කළ මෙම විග්‍රහය ලොකු කුඩා හැමටම ස්ථානෝචිත ප්‍රඥාවෙන් ජීවත් වීමට මඟ පෙන්වීමකි. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ හයවැනි පරිච්ඡේදයේ එන තවත් වැදගත් කරුණක් වෙතටය. එනම් හොදින් පන්සිල් ආරක්ෂා කිරීමෙන් පංචාභිඥාලාභී තාපස දිවියකට පත් විය හැකි ආකාරය ගැන කියන පූජාවලී විවරණය වෙතටයි.
කතුවරයා මෙය අරඹන්නේ මෙසේය, ‘‘තවද, කණ්හ ජාතකයෙහි අසූ කෙළක් පමණ ධන ඇති බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් අට විධ වූ තපස් අතුරෙන් දන්තලුය්‍යක නම් වූ සවන තපස් කොට මුද්ධ ගසක් මුල සිද වාසය කරන දෑය“ යනුවෙනි. තාපස දිවිය ආදිකාලීන සමාජවල අනිවාර්ය අංගයක්ව පැවති අයුරු ඉතා පැහැදිලිය.
බ්‍රාහ්මණයෝ සමාජය කොටස්වලට බෙදා දැක්වූවා සේම ජීවිතය ද කොටස්වලට බෙදා දැක්වූහ. වර්ණාශ්‍රම ධර්ම ලෙසින් දැක්වූ මෙම බෙදීම නම් බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සහ සන්‍යාසී නම් විය. ආර්යයන්ගේ ළමා කාලය පූන නූල පැළඳවීමෙන් අවසන් කෙරෙන අතර බ්‍රහ්මචාරී අවස්ථාවෙහි සිප්සතර හැදෑරීම් කළ යුතු විය. විවාහ වී ගත කරන ජීවිතය ගෘහස්ත නම් වේ. වානප්‍රස්ථ අවස්ථාව යනු ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සතර කාරණා ප්‍රගුණ කරමින් ගත කළ යුතු කාලයයි. එම අවස්ථා ප්‍රගුණ කිරීමෙන් පසු වියපත් බවට පත් වන අතර එවිට සියලු දෙනා සන්න්‍යාසී හෙවත් වනගත වීම අනිවාර්ය විය.
ලෞකික දේවල් පිළිබද ආශාවන් බැහැර කොට මූලික අවශ්‍යතා පමණක් සපුරා ගනිමින් වනයෙහි ගත කළ මෙම
දිවිය තාපස දිවියකට සමානත්වයක් දැරීය. බුද්ධකාලීනව මෙවැනි තාපස සම්ප්‍රදායයන් පතා ජනප්‍රිය වී පැවතුණි.
අසිත තාපසයාගේ කථාව මීට හොඳම නිදසුනයි. ඔහු සුදොවුන් රජුගේ ගුරුවරයකු වූ බවත් බළන්ගොඩ ආනන්ද මෛෙත්‍රය මාහිමියෝ තම බුද්ධ චරිතය පොතෙහි මෙසේ දක්වති.
ශුද්ධෝදන රජතුමා ළපැටි වියෙහිදි සිප්සතර උගත්තේ එවකට සිංහ හනු රජුට පුරෝහිතව සිටි අසිත දේවල නම් බමුණු පඬිවරයාගෙනි. රජු කලුරිය කළ පසු හේ තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන වඩා පංචාභිඥා හා අෂ්ට සමාපත්තීන් ඉපිදවීය. මේ අනුව බුද්ධකාලීන තවුස් දිවිය බ්‍රාහ්මණයන් විසින් පනවන ලද සන්‍යාසි දිවියට වඩා වැදගත් ප්‍රභූ තත්ත්වයක පැවති බව පැහැදිලිය. සිදුහත් බෝසතාණෝ ද අභිනිෂ්ක්‍රමණය කොට පිවිසෙන්නේ තවුස් දිවියකටය. තවුසන් කසාවත දැරූ බවත් පැන් කෙණ්ඩිය අතදරා සිටි බවත් දැක්වෙයි. පූජාවලී හිමියන් මෙහි විවරණය කරන්නේ එවැනි තවුස් දම් අටක් පැවති බවයි.
අටවිධ වූ තපස් නම් කවර යත්, සපුත්කදාරකය, උවරීකය, සම්පත්තකාලකය, අනග්ගිපක්කිකය, අසම්මුට්ඨිකය, දන්තලුය්‍යකය, පවත්තඵලකය, වණ්ටමුත්තකය යන මේ අටතපස් නමි.
මෙම අට තපස් කවරේද යන්න පූජාවලී හිමියෝ පහදති. ඒ අනුව සපුත්තදාරකය යනු සමහර කෙනෙක් අඹුදරුවන් කෙරෙහි ආශාවෙන් ඔවුන් හැරපිය නොහී ඔවුන් සමඟම කෘෂි වණික් ආදී නිරවද්‍ය කර්මාන්තයෙන් දවස් යවන එහෙත් තාපස වෙස් ගෙන ගෘහස්ථ වාසයෙහි යෙදෙන තාපසයෝය. මොවුන් ද තත්කාලීන ආගමික කොට්ඨාසයක් ලෙස පිළිගන්නා ලද අතර විවිධ ආගමික කාර්යයන්හි නිරතව සිටි බවට ද තොරතුරු හමු වෙයි. සමහර කෙනෙක් වනගත නොවී නගර දොරටුවේ පන්සලක් කරවා එහි සිටිමින් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය කුලවල හා සිටුවරුන්ගේ දරුවන්ට අකුරු කරවමින් රන් රිදී මසු කහවණු නොපිළිගෙන උදු, මුං, තලතෙල්, සහල් ආදිය පිළිගෙන තවුසන් ලෙස පෙනී සිටි අය උවරීකය යන නම් විය.
මේ තවුසන් අධ්‍යයන, අධ්‍යාපන කාර්යයෙහි නියැළීමත් ගෘහස්ත ජීවිතවලින් බැහැරව පන්සල් ජීවිත ගත කළ හෙයින් ඔවුන්ගේ තපස මුල් තපසට වඩා උසස් වූ බව පූජාවලී හිමියෝ කියති.
තවත් සමහර කෙනෙක් තවුස් වෙස් ගෙන කිසිදු බැඳීමකින් තොරව ගමට වැද ආහාර සොයා ගෙන ලද දෙයකින් යැපෙමින් ඉතා සරල ජීවිතයක් ගත කළ තවුස් දිවිය සමපත්තකාලක නම් විය. මෙම තාපසයන් දෙවන තාපස කණ්ඩායමට වඩා උසස් වූ බව පූජාවලී තෙරුන්ගේ මතයයි.
තවත් සමහර කෙනෙක් ගින්නේ සකසා ගත් ආහාර පිළිකෙව් කොට වනයෙහි වන මුල් ඵලාඵල පමණක් අනුභව කොට තවුස්දම් රැකි පිරිස අනග්ගිපක්කික නම් විය. මේ තවුසන් තෙවන තවුසන්ට වඩා උසස් වූ බව දැක්විණ.
තවත් සමහර වීරපුරුෂ කෙනෙක් කිසියම් ආයුධයක් අතින් ගෙන වනයට ඇවිදිමින් දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය පමණක් තළා ගෙන ඉතා සරල ආහාරයක් ගෙන භාවනාවෙන් තවුස් දම් පිරූ අතර ඔවුන් අසම්මුට්ඨිකයෝ නමින් හැඳින්වූහ. එය සිව්වන තපස් කණ්ඩායමට වඩා උසස් විය. තවත් පිරිසක් වනගතව දුටු යම් ගසෙකින් පොතුමුල් ආදිය දතින් ගලවා කමින් උපෝෂථාංග සීලයෙහි යෙදෙමින් බ්‍රහ්ම විහාර භාවනාවෙහි යෙදුණු අතර ඔවුහු දන්තලුය්‍යක තාපසවරු වූහ. එම තවුසන් පෙර කී පස්වන තවුසන්ට වඩා උසස් වීය. තවත් පිරිසක් එක් විලක හෝ වන ලැහැබක වසමින් එහි මල් කොළ දලු අනුභව කරමින් නිත්‍ය ශීලය ආරක්ෂා කරමින් බ්‍රහ්මචර්යා තවුස් දිවියක් ගෙවන අය පවත්තඵලකයන් නමින් හැඳින්විණ. ඔවුන් පෙරකී තවුසන්ට වඩා උසස් විය.
සමහර වීර පුරුෂ කෙනෙක් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව වනගතව රුක්ඛ මූලිකව වසමින් තමන්ගේ අත්සීමාවට වැටෙන මල් ඵල කොළ ආදිය පමණක් කමින් තවුස් දම් පිරූ කොටස වණ්ටමුත්තක නම් විය. ඔවුන්ගේ තපස අන් සියලුම තවුස් ජීවිතවලට වඩා උසස් විය.
මේ සියල්ල ලබනුයේ කෙසේද යන්න පූජාවලී හිමියෝ මෙසේ දක්වති. මොහු අටදෙනම පඤ්චශීලය රක්ෂා කොට පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභී වෙත්මය. ගුණයෙන් වනාහී ක්‍රම ක්‍රමයෙන් ම උත්තමහයි දතයුතු. මේ අනුව පූජාවලී කතුවරයාණන් මෙවැනි තවුස් ජීවිත පිළිබඳ විමසුමක් ඉදිරිපත් කෙරුණේ හුදෙක් එදා දඹදෙණි යුගවල විසූ විවිධාකාර ආගමික කණ්ඩායම් සඳහා නිසි මඟ පෙන්වීමක් සඳහාය. එපමණක් නොව මෙය නූතන පිරිහී ගිය ඇතැම් පූජ්‍ය පූජක සියලු දෙනාටමත් බෙහෙවින් අදාළ වෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


