මිනිසා පෙළෙන දුක පිළිබඳව සාර්ථක ම අර්ථකථනය ලෝකයට හෙළිදරව් කළේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ය. බුදුදහම පිළිබඳ අසුබවාදීව සිතන මිථ්‍යා දෘෂ්ටික පිරිස් බුදු දහමට ගරහන්නේ ද මිනිසා දුක්ඛාන්තයකට ගෙන යාමක් බුදු දහමින් සිදුවන බව පෙන්වමින් ය.
 
එහෙත් යතාර්ථය වන්නේ බුදුහිමියන් විග්‍රහ කළ දුක ලෝකයේ ජීවත්වන සියලු දෙනාට ම විඳින්නට සිදුවන සත්‍යයක් වීම ය. බුදු හිමියන් වදාළේ ලෝකය දුකයි, ලෝකය දුකයි වශයෙන් ගෙන කළකිරීමෙන් ජීවත් වන්නට නොව, ලෝකය දුක් සහිත බව තේරුම් ගෙන එයින් මිදෙන්නට මඟ කියාදීමයි.
 
දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුපියාණෝ දුක පිළිබඳ විග්‍රහය ඉදිරිපත් කොට වදාළ හ. එයට අනුව ඉපදීම, ව්‍යාධියට පත්වීම, මරණය, අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, සිතූ දේ නො ලැබීම යනාදී කරුණු ඕනෑම පුද්ගලයකු දුකට පත් කරවන හේතු සාධක වෙයි. මෙම දාර්ශනික විග්‍රහයට අමතරව සාමාන්‍ය ජීවිතයේ දී මිනිසා පීඩාවට පත් කරවන විවිධ දුක්ඛ දෝමනස්සයෝ වෙති.
 
අපේ ජන ජීවිතයේ දී මිනිසුන්ගේ මුව වැදුණු සුවිශේෂී වදනකි දහ දුක් යන්න. බොහෝ දෙනා අර්ථයක් නො දනිතත් දහ දුක් වින්ද බව, සහ දුක් විඳින බව කතා බහේ දී පළ කරති. ජන දිවියට දහදුක් එකතු වන්නේ බුදු දහමිනි. බුදු හිමියෝ ධම්මපදයේ දී දහදුක් පිළිබඳ අර්ථවත් විග්‍රහයක් ඉදිරිපත් කළ අතර, දහ දුක් විඳින්නට හේතුවන කාරණා පිළිබඳවත් දේශනා කළ සේක. ඒ අනුව දණ්ඩ වග්ගයේ එන මාතෘකා කළ ගාථා පාඨයෙන් දහ දුක් විඳින්නට හේතුවන කාරණාව කියවෙයි. එයට අනුව යමෙක් දඬුවමට නුසුදුසු වූ නිදොස් පුද්ගලයන් කෙරෙහි ද, කිසිවකුට කිසි අයුරකින් වරදක් නො කරන අය කෙරෙහි ද දුෂ්ට සිතින්, ද්වේෂ සහගත සිතින් වැරැදි කරන්නේ ද, දඬුවම් කරන්නේ ද එවැනි අයට දහදුක් විඳින්නට සිදුවන බව බුදුහිමියෝ වදාළහ. ඒ අනුව සත්පුරුෂ උතුම් මිනිසුන්ට නිරපරාදේ වැරැදි කරන, අපරාධ කරන අසත් පුරුෂ අධම මිනිසුනට ලෝකයෙහි දහ දුක්වලින් බේරී ජීවත්විය නොහැකි ය.
 
බොහෝ දෙනෙක් බොහෝ දුක් විඳිමින් තැවෙති. තමන් ඒ දුක් විඳින්නේ මෙලොව දී හෝ ඉහතාත්ම භවයක දී කළ වරදක් නිසා බව නො දනිති. දහදුක් පිළිබඳ කෙරෙන ධර්ම විග්‍රහයේ දී ඕනෑම කෙනෙකුට තමන් පෙළන විවිධ දුක්ඛ දෝමනස්සයන්ට හේතුව අවබෝධ කර ගත හැකි ය. ධම්මපද දණ්ඩ වග්ගයට අනුව මේ දුක් දහය විමසා බැලීම වටී.
 
ඵරුසං වේදනං – අත්පා කැඩීම්, කැපීම්, පහර වැදීම් වශයෙන් වන කටුක වේදනා ය.
මීට අමතර ව සුව කළ නොහැකි බොහෝ කල් පවත්නා හිස සිට දෙපතුළ දක්වා ශාරීරික වේදනා මීට ඇතුළත් වේ.
ජානිං – ධන පිරිහීම යි. දුක සේ උපයා ගත් සියලු චංචල නිශ්චල දේපළ සොබාවික විපත්වලට හසු වී විනාශ වී යාමයි.
සරීරස්ස භෙදනං – සිරුරු බිඳීම ය. හදිසි අනතුරු ආදිය හේතුවෙන් ශරීරාංග කැඩී බිඳී යාමයි. ඔත්පළ වීම විරූපීවීම ආදියත් මීට අයත් වේ.
 
ගරුකං ආබාධං – බලවත් රෝගවලට ගොදුරු වීමයි. මෙලොවදී ලැබෙන, සැප අහිමි කරවන කුෂ්ට, පිළිකා හා ඒඩ්ස් ආදී රෝගයි.
චිත්තක්ඛේපං – උමතු වීමයි. සිහි විකල් වීමයි. මානසික ආබාධ මෙන් ම යකුන්, පිසාචයන්, භූතයන් අරක් ගැනීම යි.
 
රාජතො උපස්සග්ගං – රජුන්ගෙන් වන උපද්‍රවයන් ය. උසස් තනතුරු අහිමි වීම සිරගත වීම, දේපළ රාජ සන්තක කිරීම ආදිය යි.
දාරුනං අබ්භක්ඛානං – අභූත චෝදනාවලට ලක් වීමයි. තමා නො කළ වැරැදිවලට හසුවී බරපතළ ලෙස ලජ්ජාවට පත්වීමයි.
පරික්ඛයං ච ඥාතීනං – නෑ හිතමිතුරන් අහිමි වී ගොස් කාත් කවුරුත් නො මැතිව අසරණ වීමයි. දරුවන් විසින් අතරමං කළ දෙමාපියන් ද මේ දුක් විඳින්නෝ ය.
 
භොගානං පභංගුරං – භෝග සම්පත් වැනසී යාමයි. කෙත්වතු, අස්වැන්න විනාශ වී යාමයි. රන් රිදී, මුතු මැණික්, මිල මුදල් විවිධ හේතු නිසා වැනසී යාමද මේ දුක්වලට අයත් වේ.
 
අගාරානි අග්ගි ඩහති – ගේ දොර ගිනි ගෙන දැවී යාමයි. ලැව්ගිනි, සතුරු උපද්‍රව ආදිය හේතුවෙන් තම දේපළ ගින්නෙන් වැනසී යයි. ඇතැම් විට ජීවිත පවා ගින්නෙන් විනාශ වෙයි.
 
මේ අනුව මිනිසා දෛනික දිවියේ දී මුහුණ දෙන දුක් දොම්නස් රාශියක් ම මෙම විග්‍රහයට ඇතුළත් වෙයි. සමහරෙක් එම දුක් දොම්නස්වලට හේතුව නො දැන හූල්ලමින්, සුසුම් හෙළමින් ජීවත් වනු විනා එහි හේතු කාරක ධර්මානුකූල ව විමසා එවැනි දහදුක් විඳින්නට හේතුවන අකුසල කර්මවලින් මිදෙන්නට කල්පනා නො කරති.
 
උක්ත ගාථාවන්හි දහදුක් විඳින්නාට මරණයෙන් පසුව ද සුගතියක් නො ලැබෙන බව දැක්වෙයි. නිදොස් උතුමන්ට අපරාධ කළවුන් මරණයෙන් පසු දුගතියෙහි උපත ලබන බව ද දේශනා කොට තිබෙයි. දහ දුක් විඳිනවාට වඩා මැරෙන එක සැපක් යයි ඇතමෙක් පවසති. එහෙත් මරණයෙන් පසුව ද සුවයක් ලැබිය නොහැකි බව එයින් පෙනේ. අයහපත් කර්ම කළවුන්ට මෙලොව පරලොව තැවෙන්නට සිදුවන බව ද බුද්ධ දේශනාව යි. මේ ගැන ද සිතා අකුසල කර්මයෙන් මිදී ජීවත් වන්නට කල්පනා කළ යුතු ය.
 
දහදුක් පිළිබඳ කෙරෙන දේශනාවේ නිදාන කතාවේ විවරණය වන්නේ මුගලන් මහ රහතන් වහන්සේ පෙළන ලද කර්මය යි. සෘද්ධිමතුන් අතරින් අග තනතුරු ලද මුගලන් තෙරණුවෝ දෙව්ලොවින් ද, දුගතියෙහි උපන් අයගෙන් ද සජීවි නිදසුන් ගෙන කුසල අකුසලයෙහි විපාක පෙන්වමින් දහම් දෙසති. මිනිසුන්ගේ සිත් කුසලට යොමු කරවති. මිථ්‍යා දෘෂ්ටික පිරිස් සම්මා දිට්ඨියෙහි පිහිටුවති. මේ නිසා තීර්ථකයන්ට ලද ලාභ ප්‍රයෝජන අහිමි වී ගියේ ය. මුගලන් තෙරුන් ප්‍රාතිහාර්ය හමුවේ ජන සමාජයේ නව ප්‍රබෝධයක් ඇති වීය. මෙයින් වඩාත් වේදනා ලැබුවේ අන්‍ය තීර්ථක කොටස් ය. ඔවුහු මුගලන් තෙරුන් විනාශ කරන්නට සිතූහ. ඝාතන කල්ලියක් සොයා මසු දහසක් දී මුගලන් තෙරුන් විනාශ කරන්නට කුමන්ත්‍රණ කළහ.
 
මුගලන් තෙරුන් ගල් ලෙනක වාසය කරද්දී ඝාතකයෝ තෙරුන් ඝාතනය කරන්න සූදානම් වූහ. එක් වරක් නොව කිහිප වරක් ම තෙරුන් වහන්සේ සොරුන් මඟ හැර සෘද්ධියෙන් පලා ගියහ. පසුව තමන්ගේ පෙර අකුසල කර්මය මෙනෙහි කොට මේ මරණයෙන් තමාට නො මිදිය හැකි බව තේරුම් ගෙන ගල්ලෙනෙහි ම වැඩ සිටියහ. සොරුන් විසින් තමන්ට රිසි සේ තලා පෙළා මුගලන් තෙරණුවෝ ඝාතනය කෙරුණහ.
 
මේ සිදුවීම ගැන කැළඹීමට පත් දම්සභාවේ වැඩ සිටි තෙරුන් වහන්සේලා තෙදින් වැජඹි මහා මොග්ගල්ලාන තෙරුනට සිදු වූ දේ පිළිබඳ සංවේගයෙන් කතා කළහ. ඒ ඇසූ බුදුපියාණෝ උන්වහන්සේගේ පුරාකෘත අකුසල කර්මයෙහි බරපතළ බව පෙන්වා දෙමින් පෙර අත්බැවෙක සිය බිරිඳගේ බසට මුළාව අන්ධ මහලු දෙමාපියන් වනයට ගෙන ගොස් සොරුන් කරනා ලෙස අගවා පහර දී රිදවා වනයෙහි දමා ගිය අකුසලයට සසර පුරා විපාක ලබා රහත් වූ ජන්මයෙහිත් විපාක දුන් සැටි පෙන්වා වදාළහ. නිදොස් උතුමනට අවැඩ කිරීමෙන් මෙම දහ දුක්වලින් එකකට පැමිණෙන බව හා මරණින් පසු දුගතිගාමී වන අයුරු ද පෙන්වා දුන්හ. මුගලන් තෙරණුවෝ රහත් ව සිටි හෙයින් දුගතිගාමී නො වූහ. මුගලන් තෙරුන් පෙරදී දෙමාපියනට පහර දී තලා පෙළා දැමීම හේතුවෙන් උන්වහන්සේ ද පහර කා පිරිනිවන් පාන්නට සිදු විය.
 
තමා වැපිරූ බීජවල අස්වැන්න තමාට ම විඳින්නට සිදු වූ අයුරු මෙයින් පෙනේ. තමන් කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුරූප විපාක තමන් දායාදයක් ලෙස ලැබෙන බව මේ අනුව කල්පනා කළ යුතු ය. සාමාන්‍ය ජීවිතයේ දී අප මුහුණ දෙන දුක් දොම්නස් අපගේ ම කර්මයේ ප්‍රතිඵලයකි. ඇතැම් විට අපට අමිහිරි ශාරීරික වේදනා, එමෙන් ම ධන හානි හා ශරීරාංග දුබල වීම්, බරපතළ රෝගාබාධ, මානසික ව්‍යාධි, අස්ථාන චෝදනා තනතුරුවලින් පහ කිරීම්, සිරගත කිරීම්, නො කළ වැරැදිවලට හසුවීම් ඥාතීන්ගේ වෙන්වීම්, දරුවන් අහිමි වීම්, දෙමාපියන් අසරණ වීම් කෙත්වත් විනාශ වී යාම්, ගින්නෙන් සිදුවන හානි ආදී දහදුක්වල ඇතුළත් සියල්ල අහම්බයක් නො වන බව සිතන්න. ඒ සියල්ල කර්ම විපාකවල ප්‍රතිඵලයන් ය. නියාම ධර්මයන්හි එන කර්ම නියාමය යි.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය
අගලකඩ සිරි සුමන හිමි
 
බුදුසරණ පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound