pujawali
2021.03.25- දිනමිණ කටාරම අතිරේකය 
 
සමථකරණය ලොවට හෙළි කළ උමංදාව
 
පසුගිය සතියේදී අපි බලය පිළිබඳව සාකච්ඡා කළෙමු. විශේෂයෙන් බුදු හිමියන් දෙසූ බලය, සාහිත්‍යයෙහි නිරූපිත බලය, මැකියා‍ෙවලි අර්ථවත් කළ බලය සහ නූතන දේශපාලනය තුළ ක්‍රියාත්මක වන බලය පිළිබඳ සාකච්ඡා කොට පූජාවලියෙහි දැක්වෙන පංච බලයක් පිළිබද බෝසත් ගිරවකු රජකු වෙත කළ ජම්බුකෝවාදය පිළිබඳව විමසුවෙමු. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ පූජාවලියෙහි සමථකරණ සංකල්පය පිළිබඳවය.‍
 
සමථකරණය හෙවත් ගැටුම් නිරාකරණය අද ලෝකයේ ඉතා ප්‍රබල මාතෘකාවකි. පුද්ගල ගැටලු, සමාජ ගැටලු, ආයතන ගැටලු, මතවාද ගැටලු සහ රටවල් අතර පවතින ගැටලු ආදිය වශයෙන් සමථකරණය ඉතා පුළුල් විෂයයක් වෙත විහිද තිබේ. අප මෙහිදී විශේෂයෙන් සලකා බැලෙන්නේ පුද්ගලයන් අතරෙහි ඇති වන ගැටලු නිරාකරණය හෙවත් සමථකරණය පිළිබදවය. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙහි සමථකරණය ග්‍රාමීයව‍ ඉතා වැදගත් වී තිබෙන්නේ අධිකරණ අමාත්‍යංශය යටතේ රට පුරා ක්‍රියාත්මක කෙරෙන සමථ මණ්ඩල ක්‍රියාවලිය හේතුවෙනි. පොලිසිය වෙත පැමිණෙන ඇතැම් ගැටලු සාකච්ඡා කොට සාධාරණ විනිශ්චයක් දීම සඳහා පිහිටු වූ සමථ මණ්ඩලය ගමෙහි ප්‍රභූන් කණ්ඩායමක එකතුවකි. මෙම ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ දිවංගත ටිරෝන් ප්‍රනාන්දු අධිකරණ ඇමැතිවරයාටය. එය අද උසාවියට නොගොස් ග්‍රාමීය ගැටලු සමථකරණය කෙරෙන යුක්තිය පසිඳලීමේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් බවට පත්ව තිබේ.
දඹදෙණි යුගයෙහි සමාජය ඉතා සංකීර්ණව පැවති බවට තත්කාලීන මූලාශ්‍ර කරුණු සපයයි. පූජාවලියෙහි 34 වැනි පරිච්ඡේදයේ ලංකා ඉතිහාසය පිළිබඳ විවරණයේදී කාලිංග මාඝගේ සැහැසිකමින් විනාශ වූ රටක් නැව‍ත අලුතින් ගොඩනගන්නට යාමේදී ජන සමාජයේ ඇති වූ පිරිහීම් වළකා ගැනීම පහසු නොවන්නට ඇත.‍ මානව වටිනාකම් පිරිහී යෑම නිසා ගැටුම් උද්ගත වීම අනිවාර්ය වේ.
 
බුද්ධපුත්‍ර හිමියන්ට සිදු වූයේ ගැටලු නිරාකරණය සඳහා අවශ්‍ය ආදර්ශ සම්පාදනය කරලීමටය. අප බුදුන් බෝසත් සමයෙහි මහා ප්‍රඥා පාරමිතාව සපුරා ගත් උම්මග්ග ජාතකයෙහි මහෞෂධ නම් පණ්ඩිතව ඉපිද තමා ඉදිරියට ආ පුද්ගල ගැටලු රාශියක් නිරාකරණය කොට සමථ කළ අයුරු පූජාවලී කථාකරුවා මෙහිදී ගෙනහැර පායි.
 
”තවද මහා උම්මග්ග ජාතකයෙහි යව මැදුම්ගම සිරිවඩ්ඪන නම් ගෘහපතීහුගේ සුමනා නම් සිටු දුව කුස පිළිසිඳ දසමස් පුරා ශක්‍ර දේවේන්ද්‍රයා දෙන ලද දිව සඳුන් ගැටක් මිටින් ගෙන මව්කුසින් බිහිව උපන් කෙණෙහි ම අම්ම මහෞෂධයෙකැයි මෑණියන් හා කථා කොට ඒ ආශ්චර්ය දැක මහෞෂධ කුමාර යන නමින් ප්‍රසිද්ධව මාගේ බෝධිසත්වයෝ සත් හැවිරිදිව කුමාර ක්‍රීඩාවෙන් වැස දඹදිව බුද්ධෝත්පාද කාලයක් සේ ප්‍රශ්න ව්‍යාකරණයෙන් බබුළුවා මෙසේ වසන කල” යනුවෙන් මහෞෂධ කුමරුගේ බිහිවීමේ අසිරිය කතුවරයා කියා ති‍බේ. අනතුරුව මහෞෂධ විසඳූ සතළොස් පැණ සහ පඤ්ච පණ්ඩිත ප්‍රශ්න ද විසඳාලූ අයුරු කතාකරුවා විසිතුරුව පෙළ ගස්වයි. 
 
මෙම ගැටුම් නිරාකරණය පිණිස අවශ්‍ය වන තර්ක ඥානය මහෞෂධ ලබන්නේ තක්සලාවෙන් නොවේ. ඔහුගේම පාරිහාරීය ඥානයෙනි. එය ඔහුගේ ළමා කාලයේ සිටම අත්දුටු දේය. යුක්තිය නිවැරදිව පසිඳලන්නට ඔහුට නිවැරදි තර්කය හා ඊට අවශ්‍ය ඥාන පසුබිම මැනවින් පිහිටා තිබිණි. මේ පිළිබඳව වැදගත් අදහසක් පළ කරන්නේ උමංදාව පිළිබඳ ප්‍රශස්ත විවරණයක් කළ මාර්ටින් වික්‍රමසිංහයන්ය.
 
“උමංදාවෙහි පරිවාර කථා වූ කලී වස්තු විසින් ද සන්දර්භ විසින් ද නවීන කෙටි කතාවලට බෙහෙවින් ළං වෙයි. සමහර කථා බටහිර රහස් පරීක්ෂණ කථා වස්තුවලට මුල පුරන ලදැයි ඇතැම් විචාරකයන් හඳුන්වන කෙටිකතාවලට සමානය. උමංදාවෙහි පරිවාර කථාවන්ගෙන් දැක්වෙන්නේ ප්‍රත්‍යක්ෂය වහල් කොට ගෙන අනුමානයට බසින තර්ක ක්‍රමයයි. මේ කථා බෞද්ධ තර්ක ක්‍රමයෙහි නිර්මලත්වය හා නිවැරදි බව නගන නිදසුන් වැන්න.”
 
වික්‍රමසිංහ ඉතා නිවැරදිව දකින පරිදි ප්‍රත්‍යක්ෂය හා බැඳුණු තර්ක ඥානය ඔහුගේ ගැටුම් සමථකරණයේ මූලික පදනම විය. උමංදාව කථාවෙහි මහෞෂධයන්ගේ බුද්ධියත්, වේදේහ රජුගේ මෝඩකමත් නිරූපණය කරයි. මහෞෂධ පණ්ඩිතයන්ගේ චරිතයෙහි ඔවුන්ගේ ප්‍රකෘති ගතිගුණවලට නොගැළපෙති’යි විචාරකයකුගේ දෝෂාරෝපණයට හසුවන තැනක් නොදක්නා ලැබේ.
 
බෞද්ධ සාහිත්‍යයෙහි හමුවන බොහෝ කථා සුදු චරිත හෙවත් යහපත් චරිත වැඩිපුර ඉස්මතු කෙරෙන කථාම නොවේ. මිනිසුන්ගේ නුගුණ අපමණ ඉස්මතු කෙරෙයි. මාර්ටින් වික්‍රමසිංහගේ විචාරයට හසුවන මහෞෂධ චරිතය එකල පමණක් නොව මෙකල දී පවා වුව දැකිය හැකි චරිතයකි.
 
මාංස ප්‍රශ්නය ලෙසින් දැක්වෙන මෙහි ප්‍රථම ප්‍රශ්නයේ දී මස් වැදැල්ලක් ඩැහැ ගත් උකුස්සා පසුපස උඩ බලාගෙන දිව ගිය තරුණ පිරිස ගල්මුල්වල පය හැපී වැටී විනාශ වෙයි. මෙය බලා සිටි මහෞෂධ පඬිතුමා උඩ නොබලා උකුස්සාගේ සෙවණැල්ල පසුපස දිව ගොස් කෑගසා උකුස්සා බිම දමා ගැටලුව නිරාකරණය කරන්නේ උඩ බලා හසරක් නොදැන දුවන එයින් වැනසෙන නූතන පරපුර සංකේතවත් කරමිනි. ගොනෙකු උදුරාගෙන ගිය සොරකුගේ කථාව කියවෙන ගොන් ප්‍රශ්නය මහෞෂධ විසඳන්නේ “මම තොපට යුක්තිය දැහැමින් විනිශ්චය කොට ලමි. මා කී යුක්තියෙහි සිටුවූදැයි විචාරා” යනුවෙන් යුක්ති විනිශ්චය මත පිහිටාය.
 
සාක්ෂි විමසන මහෞෂධ ගොන් හිමියාගෙන් හා සොරුගෙන් ගොනුට කැව්වේ කවරක් දැයි අසා ගොනාට වමනය කරවා සැබෑ හිමිකරුවා සොයා දෙන්නේ ඉතා සාධාරණවය. මෙලෙසින්ම ග්‍රන්ථි ප්‍රශ්නයේ දී කාන්තාවක පැලඳි ආභරණයක් පැහැර ගන්නා සොර කාන්තාවක හා අරගලය විසඳන්නේ මෙම පලඳනාව සඳහා කවර සුවඳක් ගැල්වූයේදැයි දෙදෙනාගෙන් වෙනම විමසා පරීක්ෂා කිරීමෙනි.
 
නූල් කැටියක් පිළිබඳ කියවෙන සූත්‍ර ප්‍රශ්නය විසඳන්නේ එම නූල් කැටිය ඔතා ඇත්තේ කවරක් ඇතුළෙහි දමාදැයි දෙදෙනාගෙන්ම අසා ජනයා ඉදිරියේ එය පරීක්ෂා කර බැලීමෙනි. දරුවකුගේ අයිතියක් පිළිබඳ කියවෙන පුත්‍ර ප්‍රශ්නයේ දරුවාගේ නිසි හිමිකාරිය තීරණය කරන්නේ නූතන හුණුවටයේ දැක්වෙන අපූරු විනිශ්චය ක්‍රමවේදය පදනම් කොටගෙනය. එහිදී බිම ඉරක් ගසා ඒ මත දරුවා තබා අදින්නට සලස්වා දරුවාට සෙනෙහසින් අත්හැරි මව දරුවාගේ නියම මව ලෙස තෝරා දෙන්නේ සභාවෙන් ද එය අනුමත කර ගනිමිනි.
 
මෙලෙස පූජාවලී කතුවරයා මහෞෂධ චරිතය විවරණය කරන්නේ ලොව විශිෂ්ටතම මුල්ම සමථකරුවා ඔහු විය හැකිය යන අර්ථය ද ගම්‍යමාන කරවමිනි. 
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound