2021.03.18 දිනමිණ – කටාරම අතිරේකය
බලවතුන්ට කළ ජම්බුකෝවාදය
පසුගිය ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කළේ තාපස ධර්ම අටක් පිළිබද පූජාවලී විමසුමයි. සිල්වත් ලෙස ජීවත් වන අය මෙවැනි උසස් ජීවිත වෙතට යොමු වන අයුරු අපි පැහැදිලි කළෙමු. අද ලිපියෙන් ද ඔබ වෙත රැගෙන එන්නේ පූජාවලියේ සවන පරිච්‍ඡේදයෙහි එන බලවත් ඇත්තන්ට හෙවත් පාලකයන්ට කළ ජම්බුකෝවාදයයි. නැතහොත් රාජ ධර්මයට උපදෙස් දුන් බෝසත් ගිරවෙකු ගැනයි.
බුදුන්වහන්සේ බලය පිළිබද කළ දේශනා බෞද්ධ දේශපාලන සංකල්ප විමසීමෙන් දත හැකිය. අග්ගඥ්ඥ සූත්‍රය පහදන්නේ බලය පාලකයාට අවශ්‍ය වන්නේ සමාජයේ දේපළ ආරක්ෂා කරදීම වෙනුවෙනි. තම තමන් සතු බලය එක් කෙනෙකු වෙතට ලබා දීමෙන් බලවන්තයකු නිර්මාණය කර ගනී. ඔහු මහා සම්මත නම් වීය. පාලකයා නිර්මාණය වූයේ එතැනිනි. ඒ අනුව ජනතාවගේ බලය ගත් පාලකයා ඒ ජනතා අරමුණු ඉටු කළ යුතු වීම බෞද්ධ ඉගැන්වීමයි. අනතුරුව බලය ගැන කථා කළ චින්තකයා වූයේ මැකියාවේලිය. ඔහු ලියූ කුමාරයා පොතෙන් පාලකයා හොදින් හෝ නරකින් බලය ලබා ගත යුතු බවත් එය තහවුරු කර ගත යුතු බවත් කියා තිබෙයි. ලෝකයේ බොහෝ නුතන පාලකයෝ මැකියාවේලිගේ ගෝලයෝ වෙති.
එලුඅත්තනගලුවංසයෙහි සංඝබෝධි කුමාරයා කරන දෙසුම තුළ බලය පාලකයා අගතිගාමී කරන අයුරු පිළිබද ප්‍රබල අදහස් ඇතුළත්ය. මේ හැර බෞද්ධ සාහිත්‍යයේ අෂ්ට බලයක් කියවෙයි. එනම් දරුවන්ගේ බලය හැඩීමයි. ගෘහණියගේ බලය ක්‍රෝධයයි. සොරුන්ගේ බලය ආයුධයයි. රජුගේ බලය ඉසුරුමත් බවයි. නූගතුන්ගේ බලය කලහයයි. උගතුන්ගේ බලය විමසීමයි. බහුශ්‍රැතයන්ගේ බලය නුවණයි.
ශ්‍රමණයන්ගේ බලය ඉවසීමයි. මේ ආකාරයෙන් බලය පිළිබද දීර්ඝ රසවත් කරුණු සාහිත්‍යය තුළ අන්තර්ගතය. දඹදෙණි යුගය බලවත් රජුන්ගේ යුගයකි. දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු වනාහී එකල මෙකල සිටි ශ්‍රේෂ්ඨ දැහැමි නරපතියා ය. ඔහු බලය හොදින් ද නරකින් ද භාවිත කළේය. රට එක්සත් කරමින් ගැඹුරු සාහිත්‍යයකට මග පෙන්වීය. ඒ සඳහා නිතරම වියත් යතිවරුන්ගෙන් උපදෙස් පැතීය. බුදුපුත් තෙරණුවෝ පූජාවලියෙන් රජුන්ට උපදෙස් දීම නිතරම සිදු කළහ. මේ එවන් අවස්ථාවකි.
තවද තෙසකුණ ජාතකයෙහි ජම්බුක නම් ගිරා පණ්ඩිතව බ්‍රහ්මදත්ත රජුගේ සිංහාසන මස්තකයෙහි වැඩ හිද පඤ්ච බල ප්‍රශ්නය එරජු විචාල වේලෙහි
බලං පඤ්චවිධං ලෝකෙ – පුරිසස්මිං මහග්ඝතෙ
තත්ථ බාහු බලං නාම – චරිමං වුච්චතෙ බලං
භොගබලං ච දීඝායූ – දුත්යං වුච්චගෙ බලං
අමච්චබලං ච දීඝායූ – තතියං වුච්චගෙ බලං
පඤ්චබලෙනු පත්ථද්ධො – අත්ථං වින්දති පණ්ඩිතො
යනාදීන් පඤ්ච බල ප්‍රශ්නය හා දස රාජ ධර්මයෙන් ජම්බුකෝවාද නම් ධර්ම දේශනාවක් ගිරා තුඩින් කළ දෑය. ඒ දේශනාවෙහි සංතෝෂ වු රජු හා අමාත්‍යයෝ සේනාධිපති ධුරය දී අප්‍රමාණ වූ ධනයෙන් පූජා කළහ.
මේ ජම්බුකෝවාදය නම් ගිරවෙකු රජුට බලය පිළිබද කරන ලද අනුශාසනාවකි. මෙය කවර කලටත් ඔබිනය. විශේෂයෙන් කතුවරයා මෙම අදහස ඉදිරිපත් කරන්නේ තෙසකුණ ජාතක කථාව මූලාශ්‍ර කොට ගෙනය. මෙම ජාතක කථාවේ සංක්ෂිප්තාර්ථය මෙසේය.
බලය නිවැරදිව භාවිත කරන්නැයි කොසොල් රජුට දෙසූ මෙම ජාතකයෙහි අතීත කථාව රසබරය. බඹදත් රජුට දරු සම්පත් නොමැත. මෙය රජතුමා මහත් පීඩාවට පත් කළ කරුණක් වීය. දිනක් මගුල් උයනෙහි සල්ගසක තිබු කැදැල්ලක පක්ෂියෙකු දැමු බිජුවට තුනක් දැක ඒවා කවර පක්ෂියෙකුගේදැයි වැද්දන් ලවා පරීක්ෂා කර බැලීය. ඒ අනුව එකක් බකමූණු බිජුවටක් බව ද තවෙකක් සැලළිහිණි බිජුවටක් බව ද අනෙක ගිරා බිජුවටක් බව ද දැනගත් රජතුමා ඒ බිජුවට ඇමතිවරුන් තිදෙනෙකුට පවරා ආරක්ෂා කරන ලෙසත් පැටියෙකු ලද පසු වහාම තමන්ට දන්වන ලෙසත් කීය. ඒ අනුව මුලින් උපන් බකමූණු පැටියාට වෙස්සන්තර යයි ද ඊ ළඟට උපන් සැලළිහිණි පැටියාට කුණ්ඩලී යයි ද අනතුරුව උපන් ගිරා පැටියාට ජම්බුක යයිද නම් තැබීය. මේ මගේ දරුවන් යයි සිතා දරුවන් සෙයින් ම මෙම පැටවු රජ ගෙදර වැඩුණහ.
පසු දවසක මෙම දරුවන් තිදෙනා ම මහත් ගෞරවයෙන් රජ සබයට කැදවා ධර්මාසනයක් සකසා එහි හිදුවා පුත මා හැම දෙනාගේම සිත් ගන්නා රජෙකු වීමට කුමක් කළ යුතුදැයි විමසීය. දසරාජ ධර්මයෙන් රාජ්‍යය විචාරන ලෙස වෙස්සන්තර සහ කුණ්ඩලී යන දෙදෙනාම කියා සිටියහ. අනතුරුව ධර්මාසනයට නැගි ජම්බුක නම් බෝසත් ගිරවා රජුට ජම්බුකෝවාදය දේශනා කළේය. එනම් කිම?
රජ තුමනි ලෝකයේ මහත් වූ උත්සාහවන්ත රජෙකු හට බල පහක් වන්නේය.
1. අසහාය කාය බලයක් රජුට පැවතිය යුතුය.
2. රන්රිදී මුතු මැණික් සහිත භෝග සම්පත් ඇති බව ඊළඟ බලයයි.
3. සූර වීර ඇති මැති ඇමැතින් සහිත පරිවාර සම්පත් ඇති බව ද තවත් බලයකි.
4. ක්ෂත්‍රිය කුලයක හෙවත් උසස් පරපුරක ඉපදීම ද රජුට බලයකි.
5. මේ සියල්ලට ම වඩා ප්‍රඥා බලය ම උතුම් වන්නේය.
මෙහි දැක්වූ මුල් බල හතර ම පාලකයකු අගතියට ගෙන යාමට සමත් වෙයි. එහෙත් පුඥාවන්ත පාලකයා හැමකල්හි ම බබළන්නේය. ප්‍රඥාවෙන් තොර පාලකයා මහපොළවට එරෙහි වෙයි. එයින් මහපොළව කම්පා වෙයි. උපායශීලි නොවන බැවින් රාජ්‍යය දුක්පත් වෙයි. එහෙත් ප්‍රඥාසම්පන්න පාලකයා බහුශ්‍රැත බැවින් කාරණාකාරණ මැනවින් දනී. යුක්තායුක්ත දනී. එනිසා ම කීර්තිඝෝෂාව පැතිරේ. ලාභ සත්කාර ද නොඅඩුව ලැබේ. යනාදී වශයෙන් රජෙකුට ප්‍රඥාව මහත් වූ බලයක් වන අයුරු කියා දුන් බෝසත් ගිරවාගේ මෙම ජම්බුකෝවාදය වනාහී හුදෙක් අතීත බරණැස් පුරයට මතු නොව දඹදෙණි එදා යුගයටත් අප ජීවත් වන මෙදා යුගයටත් උතුම් වන්නේය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය


