pujawali
2021.06.03 දිනමිණ කටාරම අතිරේකය 
 
මහබිනික්මන් පූජා කථා
 
තෙමඟුල සැමරෙන උතුම් වෙසක් මංගල්‍යය කෙමෙන් ගෙවී යද්දී පූජාවලිය කියවන මම බුදු සිරිතේ අපමණ විසිතුරු කියවමින් විඳිමි. ඉන් බිඳක් පාඨකයන්ට ද මෙසේ ගෙනෙන්නේ හද පිරි බුදු අසිරිය ද පෙරටුවය. ගියවර විද්යුත් පුවත්පතෙහි පූජාවලී විමසුමෙහි අප මහභිනික්මන් පූජා කථා පරිච්ඡේදයෙහි කාලදේවල තවුසාගේ ඔබ නොදත් කතාව විමසුවෙමි. අද එම පරිච්ඡේදයහිම තවත් කොටසක් ඔබ වෙත ගෙනෙන්නේ සැබවින්ම මේ ඉතිහාසය බොහෝ සොඳුරු බැවිනි.
 
කාලදේවල තවුසාගේ පැමිණීම සුදොවුන් පියාටත් ලොවටත් ඉතා වැදගත් කරුණක් හෙළිදරවු කරන්නක් වීය. එනම් මේ කුමරා ගිහි ගෙයි නොරදනා බවය. මතු බුදු වන බවය. එය දැනගත් පියා වහා පුතු හොදින් පෝෂණය කරලීමට කටයුතු යෙදීය. ඒ අනුව පුතුට කිරිමවුන් සෙවීම හා බැඳුණු රසවත් තොරතුරු වප් මඟුලේ විසිතුරු සහ කුමරුට නම් තැබූ බමුණන්ගේ ඉතිහාස කථාව ද අද ඔබට විවරණය කරමි.
 
නම් තැබීම
 
කුමරා ඉපදී පස් දිනකින් නම් තැබීමේ මංගල්‍යය එළඹිණි. එහිදී සුදොවුන් මාලිගාවෙහි පැවති උලෙළ තත්කාලීන ඉන්දීය බමුණු සම්ප්‍රදාය හොඳින් පසක් කරවන්නකි. විශේෂයෙන් මෙහිදී මුළු මාලිගයම පවිත්‍ර කරවා සරහවා අසුන් පනවා බමුණන් 108 දෙනකු කැඳවා කිරෙන්ම පිසූ කිරිබත් රන්තලිවල බහා අනුභව කරවා බුලත් දී සත්කාර කොට දරුවාගේ ලක්ෂණ බලා සුදුසු නමක් තබන්නැයි සුදොවුන් රජු නියෝග කරයි. මෙහි බමුණු ආධිපත්‍යය කෙතරම් ද යන්න පසක් වනවා සේම කතුවරයා බුලත් දී සත්කාර කළා යැයි කීමෙන් එයට දේශීයත්වය කැන්දූ අයුරු ද දැකිය හැකිය.
 
අනාවැකිය
 
පැමිණි බමුණන් අතුරින් ජ්‍යෙෂ්ඨ බමුණෝ අටකි. ඔවුහු නම් රාම ය, ධජ ය, ලක්ෂණ ය, මන්තී ය, කොණ්ඩඤ්ඤ ය, භෝජ ය, සුයාම ය, සුදත්ත කොණ්ඩඤ්ඤ ය යන බමුණු ආචාර්යවරුය. එම අය අතුරින් ද වැඩිමහලු සත් දෙන කුමරාගේ ලක්ෂණ බලා මෙසේ කීහ:
 
“මේ කුමර ගිහි ගෙයි වෙසේ නම් චක්‍රවර්තී රජව සතර මහා ඉද්ධි ඇතිව සතර මහා ද්වීපයෙහි ආකාශයෙහි ඇවිද අනුශාසනා කෙරෙයි. මහණ වී නම් ලොව්තුරා බුදුව දිව්‍ය බ්‍රහ්මයන් අතින් වැදුම් ගන්නා පිං ඇත්තේ යයි සත් දෙනම දෙඇගිලි ඔසවා පෑහ.”
මේ කියමන අනුව කුමරා පිළිබඳ ප්‍රධාන නිමිති දෙකක් ප්‍රකාශ වෙයි. එක්කෝ සක්විති රජ වන බව ය. නැතහොත් බුදු වන බවය. එහෙත් මේ අතරෙහි සිටි සුදත්ත කොණ්ඩඤ්ඤ නම් බමුණා එතැන සිටි බාලම බමුණාය. ඔහු එකැඟිල්ලක් ඔසවා මේ කුමරා ඒකාන්තයෙන් බුදුවන්නේ යැයි ප්‍රකාශ කළේය. ඒ අනුව මේ කුමරු මතු ලොවට සිද්ධාර්ථයක් කරන බැවින් සිද්ධාර්ථ යැයි නම් තැබූහ. අනතුරුව එම කොණ්ඩඤ්ඤ නම් තාපසයා තවුස් වෙස් ගෙන ඇවිදිනා කල බෝසතාණන් අභිනිෂ්ක්‍රමණය කළ කල්හි තවත් තාපසවරුන් හතර දෙනකු ද එක්ව පස්වග තවුසන් ලෙසින් ප්‍රසිද්ධව බෝසතුනට උපස්ථානයෙහි නියැළිණි.
කිරි මව්න් සෙවීම
 
කුමරුන්ගේ පෝෂණය පිණිස සුදොවුන් රජු කිරි මවුන් සොයන්නට විය. මෙහිදී කිරි මව්න් කවරාකාර අය විය යුතු ද යන්න පූජාවලී කතුවරයා ඉදිරිපත් කරන අදහස තත්කාලීන ඉන්දීය මතය ද ලාංකේය මතය ද යන්න සැක සහිතය. කෙසේ වෙතත් මෙය තත්කාලීන පොහොසතුන්ගේ සංකල්පයක් වූවාට සැක නැත. කතාකරුවාගේ දැක්වීම මෙසේය:
 
“ඉතා උස් වූ ගෑනුන් ඔර හිද කිරි බොන දරුවන් කර ඔසවා කිරි බොන හෙයින් ග්‍රීවා දික් වෙයි. ඉතා මිටි වූ ස්ත්‍රීන් ඇකයේ හිද කිරිබොන දරුවන් කර නමා බොන හෙයින් බද කර වෙයි. ඉතා ස්ථූල වූ ස්ත්‍රීන් ඇකයෙන් වඩනා දරුවන් බකල වූ පා වෙයි. ඉතා දුර්වල වූ ස්ත්‍රීන් වඩනා දරුවන් කලවේ සීන් වෙයි. ඉතා එළලි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි හුණු වන හෙයින් හුණු කිරි පූ දරුවන් ඇඟ ලවණ ඇති වෙයි. ඉතා කැලි වූ ස්ත්‍රීන්ගේ තනයේ කිරි සිහිල් වන හෙයින් ඇල් කිරි පූ දරුවන් ඇඟ මස් පිපිසලු වෙයි. කියා මේ වරද සයින් දුරු ව උසුත් නොවන මිටිත් නොවන ස්ථූලත් නොවන දුර්වලත් නොවන එළලිත් නොවන කැළිත් නොවන ස්ත්‍රීන් ම තෝරා සිය ගණන් කිරිමව්න් ලූහ.”
 
බෝසත් කුමරාගේ උසස් පෝෂණය කවරාකාරයෙන් සිදු වූවාද යන්න මේ අනුව පසක් වෙයි.
 
වප් මඟුල සහ කෘෂි සංකල්පය
 
බෝසතුන් පස් මස් වූ කල්හි සුදොවුන් රජුගේ වප් මඟුලට කුමරු ද රැගෙන කිරි මව්වරු කුඹුරට ගියහ. එම වප් මඟුල් උලෙළෙට සහභාගී වූ ගව පිරිස කවරාකාරයෙන් සරසා පැවතියේ ද යන්න පූජාවලී කතුවරයා අපූරු වර්ණනාවක යෙදෙයි:
 
“ගොනුන්ගේ අංවල රිදී කුප්පි බහා කර සුදු මල් කඳු බැඳ යොදා සිටුවන ලද රජ්ජුරුවන් අතට වඩනා නගුල ඝනරන් පතින් වසා මංගල වෘෂභරාජයන්ගේ අංවල රන් කුප්පි බහා කර රන්වන් මලින් සරහා පිට රන් සැදින් වසා යොදා සිටුවන ලද. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් වමතින් රන් නගුල ගෙන දකුණතින් රන් කැවිට ගෙන සිට ගත් කල අටතුරාසියක් මඟුල් ඇමතියෝ මඟුල් වෙස් ගෙන රිදී නගුල් රිදී කැවිටි ගෙන සිටගනිති.”
 
අපූරු වර්ණනාවෙන් මේ උද්ධෘතයක් පමණි. සැබවින්ම මේ වැනුම සුන්දරය. බස මනහරය. රාජකීය වප්මගුල් උලෙළක අසිරිය පාඨක සිතෙහි මැවෙයි. අප ද එම කෙත්බිමට කැඳවූවාක් වැන්න. කෙසේ වෙතත් මේ වප් මඟුල වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ ආනාපානසතිය වැඩූ කුමරුට පියාගේ දෙවන වැදුම සිදු වූ හෙයිනි. එය දැක්වූයේ මෙසේය:
 
“පුතණුවන් සිරිපතුල් සුං දෙක තමන් හිස් මුදුනෙහි තබා වැඳ සන සනා මෙසේ දෙවන වාරයෙහි පිය මහ රජ්ජුරුවෝ මාගේම ස්වාමිදරු වූ මාගේම ගුරු වූ මාගේම මිත්‍ර වූ මාගේම දෙවි වූ මාගේම බඹ වූ මාගේම ලෝක ස්වාමියාණන්ට නමස්කාර පූජා කළහ.”
 
යනාදි වශයෙන් මේ කුමරුගේ උපත ලොවට මහා අසිරිමත්ම උපතක් වන අයුරු දඹදෙණි සමාජයේ පාඨකයාට ප්‍රකට කරන්නට කතාකරුවා දැක් වූ ප්‍රවීණත්වය නූතන ලේඛකයකු හට ළං විය නොහැකි තරම් නොවේ ද?
 
 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound