මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි.

අපේ ඉතිහාසය විමසා බලන්නට අපට උරුම අපූර්ව සාහිත්‍යයකි වංසකතා. පාලි හා සකු සාහිත්‍යය ඇසුරෙන් මෙම සාහිත්‍යාංගය අපට හිමි විය. රඝුවංශය වැනි සංස්කෘත වංසකතා මෙන් ම බුද්ධවංශ, අනාගත වංශ වැනි පාලි වංසකතා ඇසුරෙන් අපගේ වංශ කථා සාහිත්‍යය බිහි වන්නට ඇතැයි සිතිය හැකි ය.

ශ්‍රී ලංකාවේ දී වංසකතා සාහිත්‍යය නව මගකට අවතීර්ණ වන්නේ පූජනීය වස්තු මූලාශ්‍රය කොට වංසකතා සාහිත්‍යයක් බිහි වීමෙනි. බෝධීන් වහන්සේ, දළදා වහන්සේ ඇතුළු පූජනීය වස්තුන් අපට ලැබුණු විට ඒවායෙහි පරම්පරාව, ඉතිහාසය මතු නොව ඒවාට කළ යුතු පුද පූජා පිළිවෙළ ද ලියා තැබීමට අවශ්‍ය විය. එය නවතම සාහිත්‍යාංගයක් අපට එක් කිරීමෙනි. බෝධි වංශය, දළදා සිරිත, කේසධාතු වංශය, ථූපවංශය වැනි වටිනා කෘති එයින් අපට උරුම වේ.

තවත් පසෙකින් වංසකතාව විකසිත වන්නේ පුද්ගලයන් වටා ද වංසකතා ලියන්නට පෙළඹීමෙනි. දඹදෙණි කාලයෙහි පාලියෙන් ලියැවෙන හත්ථවනගල්ල විහාර වංශය එවැන්නකි. අත්තනගලු විහාරයේ වංශ කථාව ලියනු අටියෙන් මේ කෘතිය රචිත වුව ද සැබවින් ම සිරිසඟබෝ චරිතයේ විශිෂ්ටත්වය කියාපෑම එහි අරමුණ විය.

මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි. ක්‍රි .පූ. හයවන සියවසෙහි සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මෙම මහාවංසයට ඇතුළත් ය. මහාවංසය ලියැවෙන්නේ පස් වන සියවසෙහි මහානාම නම් මහාවිහාරයික භික්ෂුවක් අතිනි.

මහාවංස කතුවරයා ග්‍රන්ථාරම්භයේ දක්වා ඇති පාඨයක් විමසා බැලීම මහාවංසයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරවයි. පැරැන්නන් විසින් සම්පාදිත වූ එය ඇතැම් තැනෙක ඉතා විස්තර සහිතව ද තවත් තැනෙක ඉතා සංක්ෂිප්තව ද ඇති අතර, තවත් තැනක් පුනරුක්තයෙන් ගහන ය. මේ දෝෂයන්ගෙන් මිදී අවබෝධ කර ගැනීමට හා ධාරණය කර ගැනීමට පහසු අන්දමින් පහන් සංවේගය ඇති කරවමින් රචිත මෙම ග්‍රන්ථයේ මුඛ පරම්පරාවෙන් පැවත ආ පුරාවෘත්ත ඇතුළත් වේ.

උක්ත උද්ධෘතය තුළ මහාවංස කතුවරයා මහාවංසයට මුල් වූ කෘතියක් ගැන සඳහන් කරයි. එය එක් කෘතියක් නොව කෘති කිහිපයක් ද වන්නට ඇත. විශේෂයෙන් දීපවංශය නමැති කෘතියක් මේ වන විටත් සම්පාදිත ව පැවතුණි. පස් වන සියවස දක්වා ලංකා ඉතිහාසයෙහි කරුණු සංක්ෂිප්තයක් දීපවංශයෙහි දැක් වේ. ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංශය ඇගයේ. මහානාම හිමියන් පස් වන සියවස දක්වා ලංකාවේ ඉතිහාසය ගොඩ නගද්දී දීපවංශාගත තොරතුරු ඉතා වැදගත් මූලාශ්‍රයක් කොට ගන්නට ඇතැයි සිතිය හැකි ය.

කරුණු ඉදිරිපත් කිරීමේ දී දුර්වලත්වය හේතුවෙන් දීපවංශයට මහාවංසය තරම් ශ්‍රේෂ්ඨ ස්ථානයක් වංශකතා සාහිත්‍යයේ දී හමු නොවේ. එහෙත් මහාවංසගත නොවූ ඇතැම් කරුණු ගවේෂණය කරන ඉතිහාසඥයෝ අදත් දීපවංශය ද සමීප කෘතියක් සේ භාවිත කරති. මේ අනුව මහාවංස කතුවරයා පළ කරන මුල් කෘති අතර එක් කෘතියක් ලෙස දීපවංශය දැක්වීම නිවැරැදි ය.

මේ හැර මහාවංසයට මුල් වූ සිංහල කෘතියක් පිළිබඳව ද වංසකතාකරුවන්ගේ අවධානය යොමු වෙයි. එය වංසත්ථප්පකාසිනී නම් මහාවංස ටීකාවෙහි දැක්වෙයි. බුද්ධඝෝෂ අටුවාකරණයක් සමග පාලි බසෙහි මතු වූ ප්‍රබෝධය හේතුවෙන් මෙම සිංහල වංශකතාව මාගධියෙන් තබන්නට යෑම හේතුවෙන් පාලි මහාවංසයක් ලියැවෙන්නට ඇතැයි ද ඇතැමෙක් කල්පනා කරති. එපමණක් නොව බුද්ධඝෝෂ අටුවා කෘතින් ද මහාවංසකරුවාට මූලාශ්‍රය වන්නට ඇත. විශේෂයෙන් සීහලට්ඨ කතා අටුවාවෙහි ඇතුළත් බොහෝ කරුණු මහාවංසකරුවා තම කෘතියට පාදක කරගන්නට ඇත. ඒ අනුව කතුවරයා පවසන ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඔස්සේ මහාවංසය සැකසෙන්නට ඇත. එනම් දීපවංශය, සිංහල වංසකතාව සහ සීහලට්ඨ කථා යන්න යි.

මහාවංසකරුවාගේ රචනා රීතිය කුමක් ද යන්න ආරම්භක පාඨයෙහි දැක්වූයේ ග්‍රන්ථයන්හි පැවති සංක්ෂිප්ත අවස්ථා විස්තර කරමින් ද, විස්තරාත්මක අවස්ථා සංක්ෂිප්ත කරවමින් ද, පුනරුක්තයන් බැහැර කරමින් ද කළ බවයි. විශේෂයෙන් සංක්ෂිප්තකරණයේ දී ඉතා වැදගත් පාරම්පරික ඥාන සම්භාරයක් අපට අහිමි වූවාට සැක නැත. කෙසේ වෙතත් මහාවංසය යනු මූලාශ්‍ර ග්‍රන්ථවල පදානුපදික පරිවර්තනයක් නොව ඉතාම ස්වාධීන රචනා රීතියකින් වැඩුණු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස ඇගයීමට ලක් කළ හැකි ය.

මහාවංස කතුවරයා මහාවිහාරික භික්ෂුවක ලෙස ථෙරවාදයේ මුර දේවතාවකු වී සිටියේ ය. යන්න අවිවාදිත ය. මූලාශ්‍රයන් හි සැකෙවින් විවරණය වූ දුටුගැමුණු චරිතය මහාවංස කතුවරයා පරිච්ඡේද ගණනාවකින් විවරණය කරන්නේ ද ඒ නිසා විය යුතු ය. මහාවංස කතුවරයා මෙම වංසකතාව රචනා කරන්නේ පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය පිණිස ය. කර්තෘ බෞද්ධ භික්ෂුවක වූ හෙයින් එවැනි අදහසක පිහිටියා වන්නට ඇත. රජවරුන්ගේ බලපරාක්‍රමය ආදිය උසස් ලෙස වර්ණනා කළ ද අවසානයේ සියල්ලන් මරුගේ වසඟයට ගිය බව දක්වන්නේ උක්ත අදහසෙහි පිහිටා විය යුතු ය.

ආශ්චර්යවත් කථා පුවත්වලින් මහාවංසය පිරී පැවතිය ද කතුවරයා ගේ වැඩි ම අවධානය යොමු වී ඇත්තේ ලංකා ඉතිහාසය වාර්තා කර තැබීම කෙරෙහි ය. විශේෂයෙන් රජ කෙනකුගේ පාලන කාලය තුළ බුද්ධාගමේ දියුණුව පිණිස කළ පුණ්‍යක්‍රියා මෙහි වාර්තා කෙරිණි. මීට හේතුව ආගම මනුෂ්‍ය ජීවිතයේ ප්‍රබල අංගයක් ව පැවතීම නිසා විය යුතු ය. තත්කාලීන දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් තතු සියල්ල වාර්තා කර තබන්නට කතුවරයා එතරම් උත්සුක වූ බවක් නො පෙනේ.

ඇතැම් කල්පිත මත ඉවත ලා ඉතා පරික්ෂාවෙන් බැලූ විට මහාවංසය ලංකාවේ ඉතිහාසය පිළිබඳ විවරණය කෙරෙන විශ්වාසනීය මූලාශ්‍රය ලෙස විද්වත්හු පිළිගනිති. විශේෂයෙන් ශිලා ලේඛනගත කරුණුවල සත්‍ය අසත්‍ය බව නිශ්චය කර ගැනීමට මහාවංසය ප්‍රබල සාධකයක් ව පවතී. එමෙන් ම ශිලා ලේඛනගත රාජ පරම්පරා තීරණය කර ගැනීමට මහාවංසය මඟ පෙන්වයි. බොහෝ විට ශිලා ලේඛනමය කරුණු හා මහාවංසයේ තොරතුරුවල සාම්‍යයක් පවතී. මේ නිසා මහාවංසයේ ඓතිහාසික අගය බොහෝ පඬිවරුන්ගේ අවධානයට යොමු විය. ජෝර්ජ් ටර්නර්, හර්මන් ඕල්ඩෙන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් වැනි බටහිර උතුන් මෙන් ම ආනන්ද ගුරුගේ වැනි දේශිය උගතුන් ද ඒ අතර විශේෂයෙන් දැක්වෙයි.

ක්‍රි. ව පස්වන සියවසේ ලියැවෙන්නට ආරම්භ කළ මහාවංසය මේ දක්වා අඛණ්ඩ ව රචනා වීම ද විශේෂ කරුණකි. එය ආරම්භයේ සිට 1978 දක්වා කොටස් පහකින් රචනා කොට තිබේ. පළමු කොටස ආරම්භයේ සිට ක්‍රි. ව. 301 දක්වා ද, එතැන් සිට 1815 දක්වා දෙවැනි කොටස ද, 1815 සිට 1936 දක්වා හතරවන කොටස ද, 1956 සිට 1978 දක්වා පස්වන කොටස ද ලෙසින් ඉතිහාසය රචනා කර තිබෙයි. එහි හය වන කොටස 1978 සිට 2010 දක්වා වර්තමායේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලේඛනගත වෙයි. මහාචාර්ය විමල් බලගල්ල හා මහාචාර්ය මාලනී ඇඳගම දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ලේඛක මඬුල්ලක් විසින් මෙම කාර්යය මෙම වසරේ දී නිමාවට පත් කෙරෙනු ඇත.

සිංහල ඉතිහාසයේ අසිරිමත් වංසකතාව මහාවංසය දැයට ආභරණයකි.

මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound