2021 දෙසැම්බර් 16 – දිනමිණ කටාරම අතිරේකය
පියාගේ මිසදිටු බව දුරු කළ දියණිය.
පසුගිය ලිපියෙන් අප අවධාරණය කළේ ‘ජටිල දමනය‘ පිළිබඳවය. බොරු රහතුන් ලෙසින් පෙනී සිටිමින් සමාජය මුළාවට පත් කරන නූතන මිසදිටුවන්ගේ ස්වභාවය ද එයින් ධ්වනිත විය. පූජාවලී හිමියන් මිසදිටුවනට තදින් පහර දෙන්නේ දඹදෙණි යුගයේ විසූ මිසදිටුවන් දෙස ද බලාගෙන බව පැහැදිලිය. එය ඊටත් වඩා නූතනයට අදාළ වෙයි. මෙම සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයේ වැදගත්කම මේවා පිළිබඳ නිවැරැදි වැටහීමක් පාඨකයනට ලබා ගත හැකි බැවිනි. අද එය තවත් ඉදිරියට රැගෙන යමින් මිසදිටු පියකු එයින් මුදා ගන්නට දියණියක් ගන්නා වෑයම පිළිබඳව අවධානය යොමු කරමු.
මෙය මහානාරද කාශ්‍යප ජාතකයෙහි සංක්ෂිප්තාර්ථයයි. දමනය කළ ජටිලයන්ට ධර්මාවබෝධය ලබන්නට උපස්ථම්භක වූයේ මෙම ජාතක කථාවය. වර්තමානයෙහි ජටිලයන් තුළ පැවති ඒ ප්‍රබල මිසදිටු බව පෙරදීත් එලෙස ම පැවති බව තහවුරු කරලීම මෙන්ම එයින් මිදෙන්නට බෝසතාණන් වහන්සේගේ මැදිහත්වීම සිදු වූ ආකාරය මෙහිදී විවරණය කෙරෙයි.
විශේෂයෙන් ම මෙම අතීත කථා පුවත මාපිය දූදරු සබැඳියාව පිළිබඳව කරුණු කියන්නට හේතු වන අපූරු ධර්ම විවරණයකි. බුදු හිමියන් දේශනා කළේ මාපිය දෙදෙනා කර මත හිඳුවා සියවසක් පුරා උපස්ථාන කළේ වී නමුත් එයින් ඔවුන්ට වූ ණයෙන් නිදහස් විය නොහැකි බවය. එසේ නම් නිදහස් කළ හැකි ක්‍රමය ලෙස ඉගැන්වූයේ ශ්‍රද්ධාව, ශීලය, සම්මා දිට්ඨිය නැති මාපියන් එයින් මුදාගන්නට යම් දරුවකුට හැකි වන්නේ ද එවිට ණයෙන් නිදහස් විය හැකි බවය. හේතුව මෙම ධර්මතා නොමැති වීම අපායට මඟ හදන බැවිනි.
කතුවරයා උක්ත ඡාවී දුවගේ කථාව අරඹන්නේ මෙසේය.
“යටගිය සවස මියුළු නුවර අංගාති නම් රජෙක් වීය. ඔහුගේ රුජා නම් වූ ප්‍රිය වූ දුවක් ඇත. ඕ මනෝඥ වූ රූ ඇත්තීය. සූක්ෂම නුවණ ඇත්තීය. අචල වූ ශ්‍රද්ධා ඇත්තීය. තුදුස් ජාතියක් දක්නා ජාතිස්මරණ ඥාන ඇත්තීය. ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පලඳනා දුවට දෙයි. මැදි පොහොයෙන් පොහොයට දන් දෙනු සඳහා දහසින් බැඳි පියලි ද දෙයි. තෙමේද දැහැමෙන් සෙමෙන් රජ කරයි.“
පියා හා දුව කවරාකාර ද යන්න කතුවරයා කෙටියෙන් ම කියා දෙයි. විශේෂයෙන් දුවගේ උසස් ගුණ අවධාන ගත වෙයි. බෞද්ධ සමාජගත යෞවනියකගේ ගුණවත් හැඩ රුව කවරාකාර ද යන්න උගන්වයි. විශේෂයෙන් රූපය කතට අබරණය. එහෙත් නුවණ නැති සැදැහැ නැති රුවෙන් කවර පලයක් ද? රුජා සියල්ල සපිරිය. රූ ඇත. නුවණ ද ඇත. අචල ශ්‍රද්ධාව ද ඇත. ඈ හට පින් කරන්නට සියලු දේ පියාගෙන් ලැබේ. කල් යාමේදී සිදු වූයේ කුමක් ද?
අංගාති රජ දිනක් පොහෝ දිනෙක දහම් අසන්නට උයනට ගිය විට නිවටෙක් හමු වෙයි. එනම් නිගණ්ඨයෙකි. ඔහු වෙතට ගොස් “හිමි මෙලෝ පරලෝ පවු පින් විපාක විභාගය විශේෂයෙන් ම මට වදාළ මැනවැයි කීය.“ එවිට මෙම නිගණ්ඨයා රජුට කළ දෙසුම මෙසේය.
“මහරජ කුමක් කියවුද? මෙලොවක් පරලොවක් නැත. පින් නැත. පින් පල නැත. පවු නැත. පවු පල නැත. සුගති නම් නැත. දුගති නම් නැත“ ආදී වශයෙන් කිවූ කල එමොහොතේ ම මිසදිටු ගත. ඇතුළු නුවරට දිව යන රජුගේ සියලු දන්හල් බිඳ සුනු විසුනු කර දමයි. රජ ගෙට ගොස් සියලු පුර ස්ත්‍රීන්ට පංචකාමයෙහි අභිරත වෙන්නට නියෝග කරයි. මේ බව දත් රුජා දියණිය වහාම පියාණන්ගේ මිසදිටු බව බිඳින්නට සිතා පන්සීයක් කුමාරියන් ද සමඟ පියාගේ මාලිගාවට ගොස් පියාට කියා සිටින්නේ එළඹෙන පොහෝ දිනයෙහි දන් පිණිස යොදවන මසු දහස දෙන්නැයි කියාය.
එවිට පියා කියා සිටිනුයේ “පුතණ්ඩ පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමුව. ශරීරයට බොහෝ දුක් දුනුව. පිනෙහි පල නැත්ල. පවෙහිත් පල නැත්ල. එබැවින් පුතණ්ඩ, අද පටන් පින් නිසා දුක් නොගනුව. දන් නිසා මස්සකුත් වියදම් නොකරව. මෙලොවම සුව විඳ ගනුව“ දියණියට පියා විසින් කරනු ලබන මෙම අවවාදය ඉදිරියේ ඇය නොසැලෙයි. පියාට පින් පව් විපාක සහිත වන බව කියා දෙයි. සසර බිය පෙන්වා දෙයි. මෙසේ මිසදිටු වීමේ ප්‍රතිවිපාකයන්හි බරපතළ බව පසක් කරවන්නට උත්සාහ කරයි. ධර්ම දේශකයකු සේ බොහෝ නිදසුන් කථා පියා ඉදිරියේ කියා සිටී. කුසලාකුසල කර්ම විපාක ලැබෙන පිළිවෙළ පවා තම නුවණින් කියා දෙයි. එහෙත් දරුවන් කියන බණ පිළිගන්නට ඇතැම් පියවරුන් සූදානම් නොමැති සේ ම මේ පියා ද ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය.
අවසන කාන්තාවගේ බලය සත්‍යයේ බලයයි. ඈ දෙවියන් යදී. ඈ දෙවියන් යදින්නේ මෙසේය. “ලෝකපාල දෙවියනි, මෙලොවක් පරලොවෙක් ඇත්නම් ශ්‍රද්ධා ගුණයෙක් මාගේ ළෙහි පිහිටියේ නම් උපන් තැන් පටන් මේ ජාතියෙහි සිහිනෙනුත් බොරු නොකියෙම් නම් සබවක් ම රැකියෙම් නම් කෙළි පිණිසත් පවු නොකෙළෙම් නම් මපියාණන් වහන්සේ මේ මිත්‍යාදෘෂ්ටි නමැති කටුබැද්දෙන් ඇද එළියෙහි ලා පියත්ව යි කිය කියා යද යද දෙවුලොව දිසාවට වැඳ වැඳ සිටියහ.“
මෙය දීර්ඝ අයැදුමක සංක්ෂිප්තයකි. කාන්තාවගේ බලය නම් සත්‍ය බලය බව ලොවට කියා පෑමකි. සම්බුලා ජාතකයේ සම්බුලාව ද මෙසේ යදින කල සක් දෙවිඳුගේ අසුන පවා රත් වූ අයුරු දැකිය හැකිය. මේ අනුව මෙහිදී බ්‍රහ්ම රාජයකුව සිටි මහා නාරද කාශ්‍යප නම් බෝසතුන් ඇගේ හඬින් සංවේදීව තවුස් වෙස් ගෙන මිසදිටු පියාණන් වෙතට පැමිණෙයි. එවිට රජුට වූ දේ කතාකරුවා ඉදිරිපත් කෙරෙන්නේ හාස්‍යයෙන් ද පිරි වර්ණනාවක් ලෙසිනි.
“රජ බ්‍රහ්ම තේජසින් වෙවුලා සිංහාසනයෙන් බැස එකත්පස්ව සිට කියනුයේ තාපසයෙනි! තොපගේ ශරීරාලෝකයෙන් මෙනුවර හිරු උදයක් සේ ඒකාලෝකය. තෙපි කොයි සිට අවුදැයි විචාළේය. බ්‍රහ්ම රාජයෝ සිතන්නාහු මේ රජ පරලෝ නැතැයි දෘෂ්ටි ගත. පරලෝ ඇති බැව් මෝ හට කියා වාද උපදවමි යි සිතා රජ්ජුරුවෙනි පරලොව සිට අයිමි යි කීහ.“
මෙසේ ඇති වන වාදය ඉතා දීර්ඝ විය. අවසානයේ රජු දැමුණි. පරාජයට පත්ව තාපසයන් ළඟ වැඳ වැටෙන්නේ ගැත්තකු බවට පත් වෙමිනි. මෙය ඉතා රසබර පූජාවලි වර්ණනාවකි. දරුවන් දෙමාපියන්ට වූ ණයෙන් නිදහස් වන මාර්ගය ද මෙයින් කියවෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය