pujawali
2021.02.18 දිනමිණ – කටාරම අතිරේකය 
 
අසත්‍යවාදී ප්‍රබලයන්ට එරෙහිව සත්‍යයේ බලය පෑ අම්මා…
 
අප පසුගිය ලිපියෙන් සාකච්ඡා කළේ සාරධර්ම පිරිහී ගිය සමාජයක සාරධර්ම ගොඩනගන්නට පැමිණි යෝධ බල්ලකු පිළිබඳ පූජාවලි විමසුමකි. එලෙසින් අද ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ සත්‍යවාදී බව සමාජයෙහි තහවුරු කරන්නට පූජාවලි කතුවර බුදුපුත් හිමියන් දැරූ ප්‍රබල උත්සාහයකි.
 
සත්‍යය නොමැති වූ තැන අසත්‍ය රජ කරවයි. අසත්‍යය යනු බොරුවයි. බොරුවට කළ නොහැක්කක් නොමැති බවයි බෞද්ධ ඉ ගැන්වීම වන්නේ. බොරුව ජීවිතය කරගත්තන්ට මිනී මැරීම පවා සරලය. එතරම්ම බොරුව කෙනෙකු අගතියට පෙරළයි. මේ කරුණ බොසත්වරුන් වටහා ගන්නේ පාරමී දම් පුරන සමයේමය. බෝසත් චරිතයක පරමාදර්ශය නම් සත්‍යවාදයයි. මහා සුතසෝම ජාතකයේදී සුතසෝම බෝසතාණන් පෙන්වූ සත්‍යවාදය ඉදිරියේ මිනී මස් කෑ පෝරිසාදයා පවා දමනය කරන්නට හැකි විය. බෝසත් සිරිත පුරාම මේ උතුම් ගුණය දැකිය හැකිය. විශේෂයෙන් සත්‍යය සොයන බෝසතුනට අසත්‍යය බැහැර කළ යුතුම විය. ඒ වෙනුවෙන් කළ විශේෂ කැපකිරීම අප දකින්නේ සත්‍යය පාරමිතාවක් කොට සපිරීමෙනි. බෝසතුන් වෙතින් ප්‍රාණඝාතය, අදත්තාදානය මිථ්‍යාචාරය හා සුරාපානය සිදුව ඇතත් අනුන්ට අනර්ථයක් වන ලෙස බොරු කීමක් කිසිදා සිදුවී නොමැත. සත්‍යවාදී බව ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වෙයි. එනම් වාග් දුස්චරිතයෙන් මිදීම, පොරොන්දු කඩ නොකිරීම, ආත්මාර්ථය හෝ පරාර්ථය වෙනුවෙන් බොරුවක් නොකීම යනුවෙනි. මේවා බෝසත්වරු දිවි හිමියෙන්ම ආරක්ෂා කළහ.
දඹදෙණි සමාජය විවිධ කරුණු හේතුවෙන් දූෂිතත්වයට පත් වූ සමයකි. සාහිත්‍යධරයන්ට ධර්මකථා සමාජගත කරන්නට මෙතරම් ම අවශ්‍ය වූයේ ඇයි ද යන්න සොයා බැලීමේදී පෙනෙන්නේ ඒ යුගයේ මානව පරිහානිය ම ඊට හේතු වන්නට ඇති බවයි. විශේෂයෙන් සමාජයේ සිටි ප්‍රබලයන් වඩාත් පිරිහීමට පත්ව තිබූ අයුරු පූජාවලි ආරම්භයේ දක්වන ප්‍රකාශවලින් පෙනේ. මේ නිසා කතුතුමන් හැම විටම පිරිහීමට ඇමතීම මෙම ධර්මකථාවලින් පෙනේ. අද මෙම විවරණයෙන් පැහැදිලි කෙරෙන්නේ ඉහතින් සාකච්ඡා කළ සත්‍යවාදී බව ඇති කරන්නට කතුවරයා දැරූ ප්‍රයත්නයයි. මේ පූජාවලියේ සවන පරිච්ඡේදයේ සමාරම්භයයි.
 
‘‘මෙසේ සංසාරගතව ඇවිදින්නාවූ මේ මාගේ බෝධිසත්වයෝ කට්ඨහාරි ජාතකයෙහි බරණැස් රජුට දාව දිළිඳු වූ ස්ත්‍රියක කුසින් ඉපැද කට්ඨහාරී නම් කුමරාව තමන් වහන්සේ බිළිදි කල වඩා ගෙන ගොස් ඇමතිගණයා පිරිවරා හුන් රජුට පෙරට ව සිට මහරජ තොපට දාමේ තොප පුතණුවන් පවා ගෙන වඩාගන්ව. මාගේ ගෙය නැත. දොර නැත. හෝනා හිඳිනා තැන් නැත. මම ද අනුන් හිමියෙමි. තොප පුතණුවෝ කමි බොමියි හඬතියි ඒ මෑණියන් රන්රුවක් වන් පුතණුවන් පෑ පෑ මෙතෙපුල් කිකල පිරිස් මැද හුන් රජ ලජ්ජාවෙන් කරබා කෙල්ල තෝ කුමක් කියයි ද මපුතෙක් නොවෙයි කීහ. එබසට මෑණියෝ කිපී පුතෙක් නොවේ නම් අද බිම හී යේවා පුතෙක් වී නම් අහස් කුසම රඳා හිදුව යි කියා බෝසතුන් දෙකකුල ගෙන සපුමල් දමක් සේ අහසට දැමුව. මෙකප බුදුවන පිනැති මාගේ ඒ බෝසත් පැටවාණෝ එ‍ෙකණෙහි ආකාශයෙහි පලක් බැඳ හිඳ මතු ශුද්ධෝදන රජ වන පින් ඇති ඒ පිය රජහු මුහුණ ප්‍රේමයෙන් බලා පෙම් වඩා බුද්ධ ලීලායෙන් බණ කී දෑය. එකෙණෙහි සතුටු වූ දහසක් ඇමතියන් දෙදහසක් අත් නඟා වැඳ වැඳ තමන් අතට බස්නට ආරාධනා කළ කල පිය රජහු පෑ අතටම බැස ඇකය පිට හිඳ පෙම් වැඩූ සේක.“
 
මේ පූජාවලී විවරණයයි. මෙය කියවන කළ ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි විචාරක අවධානය යොමු වෙයි. පළමුවැන්නේ දරුවකුගේ අයිතිය තීන්දු කර ගන්නට නිසි පියා වෙතට ගිය කල ඒ පියා එය ගර්භාවෙන් ප්‍රතික්ෂේප කරන විට එයින් එම දරුවා බිහි කළ මව මුහුණ දෙන අසරණ භාවයයි. මෙය බොහෝ මව්වරුන් මුහුණ දෙන සදාතන ගැටලුවකි. අප රටේ ඇතැම් මුග්ධ පියවරුන් මෙවැනි අවස්ථාවන්හිදී දරුවා ද පොළොවේ ගසා මරා මව ද මරා දමන අවස්ථා කෙතෙකුත් වාර්තා වෙයි. රජවරුන් වැනි වරප්‍රසාදිතයන්ගේ අතින් අනාථව බිහිවන දරුවන්ගේ හිමිකම භාර ගන්නට ඒ පියවරු ඉදිරිපත් නොවෙති.
 
පසුගිය කාලයේ උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට මොණිකා රුවන්පතිරණ කිවිඳිය විසින් රචිත ලෙච්චමිගේ සිතුවිල්ලක් නමැති අපූරු පද්‍ය පංතියක් ඇතුළත්ව තිබුණි. කිවිඳිය එයින් කියා පෑවේ පූජාවලියේ විවරණය වන මෙම සමාජ අසාධාරණයයි. එනම් වතු හාම්පුතුන් නිසා පීඩිත ගැහැණුන් ගැබ් ගෙන බිහිවන දරුවන් මරා දමා වළලන ඛේදවාචකයයි. එහි මෙම අසාධාරණය හඬගා කියන්නේ මෙසේය.
 
බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සීයට
කඳු යායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට ඇහෙන ලෙසට
කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට
 
ඒ අනුව කට්ඨහාරි බෝසත් පුතුට පමණක් නොව ඉතිහාසය පුරා මෙම ගැටලුව පැමිණ ඇති සෙයක් ධ්වනිත කෙරෙයි.
මේ පූජාවලී විමසුමේ අනෙක් වැදගත් කරුණ වන්නේ මුලදී විවරණය කළ සත්‍යයේ උතුම් බව පෙන්වා දීමයි. එදා ඒ මව පුතු‍ගේ අයිතිය පිළිනොගත් පියා ඉදිරියේ සත්‍යක්‍රියා කරන්නේ දරුවා අහසට විසි කරමිනි. සත්‍ය ජය ගන්නේ දරුවා බිමට නොවැටී අහසේ රැඳීමෙනි. ඒ හාස්කම බෝසත් පුතු නිසාය. එහෙත් නූතන මවකට එවන් සත්‍යක්‍රියාකොට මේ ප්‍රශ්නයෙන් කිසිදා ජයගත නොහැකිය.
 
මෙවන් අවස්ථාවන්හිදී බොරුවෙන් ජය ගන්නට මාන බලන නූතන බලවත් පියවරුන් ඉදිරියේ අසරණ වන මව්වරුනට අවසන මොනිකා රුවන්පතිරණගේ හඬ නැවතත් සත්‍යයේ ගීතිකාවක් කොට ගායනා කිරීම හැර අන් සරණක් නැත.
 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය
කොළඹ විශ්වවිද්‍යාලය
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound