මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි.
අපේ ඉතිහාසය විමසා බලන්නට අපට උරුම අපූර්ව සාහිත්‍යයකි වංසකතා. පාලි හා සකු සාහිත්‍යය ඇසුරෙන් මෙම සාහිත්‍යාංගය අපට හිමි විය. රඝුවංශය වැනි සංස්කෘත වංසකතා මෙන් ම බුද්ධවංශ, අනාගත වංශ වැනි පාලි වංසකතා ඇසුරෙන් අපගේ වංශ කථා සාහිත්‍යය බිහි වන්නට ඇතැයි සිතිය හැකි ය.
ශ්‍රී ලංකාවේ දී වංසකතා සාහිත්‍යය නව මගකට අවතීර්ණ වන්නේ පූජනීය වස්තු මූලාශ්‍රය කොට වංසකතා සාහිත්‍යයක් බිහි වීමෙනි. බෝධීන් වහන්සේ, දළදා වහන්සේ ඇතුළු පූජනීය වස්තුන් අපට ලැබුණු විට ඒවායෙහි පරම්පරාව, ඉතිහාසය මතු නොව ඒවාට කළ යුතු පුද පූජා පිළිවෙළ ද ලියා තැබීමට අවශ්‍ය විය. එය නවතම සාහිත්‍යාංගයක් අපට එක් කිරීමෙනි. බෝධි වංශය, දළදා සිරිත, කේසධාතු වංශය, ථූපවංශය වැනි වටිනා කෘති එයින් අපට උරුම වේ.
තවත් පසෙකින් වංසකතාව විකසිත වන්නේ පුද්ගලයන් වටා ද වංසකතා ලියන්නට පෙළඹීමෙනි. දඹදෙණි කාලයෙහි පාලියෙන් ලියැවෙන හත්ථවනගල්ල විහාර වංශය එවැන්නකි. අත්තනගලු විහාරයේ වංශ කථාව ලියනු අටියෙන් මේ කෘතිය රචිත වුව ද සැබවින් ම සිරිසඟබෝ චරිතයේ විශිෂ්ටත්වය කියාපෑම එහි අරමුණ විය.
මෙම පූජනීය සහ පුද්ගල වංසකතා අතරෙහි දැයේ වංසකතාව රචිත මහාවංසයක් අපට හිමිවීම ලොව අන් කවර රටකටත් නො ලද භාග්‍යයකි. ක්‍රි .පූ. හයවන සියවසෙහි සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය මෙම මහාවංසයට ඇතුළත් ය. මහාවංසය ලියැවෙන්නේ පස් වන සියවසෙහි මහානාම නම් මහාවිහාරයික භික්ෂුවක් අතිනි.
මහාවංස කතුවරයා ග්‍රන්ථාරම්භයේ දක්වා ඇති පාඨයක් විමසා බැලීම මහාවංසයේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරවයි. පැරැන්නන් විසින් සම්පාදිත වූ එය ඇතැම් තැනෙක ඉතා විස්තර සහිතව ද තවත් තැනෙක ඉතා සංක්ෂිප්තව ද ඇති අතර, තවත් තැනක් පුනරුක්තයෙන් ගහන ය. මේ දෝෂයන්ගෙන් මිදී අවබෝධ කර ගැනීමට හා ධාරණය කර ගැනීමට පහසු අන්දමින් පහන් සංවේගය ඇති කරවමින් රචිත මෙම ග්‍රන්ථයේ මුඛ පරම්පරාවෙන් පැවත ආ පුරාවෘත්ත ඇතුළත් වේ.
උක්ත උද්ධෘතය තුළ මහාවංස කතුවරයා මහාවංසයට මුල් වූ කෘතියක් ගැන සඳහන් කරයි. එය එක් කෘතියක් නොව කෘති කිහිපයක් ද වන්නට ඇත. විශේෂයෙන් දීපවංශය නමැති කෘතියක් මේ වන විටත් සම්පාදිත ව පැවතුණි. පස් වන සියවස දක්වා ලංකා ඉතිහාසයෙහි කරුණු සංක්ෂිප්තයක් දීපවංශයෙහි දැක් වේ. ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංශය ඇගයේ. මහානාම හිමියන් පස් වන සියවස දක්වා ලංකාවේ ඉතිහාසය ගොඩ නගද්දී දීපවංශාගත තොරතුරු ඉතා වැදගත් මූලාශ්‍රයක් කොට ගන්නට ඇතැයි සිතිය හැකි ය.
කරුණු ඉදිරිපත් කිරීමේ දී දුර්වලත්වය හේතුවෙන් දීපවංශයට මහාවංසය තරම් ශ්‍රේෂ්ඨ ස්ථානයක් වංශකතා සාහිත්‍යයේ දී හමු නොවේ. එහෙත් මහාවංසගත නොවූ ඇතැම් කරුණු ගවේෂණය කරන ඉතිහාසඥයෝ අදත් දීපවංශය ද සමීප කෘතියක් සේ භාවිත කරති. මේ අනුව මහාවංස කතුවරයා පළ කරන මුල් කෘති අතර එක් කෘතියක් ලෙස දීපවංශය දැක්වීම නිවැරැදි ය.
මේ හැර මහාවංසයට මුල් වූ සිංහල කෘතියක් පිළිබඳව ද වංසකතාකරුවන්ගේ අවධානය යොමු වෙයි. එය වංසත්ථප්පකාසිනී නම් මහාවංස ටීකාවෙහි දැක්වෙයි. බුද්ධඝෝෂ අටුවාකරණයක් සමග පාලි බසෙහි මතු වූ ප්‍රබෝධය හේතුවෙන් මෙම සිංහල වංශකතාව මාගධියෙන් තබන්නට යෑම හේතුවෙන් පාලි මහාවංසයක් ලියැවෙන්නට ඇතැයි ද ඇතැමෙක් කල්පනා කරති. එපමණක් නොව බුද්ධඝෝෂ අටුවා කෘතින් ද මහාවංසකරුවාට මූලාශ්‍රය වන්නට ඇත. විශේෂයෙන් සීහලට්ඨ කතා අටුවාවෙහි ඇතුළත් බොහෝ කරුණු මහාවංසකරුවා තම කෘතියට පාදක කරගන්නට ඇත. ඒ අනුව කතුවරයා පවසන ප්‍රධාන මූලාශ්‍ර තුනක් ඔස්සේ මහාවංසය සැකසෙන්නට ඇත. එනම් දීපවංශය, සිංහල වංසකතාව සහ සීහලට්ඨ කථා යන්න යි.
මහාවංසකරුවාගේ රචනා රීතිය කුමක් ද යන්න ආරම්භක පාඨයෙහි දැක්වූයේ ග්‍රන්ථයන්හි පැවති සංක්ෂිප්ත අවස්ථා විස්තර කරමින් ද, විස්තරාත්මක අවස්ථා සංක්ෂිප්ත කරවමින් ද, පුනරුක්තයන් බැහැර කරමින් ද කළ බවයි. විශේෂයෙන් සංක්ෂිප්තකරණයේ දී ඉතා වැදගත් පාරම්පරික ඥාන සම්භාරයක් අපට අහිමි වූවාට සැක නැත. කෙසේ වෙතත් මහාවංසය යනු මූලාශ්‍ර ග්‍රන්ථවල පදානුපදික පරිවර්තනයක් නොව ඉතාම ස්වාධීන රචනා රීතියකින් වැඩුණු සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස ඇගයීමට ලක් කළ හැකි ය.
මහාවංස කතුවරයා මහාවිහාරික භික්ෂුවක ලෙස ථෙරවාදයේ මුර දේවතාවකු වී සිටියේ ය. යන්න අවිවාදිත ය. මූලාශ්‍රයන් හි සැකෙවින් විවරණය වූ දුටුගැමුණු චරිතය මහාවංස කතුවරයා පරිච්ඡේද ගණනාවකින් විවරණය කරන්නේ ද ඒ නිසා විය යුතු ය. මහාවංස කතුවරයා මෙම වංසකතාව රචනා කරන්නේ පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය පිණිස ය. කර්තෘ බෞද්ධ භික්ෂුවක වූ හෙයින් එවැනි අදහසක පිහිටියා වන්නට ඇත. රජවරුන්ගේ බලපරාක්‍රමය ආදිය උසස් ලෙස වර්ණනා කළ ද අවසානයේ සියල්ලන් මරුගේ වසඟයට ගිය බව දක්වන්නේ උක්ත අදහසෙහි පිහිටා විය යුතු ය.
ආශ්චර්යවත් කථා පුවත්වලින් මහාවංසය පිරී පැවතිය ද කතුවරයා ගේ වැඩි ම අවධානය යොමු වී ඇත්තේ ලංකා ඉතිහාසය වාර්තා කර තැබීම කෙරෙහි ය. විශේෂයෙන් රජ කෙනකුගේ පාලන කාලය තුළ බුද්ධාගමේ දියුණුව පිණිස කළ පුණ්‍යක්‍රියා මෙහි වාර්තා කෙරිණි. මීට හේතුව ආගම මනුෂ්‍ය ජීවිතයේ ප්‍රබල අංගයක් ව පැවතීම නිසා විය යුතු ය. තත්කාලීන දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් තතු සියල්ල වාර්තා කර තබන්නට කතුවරයා එතරම් උත්සුක වූ බවක් නො පෙනේ.
ඇතැම් කල්පිත මත ඉවත ලා ඉතා පරික්ෂාවෙන් බැලූ විට මහාවංසය ලංකාවේ ඉතිහාසය පිළිබඳ විවරණය කෙරෙන විශ්වාසනීය මූලාශ්‍රය ලෙස විද්වත්හු පිළිගනිති. විශේෂයෙන් ශිලා ලේඛනගත කරුණුවල සත්‍ය අසත්‍ය බව නිශ්චය කර ගැනීමට මහාවංසය ප්‍රබල සාධකයක් ව පවතී. එමෙන් ම ශිලා ලේඛනගත රාජ පරම්පරා තීරණය කර ගැනීමට මහාවංසය මඟ පෙන්වයි. බොහෝ විට ශිලා ලේඛනමය කරුණු හා මහාවංසයේ තොරතුරුවල සාම්‍යයක් පවතී. මේ නිසා මහාවංසයේ ඓතිහාසික අගය බොහෝ පඬිවරුන්ගේ අවධානයට යොමු විය. ජෝර්ජ් ටර්නර්, හර්මන් ඕල්ඩෙන්බර්ග්, විල්හෙල්ම් ගයිගර් වැනි බටහිර උතුන් මෙන් ම ආනන්ද ගුරුගේ වැනි දේශිය උගතුන් ද ඒ අතර විශේෂයෙන් දැක්වෙයි.
ක්‍රි. ව පස්වන සියවසේ ලියැවෙන්නට ආරම්භ කළ මහාවංසය මේ දක්වා අඛණ්ඩ ව රචනා වීම ද විශේෂ කරුණකි. එය ආරම්භයේ සිට 1978 දක්වා කොටස් පහකින් රචනා කොට තිබේ. පළමු කොටස ආරම්භයේ සිට ක්‍රි. ව. 301 දක්වා ද, එතැන් සිට 1815 දක්වා දෙවැනි කොටස ද, 1815 සිට 1936 දක්වා හතරවන කොටස ද, 1956 සිට 1978 දක්වා පස්වන කොටස ද ලෙසින් ඉතිහාසය රචනා කර තිබෙයි. එහි හය වන කොටස 1978 සිට 2010 දක්වා වර්තමායේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලේඛනගත වෙයි. මහාචාර්ය විමල් බලගල්ල හා මහාචාර්ය මාලනී ඇඳගම දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ ලේඛක මඬුල්ලක් විසින් මෙම කාර්යය මෙම වසරේ දී නිමාවට පත් කෙරෙනු ඇත.
සිංහල ඉතිහාසයේ අසිරිමත් වංසකතාව මහාවංසය දැයට ආභරණයකි.
මොරටුව ලුනාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
2021 ඔක්තෝබර් 21 – දිනමිණ කටාරම අතිරේකය
බෝසතුනට එරෙහි වූ වසවර්ති මාරයා
පූජාවලී විමසුම පසුගිය ලිපියෙන් අප ඔබට කතා කළේ සුජාතාවගේ බාරය සහ බෝසතුන් බුදු වීමට පෙර දිනයෙහි දුටු සිහින පහක් පිළිබඳවය. ස්ථිරව ම තමන් වහන්සේ බුද්ධත්වයට පත් වන බවට මෙය හොඳම පෙර නිමිති බවට පත් විය. ඉන් පසු නේරංජනා නදියට ගොස් දිය නා පිරිසිදුව සුජාතාවගේ කිරි පිඬු වළඳා එම පාත්‍රය ද උඩු ගං බලා යාමට සලස්වා තවදුරටත් බුදුබව ලබනා බව තහවුරු කොට ගත්තේය. අනතුරුව ගයා සිරසෙහි ඇසතු බෝ මැඬට ගොස් වජ්‍රාසනය පනවා ගනිමින් ඇස් ඉස් මස් ලේ නහර වියළී ගිය ද බුදු වී මිස මෙම අසුනින් නොනැගිටිමි යි අධිෂ්ඨාන කොට දැහැන්ගත විය. මේ අවස්ථාව පූජාවලි කතුවරයාගේ වර්ණනයට හසු වූයේ මෙසේය.
“එකෙණෙහි මාගේ ස්වාමිදරුවෝ වජ්‍රාසනය දැක ඒකාන්තයෙන් අද බුදු වෙම්ම යයි කුල්මත්ව ඒ විදුරස්නට පැන නැගී බෝකඳට පිටලා නැගෙනහිර බලාගෙන මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියළී සුණුවිසුණු වේ නමුත් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි වීර්ය කොට මා ලැබ ගත්තා වූ මේ වජ්‍රාසනය හැරපියා බුදු නොව නැඟී නොසිටිම්ම යැයි චතුරංග සමන්වාගත වීර්යාධිෂ්ඨාන කොට ගෙන රන් ගල් මුදුනක් දුටු සිංහ පොව්වකු සේ වැඩ හුන් සේක.“
මෙම සිදුවීමෙන් කම්පිත වූ සුවිශේෂී කෙනෙක් විය. ඒ වසවර්ති මාරයාය. සියලු සැප සම්පතින් සපිරි පරනිම්මිත වසවර්තියෙහි දිව සැප විදුනා වූ වසවර්ති මාරයා තමාට වඩා ඉහළින් තවත් කිසිවකු සිටිනු දකින්නට අකමැති මාන්නක්කාරයෙකි. බෝසතුන් බුදු වූ කල්හි බුදු හිමියන් සිටින්නේ දිව්‍ය බ්‍රහ්මාදීන්ට ඉහළිනි. වසවර්ති කලබල වූයේ මේ නිසාය. වසවර්තිගේ සිතුවිලි පූජාවලී කතුවරයා බුදුපුත් තෙරිඳුන්ගේ ම වදනින් කියවීම වටී.
“සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දාත් මා නොයව යි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙත් මට අවකාශයක් නො පෑයේය.දැන් බුදු වෙමියි වජ්‍රාසන නැඟී හිඳගත. දැන් ඇසිල්ලක් පමා වීම් නම් බුදුව මට බොහෝ පරිහානි කෙරෙයි. අද ඔහු බුදු විය නොදෙමියි සිතා ………“
මෙලෙසින් සිතා ප්‍රකෝප වූ වසවර්තියා බුදු වන්නට නොදී කළ බාධාවෝ අපමණය. තම මර සෙනඟ රැස් කරවා වසවර්තිඝෝෂා නම් කෝලාහලයක් ඇති කළේය. එනම් ගැසූ බෙර හඬ දෙවියන් බ්‍රහ්මයන් වෙව්ලා සසළ කරන්නට තරම් ම වීය. එහෙත් බෝසතාණන් සිතුවේ මෙසේය.
“අද මාගේ වික්‍රම මුළු ලෝ වැසියෝ දක්නා වන්හයි සිතා උපන් සන්තෝෂයෙන් නිශ්චලව වැඩහුන්සේක් ම ය.“
එවිට වසවර්තියා පැමිණි අයුරු පුජාවලී කරුවා දකින්නේ මෙසේය.
“එකල වසවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමේඛලා නම් ඇත් රජෙකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම්දැයි සිතාලා පන්සීයක් සහිස් මවාලා ගිනිවට සේ දහසැක් රතැස් මවා දෙකපෝලයෙන් නික්ම තිබෙන භයංකර වූ දහසක් දළ මවා දහසක් අත් මවාගෙන ……“
ඔබට නිරන්තරයෙන් මේ අදහස සිහිපත් කෙරෙන්නේ ජයමංගල ගාථා අතරෙහි එන පළමු ගාථා පාඨයයි.
“බාහුංසහස්ස මභිනිම්මිත සායුධංතං – ගිරිමේඛලං උදිතඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිතවා මුනින්දෝ – තං තේජසා භවතු තෙ ජයමංගලානී“
මෙහි අරුත වන්නේ ආයුධ සහිත අත් සහසක් මවා ගෙන දරුණු ගිරිමෙවුල් ඇතු පිටට නැඟුණු සෙන් සහිත මරු පරදවා දානාදි පාරමී දහම් බලෙන් බුදුරජාණන් වහන්සේ ජයගත් සේක. ඒ බෙලෙන් ඔබට ජයමඟුල් වේවා. යන්නයි.
පූජාවලී කතුවරයා මෙම මාර පරාජය ඉදිරිපත් කරන්නේ ඉතාම උත්කර්ෂයෙනි. මෙතරම් උත්කර්ෂයට මෙය නංවා ලීමෙහි මූලික අරමුණ වූයේ බුදුගුණවල ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමයි. විශේෂයෙන් මේ සඳහා පැමිණි මාර සෙනඟෙහි ස්වරූපය කතාකරුවා ඉදිරිපත් කරන්නේ එහි සිටි ප්‍රේක්ෂකයකු ලෙසිනි.
මේ වර්ණනාව බලන්න.
“මේ සා මාර සෙනගෙහි දෙදෙනෙක් එක් වෙසක් නොගත්තහ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නොගත්තහ. සමහරු ඇත්වෙස් මවා දිවෙති. සමහරු අස් වෙස් මවා දිවෙති. සමහරු සී වෙස් මවා දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනක වෙස් මවා දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දිවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු නා, පොළොං, පිඹුරු, රාක්ෂස, යක්, වෙස් මවා දිවෙති…..“
බෝසතුනට මුහුණ දෙන්නට සිදු වූ ස්වභාවය සිතා ගන්නටවත් නොහැකි තරම්ය. කවර තරම් යුද පිටියක් මේ අනුව පවතින්නට ඇද්ද?
කතුවරයා බුදුන්ගේ බුදු වීමේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨත්වය මෙතුළින් මතු කරයි. ඒ ඔස්සේ ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාව භක්තිය ගොඩනැංවීමට ගන්නා වෑයම ද අප අමතක නොකළ යුතුය. බෝසතාණෝ මේ සියල්ල පරාජය කළේ දානාදී පාරමී බලයෙනි. අනතුරුව මේ සියල්ල තුළ බෝසතාණන් සෙලවිය නොහැකි බව දුටු වසවර්තියා බෝසතුනට එරෙහිව ගොඩ නැඟූ බලවේග පෙළහර පිටු ගණනාවක් විවරණය කරයි.
මහා සුළං රැලි, ඝන මහා වරුෂා, පර්වත වර්ෂා, ආයුධ වර්ෂා, අඟුරු වර්ෂා, අළු වර්ෂා, වැලි වරුෂා, මඩ වරුෂා, වස්වා ඒ කිසිවකින් බෝසතුනගේ සිවුරු රැල්ලකටවත් කිසිවක් කර ගත නොහී මහා අන්ධකාරයක් මැවීය. එහෙත් එය බුදුනට මහා ආලෝක පූජාවක් බවට පත් වීය. අනතුරුව චක්‍රායුධයෙන් දමා ගැසීය. පොළොව දෙකඩ කරන්නට සමත් මෙම ආයුධය බුදුනට මල් වියනක් වීය. අනතුරුව වසවර්තියාට වූ දේ වාර්තා කරන්නේ මෙසේය.
“එෙකණෙහි වසවත් මරු බුදුන් සොලවා ළිය නොහී කෝපාග්නියෙන් දිලිහී දිලිහී පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක් අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා දැන් දැන් තා දෙකකුල ගෙන පර සක්වළ ගසමි. මාගේ වජ්‍රාසනයෙන් වහා නැගී සිටැ කීය.“
අවසන වසවර්තියා දිව්‍ය ලෝකයට දිව ගොස් ලජ්ජාවෙන් තමාගේ සෙනඟගේ මුහුණ බැලිය නොහී යහනෙහි මුණින් වැටී සුසුම් ලලා වැද හොත් බව පූජාවලිය කියයි. මර දූවරුන් පැමිණෙන්නේ ඊට පසුවය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 ඔක්තෝබර් 14 – දිනමිණ කටාරම අතිරේකය
සුජාතාවගේ බාරය සහ බෝසතුන් දුටු සිහින පහ
පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ බෝසත් බිම්සර හමුව ගැනය. අප දැන සිටි මෙම හමුව පූජාවලී කතුවර හිමියන් දකින්නේ එදා එතැන සිට එය සජීවී ලෙසින්ම දුටුවකු සේය. එබැවින් එය රමණීය අරුත් ප්‍රතිපාදනයෙහි සමත්ය. අද ලිපිය වෙන් කරනු ලබන්නේ අනතුරුව වූ වැදගත්ම සිදුවීම් වූ සුජාතා සිටු දේවියගේ බාරය වෙනුවෙන් පෙර සූදානමක් ලෙස බෝසතුන් දුටු සිහින පහ පිළිබඳ වැනුම් ඉදිරිපත් කිරීම පිණිසය.
සුජාතා සිටු දියණියගේ බාරය නූතන ලාංකේය ජන සමාජයේ පැතිකඩක් විවරණය කෙරෙන්නකි. විශේෂයෙන් බුදු දහම හා බුද්ධාගම යනුවෙන් පැහැදිලිව අප සමාජයෙහි අංශ දෙකක් හඳුනාගත හැකිය. ත්‍රිපිටක ධර්මය බුදු දහමයි. එයින් පරිබාහිරව ජනතාවගේ ඇදහිලි විශ්වාස පද්ධතිය බුද්ධාගමය. අපගේ සංස්කෘතියෙහි මෙය හැඳින්වෙන්නේ සිංහල බුද්ධාගම යනුවෙනි. මේ පිළිබඳව කෙරුණු පර්යේෂණ රාශියක්ම අප සතු වෙයි. මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියන් විසින් ලියන ලද ‘සිංහල බුද්ධාගම‘ නමැති කෘතියෙහි ප්‍රස්තාවනාවෙහි මෙසේ දැක්වෙයි.
‘මේ අනුව මිහිඳු මාහිමියන් විසින් හඳුන්වා දෙනු ලැබූ ථෙරවාදී බුදු දහම සිංහල ආචාර්යවරුන් විසින් ස්වදේශිකයන්ගේ අදහස් උදහස් හා විශ්වාස ද සැලකිල්ලට ගනිමින් පවත්වා ගෙන එනු ලැබූ අයුරුත් බාහිර ඉගැන්වීම් ඇසුරින් සංවර්ධිත වූ අයුරුත් පැහැදිලි වෙයි. බුදු දහමේ ඇතැම් කරුණු වෙනස්ව ඇත. මේ වෙනස ඇති වීමේදී සිංහලයන්ගේ ජාතික හා දේශීය අනන්‍යතාව එයට පදනම්ව ඇති බව කිව යුතුය. එය අනෙකුත් ථෙරවාදී රටවල බුදු දහමින් වෙනස් වන අතර එය හැඳින්විය යුත්තේ සිංහල බුද්ධාගම නමිනි‘
මේ අනුව බුදු දහම ඇසුරින් ගොඩනැඟුණු සංස්කෘතිකාංග සිංහල බුද්ධාගම වූ බව පැහැදිලිය. මේ හැර මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ද ‘බුදු සමය හා පූජා චාරිත්‍ර‘යනුවෙන් පළ කළ සාරවත් ලිපි සංග්‍රහයක වැඩිදුර තොරතුරු දැකිය හැකිය.
ලාංකේය සිංහල බුද්ධාගමෙහි ප්‍රධාන අංගයක් ලෙස දෙවියන් උදෙසා වන භාරහාර දැක්විය හැකිය. විශේෂයෙන් දරු සම්පත් අපේක්ෂාවෙන් කරන බාරහාර වෙනුවෙන් නවගමුව දේවාලය ප්‍රධාන තැනක් ගනී. විශාල පිරිස් දිනපතා මෙහි පැමිණෙති. මේ සංකල්පය පුරාණ ඉන්දියාවේ පැවති අයුරු සුජාතා සිටු දේවියගේ බාරයෙන් පෙනේ. පූජාවලිය මේ පිළිබඳ දක්වන අයුරු මෙසේය.
‘මේ වෘක්ෂයෙහි දේවතාවාණෙනි. මම් මතු සම වූ ජාති හා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකී කුලුඳුලෙහි පුතෙකු ලදිම් නම් එතැන් පටන් හවුරුදු පතා ලක්ෂයක් අගනා කිරි බතකින් තොපට පූජා කෙරෙම්යි යාදිනි කළාය. පසුව ඕ තොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුලුඳුලෙහි යස නම් පුතෙකු ලදින් හවුරුදු පතා ඒ නුග ගස දේවතාවාට බිලියම් දෙයි‘
මෙවැනි බාරහාර වීම් පුරාතන ඉන්දියාවට පමණක් නොව නූතන ශ්‍රී ලංකාවට ද එකසේම වැදගත්ය. සුජාතා සිටු දුව ලබන පුතු මෙම බාරයේ ඵලයක්ය යන්න විශ්වාස කළ ඇය එයට කෘතවේදීත්වය පළ කරන්නේ අවුරුදු පතා වටිනාම කිරිබතකින් නුගයේ දෙවියන් පිදීමෙනි. විශේෂයෙන් පූජාවලිකරුවා මෙය දක්වන්නේ පළමුව දහසක් දෙනුන් හට වැල් මී කවා ඔවුන්ගෙන් ලද මීපැණි රසැති කිරි කකාරවා පන්සීයක් දෙනුන්ට පොවා උන්ගෙන් ලද කිරි කකාරාවා දෙසිය පනහක් දෙනුන් පොවා…. ආදී වශයෙන් අවසන දෙනුන් අට දෙනෙකුගෙන් ලද කිරිවලින්ම මෙම කිරි බත සැකසූ බවයි. තම බාරය පුදන්නට පුන්නා දාසිය පෙරාතුවම නුගය අවට පිරිසුදු කිරීමට යැවීය.
මේ අතරෙහි බෝසතාණෝ පෙර දින රැයෙහි අපූරු ස්වප්න පහක් දුටහ. මෙම ස්වප්න පහ පිළිබඳ බොහෝ දෙනා නොදනිති. පූජාවලී කතුවරයා තරම් අපූරු ලෙසින් මෙය දැක්වූ වෙනත් බුදුගුණ ග්‍රන්ථයක් නැත්තේය. එම සිහින මෙසේය:
01. ‘එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්‍රී යහනක් කොට හිමාලය පර්වතය මාවුලාවක් කොට සතර මහා සාගරයෙහි සතර ගානය ගලා ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින් උඩු බලා වැදහොත් සේක‘
02. එක් වේලෙක සුරක්ත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැන නැගී නගුලිසක් සාව සියක් යොදුන් ව වැඩි සදෙවුලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස් මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගනී‘
03. එක්තරා එක් පණුවෝ ජාතියක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙසේ වූ ලක්ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදී ගලා ගෙන දෙපත්ලේ පටන් දෙදණමඬල දක්වා පැන නැංගෝය‘
04. එක් වේලෙක අනේක වර්ණ වූ පැහැ ඇති ඉතා මනෝහර වූ රූ ඇති ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාද මූලයෙහි හිඳ ඇසිල්ලකින් තමාගේ පළමු වර්ණ හැර ඉතා සර්වාංග ධවලව ගොස් ඒක වර්ණව ගියෝය.
05. යෝජන ප්‍රමාණ වූ අමේධ්‍යපර්වතයක් (ප්‍රත්‍ය පහසුකම් පිරි) මුදුනට පැන නැගී ඔබමොබ සක්මන් කොට ඇවිදිනා සේක් කිසි අමේධ්‍යයකුත් ශ්‍රී පාදයෙහි නොවැකේ.
මෙම සිහින සියල්ල පරීක්ෂා කොට බලන බෝසතුනට වැටහී ගියේ තමන් ඒකාන්තයෙන්ම බුදුවීමේ පෙර නිමිති මේ තුළ පවතින බවයි. පළමු සිහිනය පෙන්වා දුන්නේ ඒකාන්තයෙන් බුද්ධ ඥානය ලබා මුළු ලොවෙහි තම ධර්ම චක්‍රය පවත්වන බවය. දෙවන සිහිනය පෙන්වා දුන්නේ තෘෂ්ණාව දුරු කොට අමා මහ නිවන් ශාන්තියෙන් මුළු ලොවට මහ සෙවණක් වන බවය. තුන්වන සිහිනයෙන් පෙන්වා දෙන්නේ බොහෝ වූ වෛනෙය ජනයෝ තමන් කරා පැමිණ තම පාද මූලයෙහි සරණ යන බවය. සිව්වන සිහිනය පෙන්වා දෙන්නේ නා නා දෘෂ්ටි ඇති බොහෝ දෙනා තමන් කරා පැමිණ නා නා ජාති ගෝත්‍ර හැරපියා එකම ශාක්‍ය පුත්‍රයන් වන බවය. පස්වන සිහිනය පෙන්වා දෙන්නේ තමන් අපමණ ප්‍රත්‍යලාභී වන නමුත් ඒ කිසිවක නොඇලී කටයුතු කරනා බවය.
මේ අනුව මේ සිහින බුදු වීමේ පෙර නිමිති වූ බව ඉතා පැහැදිලිය. පසුදින නුග රුක වෙත යන බෝසතාණෝ තමන් එදින ස්ථිර වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත්වන බව දැන සිටියහ. ඒ උතුමාණන්ට එම දින කිරිබතින් දානය පුදන්නට සුජාතා සිටු දේවිය පෙර පින් කර තිබූ බව පූජාවලීකරුවාගේ විවරණය වෙයි.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021.10.07 – දිනමිණ කටාරම අතිරේකය
බෝසත් – බිම්සර හමුව..
පසුගිය පූජාවලී විමසුම මඟින් ඔබට ඉදිරිපත් කළේ බෝසතුන් තවුස් දිවියට ප්‍රවේශ වීම හා බැඳුණු රසබර තොරතුරුය. විශේෂයෙන් තම අතින් කපා ලූ හිසකේ අහසට විසි කොට බුදු වන්නේ ද නැද්ද යන්න උරගා බැලූ අයුරුත් දෙවියන් එය රැගෙන සිළුමිණි සෑය ඉදි කළ අයුරුත් විග්‍රහ කෙරිණි. අද අපගේ විමසුමට ලක් වන්නේ අනතුරුව සිදු වූ සිදුවීම් කිහිපයකි. විශේෂයෙන් බිම්සර රජු හමුව හා එහිදී වූ සාකච්ඡා, පොරොන්දු ආදිය පිළිබඳව පූජාවලි හිමියන්ගේ වර්ණනා ඔබේ අවධානයට යොමු කරවමු. මේ ඔස්සේ බෝසත් සිරිතෙහි මෙම වැදගත් අවස්ථා දැන සැදැහැ සිත දියුණු කර ගනු ඇතැයි සිතමු.
බෝසතුනගේ පැවිද්දෙන් පසු ඡන්න ඇමැතිවරයා ශෝක දෙකකින් යුතුව ආපසු පිටත්ව ගියේය. එනම් උපන් දා සිට ළඟින් සිටි යහළුවා අහිමි වීමේ ශෝකය සහ බෝසතුනගේ සියලු ගමන් බිමන් සඳහා පහසුකම් සැලසූ කන්ථක අසු සොවින් මියැදීමය.
බෝසතාණෝ අනෝමා ගංතෙරින් බැහැරව අනුපිය නම් අඹ වනයට පිවිස සුවෙන් සත් දිනක් වැඩ සිට අනතුරුව රජගහනුවරට ගොස් ගෙපිළිවෙළින් පිඬු සිඟන්නට වූහ. එදින රජගහනුවර ඇසළ සැණකෙළියකි. සියලු දෙනා උත්සව කෙළියෙහිය. බෝසතුනගේ පිඬු සිඟා වැඩි ගමන ඔවුනට ඇති කළේ විශේෂත්වයකි. සැණකෙළි පසෙක දැමූ ඔවුහු මෙම අමුතු දැක්ම නරඹන්නට බෝසතුන් පසුපස එන්නට වූහ. මේ දර්ශනය පිළිබඳ කුතුහලයෙන් විවිධ අදහස් දැක්වූ පිරිස් පිළිබඳව පූජාවලී හිමියෝ සජීවාරෝපණය කරන්නේ මෙසේය.
“සමහර කෙනෙක් කොල මේ රාහුගේ භයින් මිනිස් ලොවට දිව වෙස් වලා ඇවිදිනේ පූර්ණ චන්ද්‍රයා දෝ යි යෙති. සමහර කෙනෙක් කොල කුමක් කියවු ද ඒ පූර්ණ චන්ද්‍රයා මනුෂ්‍ය ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරීද? ඒ සකලංකය. මේ අකලංකය. එසේ හෙයින් මේ පූර්ණ චන්ද්‍රයා නොවෙයි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්‍රීඩා විභූතිය අසා කෙළනා නිසා වෙස් වළා ආයේ මේ කාම දේවයාදෝ යි යෙති.“
මිනිසුන් කුතුහලයෙන් යුතුව මෙසේ කරන ප්‍රකාශන තුළ අනාවරණය වන්නේ තත්කාලීන සමාජයයි. බොහෝ තවුසන් මෙසේ අහර සොයා යනු දැක ඇති මුත් මෙවැනි යෞවන කුමාරයකු එසේ යනු ඔවුන් දැක නැත. සිදුහතුන්ගේ රුව පූර්ණ චන්ද්‍රයාටත් කාම දෙවියාටත් සමාන කර දැක්වීමෙන් පෙනෙන්නේ සැබවින් ම බෝසතුනගේ රාජ සුකුමාලත්වය යි. සක්විති රජ සැප විඳින්නට සියලු භාග්‍ය ලද මෙවන් ශාක්‍ය කුමාරයකු ගෙන් ගෙට අහර සොයා යාම කටුක දිවියෙහි දුක කවරේද යන්න සොයා බැලීමේ පර්යේෂණයෙහි සමාරම්භයයි.
අනතුරුව තවත් බොහෝ දෙනා කී වදන් මෙසේ වාර්තා කර තිබෙයි. ඇතැමෙක් මේ ශක්‍රයා බව ද ඇතමෙක් මේ බ්‍රහ්මයා බව ද ඇතැමෙක් තපස්වීවරයකු යයි ද තර්ක කරන්නට වූහ. මෙහි උච්ඡ අවස්ථාව කතුවරයා ඉස්මතු කරන්නේ රාජ පුරුෂයන් මේ බව බිම්සර රජුට වාර්තා කළ පිළිවෙළයි. බලන්න.
“ස්වාමීනී, දෙවියෙකු බවත් නොදනුම්හ. බ්‍රහ්මයෙකු බවත් නොදනුම්හ. නාගයෙකු බවත් නොදනුම්හ. ගරුඬයෙකු බවත් නොදනුම්හ. අපගේ මේ නුවර දොරින් දොර පිඬුසිඟයි. ඉතා ආශ්චර්ය පුරුෂයෙකැයි කීහ. “
වැසියන්ගේ මෙම වාර්තාවෙන් රජු අතිශයින් කලබලයට පත් වූවාට කිසිඳු සැකයක් නැත. රජුගේ ද කුතුහලය පෙන්වන්නේ රජු ජනයාට කළ පහත නියෝගයෙනි.
“ කොල වහා යව. ඉදින් අමනුෂ්‍යයෙක් වී නම් නුවරින් පිටත්වෙලා අන්තර්ධාන වෙයි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැඟී යෙයි. දිව්‍ය නාගයෙක් වී නම් පොළොව කිමිද යෙයි. ඉදින් මිනිස් තවුසෙක් වීනම් ලද ආහාරයක් සැප තැනෙක හිඳ වළඳයි. දුටු පවත් මට කියවයි නියෝග කළේය.“
තවුසකු සහ අමනුෂ්‍යයකු, දෙවියකු වෙන් කොට හඳුනා ගන්නා ලක්ෂණ එකල සමාජය දැන සිටි බව පෙනේ. ආහාර ගන්නේ තවුසෝය. දැන් රජුගේ නියෝගයට අනුව රාජ පුරුෂයෝ සිදුහත් බෝසතුන් පසු පසින් යමින් කළ නිරීක්ෂණය කවරාකාර වන්නට ඇත්ද? ඇතැම් විටෙක ඇසි පිය නොහෙළා බෝසතුන් දෙස බලා සිටින්නට ඇත. එවිට බෝසතාණෝ යැපෙන පමණින් බත් ලදින් නුවරින් නික්ම පාණ්ඩව නම් පර්වත සෙවනක සිට වළඳන්නට පටන් ගත්හ. සුවඳ ඇල් සහලෙන් පිසූ අග බොජුන් මෙතෙක් වැළදු බෝසතාණෝ කටුක රළු අහරින් මෙදා සැතපුණහ. සැබවින් ම එය ඉතා පිළිකුල් අහරකි. පිළුණු දුර්ගන්ධය ද දැනුණි. ඒත් සියල්ල ඉවසා දරා ගත්හ. මේ අත්ථකිලමථානුයෝගයයි.
ඉක්බිති රාජ පුරුෂයෝ බෝසතාණන් බත් වළඳන්නා දැක වහා ගොස් රජුට ඒ බව කියා පෑහ. රජතුමා වහාම නික්ම බෝසතුන් වෙත පැමිණ හැඳින මෙසේ විචාළේය.
“ කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි, තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකු හෝ නැත. මහත් වූ රාජ්‍යශ්‍රී ම විඳිති. තොපගේ රජ කුලයට පරිභව නොකරවා යහළු මාගේ මේ රජගහනුවර නම් අසූ දහසක් නියම්ගමින් හා අටළොස් කෙළක් මනුෂ්‍යයන් විසින් හා ගැවසී ගත්තේය. පූර්වයෙහි චක්‍රවර්තී රජුන්ගේ වාසස්ථානය. අමිතභෝගී වූ පඤ්ච මහා ධන සිටුවරුන්ගෙන් ශෝභමානය. යහළු මෙනුවර මා හා එක්ව රජ කරව.“
බිම්සර රජු පිළිබඳ පාඨකයාට දැනෙන්නේ අනුකම්පාවකි. තම මිත්‍ර සුදොවුන් රජුගේ පුත් සිද්ධාර්ථ බව දැන ගැනීමෙන් රජුට ඇති වූයේ වේදනාවකි. රජ කුමරෙකු මෙසේ විය යුතුද? යන්නය. අනෙක් පසින් තවත් සත් දිනකින් සක්විති රජ පදවිය පවා ලබන්නට සූදානම්ව සිටි කුමාරයකුට තම රාජ්‍යයෙන් කොටසක් පාලනය කරන්නට කරන යෝජනාව ගැන ද රජු ගැන පාඨකයා තුළ උපහාසාත්මක සොවක් දැනේ.
මෙහිදී බෝසතුනගේ පිළිතුර වූයේ “මම සම්‍යක් සම්බෝධිය වෙනුවෙන් මහණ වීමි“ යන්නය. රජුට එහිදී කළ හැකි අන් කිසිවක් නොමැති විය. ශෝකයෙන් බිම්සර රජු නික්ම යන්නේ “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසක බුදු වූ සේක් වී නම් පළමුව මාගේ නුවරට වැඩ මිනිසුනට දෙසන පළමු දේශනාව මටම දෙසුව මැනවැයි“ ප්‍රතිඥාවක් ද ගෙනය.
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
2021 සැප්තැම්බර් 17 – සිකුරාදා – දිවයින පුවත්පත
දැයේ දැක්ම විය යුතු ධර්මපාල චින්තනය
අනගාරික ධර්මපාල ශි‍්‍රමාතණන්ගේ 156 වන ජන්ම සමරුව
රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු බුදුව නිවනින් සැනසෙත්වා
පරාදින ජාතියක් එයින් මුදා ගැනීම උදෙසා ක‍්‍රමවත් නායකත්වයක් සමාජය තුළින් ගොඩනැඟිය යුතුය යන්න ධර්මපාලතුමන්ගේ දැක්ම වීය. දොන් ඬේවිඞ් ලෙසින් ඉංගී‍්‍රසි ආභාසයෙන් තමන්ට ලද නාමය වෙනස් කොට ස්වදේශිකයන් අතීතයේ භාවිතා කළ ආගමික නාමකරණයට අනුව ‘‘ධර්මපාල’’ නමින් තම නාමය වෙනස් කරගත් එතුමා නායකයා හැම කල්හිම ස්වදේශ වාත්සල්‍යයෙන් යුතු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉංගී‍්‍රසි නම් ගම් ගෞරවයෙන් භාවිත කළවුන් ප‍්‍රසිද්ධියේ සමච්චලයට ලක් කොට දේශීය නම් ගම් තබා ගැනීමේ අගය වටහා දුන්නේය. ඒ අනුව සමාජය වෙනස් වී පැරණි රාජ යුගවලින් පසු සිංහල බෞද්ධ නම් ගම් තබාගන්නට ජනයා යොමු වීමෙන් සංස්කෘතිකමය වශයෙන් ලොකු වෙනසක් ඇතිකරලීමට හැකි වීය.
සිංහල නම් ගම් පමණක් නොව ස්වදේශික සිංහලයා සිංහල භාෂාවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දුන්නේය. ඒ පිළිබඳ එතුමා ‘‘දැන ගත යුතු කරුණු’’ නම් කෘතියෙහි මෙසේ පවසා තිබෙයි.
‘‘ලාංකික සිංහලයන් ස්වකීය ජන්ම භාෂාව ඉගෙන නොගෙන ඉංගී‍්‍රසි පමණක් ඉගෙන ගැනීම ජාතිය නැති කිරීමට කරන උපක‍්‍රමයකි. පුරාණ උතුම් චරිත ඇති සිංහලයන් ගැන දැනගැනීමට ඇති එකම මාර්ගය සිංහල භාෂාවයි. සිංහල, පාලි භාෂා දෙක හොඳින් ඉගෙන ගත් කල සිංහල ජාතිය කෙරෙහි පේ‍්‍රමයක් ඇතිවීමට මාර්ගයක් වෙයි. මේ භාෂා දෙක ඉගෙන ගන්නා කාලයේ ඉංගී‍්‍රසි ඉගෙනීම කළොත් පහසුයි.’’
20 වන සියවසේ මුල් භාගයේදී සිංහල බස හැදෑරීමේ වැදගත්කම පිළිබඳව එතුමා දැක්වූ එම අදහස් වර්තමානයටත් එලෙසම වැදගත් වෙයි. සිංහල බසේ අභිමානය මෙසේ එතුමා හැම තැන්හිදීම ඉස්මතු කිරීමත්, ඉංගී‍්‍රසි අධ්‍යාපනයෙහි යෙදීමේ අවශ්‍යතාව පෙන්වා දීමත් නිසා නිදහස් අධ්‍යාපන පනත, සිංහල රජ බස වීම හා ස්වභාෂික අධ්‍යාපනය අපට උරුම විය. රජයන්ට එවැනි තීන්දු තීරණ, කි‍්‍රයාත්මක කරලීම උදෙසා අනගාරික ධර්මපාලතුමන් නැගූ ප‍්‍රබල හඬ හේතු විය. එමෙන්ම ඒ ඔස්සේ ගොඩනැඟුණු ස්වභාෂික සමාජය වෙතින් දැයට උරුම වූ දායදයෝ රාශියකි. සිංහල සංස්කෘතිය, සිංහල සාහිත්‍යය හා කලාවන් මෙන්ම මධ්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල ද අපට වෙයි.
එතුමා හැම විටෙකම සන්නිවේදනය සඳහා හෙළ බසෙහි ප‍්‍රබල වදන් භාවිතයට යොදා ගත්තේය. සමාජයේ ඇස් ඇරවීම උදෙසා ‘‘ගොන්තඩියා’’ වැනි ආමන්ත‍්‍රණ එතුමාගේ වාග්කෝෂය පුරාම විය. සුරාපානයට, ගෙරි මස් කෑමට එරෙහිව එතුමාගේ ආමන්ත‍්‍රණ ප‍්‍රබල විය. එතුමා නායකයකු වශයෙන් සැපිරිය යුතු සියලූ ගුණාංගයන්ගෙන් පිරිපුන් විය. බුදු දහම හා අපේ අතීතාභිමානය මනාකොට නිරීක්ෂණයෙන් ලබාගත් දැනුම එතුමාගේ දර්ශනය විය. බුදු දහමේ එන සරල ඉගැන්වීම් මෙන්ම ප‍්‍රබල ජාතක කතා නිතර උපුටා ගනිමින් ජනයාට දේශන පැවැත්වීය. ‘‘සිංහල බෞද්ධයා’’ පුවත්පත අරඹා අසිපතක් ලෙසින් ජන මනස වෙනස්කරලීමට ඒ ඔස්සේ තම අදහස් ඉදිරිපත් කළේය. වරක් වට්ඨකී සූකර ජාතකය උපුටා ගනිමින් ව්‍යාඝ‍්‍රයකුගෙන් සූකර වර්ගයාට පැමිණි අභියෝගයක් ජයගන්නට බෝසත් සූකරයකුගේ නායකත්වය හේතු වූ ආකාරය පැහැදිලි කොට ජාතිය බේරා ගැනීමට ඌරාට තිබූ මොළේ වත් සිංහලයාට නොමැති ඇයි දැයි ප‍්‍රශ්න කළේය. මහාජනක ජාතක කතාව උපුටා ගනිමින් හෙළ කාන්තාව බුදු දහමින් ශික්ෂණය ලද උපාසිකාවක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ලෝක ගොල්ෆ් ශුරයා වන ඇමෙරිකානු ජාතික ටයිගර් වුඞ්ස් විසින් ‘‘මාගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා’’ යැයි අන්තර්ජාලයට එක් කළ ප‍්‍රකාශයක් ලොව පුරා මෑතදී ප‍්‍රකට විය. ඔහුගේ මව බෞද්ධ කාන්තාවක වූ බැවින් ධර්මපාලතුමාගේ පොතපත නිවසේ තිබී ඒවා පරිශීලනයෙන් ලද දැක්ම ලෝක ශුරයකු නිර්මාණය කරන්නට සමත් විය. එහෙත් අපේ රටේ උපන් කිසිවකුට මගේ ලෝකයේ වීරයා ධර්මපාලතුමා යැයි කියන්නට හුරුවක් කවදාවත් ඇතිවන්නේ නැත. ඒ එතුමා අප විසින් අධ්‍යයනය නොකරනු ලබන බැවිනි.
සංඝ සමාජයේ පවා පැවැති දුර්වලතා ප‍්‍රබල ලෙස විවේචනය කළ ධර්මපාලතුමා භික්ෂුව නිරන්තරයෙන් ජනතාවගේ මුරදේවතාවා බවට පත් විය යුතු බව කියා සිටියේය. මිථ්‍යා දෘෂ්ටිකයන් සම්මා දිට්ඨියට පත්කරලීම, අකුසල් කරන අය කුසලයෙහි යෙදවීම, ආදිය උදෙසා රාති‍්‍රයක් පාසා ගම්වල බුදුන්ගේ ධර්මය නිවැරදිව දේශනා කළ යුතු බව කියා සිටියේය. භික්ෂුන් වහන්සේලාගෙන් වැඩි කොටසක් අලසව කටයුතු කරන බවත්, එබැවින් භික්ෂුවගේ වගකීම කවරේද යන්න එතුමාගේ ලේඛනවලින් අවධාරණය කෙරිණි.
සිංහල දරුවන් නිසි පරිදි ශීලාචාරව සකසා නොගැනීමෙන් මුළු මහත් ජාතියම විනාශ වී යන බවට ධර්මපාලතුමන් පළ කර ඇති පහත ප‍්‍රකාශය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමු.
‘‘සිංහල දරුවන්ට බාල කාලයේදී වත්පිළිවෙත් කියා දීමට කිසි කෙනකු නැති බැවින් ඔවුහු තරුණ වයසට පැමිණි කල ශීල විපත්ති, ආචාර විපත්ති, දෘෂ්ටි විපත්ති යන මේවාට පැමිණෙත්. මරක්කල ගැහැණු පිරිමි දරුවන්ට බාල කාලයේ පටන්ම ඔවුන්ගේ ආචාර්යයන් විසින් ඔවුන්ගේ කොරාන් පොතෙන් ධර්මය ද අරාබි දෙමළ භාෂා ද ගණිතය ද උගන්වනු ලැබේ. දෙමළ වර්ගයාටත් එසේමැයි. යුරෝපීය වර්ගයා ඔවුන්ගේ දරුවන්ට නොයෙක් ශිල්පාදිය උගන්වනු ලැබේ. සිංහල දරුවන්ට ගුරුකම් දීමට කිසිවකු නැති බැවින් දුප්පත් බෞද්ධ දරුවෝ පාපීන්ගේ වසඟයට පැමිණ විනාශ වෙත්, පුරාණ කාලයේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අනුකම්පා සිතින් බෞද්ධ දරුවන්ට කුලදේවතාවුන් මෙන් කටයුතු කළෝය.’’
මෙවන් ප‍්‍රකාශයක් ධර්මපාලතුමන් වෙතින් කෙරෙන්නට ඇත්තේ මොන තරම් කරුණාබර හැඟිමකින්දැයි කල්පනා කළ යුතුය. අන්‍ය ජාතීන් පිළිබඳ වෛර හැඟීමක් කිසිවිට ඇති නොවන ලෙසින් ඔවුන්ගෙන් අප ඉගෙන ගත යුතු දේ උපුටා ගෙන පෙන්වා දුන්නේය. මේ ප‍්‍රකාශ සියවසකට පෙර කළ ද ඒවායෙහි වර්තමාන වටිනාකම් ද බොහෝ ඇති බව සිතිය යුතුය.
ධර්මපාලතුමා තරම් මෑත යුගයේ අපට පහල වූ සංස්කෘතික වීරයකු තවත් නැත. අද අප බුක්ති විඳින සංස්කෘතික වටිනාකම් යමක් වෙතොත් ඒ ධර්මපාලතුමන් විසින් අපට උරුම කරන ලද දේයි. ධර්මපාලතුමාගේ ප‍්‍රකාශයක් මෙසේ උපුටා දක්වමු.
‘‘උඹලගෙ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා එක් කොස් ඇටයක් වී ඇටයක් සිටවන්නේ නැතිව. සුද්දගෙ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජිරි දීලා උඹලගෙ සම්පත් ටික සූරගෙන උන්ගෙ රටට
ගෙනියන එක උඹලට පේන්නෙ නෑ.
කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය.
කෝ උඹලගෙ සංස්කෘතිය
කෝ උඹලගෙ මනුස්සකම
බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද?
උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩකරපල්ලා.
(අනාගතය විනිවිද දුටු ධර්මපාල වීරයා)
2008-09-17 ලංකාදීප
ජනතාවගේ දෑස් පුබුදුවන්නට මෙවන් ප‍්‍රබල ප‍්‍රකාශ කළේ රටටත් ජාතියටත් එතුමා තුළ පැවැති බලවත් පේ‍්‍රමය නිසාය. මේ වදන් නිදහස් රටක දශක 07 ක් ගෙවා දැමූ අපට පෙරදාට වඩා කොතෙක් ගැළපේදැයි සිතා බැලිය යුතුය. තිරි`ගු පිටි සංස්කෘතියෙහි වහලූන් වී ඇති අප පරපුර දිනෙන් දින ගොවිබිමෙන් ඈත් වෙමින් පවතී. අධිරාජ්‍යවාදී පාලකයන්ට බිය නොවී සිංහලයකු සේ දිවා රාතී‍්‍ර වෙහෙසෙමින් ජාතිය ගොඩනැංවීම උදෙසා ධර්මපාල ශී‍්‍රමතාණන් ඉටු කළේ සංස්කෘතික විප්ලවයක කාර්යභාරයයි. අලසයනට බැට දුන් ඔහු වේලාවට වැඩ කිරීමේ අගය ජාතියට හඬගා කීවේය. වරක් ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හමුවීමට ඔහුට වේලාව ලබාදී තිබුණේ ප.ව. 1.00 ටය. එහෙත් ඔහු පැයක් පමා වී ප.ව. 2.00 ට පැමණියේය. එවිට ධර්මපාලතුමා කීවේ නුඹලා වැනි වෙලාවට වැඩ නොකරන මෝඩයන් නිසා මගේ වටිනා කාලය අපතේ ගිය බවයි. මට නුඹ සමග කිසිදු කතාවක් අවශ්‍ය නැතැයි බැණවදිමින් රජ ගෙදරින් නික්ම ගියේ අපේ සිංහලයාට ද වේලාවට වැඩ කිරීමේ අගය පෙන්වමිනි. එමෙන්ම එතුමා ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගමන් කරද්දී අහංකාර සුද්දකු තමා ඉදිරියේ දුම්වැටියක් උරමින් මත්පැන් පානය කරද්දී එය නොකරන්නැයි අණක් දුන්නේය. එය නොතකා සිටි විට මත්පැන් බෝතලයත්් වීදුරුවත් ගෙන දුම්රිය කවුළුවෙන් එළියට විසි කළේය. එයින් කලබලයට පත් සුද්දාට ඔහු තර්ජනය කළේ නැවත එසේ කළහොත් සුද්දා ද කවුළුවෙන් එළියට විසි කරන බවට ගෝරනාඩු කරමිනි.
අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රේෂ්ඨ බව දැයට ලියා තැබූ ගණේගම සරණංකර හිමියෝ එහි මෙසේ දක්වති..
ධර්මපාලතුමා තරම් වැඩ කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට රාජ්‍යයන්හි ඇවිදපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් කතා පැවැත්වූ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් පරිත්‍යාග කළ සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් රට ජාතිය ආගම වෙනුවෙන් දුක් විඳපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් බැණුම් අහපු සිංහලයෙක් වෙන නැත. එතුමා තරම් ලියපු සිංහලයෙක් වෙන නැත. එක මිනිස් ජීවිතයකදී අවුරුදු පනහක් තුළ එතුමා කරපු වැඩ මෙතෙක් මේ රටේ උසස් කිසිදු සිංහලයෙක් කර නැත. ඒ වැඩ රාශිය සිංහලයන් දස දහසකට ද කළ නොහැකි තරම්.
භාරත දේශයෙන් අතුරුදන්ව ගිය බෞද්ධ උරුමය සුරකින්නට එතුමා විදින ලද දුක කෙතරම් ද යන්න දැනගැනීමට ඉන්දියාවේ බුද්ධගයාව, සාරනාත්, ලූම්බිණි කුසිනාරා ආදී ස්ථාන වෙත යා යුතුය. වර්තමානයේ එක් දිනකට ලක්ෂ ගණනක් ලෝවැස්සන්ගේ වන්දනාවට ලක්වන බුද්ධගයාව, ධර්මපාල තුමන්ගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරෙහි ප‍්‍රතිඵලයක් බව ඔවුහු කිසිවෙක් නොදනිති. රටක් තුළ පමණක් නොව රටකින් රටකට ද ගොස් බුදු දහමේ උන්නතියට මෙවන් මෙහෙවරක් කළ කිසිවකු ඉන්දියාවේ ධර්මාශෝකයන්ගෙන් පසු හමු නොවේ. එබැවින් ධර්මපාල ශී‍්‍රමතාණෝ මතු බුදුව නිවනින් සැනසෙත්වා.
මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අධ්‍යයනාංශය – කොළඹ විශ්වවිද්‍යාලය
Copyright 2024 @ Agalakadasirisumana.lk. All rights Reserved. Developed & Design by www.exclusivewebarts.com
