Posts by

as9po

Home / Blog Archive
පුවත්පත් ලිපි

ඉතිහාසයේ රසබර තොරතුරු කියන අභිලේඛන සාහිත්‍යය

2021 නිකිණි පෝ දා බුදුසරණ පුවත්පත

ඉතිහාසයේ රසබර තොරතුරු කියන අභිලේඛන සාහිත්‍යය

ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි.

අභිලේඛන උරුමය පිළිබඳ විමසා බලද්දී ශී‍්‍ර ලංකාවේ අතීත සමාජය පිළිබඳ හමුවන විශ්වසනීය තොරතුරු රාශියකි. එක්තරා යුගයක සමාජය විමසන සමාජ විද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙස ද අභිලේඛන හැදෑරීමට ගත හැකි ය. විශේෂයෙන් පැරැණි ලක්දිව පැවති විවිධ සමාජ සංවිධාන පිළිබඳවත්, සමාජය මෙහෙය වූ විවිධ බලවේග මෙන් ම සමාජ සිරිත් විරිත් පිළිබඳවත් වටිනා කරුණු රාශියක් විමසීම මෙහි දී සිදු කෙරෙයි.

පැරැණි පුරාවිද්‍යාත්මක කැණීම් රාශියක් අනාවරණය කළ වැදගත් කරුණක් වන්නේ ලංකාවේ ඉපැරැණි රෝහල් සම්බන්ධ තොරතුරු ය. රෝහල් පිළිබඳ තොරතුරු කැණීම්වලින් හමුවෙද්දී ඊට අදාළ වෘත්තීන් පිළිබඳ තොරතුරු අභිලේඛනයන්හි දැක්වේ.

දහ වන සියවසට අයත් කිරිබත් වෙහෙර ටැම් ලිපිය පෙන්වා දෙන්නේ රෝහලේ නඩත්තුව සඳහා ඉඩකඩම් පවරා දී තිබූ බවයි. එමෙන් ‘වෙද්හල්‘, ‘බෙහෙත් ගේ,‘ ‘මහවෙද්නා‘, සුළු වෙද්නා, ‘වෙද්හල් සම්දරුවන්, ‘වෙද්හල් කැමියන්, වෙද්හල් දසුන්‘ වැනි වෛද්‍ය වෘත්තියට අදාළ ස්ථාන සහ තනතුරු නාම රාශියක් ම බොහෝ අභිලේඛනවල හමු වීමෙන් පෙනෙන්නේ පැරණි සමාජයේ සෞඛ්‍ය සම්පන්න බව කෙරෙහි සමාජයේ පැවති ආකල්පයයි.

ජලය හා බැඳුණු සංස්කෘතියක් පැවති අයුරු බොහෝ අභිලේඛන පෙන්වා දෙන කරුණකි. දිඹුලාගල සමීපයෙන් සොයාගත් මෝලාහිටියවෙලේගල ගිරි ලිපියෙන් අනාවරණය කරන්නේ “සොවණ කොතුරු නියතෙ“ යනුවෙන් ස්වර්ණ වූ කෙණ්ඩියකින් ජලය වත් කොට විහාර නඩත්තුව පිණිස ඇළක් භික්ෂූන්ට පූජා කළ බවයි. මෙම සම්ප්‍රදාය වත්මන තුළ අපට දැකිය හැකි වන්නේ, දේපළක් විහාරාරාම සන්තකව පූජා කිරීමේ දී මෙම ක්‍රමය අනුගමනය කිරීමෙනි.

එහි දී ජලය හුවමාරු සංකේතයක් ලෙස පිළිගැනේ. අනුරපුර පෙරුමියම්කුලම් ගිරි ලිපියෙහි දැක්වෙන්නේ “දකපති‘ සහ ‘මජිබක‘ යනුවෙන් රජුට හිමි ජල බද්ද සහ මාළු බද්ද භවනා ගෘහයක් ප්‍රතිසංස්කරණය සඳහා විහාර සන්තක කළ බවයි. ජලය සංස්කෘතික මෙන් ම ආර්ථික සම්පතක් වූ අයුරු එයින් පෙනෙයි.

ලංකාවේ එවකට අපරාධ අවම කරලීම සඳහා රජවරුන් දැඩි දඬුවම් පනවා තිබුණු අයුරු අභිලේඛන පෙන්වා දෙයි. වේවැල්කැටිය පුවරු ලිපිය මෙයට ඉතා වැදගත් ම නිදසුන වෙයි. එල්ලා මැරීම , අත්පා කැපීම, හංවඩු ගැසීම, රත් කළ යකඩ පාවහන් පැළඳවීම, දඩගැසීම හා පිටුවහල් කිරීම වැනි දඬුවම් නියම කර තිබුණි. මෙහි දී මිනීමැරීමේ වරදට දඬුවම් පනවා ඇතත් එය තීරණය කළ යුත්තේ දසගම් ප්‍රධානීන් එකතු වී සාකච්ඡා කොට නඩුව විචාරා සියලු තොරතුරු ලියා තැබීමෙන් පසුව ය.

රාජ නියෝගයකින් මරණ දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම කි‍්‍රයාත්මක නොවූ බව එයින් පෙනේ. සොරකමට දඬුවම නඩුව අසා නියම කරවා අයිතිකරුට අයත් කොට ද සොරු එම ගමින් නෙරපා හැරීමයි. මේ නිසා අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි විය.

මිනී මැරීමට අනුබල දීම මිනීමැරීම තරම් බරපතළ වරදක් සේ පිළිගැනුණි. ඔහුට රත්‍රං කලං පනහක් දඩ ගැසිය යුතු වූ අතර එය ගෙවිය නොහැකි වූ විට ගෙය රාජ සන්තක කිරීමට හෝ අත් කපා දැමීමට හෝ නියෝග කර තිබුණි.

ගවයා පැරැණි යුගයේ වටිනාම ආර්ථික සම්පතක් සේ පිළිගැනුණු අතර ගවයා මැරීම මරණ දඬුවම ලැබීමට තරම් වරදක් ලෙස වේවැල්කැටිය ලිපියෙහි නියෝගකර තිබෙයි. ගවයින් සොරකම් කරන්නන් අල්වා කිසිල්ලේ හංවඩු ගැසීමට නියෝග කර තිබීමෙන් පෙනෙන්නේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම කෙරෙහි තිබූ රාජ්‍ය මැදිහත් බවයි.

මෙම නීති උල්ලංඝනය කළවුන් අල්වා රත් කළ යකඩ පාවහන් පැළඳවීමට නියම කර තිබීමෙන් පෙනෙන්නේ නීතියේ තිබූ දැඩි බවයි. නීතිය ලිහිල්ව ගිය සමාජයක සාමකාමී සහජීවනය අපේක්ෂා කළ නොහැකි බවට පැරැන්නන් තුළ පැවති විශ්වාසයේ අගය වර්තමානය හා සමඟ සසඳා බලද්දී අපට පෙනෙයි.

පෝෂණීය ආහාර වේලක තොරතුරු තෝනිගල ගිරි ලිපියෙන් පෙනෙයි. මෙයට අනුව වී, උඳු, මුං, කව්පි, තල ආදිය ප්‍රධාන නිෂ්පාදිතයන් වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාර වේල බවට මේවා පත් විය.

මෙයට අමතරව දීකිරි, මීපැණි, කැවිලි වර්ග, පැනි, දුන්තෙල් හා පලාවර්ග ද බුලත් ද ආහාර වේලෙහි අංග විය. සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලකට අවශ්‍ය දෑ මෙහි අන්තර්ගත ය.

දහ වන සියවස පමණ වන විට පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් ව පැවති බවට බදුලු ටැම් ලිපිය අනාවරණය කරයි. පෝදා වෙළඳාම් කරන්නෙකු වෙතින් තෙල් බද්දක් දඩය වශයෙන් නියම කර ඇති අතර එම තෙල් වැය කොට මහියංගණ විහාර භූමියෙහි පහන් දැල්වීමට නියම කර තිබුණි.

දඬුවම නියම කෙරුණේ නැවත එවන් වැරැද්දක් නොවන ලෙස ආගමික පසුබිමක ගත කිරීමට ය.

තිඹිරිවැව ලිපියට අනුව රාජ කාර්යයන් සඳහා දින නියම කර තිබූ අතර පෝ දිනයෙහි කිසිදු රාජකාරියක් නියම කර නොතිබුණි. මේ අනුව පෙනෙන්නේ ආගමික කටයුතු සඳහා පොහොය දිනය වෙන්ව තිබූ බවයි.

අල්ලස් ගැනීම දහ වන සියවස වන විට මුළුමනින් ම තහනම් කර තිබුණි. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන්නේ “ගවට් ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා“ යනුවෙනි. එයින් කියවෙන්නේ රාජ්‍ය නිලධාරීන් ගම්වලට වැද රා මස් ආදිය අල්ලසට දී ගිතෙල් ලබා නොගත යුතු බවය.

හතර වන මිහිඳු රජු පැනවූ මිහින්තලා පුවරු ලිපියෙහි ද දැක්වෙන්නේ විහාර රාජකාරී වෙනුවෙන් ලබන වැටුප්වලට අමතරව වෙනත් කිසිවක් නොලද යුතු බවයි. අල්ලස් ගැනීමට එරෙහි ව පැරණි සමාජයේ පැවති තහංචි රාශියක් අභිලේඛන රාශියක ම දැක්වෙයි.

ලොව ඉතා සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තියක් ශී‍්‍ර ලංකාවේ පැවති බවට තොරතුරු හෙළි කරන්නේ ද බදුලු ටැම් ලිපියකි. පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයා ද ආරක්ෂා වන පරිදි එහි පැනවීම් රාශියක් කර තිබෙයි.

මෙයින් පාරිභෝගිකයා කෙතරම් ආරක්ෂා කර තිබේ ද යන්න පෙන්වා දෙන්නේ බුලත්, පුවක් වැනි ක්ෂණික ආහාර ආවරණයකින් තොරව විකිණීම තහනම් කර ඇති බැවිනි. නූතන වෙළඳ සමාජය හා සංසන්දනය කිරීමේ දී මෙවන් වෙළඳ ප්‍රතිපත්ති අතීත සමාජය කෙතෙක් සෞඛ්‍ය සම්පන්න කළා ද යන්න පෙන්වයි.

එමෙන් ම සාධාරණ කිරුම් මිනුම් ක්‍රම එකල භාවිත කිරීමට නියෝග කිරීමෙන් පාරිභෝගිකයා සුරක්ෂිත කෙරිණි. “ගණ ලහස්සෙන් මිසැ සෙසු ලහසියෙන් නොමනනු“ යන නියෝගය තුළ පෙනෙන්නේ සම්මත ලාසුවෙන් ම ධාන්‍ය මැනිය යුතු බවයි. හොර තරාදි, හොර පඩි භාවිතය වැළැක්ම සඳහා ඒවා සීල් තැබීමේ ක්‍රමයක් ද පැවතුණි. භාණ්ඩ විකිණීමට සුදුසු ස්ථාන නියෝග කර තිබීමෙන් නුසුදුසු ස්ථානවල වෙළඳාමෙන් පාරිභෝගිකයාට වන අනර්ථය වළකා තිබෙයි. නූතන වෙළඳ සමාජය මෙ අතීතයෙන් පාඩම් උගත යුතු ව තිබෙයි.

මෙසේ මෙම ඓතිහාසික මූලාශ්‍ර පරික්ෂා කිරීමේ දී ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ රසබර තොරතුරු රාශියකින් ම අප දැනුවත් කෙරෙයි. මේවා මතාන්තර යයි කිසිවෙකුටත් බැහැර කළ හැකි ද? ක්‍රමවත් පරිපාලනයක් හා සමාජ රටාවක් එකල සකස්ව පැවති බවට මොන තරම් සාක්ෂි අභිලේඛන සාහිත්‍ය අපට අනාවරණය කරයි ද?

කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

pujawali
ලිපි

පූජාවලි විමසුම – 29

2021.08.12 දිනමිණ කටාරම අතිරේකය

සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ…

පූජාවලී විමසුම පසුගිය ලිපියෙන් අප විමසා බැලුවේ අබිනික්මනෙහි විසිතුරු ය. බොහෝ දෙනා කුඩා කල සිට අසා තිබූ දේට වඩා පූජාවලි කතුවරයාණන්ගේ විසිතුරු යෙදුම් පූජාවලිය නොකියවූ බොහෝ පාඨකයනට අමුතු චමත්කාරයක් රැගෙන ආ බව සැලවීම සතුටකි. බෝසතුන් මැදියම් රෑ දුටු නළඟනන්ගේ දර්ශන යශෝධරාවගෙන් රාහුලයන්ගෙන් වෙන්වීම කතුවරයා නිරූපණය කළේ තාත්වික නිමැවුමක් ලෙසිනි . ඡන්න යහළුවා ද පුබුදුවා කන්ථක අසු පිට නඟී උරුවෙලාවට වැඩි ගමන අද ලිපියෙන් අප විවරණය කරන්නේ පූජාවලියේ එකොළොස් වන පරිච්ඡේදයේ තොරතුරු ඇසුරිනි. මෙම පරිච්ඡෙදය හැඳින්වෙන්නේ බෝධිමණ්ඩල පූජා කථා නමිනි. එයින් කියැවෙන්නේ තවුස් දිවියට පිවිසීම හා සම්බන්ධ රසබර තොරතුරුය.

මෙහි පළමු අවස්ථාව වන්නේ අනෝමාවෙන් එතෙරවීමයි. මේ සංවාදය බලන්න.

“මෙසේ මාගේ බෝධිසත්වයෝ එදා රෑ නුවරින් නික්ම මහත් වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා මේ කිනම් ගඟෙක්දැයි විචාළ දෑය. අමාත්‍යයා, ස්වාමීනි මේ ගඟ අනෝමා නමැයි කීය. මාගේ පැවිද්දත් අනෝමය. අලාමකයැ යි ගඟ නම අසා සතුටුව අශ්වයාට ගඟ පැනයි විළුඹෙන් සන් කළදෑය.”

අනෝමා කිඹුල්වත වෙන් කළ සීමාවය. සිදුහත් බෝසතුන් මේ දක්වා මෙම ගඟ ඉක්මවා නොගිය බව පැහැදිලිය. ගඟ විමසුවේ ඒ නිසාය. ගඟෙහි නම අනෝමාය. අනෝමා යනු අලාමක හෙවත් නොඇලීමය. කුමරු මේ ගඟ ම තම ගමනට අපූරු සංකේතයක් කර ගන්නේ එසේය.

කන්ථක අසු මෙම අනෝමාවෙන් එතෙර වන්නේ බෝසතුන් සසරින් එතෙර වීම ද සංකේතවත් කරවමිනි. එතෙරව අනෝමාවෙහි සුදු වැලි තලාව මත වූ සංවාදය ද බලන්න. අපූර්ව සංවාදයකි.

“යහළු ඡන්නය, තෝ මා පළන් ආභරණ හා මේ අශ්වයාත් නුවරට ගෙන යා. මම් මහණ වෙමියි කී දෑය. ඇමති, ස්වාමීනී මම ද මහණ වෙමි යි කී දෑය. බෝසතාණෝ කියන්නාහු තට දැන් පැවිදි නොලැබෙයි. තා මහණ වූවොතින් මේ ආභරණත් නස්සි. අශ්වයාත් එකලා වෙයි. මපියාණන් හා කුඩා මෑණියන් හා යශෝධරා දේවීන් හා මා පැවිදි වූ ලෙස් නොදනිති. එසේ හෙයින් දැනට තෝ යා.”

ඡන්න ඇමති හා සිදුහත් බෝසතුන් අතර පැවති දෘඪ මිත්‍රත්වය ඉතා හොඳින් පසක් කළ හොඳම අවස්ථාව මෙයයි. බෝසතුන් පැවිද්දට සුදානම් වන බව දැන්වූ විට ඡන්න ද පැවිද්දට අවසර පතයි.

බෝසතුන් වනයෙහි තනිකර දමා යන්නට ඡන්න කැමති නොවෙයි. එහෙත් බෝසතුන් එය වළකන්නේ කාරණා කීපයක් හේතුවෙනි. ඡන්නට පැවිද්දට මෙය අවස්ථාව නොවන්නේ මේ පණිවුඩය බිරිඳට , මවට , පිය රජුට දැන්වීම කළ යුතු එකම පණිවුඩකරුවා ඔහු වන බැවිනි. වෙන කිසිවෙකු ඒ සඳහා නැත.

බෝසතුන් ආපසු මාලිගාවට නොයන්නට පැමිණි මෙම ගමනේදි ඒ බව දැන ගත් විට කම්පා වන තිදෙනෙකු මාලිගාවෙහි සිටින බව බෝසත්හු දනිති. එය සිහි කරන්නේ ද තරමක ශෝකාකූලවය. ඔවුන් සනසන්නට සිටින එකම කෙනා ද ඡන්නය. එබැවින් ඡන්නගේ ඉල්ලීම බැහැර කරන්නේ මතු පැවිදි කර ගන්නා බවට ද පොරොන්දු වෙමිනි.

අනතුරුව පැවිදි වන්නට පෙර කෙස්වැටිය කපා දැමීම තම අතින්ම සිදු වීය. දකුණතින් කඩුව ගෙන වමතින් කෙස් වැටිය කපා අහසට හෙළන්නේ මෙවන් ප්‍රාර්ථනාවක් ද සහිතවය. කෙසේ ප්‍රාර්ථනාවක් ද යත්,

“ඉදින් ඒකාන්තයෙන් මම බුදු වෙම් නම් මේ කෙස්වැටි අහසෙහි රඳවයි. බුදු නොවෙම් නම් බිම වැටේවායි අධිෂ්ඨාන කොට අහසට දැමුදෑය. ඒ කෙස් වැටිය සතර ගවුවක් අහසට නැඟී කාළහංස රාජයකු සේ ලීලෝපේතව සිටියේය. එකෙණෙහි ශක්‍ර දේවේන්ද්‍රයා රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන ශක්‍ර භවනයට ගෙන ගොස් සිළුමිණි සෑ නම් දාගැබක් මවා දෙදෙව් ලෝ වැසියන් ගෙන දැන් දක්වා පූජා කෙරෙයි.”

බෝසතුන් තමනගේ බුද්ධත්වය උරගා බැලූ අවස්ථාවක් වශයෙන් මෙම අවස්ථාව දැක්විය හැකි වෙයි. තමා ආ ගමනේ අවසන් පැතුම ස්ථිරව ම සිදුවේදෝ නොවේදෝ හෝයි සැකයකින් තොරව දැන ගැනීමට මෙම පරීක්ෂණය සිදු කළහ. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණි. අහසට දැමූ කෙස් වැටිය නැවත පොළොවට වැටුණේ නැත. එය පිළිගත්තෝ දෙවියෝ ය. දෙවියන් මෙය නිදන් කොට දෙව්ලොව සැදු සෑය සිළුමිණි සෑයයි. මීට අදාළව ලියැවුණු අපූරු සම්භාව්‍ය ගීයකින් අප ගීත සාහිත්‍යය ද පෝෂණය වෙයි.

සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ –

පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා –
ලංකාර වූ අනෝමා හා ලංකාර වු අනෝමා ගංගා තීරෙදි එදිනා
සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ –
මම මතු බුදු වේ නම් රැඳේවයි සිතා ගුවනේ
අහසේ දැමු එලෙසා සක් රජුන් මහත් තෙදිනා –
රැගෙනා සංතොසිනේ රම්‍ය තවුතිසා භවනේ
සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ –
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ”

ග්‍රැම‍ෆෝන් තැටියට අහමඩ් මොහිදීන් නමැත්තකු ගායනා කළ බව දැක්වෙන මෙම මධුර ගීතය පසුකාලීනව බොහෝ අය ගායනා කළ අතර සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනියගේ ගායනය නිතර ඇසෙයි. බුදු වන්නට ගිය බෝසත් සිරිතේ පළමු පියවර මෙසේ චමත්කාර ගීයකට පවා නැංවීමෙන් එම අවස්ථාවේ උත්කර්ෂය පිළිබද තවත් කවර කථාද?

අනතුරුව ඝටීකාර බ්‍රහ්මයා පිදූ සිවුරු පොරවා උතුම් වූ තවුස් දිවියට ප්‍රවේශ විය. ඒ මොහොතෙහි ද තමන් එතෙක් ඇඳ සිටි කසී සළුව බුදු බව ඉටා ආකාශයට දැමිණි. එයට වූයේ ද පෙර සේ ම මෙවර මහා බ්‍රහ්මයා පැමිණ මෙම කසී සළුව තම දෝත‍ට ගෙන බ්‍රහ්ම ලෝකයට රැගෙන ගොස් නිදන් කොට සෑයක් බැඳීමයි. එය “සළුමිණිසෑය” වෙයි.

මේ අනුව සිද්ධාර්ථ බෝසතුනගේ තාපස ප්‍රවේශය පුදුම එළවන අසිරිමත් සිදුවීම් රාශියකින් යුතු වීම බුදු වන උතුමෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට කියා පෑමකි. බුදුපුත් තෙරණුවෝ මෙතරම් අසිරියෙන් මෙම තොරතුරු වර්ණනාවට ලක් කරන්නේ දඹදෙණි යුගයේ සමාජය වෙතට බුදු හිමියන් කැඳවීමේ අරමුණ ද පෙරදැරිව ය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 28

2021.08.05 – දිනමිණ කටාරම අතිරේකය

බෝසත් අබිනික්මන..

පසුගිය ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කළේ දෙවියන් මැවූ සතර පෙර නිමිති සම්බන්ධවය. අප පොතින් කියවා අසා තිබූ දෙයට වඩා පූජාවලී විමසුම කෙතරම් විසිතුරුදැයි එයින් ඔබට පසක් කෙරිණි. බෝසත් සිරිතේ මෙම සිදුවීම විමසා බැලූ විට පෙනෙන්නේ ලෝකය පිළිබඳ කලකිරීමක් ඇති වීමට වඩා ලෝකය පිළිබඳ අවබෝධයක් ගොඩ නඟා ගන්නට මෙය හේතු වූ බවය.

ජරා, ව්‍යාධි, මරණ ලොව සැබෑ යථාර්ථය නම් ඒවා ඇති වීමෙහි හේතු සහ නැති කිරීමේ මාර්ගය සොයා බැලීම තම වගකීම බව වටහාගත් බෝසතුන් එය මාලිගාවේ සිට කිසිදා කළ නොහැකි බැව් දැන වහා නික්ම යාම සුදුසු බව තීන්දු කළේය. අබිනික්මන එයයි.

පූජාවලී කතුවර හිමියන්ගේ මෙම වර්ණනාව පාඨක රසවතුනගේ සිත් ගත් චමත්කාරයෙන් සපිරි වර්ණනාවකි.

රාහුල උපන් දා සසර බැඳ තබන්නට තවත් බැම්මක් ඇති වූ බව දැනගත් බෝසතුන් ඒ ගැන සිතමින් එදා නිදන කුටියට පිවිසුණු කල්හි එහි දැක්ම පූජාවලිය ගෙනෙන්නේ මෙසේය.

“දෙවඟනන් බඳු රූ ඇති සතළිස් දහසක් නාටක ස්ත්‍රීහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති. සමහරු වංගි පිඹිති. සමහරු වීණා ගාති. සමහරු අත්තල එළති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්‍යාංග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්‍රීඩාවට පටන් ගත්හ” යනුවෙනි.

කතුවරයා මෙම දැක්ම ගොඩනඟන්නේ තමන් වහන්සේ ද දුටු දර්ශනයක් සෙයින් ගොඩ නඟා ගත් පරිකල්පනයෙනි. එතැන පැවතිය හැකි ආකාරය පාඨක සිත්හි ද මවයි. ඊට උචිත ගැළපෙන ළගන්නා සුළු බසක් කතුවරයා යොදා ගනී.

මෙම අවස්ථාව වඩාත් කුළුගන්වන්නේ මෙසේ රංගනයෙහි යෙදුණු නළඟනන්ගේ සැබෑ ස්වභාවය මැදියම් රැයේ පිබිද දකින විටදීය. එහි පිළිකුල පාඨකයාට ද දැනෙයි. කතුවරයා ද එය දුටු සේය. ඉදිරිපත් කළ අයුරු බලන්න.

බෝසතාණෝ යහනින් නැඟී වැඩ හිඳ ස්ත්‍රීන්ගේ නොයෙක් විකාර දුටු දෑය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසති. සමහරු නන් දොඩති. සමහරු අලගත වස්ත්‍රව කෝපීන ස්ථාන දක්වති. බෝධිසත්වයෝ මොවුන්ගේ විප්‍රකාර දැක කාමයෙහි අතිශයින් ලෝභ නැතිව මේ ස්ත්‍රීහු පෙරයම් වේලෙහි දිව්‍යාංගනාවන් සේ සිටියාහුය. දැන් මෘත රූප වැනියහ. යනුවෙනි.

නින්දට යද්දී දෙව්ලොවක අසිරිය පෑ මෙම බෝසත් නිදන කුටිය දැන් අමු සොහොනක සිරි ගත් කල්හි එහි තව දුරටත් රැඳීම නිෂ්ඵල බව බෝසතාණෝ කල්පනා කළහ. යශෝධරාව රාහුල බිලිඳා ද සමඟින් නිදි යහනේය. ඒ දෙස ආලය ඇති කර ගැනීමෙන් තමා රැඳෙන්නේ මෙවන් අමු සොහොනක බව ද කල්පනා කොට වහා නික්ම යාමට තීන්දුව ගන්නේ සිරි යහනේදීමය.

අනතුරුව යහළු ඡන්න වෙතට යන බෝසතාණෝ මේ බව මෙසේ සැල කරති.

“යහළු ඡන්නය. දැන්ම මම මහබිනික්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනෙකුටත් නොහඟවා මගුලසු සරහා වහා ගෙනෙවයි” කී දෑය.
ඡන්න අස්හලට ගොස් කන්ථක අසු මැනවින් සරසද්දී ඌට ද දැනුණේ අමුතු අසිරියකි. තදින් නිදන රැයෙහි මෙතරම් සැරසිලි කුමක් සඳහා ද යන්න වටහාගත් අශ්වයා මහත් සතුටින් හේෂාරව කළ බව ද දැක්වෙයි.

බෝසතාණෝ පුතණුවන් දැක යන්නට යශෝධරාගේ කුටියට පිවිසුණු කල සිදු වූ දේ පූජාවලී කතුවරයාගේ වැනුමට හසු වූයේ මෙසේය.

“දරුවන් වඩා ගෙන සිඹ සනහා පියමි යි සිතාලා දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශෝධරා දේවි පිබිද යෙති. උන් හා සමඟ කථායෙක් වී නම් මා කාම බන්ධනයෙන් බැඳ මහබිනික්මන් ගොඩගත නොදී ගමනාන්තරාය කෙරෙති, යි සිතා මතු බුදුව ආ දා ම දරුවන් දැකපියමියි සිතාලා දැන් එක දරුවන් ප්‍රේමයෙන් මහණ නොවීම නම් මතු මුළු ලෝ වැසියන් හැම නොවරදවා කෙසේ දරු කොට ගනිම්ද?”

යනාදී වශයෙන් සිතූ බෝසතාණෝ එක දරුවෙකු වෙනුවෙන් බැඳි ප්‍රේමය ලොව සියලු දරුවන් වෙනුවෙන් අත්හළහ.

ඡන්න ඇමැතියා විසින් සකසා ගෙනෙන ලද කන්ථක අශ්වයා වෙතට ගිය බෝසත්හු මෙසේ කීහ.

“යහළු කන්ථකය, අද එක රැ තෝ මා ගලව. මම තාගේ සහායෙන් ගොස් බුදුව තා ඇතුළුව බොහෝ දිව්‍ය මනුෂ්‍යයන් සසරින් ගලවමියි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැගි දෑය.”

දැන් ගැටලුව වී ඇත්තේ කුමක්ද? සුදොවුන් රජුගේ බාධා බිඳ නික්ම යන්නේ කෙසේද යන්නය. සුදොවුන් රජු දහසක් යෝධයන් විසින් වසා ලනු ලබන බියලි දොර දෙකක් තනා දහසක් යෝධයෝ එහි රැකවලෙහි යොදා තිබෙයි. මෙය බිඳින්නට බෝසතුනට පැවතියේ සසර පුරා සපුරා ඇති වීර්ය පාරමිතාවේ බලයේ මහිමය පමණි. එයින් ලද බලය සිතට නඟා ගත් බෝසතාණෝ එය ජය ගත්තේ මෙසේය.

බෝසතාණන් සිතන්නේ ඉදින් දොර නොහැරේ නමුත් ඡන්නයා අසු වල්ගය අල්වා ගත දී අසු දෙකලවයෙන් බදා ගෙන අටළොස් රියන් මහ පවුර ගරුඬ රාජයෙකු සේ පැන දමා පියමියි සිතූ සේක. අමාත්‍යයා සිතන්නේ ඉදින් දොර නොහැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු අසරුවෙහි හිඳුවා ගෙන අශ්වරාජයා සකක් සේ වම් අත්ලෙහි තබා ගෙන පවුර පැනපියා යෙමියි සිතීය. කන්ථක අශ්වයා සිතන්නේ අමාත්‍යයා වල්ගය ගතදීම මේ ප්‍රාකාරය සිංහයෙකු සේ පැනපියා යෙමියි සිතීය. එකල වාසල් දොර අරක් ගත් දෙවියා මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැයි, සතුටුව වාසල් දොර හැරපීය.

කුතුහලයෙන් යුතු සිදු වීමක් කෙළවර කරන්නේ අපූර්වාකාරයෙනි. පාඨකයා කුල්මත් වෙයි. බෝසතුනට බැඳි සියලු බාධා සිඳී බිඳී යයි. මහාභිනිෂ්ක්‍රමණය සිදු වූයේ මෙසේය.

පූජාවලී කතුවරයා මෙම අවස්ථාව ඉතාමත් බැතියෙන් යුතුව පාඨක අප වෙත රැගෙන එන්නේ මේ සියල්ල ඇසූ දුටුවකු ලෙසින්ය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

pujawali
ලිපි

පූජාවලි විමසුම – 27

2021.07.29 දිනමිණ කටාරම අතිරේකය

දෙවියෝ සතර පෙර නිමිති මැවූහ.

මෙවර පූජාවලි විමසුමෙන් අප බෝසතුන්ට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතු වූ සතර පෙර නිමිති විග්‍රහ කළ ආකාරය පාඨක අවධානයට යොමු කරවන්නෙමු. පෙර විමසුමේදී අපගේ අවධානය යොමු කළේ බෝසතුනට සතලිස් දහසක් ශාක්‍ය කෝලිය කුමරියන් පාවා දුන් ආකාරයයි. ඒ බෝසතුනගේ කාමසුඛල්ලිකානු දිවි පෙවෙතය. මේ සියල්ල පර්යේෂණාත්මක බව ද කල්පනා කළ යුතුය. මේ දිවි පෙවෙතෙහි ඇති යථාර්ථය නොහඳුනා ගත්තේ නම් කම් සැපෙහි ආදීනව ලොවට කියන්නේ කෙසේද?
අනෙක් පසින් පිය මහ රජුන් පුතු ගිහි බවෙහි රඳවා ගැනීම පිණිස ගන්නා වෑයමෙහි ප්‍රබල අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. කෙසේ වෙතත් මේ කාම බන්ධනයෙන් බෝසතුනට වසර දා හතරක් පුරා මිදිය නොහැකි විය.

මේ අතරෙහි බුදු වීමේ උවමනාව වඩාත් ඉක්මන් කළෝ දෙවියෝය. මෙම සීමා බන්ධනයෙන් මුදවා ලෝක යථාර්ථය ග්‍රහණය කර ගන්නට අවශ්‍ය වටපිටාව සකසන්නට දෙවියන් පෙරට එන අයුරු පුජාවලි හිමියෝ මෙසේ දක්වති.

“මෙසේ මාගේ බෝධිසත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධාන වූ මෙම සතලිස් දහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා මාණික්‍ය ශෝභාවෙන් දිලියෙන්නා වූ කනක ප්‍රාසාද බදු වූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රාසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්‍ය ශ්‍රි සම්පත් විදුනා සඳ” යනුවෙන් දක්වමින් එසේ ගත කරනා කල්හී දෙවියෝ උයන් කෙළියට පෙලඹවති.

ඒ සදහා රථාචාර්යයා කැඳවීමෙන් පෙනෙන්නේ ගමනට බිමනට ඇවැසි දෑ මාලිග දොරකඩ ම පැවති බව නොවේද? ඔහු ගෙනෙන රථයෙහි ස්වභාවය දක්වා තිබෙන්නේ “නෙළුම්පත පැහැ ඇති මංගල අශ්වරාජයන් සතර දෙනෙකු යොදාලා බෝසතුනට දැන්වීය” යනුවෙනි.

බෝසතාණෝ මේ රථයට නැඟී මහත් ප්‍රීතියෙන් උයනට පිවිසෙති. මේ වන විටත් සුදොවුන් පිය රජුගේ ආරක්ෂක විධිවිධාන තදින් ක්‍රියාත්මක වෙයි. කිසිදු රෝගියකු ව්‍යාධියකු ආදී පිළිකුල දනවන කිසිවක් මඟ දෙපස නැත. ගමන් මඟ පුරා කුමරුට ආසිරි සෙමෙර සලන කුමර කුමරියෝ ද රාජ පුරුෂයෝ ද වෙති.

මේ අතරෙහි දෙවියන්ගේ අභිප්‍රාය ඉටු වෙයි. දෙවියෝ මෙසේ ක්‍රියාත්මක වූහ.

කෙසේද යත්, “ එකෙණෙහි දේවතාවෝ සිද්ධාර්ථ කුමාරයන් බුදුවන කල් ආසන්නය. තපසට කාරණා දක්වම්හයි, එක් දිව්‍ය පුත්‍රයෙකු ජරා වෙසක් ගන්වා කඩ දත් ඇතිව ,නර ඉස් ඇතිව, වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙවුල වෙවුලා සිටියා සේ දක්වාලූහ.”

දෙවියන් මැවූ මෙම ජරා රූපය බෝසතුනට හා රථාචාර්යයාට පමණක් පෙනෙයි. අනෙක් සමූහයේ කිසිවකුට නොපෙනෙයි. එවිට බෝසතාණෝ පෙර නොදුටු මේ දැක්මෙන් පුදුම වෙති. අසන්නට ළඟ ඇත්තේ රථාචාර්යයා පමණි. දෙදෙනාගේ සංවාදය හරිම සජීවීය.

“ සබඳ රථාචාර්යය, මේ කෙසේ වූ රූපයෙක්ද? ස්වාමීනි මහලු මිනිසෙකි. මොහු මේ උපන් සැටිම ද? නැත පෙර අප සේම ළදරුය. දැන් දිරා ගොස්ය. මෙවැනි අය තවත් ඇත්ද? ඉතා සුලබය. මටත් මෙසේ වන්නේද? සියලු සත්වයෝ මෙසේය..”

මොන තරම් රමණීය සංවාදයක් කතාකරුවා ගොඩනැගුවේදැයි බලන්න. මෙයින් ලබන අවබෝධය කෙතරම් පුළුල් ද යත් උයන් කෙළි ගමන නවතා ආපසු මාලිගාවට නික්මුණි. එයින් ප්‍රකෝප වූයේ පිය රජුය. තවදුරටත් ආරක්ෂාව දැඩි කිරීම එයින් සිදුවිය. තවත් සාරමසක් සපිරුණි. කුමරුට නැවතත් උයන් සවාරිය සිහිපත් විය. පෙර සේ ම රථාචාර්යයා කඳවා රථය සාදන්නැයි කීය.

පෙර සේ ම පිරිවර ද සූදානම් කෙරිණි. පිය රජු සතුටට පත් විය. මහල්ලකු දැකීමෙන් ඇති වූ කලකිරීම දැන් පහව ගොස් ඇතැයි පියාගේ සතුට නිම් හිම් නැති විය. කුමරා ගමනට නික්මිණි. එදින දෙවියන්ගේ වේෂය වෙනස්ය. කුෂ්ඨයෙන් පිරි ශරීර ඇති ,මහ සැළ සේ උදර ඇති ,වන්බිඩි සා සීපද ඇති, ව්‍යාධිගත රූපයක් දැක පෙර සේ ම රථාචාර්යයා අතින් විචාරා එදා ද සසර කලකිරී නැවත මාලිගාවට ම වැඩි සේක.

සාරමසක් පුරා ම බෝසතාණෝ ජරාව සහ ව්‍යාධිය ගැන සිතූහ. මටත් මේ ස්වභාවය උරුමවන්නේ නොවේදැයි තනිව ම කල්පනාවට ලක් කළේය. නැවතත් උයන් සවාරිය ට නික්මිණි.

එවර දෙවියෝ කට දල්වා ගෙන ඉදිමී නිල්ව ගිය ශරීර ඇතිව නව දොරින් නික්මෙන පණු කැලක් විසින් ආකූල වූ මෘත ශරීරයක් දකින්නට සැලැස්වූහ. ඒ ගැන ද රථාචාර්යයාගෙන් ලද අවබෝධය මත සවාරිය නවතා මාලිගාවට පැමිණ මේ ශරීරය මේ තරම් පිළිකුල් ස්වභාවයට පත් වන්නේදැයි කල්පනාවට භාජනය කෙරිණි. මේ බව දත් සුදොවුන් රජු අතිශයින් ම කම්පිතව සියලු රැකවල් යොදා තිබියදී ඇසළ පෝදා පැමිණියේය.

එදින පෙරසේම උයන් සවාරියට නික්මුණු බෝසතුනට දෙවියන් එවනු ලැබුයේ සකස් කොට හැඳ පෙරව විය දඬු පමණින් දුර නොබලා උපශාන්ත ගුණයෙන් සැදී සිටියා වූ මහණ වෙසකි. මේ ගැන විමසා ලොව එවන් උපශාන්ත දිවියකුත් ඇත්දැයි දැන සතුටුව එදා උයනට නික්ම ගියේය. මේ අතරෙහි ය‍ශෝධරාවෝ පුත් කුමරකු ලදහ. මෙයින් වඩාත් සතුටට පත් වූයේ සුදොවුන් පිය රජතුමාය.

“මපුතණුවන් දරු මලින් බැඳ ගම රඳවා ගනිමි මහණ විය නොදෙමි“ ඔහුගේ මතය විය. ඇමැතිවරයකු බෝසතුනට පණිවිඩය රැගෙන ආවේය. රාහුල උපතකි. ගිහි බන්ධනයකි. යනුවෙන් ඉබේ ම මෙන් කියවිණි. එනිසා ම කුමරු රාහුල විය. එන මග කිසා ගෝතමියගේ වැනුම ද අසා නිවීම සොයා යන්නට අදිටන් කෙරිණි.
අවසන පුතු ද යශෝධරාව ද බලා අබිනික්මන් කෙරිණි.

පූජාවලි කතුවරයා බුදු සිරිතෙහි ඇතුළත් මෙම සිදුවීම් වර්ණනාවට ලක් කරන්නේ ඉතා ම විශිෂ්ට බෝසත් සිරිත ද සිංහල සාහිත්‍යයට දායාද කරමිණි. මේ අදහස් මීටත් වඩා රමණීය ලෙසින් ලියුවෝ අන් කවරහුද? කවරෙකුවත් නැත. ඒ බුදුපුත් තෙරණුවන් පමණක් ම ය. මීට වසර අටසීයකට පමණ පෙර මෙසේ සිංහල භාෂාවෙන් කළ මෙම රචනා නූතනයාට ඇති කරනුයේ කවර තරම් භාග්‍යක්ද? අපි උන්වහන්සේට ණය ගැති වෙමු.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

1 2 3 4 5 15 16
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound