Category

ලිපි

Home / ලිපි
pujawali
ලිපි

පූජාවලි විමසුම – 27

2021.07.29 දිනමිණ කටාරම අතිරේකය

දෙවියෝ සතර පෙර නිමිති මැවූහ.

මෙවර පූජාවලි විමසුමෙන් අප බෝසතුන්ට අභිනිෂ්ක්‍රමණය සඳහා හේතු වූ සතර පෙර නිමිති විග්‍රහ කළ ආකාරය පාඨක අවධානයට යොමු කරවන්නෙමු. පෙර විමසුමේදී අපගේ අවධානය යොමු කළේ බෝසතුනට සතලිස් දහසක් ශාක්‍ය කෝලිය කුමරියන් පාවා දුන් ආකාරයයි. ඒ බෝසතුනගේ කාමසුඛල්ලිකානු දිවි පෙවෙතය. මේ සියල්ල පර්යේෂණාත්මක බව ද කල්පනා කළ යුතුය. මේ දිවි පෙවෙතෙහි ඇති යථාර්ථය නොහඳුනා ගත්තේ නම් කම් සැපෙහි ආදීනව ලොවට කියන්නේ කෙසේද?
අනෙක් පසින් පිය මහ රජුන් පුතු ගිහි බවෙහි රඳවා ගැනීම පිණිස ගන්නා වෑයමෙහි ප්‍රබල අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. කෙසේ වෙතත් මේ කාම බන්ධනයෙන් බෝසතුනට වසර දා හතරක් පුරා මිදිය නොහැකි විය.

මේ අතරෙහි බුදු වීමේ උවමනාව වඩාත් ඉක්මන් කළෝ දෙවියෝය. මෙම සීමා බන්ධනයෙන් මුදවා ලෝක යථාර්ථය ග්‍රහණය කර ගන්නට අවශ්‍ය වටපිටාව සකසන්නට දෙවියන් පෙරට එන අයුරු පුජාවලි හිමියෝ මෙසේ දක්වති.

“මෙසේ මාගේ බෝධිසත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධාන වූ මෙම සතලිස් දහසක් නාටක ස්ත්‍රීන් පිරිවරා මාණික්‍ය ශෝභාවෙන් දිලියෙන්නා වූ කනක ප්‍රාසාද බදු වූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රාසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්‍ය ශ්‍රි සම්පත් විදුනා සඳ” යනුවෙන් දක්වමින් එසේ ගත කරනා කල්හී දෙවියෝ උයන් කෙළියට පෙලඹවති.

ඒ සදහා රථාචාර්යයා කැඳවීමෙන් පෙනෙන්නේ ගමනට බිමනට ඇවැසි දෑ මාලිග දොරකඩ ම පැවති බව නොවේද? ඔහු ගෙනෙන රථයෙහි ස්වභාවය දක්වා තිබෙන්නේ “නෙළුම්පත පැහැ ඇති මංගල අශ්වරාජයන් සතර දෙනෙකු යොදාලා බෝසතුනට දැන්වීය” යනුවෙනි.

බෝසතාණෝ මේ රථයට නැඟී මහත් ප්‍රීතියෙන් උයනට පිවිසෙති. මේ වන විටත් සුදොවුන් පිය රජුගේ ආරක්ෂක විධිවිධාන තදින් ක්‍රියාත්මක වෙයි. කිසිදු රෝගියකු ව්‍යාධියකු ආදී පිළිකුල දනවන කිසිවක් මඟ දෙපස නැත. ගමන් මඟ පුරා කුමරුට ආසිරි සෙමෙර සලන කුමර කුමරියෝ ද රාජ පුරුෂයෝ ද වෙති.

මේ අතරෙහි දෙවියන්ගේ අභිප්‍රාය ඉටු වෙයි. දෙවියෝ මෙසේ ක්‍රියාත්මක වූහ.

කෙසේද යත්, “ එකෙණෙහි දේවතාවෝ සිද්ධාර්ථ කුමාරයන් බුදුවන කල් ආසන්නය. තපසට කාරණා දක්වම්හයි, එක් දිව්‍ය පුත්‍රයෙකු ජරා වෙසක් ගන්වා කඩ දත් ඇතිව ,නර ඉස් ඇතිව, වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙවුල වෙවුලා සිටියා සේ දක්වාලූහ.”

දෙවියන් මැවූ මෙම ජරා රූපය බෝසතුනට හා රථාචාර්යයාට පමණක් පෙනෙයි. අනෙක් සමූහයේ කිසිවකුට නොපෙනෙයි. එවිට බෝසතාණෝ පෙර නොදුටු මේ දැක්මෙන් පුදුම වෙති. අසන්නට ළඟ ඇත්තේ රථාචාර්යයා පමණි. දෙදෙනාගේ සංවාදය හරිම සජීවීය.

“ සබඳ රථාචාර්යය, මේ කෙසේ වූ රූපයෙක්ද? ස්වාමීනි මහලු මිනිසෙකි. මොහු මේ උපන් සැටිම ද? නැත පෙර අප සේම ළදරුය. දැන් දිරා ගොස්ය. මෙවැනි අය තවත් ඇත්ද? ඉතා සුලබය. මටත් මෙසේ වන්නේද? සියලු සත්වයෝ මෙසේය..”

මොන තරම් රමණීය සංවාදයක් කතාකරුවා ගොඩනැගුවේදැයි බලන්න. මෙයින් ලබන අවබෝධය කෙතරම් පුළුල් ද යත් උයන් කෙළි ගමන නවතා ආපසු මාලිගාවට නික්මුණි. එයින් ප්‍රකෝප වූයේ පිය රජුය. තවදුරටත් ආරක්ෂාව දැඩි කිරීම එයින් සිදුවිය. තවත් සාරමසක් සපිරුණි. කුමරුට නැවතත් උයන් සවාරිය සිහිපත් විය. පෙර සේ ම රථාචාර්යයා කඳවා රථය සාදන්නැයි කීය.

පෙර සේ ම පිරිවර ද සූදානම් කෙරිණි. පිය රජු සතුටට පත් විය. මහල්ලකු දැකීමෙන් ඇති වූ කලකිරීම දැන් පහව ගොස් ඇතැයි පියාගේ සතුට නිම් හිම් නැති විය. කුමරා ගමනට නික්මිණි. එදින දෙවියන්ගේ වේෂය වෙනස්ය. කුෂ්ඨයෙන් පිරි ශරීර ඇති ,මහ සැළ සේ උදර ඇති ,වන්බිඩි සා සීපද ඇති, ව්‍යාධිගත රූපයක් දැක පෙර සේ ම රථාචාර්යයා අතින් විචාරා එදා ද සසර කලකිරී නැවත මාලිගාවට ම වැඩි සේක.

සාරමසක් පුරා ම බෝසතාණෝ ජරාව සහ ව්‍යාධිය ගැන සිතූහ. මටත් මේ ස්වභාවය උරුමවන්නේ නොවේදැයි තනිව ම කල්පනාවට ලක් කළේය. නැවතත් උයන් සවාරිය ට නික්මිණි.

එවර දෙවියෝ කට දල්වා ගෙන ඉදිමී නිල්ව ගිය ශරීර ඇතිව නව දොරින් නික්මෙන පණු කැලක් විසින් ආකූල වූ මෘත ශරීරයක් දකින්නට සැලැස්වූහ. ඒ ගැන ද රථාචාර්යයාගෙන් ලද අවබෝධය මත සවාරිය නවතා මාලිගාවට පැමිණ මේ ශරීරය මේ තරම් පිළිකුල් ස්වභාවයට පත් වන්නේදැයි කල්පනාවට භාජනය කෙරිණි. මේ බව දත් සුදොවුන් රජු අතිශයින් ම කම්පිතව සියලු රැකවල් යොදා තිබියදී ඇසළ පෝදා පැමිණියේය.

එදින පෙරසේම උයන් සවාරියට නික්මුණු බෝසතුනට දෙවියන් එවනු ලැබුයේ සකස් කොට හැඳ පෙරව විය දඬු පමණින් දුර නොබලා උපශාන්ත ගුණයෙන් සැදී සිටියා වූ මහණ වෙසකි. මේ ගැන විමසා ලොව එවන් උපශාන්ත දිවියකුත් ඇත්දැයි දැන සතුටුව එදා උයනට නික්ම ගියේය. මේ අතරෙහි ය‍ශෝධරාවෝ පුත් කුමරකු ලදහ. මෙයින් වඩාත් සතුටට පත් වූයේ සුදොවුන් පිය රජතුමාය.

“මපුතණුවන් දරු මලින් බැඳ ගම රඳවා ගනිමි මහණ විය නොදෙමි“ ඔහුගේ මතය විය. ඇමැතිවරයකු බෝසතුනට පණිවිඩය රැගෙන ආවේය. රාහුල උපතකි. ගිහි බන්ධනයකි. යනුවෙන් ඉබේ ම මෙන් කියවිණි. එනිසා ම කුමරු රාහුල විය. එන මග කිසා ගෝතමියගේ වැනුම ද අසා නිවීම සොයා යන්නට අදිටන් කෙරිණි.
අවසන පුතු ද යශෝධරාව ද බලා අබිනික්මන් කෙරිණි.

පූජාවලි කතුවරයා බුදු සිරිතෙහි ඇතුළත් මෙම සිදුවීම් වර්ණනාවට ලක් කරන්නේ ඉතා ම විශිෂ්ට බෝසත් සිරිත ද සිංහල සාහිත්‍යයට දායාද කරමිණි. මේ අදහස් මීටත් වඩා රමණීය ලෙසින් ලියුවෝ අන් කවරහුද? කවරෙකුවත් නැත. ඒ බුදුපුත් තෙරණුවන් පමණක් ම ය. මීට වසර අටසීයකට පමණ පෙර මෙසේ සිංහල භාෂාවෙන් කළ මෙම රචනා නූතනයාට ඇති කරනුයේ කවර තරම් භාග්‍යක්ද? අපි උන්වහන්සේට ණය ගැති වෙමු.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
සිංහල අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

1 2 3 4
Privacy Settings
We use cookies to enhance your experience while using our website. If you are using our Services via a browser you can restrict, block or remove cookies through your web browser settings. We also use content and scripts from third parties that may use tracking technologies. You can selectively provide your consent below to allow such third party embeds. For complete information about the cookies we use, data we collect and how we process them, please check our Privacy Policy
Youtube
Consent to display content from Youtube
Vimeo
Consent to display content from Vimeo
Google Maps
Consent to display content from Google
Spotify
Consent to display content from Spotify
Sound Cloud
Consent to display content from Sound